ධාරණ ශක්තිය වර්ධනය කරන ගෘහාශ්‍රිත වාස්තු සිද්ධාන්ත

ජනවාරි 24, 2025

සම්පත් - පිළියන්දල

කර්තෘතුමියනි,

සෑම දෙයකදීම වාස්තු විද්‍යාත්මක සොයා බලා කටයුතු කරන්නට මම මෑතක සිට උනන්දුව සිටිමි. මා හට ධාරණ ශක්තිය වැඩි කරන ගෘහාශ්‍රිත වාස්තු සිද්ධාන්ත පිළිබඳ අසන්නට ලැබුණි. ඒ සම්බන්ව යම් විග්‍රහයක් ලබා දීමට සහ ධාරණ ශක්තිය වඩවාගත හැකි වාස්තු ක්‍රම පිළිබඳ පවසන්නේ නම් වඩා හොඳයැයි මාගේ අදහසයි.

ස්තූතියි.

--------------------------------

පසුගිය සතියේ කර්තෘට ලියූ ලියුමට පිළිතුර

නිවසට වින කටින වේධ දෝෂ පිළිබඳව

වේධ දෝෂ සම්බන්ධව උඩගම ක්‍රිෂාන්ති මහත්මිය සුබසෙතට යොමු කළ පැනයට වාස්තු විද්‍යා උපදේශක කේ. සුනිල් කුමාරවත්තගේ මහතා ලබා දුන් පිළිතුරයි.

නිවෙසක ඉදිරිපිට කණුවක් පිහිටා තිබීම අසුබයි. ස්ථම්භ වේධ දෝෂයකි. තනි කණුවක් නම් ඉතාම අසුබයි. නිවසේ පිරිස අවම වේ. ජනශූන්‍ය වේ.

රාජ්‍ය පාලකයන්ගේ නිවෙස දෙසට මුහුණලා පිහිටන නිවෙස රාජ වේධ දෝෂයට හසුවේ. ද්වේශය, කෝධය, ඊර්ෂ්‍යාව ඇති වේ. රාජ්‍ය උදහසට හසුවිය හැකිය. රාජ්‍ය පාලකයන්ගේ නිවෙසට පිටතින් පැමිණෙන අවහිරතා තම නිවෙසටද පැමිණිය හැකිය.

නිවෙස ඉදිරිපිට සුසාන භූමි පිහිටා ඇත්නම් එය සුසාන වේධ දෝෂයට අයත් වේ. ආදායම් හීන කරයි. නිවසේ ශ්‍රියාව දුරුවේ. එමෙන්ම නිවෙස ඉදිරිපිටින් ඉදිරි පාරේ වංගුවක් පිහිටා ඇත්නම් එය මාර්ග වේධ දෝෂයයි. නිතර කරදර ඇතිවේ. මනස ව්‍යාකූල වේ. නිවෙසට හදිසි අනතුරු ගෙන දේ.

නිවෙසේ ඉදිරිපිට වැසිකිළි, කුණු කාණු ආදී අපවිත්‍ර දේ රැස් කරන ස්ථාන ඇත්නම් එය වරචස්ථාන වේධදෝෂය වේ. ලෙඩ රෝග ඇතිවේ. නිවසේ ශ්‍රියාව අඩුවේ.

නිවෙස ඉදිරිපිට දේවතා පිළිම ආදිය පිහිටා ඇත්නම් එය දේවතා වේධ දෝෂ නම් වේ. නිතර නොසන්සුන් භාවය හා කරදර ඇතිවේ.

ප්‍රධාන දොරටුව අභියස රෙදි සෝදන ස්ථානයක් තිබීම රජක වේධ දෝෂ වේ. පහත් අදහස් ඇති වේ. තනතුරු උසස් වීම් යටපත් වේ. නිරතුරුවම අපකීර්තියට පත්වේ.

නිවෙස තාප්පයටම බැඳ තිබීම වේධ දෝෂයකි. එය නිවෙස අවහිරතා වේධ දෝෂයයි. නිතර කනස්සලු ගතිය ඇතිවීම ධනය අඩුවීම ආදී පල ලැබේ. නිවෙස සතර වටේට ගමන් කළ හැකි විය යුතුය.

නිවෙසේ හරි මැදින් දොර තැබීම බ්‍රහ්මවේධ දෝෂය නම් වේ. නිවැසියන්ගේ කීර්තිය නැතිවීම සිදුවේ. එමෙන්ම නිවෙස ඉදිරිපිට මඩ වලක් පිහිටා තිබීම නිසා ලෙඩ දුක්, කරදර විපත් ඇති වේ. මෙය කර්ම වේද දෝෂ නම් වේ. ප්‍රධාන දොර ඉදිරිපසින් වංගුවක් ලෙස ගලා බසින දිය පාරක්, ඇලක් දොළක් වේ නම් එය ජල නිර්ගමන වේධ දෝෂ නම් වේ. මේ දෝෂය නිසා ධනය හා දේපළ හානි ඇති කරයි.

නිවස ඉදිරිපස විශාල ගසක් පිහිටා තිබීම වෘක්ෂ වේධ දෝෂයට අයත් වේ. දරුවන්ට අපල ඇති කරයි.ආරක්ෂාවට තර්ජනයෙකි.

නිවෙස ඉදිරිපිට ළිඳක් පිහිටා ඇත්නම් කූප වේද දෝෂය නම් වේ. රෝගාබාධ, අනතුරු ඇතිවේ. නිවෙස ඉදිරිපිට ගල් කණු හෝ වෙනත් කණු පිහිටා තිබීම ස්ථම්භ වේද දෝෂයයි. නිවසේ ආරක්ෂාව මදි වීම, සාමය සතුට නැතිවීම සිදු වේ.

නිවසේ ප්‍රධාන දොර ඉදිරිපසින් වෙනත් නිවෙසක බිත්ති කොන් වැටි තිබීම කෝණ වේද දෝෂ වේ. අඬදබර, කරදර, රාජ භය ඇතිවේ. නිවෙසේ ප්‍රධාන දොර අනෙක් නිවෙසේ ප්‍රධාන දොර එකිනෙක මුහුණලා තිබීම ද්වාර වේධ දෝෂයයි. මේ තුළින් ඇස් වහ කටවහ ඇතිවීම, කලකෝලාහල වැඩිවීම සිදුවේ.

නිවෙසක බ්‍රහ්මපාදය කැපී යන ලෙස රේඛාවලට අසුවන සේ ප්‍රධාන දොර තැබීම ධග්ධ රේඛා වේධ දෝෂයයි. මේ තුළින් බොහෝ කරදර විපත් ඇතිවේ. නිවැසියන් අතර අසමගිකම් වර්ධනය වේ. ධනය හීන වේ. නිතර ලෙඩ දුක්වලටද මුහුණ දීමට සිදුවේ.

නිවසේ මුදුන් යට ලීය වෙනත් යට ලී උළු අහු මැදට පිහිටන සේ තැබීම වේධ දෝෂයකි. ගෘහ මූලිකයා ඔත්පල වේ. හිතට ලෙඩ දුක් සෑදේ. මරණය පවා ඇතිවිය හැකිය.

නිවෙස ඉදිරිපිට විශාල ගොඩනැගිලි පිහිටා එහි සෙවනැලි නිවෙසට වැටීමද වේධ දෝෂයකි. ජනශූන්‍ය වීම, ධන හානි වීම, නිවස අතහැර දැමීමට සිදුවීම මෙයින් ලැබෙන ප්‍රතිපලයකි.

කුකුල්, ගව හා ඌරු ආදී සතුන් ඇති කරන , ගාල් කරන ස්ථාන නිවස ඉදිරිපිට පිහිටා ඇත්නම් එය තිරස්චීන වේධ දෝෂයකි. ලෙඩ රෝග, ධන හානි ඇති කරයි.

නිවෙස ඉදිරිපිට උළු ගඩොල් වලං ආදී ගිනි දල්වන පෝරනු තිබේනම් එය කුම්භකාර වේධ දෝෂයයි. මෙතුළින් භීතිය හා රෝග පැතිරේ.

දෙ‍අත් හිසේ තබාගෙන දොරකඩ සිටගෙන සිටීම ද දොළොස් මහා දෝෂයන්ගෙන් එකකි.

වාස්තු විද්‍යා උපදේශක

කේ.සුනිල් කුමාරවත්තගේ

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 3 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.