වර්ෂ 2025 ක්වූ January 24 වැනිදා Friday
ගිජිඳුන් දහසකගේ බල බිඳිය හැකි පරිත්‍රාණය
බියෙන් සැකෙන් නැඟෙනා තාප ගිනි
දයාදියෙන් සනහා නිවන්නට...
පරිත්‍රාණයේ බුද්ධ භාෂිතයෙන්
වඩිනු මැන නිදුකාණනේ...
ඔබ බොදුනුවකු නම් ජීවිතයේ එක් වතාවක් හෝ තමා ජීවත්වන නිවස්නට මහා සංඝයා වහන්සේලා වැඩමවා සධාතුක ධාතුන් වහන්සේලාද පිරිත් පොත් වහන්සේලාද මහා ශද්ධාවෙන් යුතුව වැඩමවාගෙන අංග සම්පූර්ණ සර්ව රාත්‍රික පරිත්‍රාණ ධර්මදේශනයක් (පිරිත් දෙසුමක්) පැවැත්විය යුතුය.
ගිජිඳුන් දහසක ගේ වුව බලය බිඳිය හැකි අයෝමය අත්‍යන්ත බලධාරාවකින් සුපෝෂිත මධුර මනෝහර ලාලිත්වයෙන් සජ්ඣායනා වන බුද්ධභාෂිතයක්ද වන මහා පරිත්‍රාණ දෙසුම බොදුනුවන්ගේ මහා බලයයි.
තවත් ලෙසකින් ගත්කල ජීවමාන බුදුන්වහන්සේ තම ගෙදරටම ගෞරව සම්ප්‍රයුක්තව වැඩම කරගෙන බැතිබරින් සුපලේක්ෂිතව සිදුකරන මහානුභාවසම්පන්න පිරිත් දෙසුම සිදුකරලීම තුළින් ඔබ නිවස හා එහි පරිසරය සියලු දෝෂාංධකාරයන්ගෙන් දූරීභූත කිරීමට සමත්වනු නියතය. පසුදින සාංඝික කොට පිරිනමන ලද දානමය පින්කමද මහානුභාවසම්පන්න වෙයි.
පිරිත් දෙසුමට පෙරාතුව ගෙහිමියා මුළුමහත් නිවාස පරිශ්‍රය සම්පූර්ණයෙන්ම පවිත්‍රව තබා ගනී. ඒ පිරිත් දේශනයට වඩිනු ලබන දෙවි දේවතාවුන් වහන්සේලා ප්‍රමුඛ බ්‍රහ්මයන්ට ද වැඩිය හැකි පරිසර රටාවක් සකස් කරනු පිණිසය. අනෙක පරිත්‍රාණය ශ්‍රවණය සඳහා පැමිණෙන අයට ද සංඝයා වහන්සේට ද එය පි‍්‍රයජනක ස්ථානයක් කරගත යුතුය.
පරිත්‍රාණය නැතහොත් පිරිත දුක පිහිට කොට ඇති සියලු සත්වලෝකයට මෙලොව, පරලොව දෙකේම සැප එළවන්නෙක් වෙයි. එමෙන්ම යක්ෂ පේ‍්‍රතාදීන්ද විවිධ භූත කොටස් නිසාද, දුර්භික්ෂාදී බියජනක හේතු නිසාද ඇතිවන උපද්‍රවයන්ගෙන් මිදීම පිණිස පිරිත මහනුබලසම්පන්න වෙයි.
ලෙඩ රෝග සෑදුනු කල එය සුවකර ගැනීමට බෙහෙත් පිළියම් තිබෙයි. එසේම විවිධ වූ උවදුරු ඇතිකල්හි එය නැතිකර ගැනීමට උපාය මාර්ගය ද තිබිය යුතුමය. ‘පිරිත’ තරම් උභයාර්ථ සංසිද්ධියකට හේතු වූ අන්කිසි උපාය මාර්ගයක් නැත්තේමය.
පරිත්‍රාණ ධර්ම දේශනය එක් විශේෂිත වූ ශාන්තිකර්මයක්මය. බරණැස ඉසිපතනාරාමයේදී පස්වග මහණුන් වෙනුවෙන් දම්සක් පැවතුම් සූත්‍රය දේශනා කිරීම පිරිතේ මුල් ආරම්භය ලෙස ද සැලකේ.
බුදුන් වහන්සේ ජීවමාන කාලයේ විශාලා මහනුවර ඇතිවූ තුන්බිය (රෝග භය, අමනුෂ්‍ය භය, දුර්භික්ෂ භය) දුරු කිරීම සඳහා රතන සූත්‍රය දේශනා කොට එහි පිරිත් පැන් විශාලා මහනුවර පුරා ඉසින ලෙස බුදුරදුන් විසින් ආනන්ද හිමියන්ට පැවසූ සේක. මහාවැසි වස්වා විශාලා මහනුවර දුර්භික්ෂය අවසන් වූයේ ඉන් පසුවය.
වත්මන්හිද පළමු යුගාසන ධර්ම දේශනාවෙහි ඉසිගිලිය සූත්‍ර දේශනාව නිමවූ පසු කියවෙන්නේ දම්සක් පැවතුම් සූත්‍රයයි. නිසි පැවැත්මකින් පිරිත් දෙසුම සිදුකළහොත් බලයක් ජනිත කිරීමේ ජනන බලයත්, ජීවන බලයත්, තාඩන බලයත් ( පීඩා උවදුරින් මිදීම) බෝදන බලය (ප්‍රබෝධමත්වීමේ) අභිෂේක බලය (සෙත්ශාන්තිය ඉටුවීම) විමලීකරණ බලය (අප්‍රාණික ගති දුරලීම) අප්‍යායන බලය (ආශීර්වාද බලය) තර්පන බලය ( ආලෝක) දීපන බලය (බුලත්කොළ මත පහන් දැල්වීම) ඝෝෂණ බලය (ශබ්දතරංගවල බලය) ආදී දසවිධ බලයන් පිරිතෙන් ප්‍රතිඵල ලෙස ලැබෙනු නියතය.
ගෞතම බුදුන්වහන්සේ ජීවමාන කාලයේදී තමන් වහන්සේ අසනීපව සිටි කල්හි මහාචුන්ද මහරහතන් වහන්සේ ලවා බොජ්ඣංග පිරිත් දෙසුම කරවාගෙන සුවපත් වූ බව සූත්‍ර පිටකයෙහි දැක්වෙයි.
එසේම බුද්ධ කාලයේදීම බොජ්ඣංග සූත්‍රය අසනීප තත්ත්වයන් දුරුකර ගැනීම උදෙසා සජ්ඣායනා කර ඇති බව පෙනෙයි. මහා කාශ්‍යප මහරහතන් වහන්සේට මහා කස්සප ථෙර බොජ්ඣංගයද, මුගලන් හිමියන් උදෙසා මහා මොග්ගල්ලාන ථෙර බොජ්ජංගයද, මහා චුන්දථෙර බොජ්ජංගය ආදී සූත්‍ර ලෙඩ රෝග සුව කර ගැනීම උදෙසා සජ්ඣායනා කොට තිබෙයි. මහාකාශ්‍යප සහ මුගලන් මහරහතන් වහන්සේලා අසනීපව සිටියදී බුදුන් වහන්සේ විසින්ම තම ශ්‍රී මුඛයෙන් බොජ්ඣංග පිරිත දේශනා කර වදාළ සේක.
බුදුන් වහන්සේ ජීවමාන කල එක් බමුණෙකුගේ පුත්‍රයෙකු දින හතකින් පසු යක්ෂ උපද්‍රවයක් නිසා මිය යන බව බුදුරදුහු දිවැසින් දුටහ. පියා තම පුත්‍රයා බේරා ගැනීමට බුදුන් වහන්සේගේ පිහිට පැතීය.
එවිට බුදුන් ගේදොර පිරිසිදුකර සිල්වත් භික්ෂූන් වහන්සේ ලවා පිරිත් සජ්ඣායනයක් කර ගන්නා ලෙසට උපදෙස් දුන් සේක. බමුණා ද එය නිසි ලෙස ඉටු කළේය. එහිදී පිරිත් බලයෙන් යක්ෂ උවදුර දුරු වී කුමාරයා දීර්ඝායු ලැබීය. මෙය බුදුන් දවස පැවැත්වූ සමූහ පිරිත් දෙසුම විය.
පුරාවිද්‍යාත්මක සාධක ඇසුරින් බලන කල පොලොන්නරු යුගයේ නිශ්ශංකමල්ල රජ සමයේ පිරිත් දෙසුම් රට පුරා ප්‍රචලිතව පැවතුණි. එතුමා පිරිත් දේශනය සඳහාම නිශ්ශංකලතාමණ්ඩපය නම් මණ්ඩපයක් පාෂාණයෙන් ඉදිකරවා තිබීම එයට වඩාත්ම හොඳ සාක්ෂියයි. එය වත්මන දක්වා සුරක්ෂිතව පවතී.
ඊටත් පසුකාලීනව ක්‍රිස්තු වර්ෂ (365 - 406) ශ්‍රී ලංකාවේ රජ කළ උපතිස්ස රජතුමාගේ කාලයේ ලංකාවේ ඇතිවූ දුර්භික්ෂ තත්ත්වයේදී රන් බුදුරුවක් කරවා එහි දෑතෙහි රන් පාත්‍රයක් තබා සංඝරත්නය පිරිත් සජ්ඣායනා කරමින් අනුරාධපුරයෙහි වීදියක්, වීදියක් පාසා රැය පහන් වනතුරු වීදි සංචාරය කළ බවත් රජතුමා ද එම පෙරහැරේ ගමන් කළ බවත් මහාවංශයේ සඳහන් වෙයි.
ඉන්පසු මහවැසි ලැබී රට සමෘද්ධිමත් වූ බව සඳහන් වෙයි. තවද දෙවැනි සේන රජතුමා ලංකාවේ රාජ්‍ය කරන සමයේද මෙවැනි දුර්භික්ෂයක් පැවැති අතර, වැසි නොලබා මහා සාගත කාලයක් උදා විය. එහිදී දෙවැනි සේන රජතුමා ද ආනන්ද හිමියන්ගේ පිළිරුවක් රනින් කරවා සඟරුවන ලවා පිරිත් සජ්ඣායනා කරමින් මහ පෙරහරක් පැවැත්වූ බවද, ඉන් පසුව දුර්භික්ෂය නිම වූ බවද දීපවංශයේ සහ මහාවංශයේ සඳහන් වෙයි.
බුද්ධ භාෂිතයේ පිරිත්වල අගට කියවෙන්නේ “මේ සත්‍යානුභාවයෙන් සුවපත් වේවා” යන අදහසයි. “ඒතෙන සච්චේන සුවත්ථි හෝතු” රතන සූත්‍රයේ යෙදුම්වලින් මෙය පෙනෙයි. පිරිත් දේශනා කරන භික්ෂූන්ගේ කරුණා මහිමය, සීලය, රත්නත්‍රයේ ගුණබලය කෙරෙහි ඇති විශ්වාසයත්, සත්‍ය බලයත් හේතුවෙන් සුවයක්ම අත්වේවා යන ප්‍රාර්ථනය ශබ්දතරංගවලට මුසුවී එයින් යහපතක් උදාකරන බව බෞද්ධ විශ්වාසයයි.
පසුකාලීනව සෙත්පිරිත් දේශනාවන්හි දුක්කරදර, ලෙඩ රෝග, අපල උපද්‍රාදිය, භය විනාශ වේවා යන යෙදුම් එක්කර ඇති බව පෙනෙයි.
“විපත්ති පටි බාහාය
සබ්බ සම්පත්ති සිද්ධියා
සබ්බ දුක්ඛ විනාසාය
සබ්බ රෝගා විනාසාය
පරිතනං බ්‍රෑහි මංගලං” යනුවෙනි.
හාත්පසින්ම මනුෂ්‍යයාට පැමිණෙන අතුරු ආන්තරා වැළැක්වීමේ තත්වයක් පිරිතට ඇති බව බොදුනුවාගේ මතය වී ඇත. “පරිසමන්තෝ” කායති පාලේනීති පරිතනං” යනුවෙනි.
එමෙන්ම මේ පිරිත් ධර්මය ඇසුරු කරන ශ්‍රවණය කරන තැනැත්තන් විවිධ අන්තරායන්ගෙන් ආරක්ෂා කෙරෙයි. “මහා තේජවන්තයා සමන්තතෝ සත්තානං භයං උපද්දවං උපසග්ගංචනායතී රක්ඛතීති පරිත්තං” මහා තේජවන්ත බවෙන් යුතු පිරිත සත්වයන්ට පැමිණෙන බිය උපද්‍රව වළක්වාලීමට සමත් වෙයි යන්නය. “ධර්මය රකින්නා ධර්මය විසින්ම ආරක්ෂා කරන්නේය” යන්න මෙහිදී සනාථ වෙයි.
මිනිසාගේ සුරක්ෂිතතාවය පිණිස පිරිත භාවිත වන බව පිරිත් පොතේ ඇති ජිනපංජර පිරිතෙහිම කියවෙයි.
“රතනං පුරතො ආසි
දක්ඛිනෙ මෙත්ත සුත්තකං
ධජග්ගං පච්ඡතො ආසී
මාමේ අංගුලිමාලකං
ඛන්දමෝර පරිත්තංච
ආටානාටිය සුත්තකං
ආකාසච්ඡදනං ආසි
සේසාපංකාර සඤ්ඤිතා”
රතන, මෝර, ධජග්ග, ඛන්ධ, ආටානාටිය, අංගුලිමාල, යන පිරිත් විශේෂ ආරක්ෂිත දේශනා ලෙස සැලකෙයි. මහරහතන් වහන්සේලාගේ ගුණ සිහි කරමින් සත්‍යක්‍රියා කිරීම ජිනපංජර පිරිතෙන් සිදු කෙරෙයි.
ඡ්‍යොතිෂය හා පරිත්‍රාණ අතර සබඳතාව කෙසේද යන්න පිළිබඳවත් අපි සොයා බැලිය යුතු වෙමු. එහි අපූර්ත්වය එමඟින් වටහාගත හැකිය.
තොවිලය, බලිය, හූනියම් මඩු ආදියේ පටන් ගැන්මේදී ඇති යාතිකා කියවෙන්නේ මහපිරිතේ තාලයට මෙන් වදනින් වදනට අදිමින්ය. මුල්කාලීන යාදිනි කවි කියවෙන්නේද තාලයකට අදිමින් ඉතා ශාන්ත ගායනා විලාසයකට අනුගතවය. ඉන්පසුව පන්දම් අතට ගෙන ඉක්මන් තාල සහිත කවි කියමින් ඇදුරා පන්දම් පද නැටීම ආරම්භ කරයි. එය පිරිතෙහි වේගවත් යුග දේශනාවක් මෙනි.
මැදියම් රැයෙහි ආවේස පදවලට අනුයුක්ත වෙමින් යක් නැටුම් රඟ දක්වන්නේ ප්‍රලය වන අය ඇත්නම් ප්‍රලය කරවමිනි. එය තොවිලයේ ඇති වැදගත් කොටස දක්වන්නා සේය.
බලි යාගයෙහිද කඩතුරා ඉවතලමින් බලිය එළිදක්වා අඩව් පද අල්ලන්නේ මේ වෙලාවටමය.
හූනියම් මඩුවක නම් හත්අඩියේ දෙහි කපන්නේ උස් හඬින් මන්ත්‍ර කියවමිනි. පිරිතෙහි දම්සක් පැවතුම් සූත්‍රය ද අකුරු හඬනගා දේශනා කරන්නේ මැදියම් රැයෙහිය. එමෙන්ම තොවිලයේ කවි, බලියේ යහන් කවි, සූනියම් මඩුවේ අටමගල කවි කියවෙන්නේ රැය ගෙවී යන යාමයෙහිය. එම වෙලාවටම පිරිතේ දෙවෙනි යුග කීමේ වාරය වෙයි. තොයිලයක දහඅට සන්නිය හා කෝල සන්නිය නටන අවස්ථාව එළිවන යාමයයි.
බලියක නම් ආතුරයාට සෙත්කවි කියා සමනැටුම් තලයකට නටන්නේ මේ වෙලාවටමය. මේ වෙලාවට පිරිතෙහි ආටානාටිය සූත්‍ර බණවර දෙක කියැවෙන්නේ සුගම තාලයකටය.
තොවිල් බලි හූනියම් මඩු උදයේ අවසන් කිරීමට ඉක්මන් නැටුම් තාලයක් සහ කවි ගායනා තාලයත් අනුගමනය කරයි.
පිරිතෙහිද සෙත් පිරිත් දේශනය කරන්නේ ඉක්මන් තාලයකටය. මේ අනුව බලන කල පිරිතෙහි ඇති තාල අප රටේ සිංහල ඇදුරන්ගේ තාලවලට මුසුවී ඇති බව පෙනෙයි.
ලොව පහළවන බුදුරජාණන් වහන්සේ නමකට අයත් වනුයේ බුද්ධ ක්ෂේත්‍රයයි. මෙය වටහා ගැනීමට මේ විෂය ක්ෂේත්‍රය අපි ප්‍රථමයෙන් වටහාගත යුතු වෙමු. මෙහිදී 01. ජාති ක්ෂේත්‍රය 02.ආඥා ක්ෂේත්‍රය 03.බුද්ධ ක්ෂේත්‍රය ත්‍රිවිධව ඇති බව පෙනෙයි.
මෙහි එන ජාතික්ෂේත්‍රය නම් දසදහසක් සක්වළය. මෙහි එක් සක්වලක් යනු එක් සූර්යයෙක්, එක් චන්ද්‍රයෙක් දසදිසාවන්හි දිලිසෙමින් ගමන් කරනා තාක් තැන් නැතහොත් එබඳු දුර එක් සක්වළෙක් වෙයි. එබදු සක්වලවල් දසදහසක් ජාතික්ෂේත්‍රයට ඇතුළත් වනු ඇත.
එයද අප බෝධි සත්වයන් මව්කුස පිළිසිඳ ගත් විටද, ඉපදෙන විටද බුද්ධත්වයට පත්වන විටද, ප්‍රථම දම්සක් සූත්‍රය දෙසන විටද පිරිනිවෙන විටද , යන අවස්ථාවල කම්පා වෙයි.
කෙළ ලක්ෂයක් සක්වල අඥා ක්ෂේත්‍රය නම් වෙයි. ආටානාටිය පිරිත, මෝර පිරිත, ධජග්ග පිරිත සහ රතන පිරිත්වල ආනුභාවය මෙහි පවත්වන්නේය. මේ විෂය ක්ෂේත්‍රය නම් සර්වඥතා ඥානයට ගෝචර වූ ධර්මතා සමූහයයි. මෙහිදී “පිරිත” ආඥාක්ෂේත්‍රයට ඇතුළත් ධර්මයක් බව අප හොඳින් දැනගත යුතුමය.
පිරිත නූතන මනෝවිද්‍යාඥයන් පිළිගන්නේ” අභිචාරි” ක්‍රමයක් ලෙසය. පිරිත සමඟ සැබැඳි විවිධ වූ සංකල්ප මනෝවිද්‍යාත්මක උපදේශනයෙහි භාවිත කරයි. තෙරුවන් උදෙසා මල් පහන් සුවඳ දුම් පූජාකර තෙරුවන් නමැද දෙවියන්ට පින්දී නිවාස පරිශ්‍රයන්හි පිරිත් සජ්ඣායනා කරන අවස්ථාවලදී “ජයෝමුණින්දස්ස” ගාථාව ද එකතු කර ගැනීම අගනේමය. කිසියම් ජයග්‍රහණයක්, ආරක්ෂාවක්, අපේක්ෂාවෙන් වුවද එය කළ හැකිය. නඩුහබ ජයග්‍රහණයටද ක්‍රීඩා තරග ජයග්‍රහණයටද සුදුසුය. ජයෝමුණින්දස්ස ගාථාව නිවැරැදිව ප්‍රස්ථාර ගතකොට පිරිත්කර තඹ හෝ රන්පතක ලියා සුරයක බහාලා ගෙල පැලඳීමද ඔබට ජයග්‍රහණය අත්කර දෙන්නට පුළුවන.
එමෙන්ම “සබ්බ පාපස්ස අකරණං.......” ගාථාවද 324 වරක් පිරිත් කර එම සුරය ගෙල පැලඳීමද මහානුබලසම්පන්න වෙයි.
රතන සූත්‍රය, ආටානාටිය, ධජග්ගය, මෝර පිරිත යන පිරිත්වල බලය දස දහසක් සක්වළ පුරා පැතිරෙන්නේය. ශ්‍රී ලංකාවේ දීඝවාපී චෛත්‍යය ප්‍රතිසංස්කරණය කරන විටක චෛත්‍යයෙහි උඩ වැඩ කළ සාමණේර භික්ෂූන් වහන්සේ නමක් ලිස්සා පහළට රූටා වැටෙන අවස්ථාවක එය බිම සිට දුටු නායක හිමිනම “පොඩි නම ධජග්ග සූත්‍රය සිහිකරන ලෙස මහහඬින් පැවසූ සේක. එය ඇසුණු පොඩි සාමණේර නමට ධජග්ග සූත්‍රය සිහිවී ඇත.
පුදුමයක මහත ඒවන විටම එම චෛත්‍ය තුළින් පිටට නෙරා පැමිණි විශාල ගඩොල්කැට දෙකක කුඩා නමගේ දෙපය රැඳී නතර වූ බව කියවෙයි. මෙයින් කියවෙන්නේ ධජග්ග සූත්‍රයේ ඇති බලයයි.
චන්ද්‍ර දිව්‍යරාජයා සහ සූර්ය දිව්‍ය රාජයා නපුරු අසුරයන්ට හසු වී පීඩා විඳිවිටෙක චන්ද පිරිත සහ සූරිය පිරිත තුළින් එම බන්ධනවලින් නිදහස් විය.
සියලු රෝග සඳහා ගිරිමානන්ද පිරිත ද, දරුවන් ප්‍රසූත කිරීමේදී ගැබිනි මාතාවන් උදෙසා අංගුලිමාල පිරිත ද භාවිත කරයි.
දෙවියන් වඩාත් ශ්‍රවණයට කැමැති සූත්‍ර වනුයේ දම්සක් පැවතුම් සූත්‍රය, මහාසමය සූත්‍රය, සච්ච විභංග යන සූත්‍ර ධර්මයන්ටය .
ආටානාටිය සූත්‍රය, යකුන්, කුම්භාණ්ඩයන් වැනි අමනුෂ්‍ය කොටස්වලින් පැමිණෙන උවදුරු තුරන් කිරීමට තවද සෙත් පිරිත්, වේල්පිරිත් හෙවත් වරු පිරිත් ද තිස්පැයේ පිරිත්ද තුන්තිස් පැයේ පිරිත්ද, හත්වේලේ පිරිත් සහ සති පිරිත්ද මෙයට අමතරව ගිහි පිරිත්ද ලෙස පිරිත වත්මන්හි සංවර්ධනය වී ඇත.
සැන්දෑ භාගයේ සිට පාන්දර එළිවන ජාමය දක්වා තිස්පැයේ පිරිත ද තුන්තිස් පැයේ පිරිතද වත්මන්හි භාවිත වෙයි. පිරිත යනු සැබවින්ම සක්‍රිය දායකත්වයකි. වේලුනු කෝටු කැබැල්ලකට කොතරම් ජලය දැමීමත් එය පැළ නොවේ. එහෙත් අමු කෝටුවක් හිඳවා පස් සහ පොහොර සාත්තුකර ඊට ජලය එක්කළ විට එය පැළ වේ.
එසේම මරණාසන්නව සිටින කෙනෙකුට වඩා ජීවත්ව හොඳින් සිටින කාලයේ පිරිත් ශ්‍රවණයට යොමු කිරීම මහත්ඵල ආනිශංස ලබා ගැනීමට මහත් පිටුවහලක් වනු නොඅනුමානය.
හිටපු දුම්රිය සාමාන්‍යාධිකාරි (මෙහෙයුම්)
ඡ්‍යොතිෂ අවිශ්කාර්
ඡ්‍යොතිෂ ශිරෝමණී