නමට හිමි අංකය 7,8 හෝ 9 නම් ඔබත් මේ වගේ

අගෝස්තු 9, 2024

පසුගිය ලිපිවලින් අපි ඔබට ඔබේ නමේ අංකය සොයා ගන්නා ආකාරය දැක්වූයෙමු. අද එහි අවසන් අංක ත්‍රිත්වය ගෙන එන්නෙමු. නමෙහි අකුරුවල අගය ඉංග්‍රීසි අකුරුවලට අදාළ අංකවල අගයට හැරවූ විට ලැබෙන අවසන් තනි ඉලක්කමේ අංකය අනුව හෙළිවන ඔබේ ජීවන තොරතුරු මෙහි ඇතුළත් වේ.

ඔබේ නමට හිමි ප්‍රකාශන අංකය 7 නම්

ඔබේ නමට හිමි ප්‍රකාශන අංකය 7 නම් ඔබ ඉතාමත් බුද්ධිමත් තර්කානුකූලව හිතන පුද්ගලයකු වෙයි. ඉතා යහපත් ගතිගුණ සහ සංවේදී හදවතක් ඔබ සතුවෙයි. අන් අයගේ දුකේ දී ඉතා ඉක්මනින් කම්පාවට පත්වෙයි. දාර්ශනික ගති ලක්ෂණ ද ඔබට ඇත. විශේෂයෙන් වෘත්තීයමය වශයෙන් නීතීඥයන්, දේශකයන්, ප්‍රසිද්ධ පූජකවරුන් ආදීන් මෙන්ම තාක්ෂණික ශිල්පීන් මෙන්ම බොහෝ උපාධිධාරීන්ද මේ නාම අංකයට හිමිකම් කියනු පෙනෙයි.

ඔබට අන් අයගේ සිතිවිලි හොඳීන් තේරුම් ගැනීමේ හැකියාවක් ඇත. අන් අයව පහසුවෙන් අවබෝධ කරගන්නා ඔබ ඔවුන්ට ඕනෑ දේ අවශ්‍ය ආකාරයෙන් ඉටු කර දීමට ද ඉදිරිපත් වෙයි. එමෙන්ම වහා වැටහෙන සුලු නුවණක් ඇති ඔබ අධ්‍යාපනික අතින්ද ඉහළ දස්කම් දක්වයි. ඔබ රහස් රැකීමට ද ඉතාම දක්ෂ අයෙකි. ඔබේ සිතේ තිබෙන දේවල් ඔබ පහසුවෙන් අන් අයට හෙළි නොකරයි. කුමන කලබලකාරී අවස්ථාවක වුවද ඔබට සන්සුන් මනසකින් කටයුතු කිරීමේ හැකියාව ඇත. ඉක්මනින් කලබලයට පත් නොවෙයි. ගැඹුරු මනසක් ඇති ඔබ ඕනෑම දෙයක් විනිවිද දැකීමේ හැකියාවෙන් යුක්තය.

ඔබට සෑම දෙයක් පිළිබඳවම කුතුහලයක් ඇත. යම් දෙයක සත්‍යය සොයා ගන්නා තුරු ඒ පිළිබඳ හැදෑරීමට ඔබ ආසා කරයි. එමෙන්ම නිරන්තරයෙන් අලුත් දේවල් ඉගෙන ගැනීමට ඔබ තුළ උනන්දුවක් ඇත. විශ්ලේෂණාත්මක මනසක් ඇති ඔබ ජීවිතයේ සැඟවුණු බොහෝ ප්‍රශ්නවලට විසඳුම් සොයා ගැනීමට දක්ෂ වෙයි.

අන් අයට උපදේශනය සැපයීමට හා අවවාද උපදෙස් දීමට ඔබ ඉතාම දක්ෂකමක් දක්වයි. අනිත් අයගේ ප්‍රශ්නවලදී මැදිහත්කරුවකු වන ඔබ ඒ අයට අවශ්‍ය මඟපෙන්වීම ද කරයි. එහෙත් ඔබ මතක තබා ගත යුතු කරුණක් වන්නේ බොහෝ විට ඔබ අන් අයගේ විවේචනයට සහ උපහාසයට ලක් වීමේ වැඩි අවදානමක් පැවතීමයි. කළ හොඳ පසුපසින් පැමිණිය හැකි බව නිතර මතක තබා ගැනීම නුවණට හුරු වෙයි. කෙසේ නමුත් ඔබට මානසික අතින් හොඳ දියුණුවක් ලැබීමේ හැකියාව ඇත. සාර්ථකත්වය අතින් ජීවිතයේ ඉදිරියට යෑමේ හැකියාව ඔබ සතු වෙයි.

ඔබේ නමට හිමි ප්‍රකාශන අංකය 8 නම්

ඔබේ නාම අංකය හෙවත් ප්‍රකාශන අංකය 8 නම් මේ සඳහන් කරන කාරණාවන් ඔබගේ ජීවිතය හා සම්බන්ධව නිරන්තරයෙන් බැඳී පවතී. ඔබගේ ජීවිතයට කුමන ප්‍රශ්න ආවත් ඒ සියලුම ප්‍රශ්න විසඳා ගන්නා ආකාරය පිළිබඳ ඔබට සහජ දැනුමක් ඇත. එනම් ගැටලුවකට මුහුණ දිය යුත්තේ කෙසේදැයි නිරායාසයෙන්ම ඔබට වැටහේ. තම ආධිපත්‍යය පැතිරීමටත් මුදල් හම්බ කිරීමටත් උපන් දක්ෂතා ඔබට ඇත. සමාජය තුළ ඔබ කැපීපෙනෙන ස්වභාවයෙන් යුක්ත වෙයි. එමෙන්ම කාටත් අවශ්‍ය කරන පුද්ගලයකු බවට ඔබ නිරායාසයෙන්ම පත්වෙයි. ඔබට යම් දෙයක් දුටු සැණින් කිරීමේ හැකියාවක් පවතී ඒ වගේම අන් අයගෙන් වැඩ ගැනීමට ද ඔබ සමත්කමක් දක්වයි.

ආර්ථික කළමනාකරණය සම්බන්ධයෙන් ද ඔබට ඉතා හොඳ දක්ෂ කමක් ඇත. ජීවිතයේ ජයග්‍රහණය මෙන්ම පරාජය ද නිරන්තරයෙන් ඔබට උරුම වෙයි. එහෙත් ලැබූ අත්දැකීම්වලින් පාඩමක් ඉගෙන ගෙන එය අනාගත ජයග්‍රහණයට ඔබ යොදා ගනී. යම් ප්‍රශ්නයක් ඇති වූ විට එයට හේතුව සොයා ප්‍රතිකර්ම යෙදීම ඔබේ සිරිතයි. ලෞකික ජීවිතය හා අධ්‍යාත්මික ජීවිතය යන දෙකම සමබරව ගෙන යාමට ඔබ සමත් වෙයි. ක්‍රියාව සහ ප්‍රතික්‍රියාව යන දෙකම හොඳීන් තේරුම් ගෙන යා යුතු මඟ තීරණය කිරීමට ඔබ ඉතා දක්ෂයි.

මේ නාම අංක හිමියන් බොහෝ විට මද්‍යසාරවලට ඇබ්බැහිවීමේ වැඩි ඉඩක් පවතින බැවින් ඒ පිළිබඳ වැඩි අවධානයක් යොමු කළ යුතු වෙයි. නාම අංක 8 හිමියන් අතර කළමනාකරුවන්, සංවිධායකයන්, නිෂ්පාදකයන්, රහස් පොලිස් නිලධාරීන්, ඉංජිනේරුවන් වැනි විවිධ උසස් නිලතල හොබවන අය දක්නට ලැබෙයි.

ඔබ ඕනෑම ඉලක්කයක් ජය ගත හැකි ශක්තියකින් යුතු අයෙකි. ඔබට යම් ව්‍යාපාරයක් හෝ පටන් ගත් දෙයක් ඉතා හොඳීන් සාර්ථකව නිමා කිරීමේ හැකියාව පවතී. යම් දෙයක් පටන් ගත් විට එය සාර්ථකව අවසන් කරන තුරු ඔබට ඉස්පාසුවක් නැත. ඕනෑම අභියෝගයක් ජයගැනීමේ හැකියාව ඔබට පවතී. එමෙන්ම ඕනෑම අභියෝගයක් ජය ගැනීමට අවශ්‍ය කරන සැලසුම් ඔබ සතුව පවතී. ක්ෂණික කෝපය ඔබගේ එක් දුර්වලතාවක් ලෙස හඳුනා ගැනීමට හැකිවෙයි. කෙසේ වුවත් මේ නාම අංක හිමියන් ජීවිතේ හොඳ සාර්ථකත්වයක් ලඟා කරගනු දැකිය හැකිය.

ඔබේ නමට හිමි ප්‍රකාශන අංකය 9 නම්

ඔබගේ නාම අංකය හෙවත් ප්‍රකාශන අංකය 9 නම් ඔබ සමාජ සේවයට සහ මිනිසුන්ට උදව් උපකාර කිරීමට ඉතාමත් කැමති පුද්ගලයකු වෙයි. එමෙන්ම ඒ තුළින් මානසික සතුටක් ද ලබයි. විවිධ තරාතිරම්වලට අයත් නොයෙක් ආකාරයේ මිනිසුන් ඇසුරු කිරීමට ඔබට ලැබෙන අතර ඕනෑම කෙනකු සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමේ හැකියාවක් ද ඔබට ඇත.

ආදරය සහ ප්‍රේමය වැනි කටයුතුවලදී ඉතා අවංකව කටයුතු කරන ඔබ විවෘත හදවතකින් යුක්ත පුද්ගලයෙකි. එහෙත් දැඩි සංවේදී බව ඔබේ දුර්වලතාවයක් බව මතක තබා ගත යුතුයි. අන් අයගේ අවධානය සහ සිත් ඇද බැඳ තබා ගැනීමේ ආකර්ෂණීය ගතියක් ඔබ තුළ පිහිටා ඇත. සාහිත්‍යය, කලාව, සංගීතය වැනි දෑවලට ඔබ වඩාත් ඇලුම් කරන අතර නිතරම විනෝදයෙන් සහ සැහැල්ලුවෙන් ජීවිතය ගත කිරීමට උත්සාහ දරයි.

කාලයට ගැළපෙන ආකාරයට හැඩ ගැසීම ඔබගේ ස්වභාවයයි. ඒ අනුව තම කටයුතු සැලසුම් කරගෙන සාර්ථකත්වය උදාකර ගැනීමට සමත් වෙයි. ඔබ නිරතුරුවම පොදු සමාජයේ සමස්ත යහපත ප්‍රාර්ථනා කරන්නෙකි. තමන් කළ යුතු දේ සහ නොකළ යුතු දේ පිළිබඳ හොඳ දැක්මකින් යුතුව කටයුතු කරයි. මේ අංක හිමියන් වෘත්තිමය වශයෙන් බොහෝ විට ගුරු වෘත්තිය, දේශපාලනය, නීතිය, ආදි ක්ෂේත්‍රයන් තළ වැඩි වශයෙන් දක්නට හැකිය.

යහපත් මානුෂීය ගති ලක්ෂණවලින් පිරිපුන් සමාජශීලී පුද්ගලයකු වන ඔබ සමාජයට රටට වැඩදායක පුද්ගලයකු ලෙස නිතරම තම යුතුකම් හඳුනා ගනිමින් කටයුතු කිරීමට උත්සාහ කරයි. නීතිගරුක පුද්ගලයකු වන ඔබ අයුක්තියට අසාධාරණයට විරුද්ධ වෙයි. ජීවිතය හැකි උපරිමයෙන් නිවැරදිව ගත කිරීමට උත්සාහ කිරීම ඔබේ සිරිතයි. ආධ්‍යාත්මික ගති ලක්ෂණවලින් ද යුක්ත වන ඔබ ආගම ධර්මය කෙරෙහිද ළැදියාවක් දක්වයි.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.