සෞම්‍ය ශක්තිය ලබා දෙන චන්ද්‍ර නමස්කාරය

පෙබරවාරි 9, 2024

සද එළියේ දීප්තියෙන් ස්නානය කර, අපගේ අභ්‍යන්තරයට ප්‍රවේශ වෙන්න හැකියි. මේ වග පුරාණ යෝගීවරුන් සඳහන් කර තිබෙනවා.

සඳෙහි ශක්තිය, සියුම්, නිහඬ ධාරාවක්, මඟින් විශ්වීය සිහිනයක් හරහා ආත්මය මෙහෙයවීමක් සිද්ධ කරයි.

අප යෝග වැලඳ ගැනීමේදී, ශරීරය මනාව පෙළ ගැසෙනවා. ආසන ප්‍රගුණ කිරීමෙන් අපට මේ ශක්තිය තවත් ළඟා කරගන්න පුළුවන.

යෝග ශාස්ත්‍රයේ දී, චන්ද්‍රයා මිනිස් සිරුර තුළ ඇති සියුම් ශක්තිය එනම් “ප්‍රාණ” සමඟ සම්බන්ධ වේ. මේ ශක්තිය මනස, හැඟීම් සහ ජීව බලයේ ගලායාම පාලනය කරනු ලබයි. යෝග දර්ශනයේ චන්ද්‍රයා සහ පුද්ගලයා අතර ඇති සම්බන්ධය අපගේ මානසික හා ශාරීරික තත්ත්වයන්ට බලපාන විඥානය, චිත්තවේගයන් සහ සියුම් ශක්තීන්ගේ අන්තර් ක්‍රියාකාරිත්වය පිළිබිඹු කරයි.

භාවනාව, ආසන සහ හුස්ම පාලනය වැනි අභ්‍යාස මඟින් තමා තුළ ඇති චන්ද්‍ර ශක්තිය සමතුලිත කිරීම සහ සමපාත කිරීම චිත්තවේගීය ස්ථාවරත්වය, මානසික පැහැදිලිකම සහ සමස්ත යහපැවැත්ම සඳහා හේතු වේ.

සඳ බොහෝ විට මනසෙහි සංකේතයක් ලෙස සලකනු ලබන අතර, කෙනෙකුගේ මානසික ක්‍රියාවලීන් පිළිබඳ දැනුම්වත්භාවය සහ පාලනය වර්ධනය කර ගැනීමෙන්, පුද්ගලයන් අභ්‍යන්තර සන්සුන් භාවය සහ ඉහළ සවිඥානකත්වය ලබා ගැනීම අරමුණු කරයි. මේ දාර්ශනික ඉදිරි දර්ශනය යෝග ශාස්ත්‍රයේ සන්දර්භය තුළ සාකල්‍ය යහපැවැත්ම සඳහා මනස සහ ශරීරය ඒකාබද්ධ කිරීම අවධාරණය කරයි.

චන්ද්‍ර නමස්කාරයේ පියවර දාහතරක් තිබේ. එය චන්ද්‍රයාගේ ගමන හා සම්බන්ධ වේ. චන්ද්‍ර මාස ක්‍රමය අනුව මසකට දින 28කි. එය පුර සහ අව ලෙස කොටස් දෙකකට බෙදෙයි. පුර පක්‍ෂයට දින 14ක් සහ අව පක්ෂයට දින 14 වශයෙනි. ඒ අනුව චන්ද්‍ර නමස්කාරය පියවර දාහතරක් හඳුනා ගත හැකිය. චන්ද්‍රයාට ශක්තිය ලැබෙන්නේ සූර්යයාගෙන් නිසාම සූර්ය නමස්කාරය පියවර දොළහට අමතරව තව පියවර දෙකක් සූර්ය චන්ද්‍ර නමස්කාරයේ දී යෝගීවරුන් පුහුණු කිරීමට නිර්දේශ කරයි. එම ආසනය අර්ධ චන්ද්‍රාසනය ලෙස හඳුන්වයි.

 

චන්ද්‍ර නමස්කාරයේ පියවර 14

1. ප්‍රණාමාසනය

2. හස්ත උට්ඨානාසනය

3. පාද හස්තාසනය

4. අස්ව සංචලනාසනය

5. අර්ධ චන්ද්‍රාසනය

6. පර්වතාසනය

7. අෂ්ටාංග නමස්කාරය

8. භුජංගාසනය

9. පර්වතාසනය

10. අශ්ව සංචලනාසනය

11. අර්ධ චන්ද්‍රාසනය

12. පාද හස්තාසනය

13. හස්ත උට්ඨානාසනය

14. ප්‍රණාමාසනය

මේ පියවර 14 පුහුණු කිරීම තුළින් චන්ද්‍ර නමස්කාරය සම්පූර්ණ කළ හැකිය. මේ අභ්‍යාස දාහතර සඳ නැග එන අවස්ථාවක සන්ධ්‍යායාමයෙහි කිරීම වඩාත් සුදුසුයි.

පුහුණුවේදී ආස්තරණයක්ද භාවිත කිරීමත් එළිමහනක කිරීමත් ඉතා හොඳයි, සමතලා බිමක පුහුණු කිරීම වඩාත් උචිත වෙයි.

 

අවධානය යොමු කිරීම

චන්ද්‍ර නමස්කාරය පුහුණුවීමේදී හුස්මේ රිද්මයට සහ ශරීරයේ නම්‍යතාවයට අවධානය යොමු කිරීම වැදගත් වෙනවා.

පුහුණු වන ආකාරය

ආස්තරණය මත සෘජුව හිට ගන්න. ඔබේ වම් පාදය පිටුපසට ගෙන ආස්මතරණය මත ස්පර්ශ කරන්න. වළලුකරෙන් දිගහරින්න. පාදයෙ ඇඟිලි තුඩු සිට වළලුකර දක්වා කොටස් ආශ්තරණය මත ස්පර්ශ කරන්න. පසුව අත් ඉහළට ඔසවා අඩසඳක ආකාරයෙන් ශරීරය පිහිටුවා ගන්න. ඔබේ අවධානය සමබරතාවයට යොමු කරන්න. ඉහළ අහස දෙස බලන්න. මෙහිදී දණහිස නැමී තිබිය යුතු වෙනවා.

මන්ත්‍ර භාවිතය

චන්ද්‍ර නමස්කාරය පුහුණුවේදී මන්ත්‍ර භාවිතා කළ හැකිය. මෙහිදී විශේෂයෙන්ම අර්ධ චන්ද්‍රාසනය පුහුණුවේදී මේ මන්ත්‍රය භාවිත කළ හැකි වේ.

“ඕම් වහනිවාසින්‍යයි නම්”

මේ මන්ත්‍ර සජ්ඣායනයේදී තොල් මතුරමින් ම සජ්ඣායනා කිරීමටද පුළුවන. එසේ නැත්නම් මන්ත්‍රය මනසින් සජ්ඣායනා කිරීම වඩා සුදුසුය. අපට මෙහිදී මාත්‍රාව භාවිතා කිරීමේදී මේ මන්ත්‍රයේ කාල පරාසය ඒ සඳහා යොදා ගත හැකිය.

ප්‍රයෝජන

අර්ධ චන්ද්‍රාසනය කෙනෙකු පුරුදු කිරීමෙන් ශරීරයේ සමබරතාවය දියුණු කරගත හැකිය. එසේම මනසේ එකඟතාවය දියුණු කරගැනීමට ද හැකිය. එමෙන්ම හුස්මේ රිද්මය මනාව සකස් කරගෙන ආශ්වාස ප්‍රශ්වාස ක්‍රියාවලිය මනාව සිදුකිරීමටත් එය දීර්ඝව හුස්ම ගැනීමටත් දීර්ඝව හුස්ම පිට කිරීමටත් හුස්ම රඳවා තබා ගැනීමේ තීව්‍රතාවයත් මේ අර්ධ චන්ද්‍රාසනය ප්‍රගුණ කිරීමෙන් කෙනෙකුට වර්ධනය කරගත හැකිය.

 

ගම්පහ ව්ක්‍රමාරච්චි

දේශීය වෛද්‍ය විශ්වවිද්‍යාලයේ යෝග උපදේශක

ආචාර්ය ලීලානන්ද වික්‍රමාරච්චි

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
6 + 11 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.