අමාවකට සිදු කරන විශේෂ පූජා

අගෝස්තු 25, 2023

අමාවක චන්ද්‍රයා යැයි අප පැවසුවත් අපට පෙනෙන සඳක් එදාට නැත. අහස කට්ට කළුවරය. වටපිටාවෙහි කිසිත් ආලෝකයක් වේ නම් තරු පමණක්ම වේ. අහස මෙසේ තරුවලින් බබළන සඳ නොපෙනෙන දවස අමාවක යැයි අපි පවසමු. එකල නම් පෝය හතරටම සිල් සමාදන්වීමේ චාරිත්‍රයක් වූ බව අපි දනිමු. අද පසළොස්වක පෝ දිනයට සිල් සමාදන් වන පිරිස කෙතරම් වේද යන්න ඔබගෙන්ම විමසා බැලිය යුතුය.

අමාවක චන්ද්‍රයා අපට ඉඟි පායි. එකක් නිමාව පිළිබඳවය. එකක් ආරම්භය පිළිබඳවය. ක්‍රමයෙන් මෝරමින් වැඩෙමින් පැමිණි සඳ පූර්ණත්වයට පැමිණ නැවත හීනව අතුරුදන්ව යන දවස උදාවී ඇත. එය මාසයක නිමාවයි. එම නිමාව සමඟම නැවත එම පූර්ව ක්‍රියාවලිය සිදුවීම ආරම්භ වේ. ඉදින් මෙය විශේෂ සන්ධිස්ථානයකි. විශේෂයෙන්ම අමාවක දවසෙහි ඔබේ මුතුන් මිත්තන් පින් ගැනීමේ බලාපොරොත්තුවෙන් සිටී යැයි පැවසේ. හත් මුතු පරම්පරාව ගැන ඔබ අසා ඇතිවාට සැක නැත. ඔවුන්ගේ ආදරය මෙන්ම අනාදරයද ඔබගේ දිවිගමනට හේතුවන බව ඔබ නොදන්නවා විය හැකිය. ඔවුන් පින්පෙත් බලාපොරොත්තුවෙන් සිටින දවසක් වේ නම් ඒ අමාවකය. බෞද්ධයන් වශයෙන් මෙන්ම වේදාන්ත දර්ශනයන්ට අනුවද ඕනෑම දවසක ඕනෑම ආකාරයේ පින්දහම්වල නිරත විය හැකිය. ඒවා සියලු දෙව් මිනිසුන්ට අනුමෝදන් කළ හැකිය. කෙසේ වෙතත් සංඛ්‍යා දර්ශනයට අනුව වේදාන්ත අනුව අමාවක දවස ඒ සඳහා වඩාත් සුදුසු වන්නේ මළගිය අය එම දින ඒවා බලාපොරොත්තුවෙන් සිටින්නේ යැයි පැවසෙන හෙයිනි.

හැමදාම පින්කමක් සිදු කොට දෙවි බඹුන් මළගිය ඥාති සැමට පින් අනුමෝදන් කරන අතරම අමාවක දවසට ඒ සියල්ල නැවත මෙනෙහි කොට පින්පෙත්දීමේ කලාවෙහි යම් ප්‍රතිඵලයක් ඇති බව ඔබට අවබෝධ වන්නට ටික කාලයක් ගත විය හැකිය. භාරතියන් මේ සඳහා වෙනම ක්‍රමවේදයක් සිදුකරනු ලැබේ. ඔබට ඔබේ ආගමික දර්ශනයට අනුව කටයුතු කළ හැකිය. පන්සලට, දේවාලයට, කෝවිලට, පල්ලියට ගොස් ආලෝක පූජාවන් කළ හැකිය. පන්සලට ගොස් තලතෙල් පහන් දල්වා ඥාතීන්ට ආලෝකය ලැබේවායි ප්‍රාර්ථනය කළ හැකිය.

ඉදින් මේවාට නැකැත් කුමකට දැයි අසන්නට ඔබට සිතෙනු ඇත. නැකැත් යනු අමුතු කතාවක් නොවේ. ස්වභාව ධර්මයාගේ ක්‍රියාකාරිත්වය ගණිතමය අනුරූපයකට අනුව තේරුම් ගෙන ඊට අදාළව ක්‍රියාත්මක වීම පමණකි. අමාවක දවසෙහි ඇති වැදගත්කම විශේෂයෙන් වඩුවන් මෙන්ම ධීවරයන්ද දැන සිටී. එසේම ගොවියන්ද දැන සිටී. ඒ දැනුම සමහරුනට ආයේ ප්‍රායෝගික විමසා බැලීම අනුවය. සමහරුනට ආයේ ගණිතමය විමසා බැලීමක් අනුවය. ඒ දෙකම නොමැති අය ඒවා මිථ්‍යාවන් සේ සලකා බැහැර කිරීමෙහි පාඩුව ඔවුන් දන්නේ නම් කිසි දිනක එසේ නොකරනු ඇත. කපන ගස් වැල් දිගුකලක් රැක ගැනීමට නම් අමාවකදී ගස් කැපිය යුතු යැයි මතයක් වඩුවන් තුළ තිබිණි. එපමණක් නොව ඔවුහු ප්‍රායෝගිකව ඒවායෙහි සත්‍යතාවයද දුටුහ. වර්තමානයෙහි කෘෂිකර්මාන්තයෙහි නියැළෙන අපරදිගුවන් චන්ද්‍ර දින දර්ශනයෙන් අපට වඩා වැඩ ගන්නා බව ඔබ නොදන්නවා විය යුතුය. අවම වශයෙන් අන්තර්ජාලයේවත් ඒ පිළිබඳ සොයා බැලුවේ නම් යෙහෙකැයි මට සිතේ. ඉදින් අප පූර්වයෙහිම කතා කළේ අමාවකට මළගිය ඥාතීන් වෙනුවෙන් පින්පෙත් දීම පිළිබඳවය. අප කිසිවෙකුට යමක් ලබාදීමෙන් පසුව සමහර විටක එය ලබාගන්නා අපට ස්තුති කරනු ඇත. ප්‍රශංසා කරනු ඇත. ආශිර්වාද කරනු ඇත. ඒවා අපට වැදගත් වන්නේ යැයි ඔබ සිතුවාද? හරි එය ලබාගන්නා ඔබට කිසි ආශිර්වාදයක් කළේ නැත. ස්තූති කළේ නැත. ප්‍රශංසා කළේ නැත. ඒත් ඔබ දුන් දෙය අත්හැර දාන්නද? ඒ දුන් දෙයින් ඔබ සතුටක් ලැබුවාද එසේ ලද සතුටම ඔබට ආශිර්වාදයක් වන බව නොසිතුවේද?

ඉදින් අමාවක දවසෙහි පින් පෙත් දී ආලෝකයද පූජා කර ගෙවී ගිය මාසයෙහි කළ අකුසල් සිහිපත් කර ඒවා නැවත නොකිරීමට අදිටන් කරගන්න. කළ කුසල සිහිපත් කොට නැවත නැවත ඒවා සිදුකිරීමට අදිටන් කර ගන්න. මෙසේ නූපන් කුසල් උපදවා ගැනීමටත් නූපන් අකුසල් නූපදවා ගැනීමටත් අධිෂ්ඨාන කරන්න. අමාවක සමඟම ජීවිතයේ අඳුරු පැතිකඩ සියල්ල ක්ෂය වේවා යැයි යන ප්‍රාර්ථනා කරන්න. “චේතනාහං භික්ඛවේ කම්මං වදාමි” යන බුදුවදන අමතක නොකරන්න. එසේම ධම්ම පදයෙහි එන” මනෝ පුබ්බංගමා ධම්මා මනෝ සෙට්ඨා මනෝමයා.” යන ගාථා පාඨයද අමතක නොකරන්න. මනස, චේතනාව, ස්වභාවධර්මයේ අසිරිමත් හැකියාව එකට මුසුකොට ජීවිතය දිනන්නට පරලොව දිනන්නට උත්සාහ කිරීම වරදක් නොවේ යැයි හඟිමි.

දැන් අපි පෙරදී කතා බහ කළ සංඛ්‍යා විද්‍යාව මෙහිදී උපයෝගී කර ගනිමු. යමෙකුගේ උපන් දිනය ක්‍රමයෙන් ලියා එය නවයෙන් බෙදා ලැබෙන සංඛ්‍යාව (උපන් දිනය, මාසය, වසර තනි අංකයට ගෙන ඒමෙන්ද ලැබෙනුයේ එම පිළිතුරමය) ඔබේ කර්ම අංකය, දෛව අංකය, වාසනා අංකය වේ. ඔබට එම සංඛ්‍යාව ගැළපෙන මල්, පහන් සංඛ්‍යාවක් පූජා කළ හැකිය. යමෙකුට ලැබෙනුයේ අංක 1 නම් පහනක් හෝ මල් වට්ටියක් පමණක් පූජා කිරීම සුදුසුය. එය සිතට මදි වගේ දැනේ නම් ඔබට පහන් දහයක් මල් වට්ටි 10ක් පූජා කළ හැකිය. මෙසේ ඔබේ ගණිත ඥානය හෝ ඔබේ දෛවඥයාගේ උපදෙස් අනුව කටයුතු කිරීම තවදුරටත් වැඩදායක වනු ඇත. අමාවකට තලතෙල් පහන් දැල්වීම පොදුවේ සුබදායක වේ.

අමාවක දවස “රාහු” ග්‍රහයාට හිමිවේ. රාහු ග්‍රහයා අසුබ ප්‍රතිඵල ගෙන දෙන්නෙක් යැයි හංවඩු ගසා ඇත. “රාහු” නම ඇසු සැණින් සිහිපත් වන්නේ ස්ථාන මාරු, කලබලකාරි බව, නොසන්සුන්බව, ප්‍රචණ්ඩත්වය ආදියය. ධනය ලබාදීම, ක්‍රියාකාරි බව, ප්‍රසිද්ධිය රාහුගෙන් ලැබෙන බව ඔබට නොසිතෙන්නේ ඇයි? බොහෝ විටක උතුරු ඉන්දීය ඡ්‍යොතිෂ් ශාස්ත්‍රය විසින් අපේ ඡ්‍යොතිෂ් ශාස්ත්‍රය ආක්‍රමණය කොට ඇති නිසාවෙන් විය හැකිය. කෙසේ නමුත් දූ කෙලි, වාද, ධන ලැබීම් සඳහා රාහුගේ උපකාරිත්වය අතිමහත්ය. ඒ සියල්ල අමාවක සමඟත් බැඳී ඇති බව ඔබ නොසිතුවා විය යුතුය.

ඉදින් එය එසේය කියා අමාවකට සුබ නැකැත් යෙදේ යැයි නොසිතිය යුතුය. අමාවකට රාහු ඊසානෙහි සිටී. ඔබේ සියලු පින්කම්, වන්දනා ආදිය සිදුකොට පින්පෙත් පැමිණවීමේදි ඔබේ මනස ඊසාන දිශාවට යොමු කිරීම වැඩදායක වනු ඇත. එසේම රාහුගේ අපලයකින් ඔබ පීඩා විඳින්නෙක් නම් අමාවක දවසෙහි රාහු නියෝජනය කරන සංචාරකයන්, අන්‍ය ජාතිකයන්, මානසික ව්‍යාකූලතා ඇති වූවන් සොයා ඔවුනට සත්කාර කිරීම, ඒ පින් රාහු ග්‍රහ දෙවියන්ට අනුමෝදන් කිරීම වැඩදායක වනු ඇත. එහෙත් අමාවක දවසෙහි දේව පූජා, ග්‍රහ පූජා තැබීම බුද්ධි ගෝචර නොවේ. අමාවකට බොහෝ දෙනා බියය. සත්‍ය වශයෙන්ම අමාවක දවස ඔබේ පාප ක්ෂය කිරීමට යොදා ගත හැකිය. අ+මා+ වක එනම් හඳ නැති දවස, හඳට සම්බන්ධ වු බැවින් හඳ යැයි පවසන බව පෙර ලිපියෙහි පැවසු බව මතකය. ඉදින් හඳට සම්බන්ධ වූ අකුසල මූල උදුරා ඒවා හදින් දුරු කර කුසල මූල දියුණුූ කර හඳට සම්බන්ධ කරන අපූර්ව දවස අමාවක වේ. සිහි තබාගන්න අමාවක ගෙවුණු සැණින් උදාවනුයේ අලුත් මාසයකි.

 

 

මනෝවිද්‍යා උපදේශක,

පාරම්පරික ශාස්ත්‍රඥ හෙක්ටර් පද්මසිරි ප්‍රනාන්දු

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.