දිවි පෙ‍ෙවත සරු කරන හස්ත මුද්‍රා

අගෝස්තු 18, 2023

ඝෘෂිවරුන්ගේ පාරාදීසයක් බඳු වූ භාරතයේ දෛනික ඝෘෂි ගති පැවැතුම්වලින් ශේෂව රැගෙන ආ ඉතා අගනා යෝග ක්‍රම සහ හස්ත මුද්‍රා සමුදායක් අදටත් මුළු මහත් ඉන්දියාව පුරා පැතිර පවතියි. දුම්රිය දෙපාර්තමේන්තුවේ වාණිජ අධිකාරිවරයා ලෙස මම සේවය කළ කාලයේ ඉන්දියාවේ උත්තර ප්‍රදේශයේ ලක්නව් නගරයෙහි ලොව ප්‍රකට සෞන්දර්ය හා සංගීත විශ්වවිද්‍යාලයට නුදුරින් පිහිටි දුම්රිය ප්‍රවාහන පුහුණු පාසලේ මසකට වැඩි කාලයක් නේවාසිකව පුහුණුව ලැබීමට භාග්‍යවන්ත වූවෙමි. ඉන්දීය දුම්රිය නිලධාරීන් සමඟ ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ විධායක නිලධාරීන් පස්දෙනකු ලෙස අපි ඊට සහභාගි වුණෙමු.

පුහුණුව පැවැත්වෙන කාලසීමාව තුළ දෛනිකව නොකඩවා යෝග අභ්‍යාස පුහුණුවට කැමති අයට හිමිදිරි පාන්දර එයට සහභාගි විය හැකිව තිබිණි. එකල ප්‍රදේශය පුරා වසාගත් හිම පතනයන්, අධික ශීතලත් නිසා අප කණ්ඩායමේ අනික් නිලධාරීන්, යෝග පුහුණුවට යාමට අදිමදි කළ නමුදු මම ඉගෙන ගත් කොළඹ ආනන්ද මහා විද්‍යාලයේ බෞද්ධ සංගමයේ පෞරුෂ සංවර්ධන අංශයෙන් මූලික යෝග පුහුණුව ලබා තිබූ බැවිනුත්, පෞරුෂ සංවර්ධනයට එය ඉවහල් වන බව මා දන්නා බැවිනුත්, කෙතරම් ශීත කාලගුණික, හිතකර නොවන තත්ත්වයක් යටතේ වුවද සැතැපුම් කාලක් පමණ දුරින් පිහිටි එම යෝග පුහුණු ශාලාවට දිනපතා පයින්ම ගොස් සහභාගි වූවෙමි.

එම යෝග ආචාර්යවරයා වයස අවුරුදු 50ක 60ක පමණ පෙනුමැති එහෙත් 90 වියැති, මනා පෞරුෂයෙන් යුතු පුද්ගලයකු වීම ගැන මම මහත් විස්මයට පත්වීමි. මම එතුමා ඉගැන්වූ හස්ත මුද්‍රා ක්‍රමවලින් ප්‍රධාන ඒවා කිහිපයක් මෙහිලා විස්තර කරමි.

සාමාන්‍ය පුද්ගලයකුත්, මනසින් උසස් ආධ්‍යාත්මික ගුණ වගාවකින් හෙබි පුද්ගලයකුත් අතර වෙනසක් පවතිනුයේ ඔහුගේ හෝ ඇයගේ භෞතික ශරීරය තුළ නොව අදෘශ්‍යමාන භෞතිකව ස්පර්ශ කළ නොහැකි පුද්ගල චර්යාවන්, ගති පැවතුම්, සිතුම් පැතුම්, ආකල්ප රටා, පිළිබිඹු වන බුද්ධිය සහ නායකත්ව ගුණාංග ඔස්සේම ය.

ඇතැම් දාර්ශනිකයන් “මිනිසාව“ හඳුන්වා ඇත්තේ මිනිසා “කපා සකස් නොකළ දිය මන්තියක්” ලෙසය. එය නිසි ලෙස කපා ඔපමට්ටම් කර ගතහොත් මිනිසාද අතිසුන්දරත්වයට පත්වනු නොඅනුමානය. ඔහු හෝ ඇය එමඟින් තමාටත්, මුළු මහත් ලෝකයට ද ආලෝකයක් ගෙන දෙනු නියතයි.

කිසියම් හමුවීමකදී දෑත් එක්කොට කරන ආචාරය නමස්කාර මුද්‍රාව හෙවත් ආත්මන්ජලී මුද්‍රාව ලෙස හැඳින්වෙයි. ආසියාතිකරයේ මේ නමස්කාර් මුද්‍රාව ශ්‍රී ලංකාව, ඉන්දියාව සහ බොහෝ බොදුනු රටවල බෙහෙවින් භාවිත වෙයි.

මෙම ක්‍රමය භාවිතය තුළින් තම හැඟීම් දනවන, ස්තූතිය පිරිනැමීම, කිට්ටු සමීපතමයන් අතර සිදු කරන ආචාර, සමාචාර ක්‍රමවේදයකි. මේ සන්නිවේදන ඉරියව්ව අතිප්‍රබලය. එහි ආදරය, ස්නේහය කදිමට සිත්තම් වී ඇත.

මේ පද්ම මුද්‍රාව විකසිත නෙළුම් මල් පොහොට්ටුවක් මෙන් තම දෙයත් සකස් කර ශාස්තෲවරයකු වන්දනාමාන කිරීමට උපයෝගී කරගනී. මහපට ඇඟිලි දෙකත්, සුලැඟිලි දෙකත් යා කර මැණික් කටු දෙකත් යා කර ගැනීම සිදු වේ. මෙය මිනිස් සිරුරේ පරිපථයක් (Aura)  නිර්මාණය වන මුද්‍රාවකි. අවලෝකිතේශ්වර මුද්‍රාව ලෙස ද මෙම පද්ම මුද්‍රාවටම තවත් නමකි.

විශ්වය හරහා චුම්බක ශක්තීන් අධිවේගයෙන් ගමන් කරයි. එය සැබවින්ම තත්පරයකට සැතපුම් 186,000කි. ඉදින් මේ මිහිතලය මත ජීවත් වන මිනිසාට එම චුම්බක ශක්තීන් සෑම විටකම බලපානු ලබයි. මිනිස් සිරුර ද ශීර්ෂ කලාපය, සිරුරේ මැද කොටස, පාද කොටස සහ මුළු මහත් සිරුර පුරාද පූර්ණ ශක්තීන් ද ක්‍රියාත්මක වෙයි.

දබරැඟිල්ලේ තුඩ, මහපටැඟිල්ලේ තුඩට හේත්තු කළ විට, ශීර්ෂ කලාපය ක්‍රියාත්මක වේ. මඳැඟිල්ලේ තුඩ, මහපටැඟිල්ලේ තුඩට හේත්තු කළ විට සිරුරේ මැද කොටස් ක්‍රියාත්මක වේ.

වෙඳැඟිල්ලේ තුඩ, මහපටැඟිල්ලේ තුඩට හේත්තු කළ විට පාද කොටස් ක්‍රියාත්මක වේ.

සුළැඟිල්ලේ තුඩ, මහපටැඟිල්ලේ තුඩට හේත්තු කළවිට, සිරුරේ පූර්ණ ශක්තීන් (Total energy) ක්‍රියාත්මක වේ. විශ්වයේ සෑම මොහොතකම අකුණු සහිත කුණාටු 300ක් පමණ ඇති වෙයි. එය පෘථිවි ධාරිතාව නොවෙනස්ව පවත්වාගෙන යෑමට හේතුකාරක වෙයි.

ඉන්දියානු ක්‍රමයට අනුව, මිනිස් සිරුරේ චක්‍ර ආරම්භ වනුයේ පහළ සිට ඉහළටය. (මූලාධාර චක්‍රයේ සිට සහස්‍ර චක්‍රය දක්වාය) එහෙත් චීන ක්‍රමයට එය ආරම්භ වන්නේ ඉහළ සිට පහළටය. (සහස්‍ර චක්‍රයේ සිට මූලාධාර වක්‍රය දක්වාය.)

ඉඳින් අපි දිවිපෙවෙත සරු කරන මිනිසාගේ යහපත් සෞඛ්‍ය සඳහා ඵලදායීව හස්ත මුද්‍රා භාවිත කරන්නේ කෙලෙස දැයි සොයා බලමු. මුද්‍රා බොහොමයක් ක්‍රියාත්මක වනුයේ ඇඟිලි සහ අත්වලිනි. මුද්‍රා යනු අංග චලන (Spiritual) හෝ සහතික මුද්‍රා (Seal of authenticity) යන ශක්තීන් වෙයි.

ඉන්දියානු ආගම්වලත්, ටාඕවාදී ආධ්‍යාත්මීය පුහුණු ප්‍රතිමා විද්‍යාවේදීත් (Iconography) ඒවා යොදා ගන්නා බව පෙනෙයි. ඉදින් අපි ප්‍රධාන මුද්‍රාවන් 10ක් හඳුනාගනිමු.

01. ඥාන මුද්‍රාව -

(මහපටැඟිල්ල, දබරැඟිල්ලෙන් ස්පර්ශ කිරීම සහ අනෙක් ඇඟිලි තුන දිගහැර තැබීම)

මෙය බුද්ධියේ මුද්‍රාවයි. බුද්ධි ගුණාංග වර්ධනය කරයි. මහපටැඟිල්ල කෙළවර, පිටියුටරි සහ එන්ඩොක්රින් යන ග්‍රන්ථිවල කේන්ද්‍රීය ස්ථාන වේ. මේ කේන්ද්‍රීය ස්ථාන දබරැඟිල්ලෙන් තද කළ විට, මෙම ග්‍රන්ථි දෙක එක්ව ක්‍රියාත්මක වේ. මතක ශක්තිය හා මොළය ක්‍රියාකාරීත්වය වර්ධනය වී සිත සමාධිගත වෙයි. නින්ද නොයාමෙන්ද මිදෙයි. මෙය දෛනිකව අභ්‍යාස කරන්නේ නම් සියලුම මානසික කැලැඹීම්, මායා රෝග, කෝපය සහ අවපාතයෙන් මිදිය හැකිය.

02. පෘථිවි මුද්‍රාව -

(වෙදැඟිලි තුඩ, මහපටැඟිලි තුඩ සමඟ සර්පර්ශ කර, අනෙක් ඇඟිලි තුන දිග හැර තැබීම) මෙම මුද්‍රාව භාවිතයෙන් සියලු ශාරීරික දුර්වලතා හීන වෙයි. (දුර්වල අයගේ බර වැඩි කර ගැනීමට) සමේ වර්ණය යහපත්ව, පැහැපත්ව තබාගැනීමටත් හොඳ සෞඛ්‍ය තත්ත්වයකින් සිරුර තබා ගැනීමටත් මහෝපකාරී වෙයි.

03.වායු මුද්‍රාව -

(වෙදැඟිල්ල මත මහපටැඟිල්ල තබා අනෙක් ඇඟිලි තුන දිගහැර තබන්න.) මේ මුද්‍රාව විනාඩි 45 භාවිත කිරීමෙන් රෝගයක බරපතළකම පැය 12 සිට 24 දක්වා කාලයක් තුළ දී අඩු වෙයි. (රක්තවාතය, සන්ධි ප්‍රදාහය, ග්‍රවුට්, පාකින්සන් රෝගය සහ අංශභාගය සුව කිරීමට මෙය මහෝපකාරී වෙයි.) මෙයට අමතරව බෙල්ලේ අමාරු, මුහුණෙහි ඇතිවන විකෘතිභාවය දුරු කිරීම, ආමාශගත දැවිල්ල දුරු කිරීමට ද හැකිය.

04.වරුණ මුද්‍රාව -

(සුලැඟිලි තුඩ සමඟ මහපටැඟිලි තුඩ ස්පර්ශ කර, අනෙක් ඇඟිලි තුන දිගහැර තැබීම) මිනිස් සිරුරේ පවත්නා ජල සංයුතිය සමතුලිතව තබා ගැනීමට උපකාර වෙයි. ශරීරයට ජලය මදිකම නිසා ඇතිවිය හැකි රෝගවලින් මිදීමට මෙමඟින් පුළුවන. මස් පිඬුද ශරීරයේ ජල ප්‍රමාණයද සමතුලිත කර රුධිරයේ පැහැදිලි බව රඳවා ගැනීමටත්, මස්පිඬු හැකිළීම සහ ආමාශගත වේදනාවන් සමනය කිරීමටත් මෙය මහෝපකාරී වෙයි.

05. ශුන්‍ය මුද්‍රාව -

මැදඟිල්ලේ මුඳුනත මත මහපටැඟිල්ල තබා තද කර අනෙක් ඇඟිලි කෙළින් තැබීම පැයක පමණ කාලයක් දෛනිකව මෙම අභ්‍යාසය සිදු කිරීමෙන් මනා ප්‍රතිඵල ලැබිය හැකිය. විනාඩි 05ක් තුළ කන් කැක්කුමට සහනය ලබා දෙයි. ජන්මයෙන් ගොළු හෝ මන්දබුද්ධික අයට හැර අන් අයට මෙය ඉතා ප්‍රයෝජනවත් වෙයි. මෙයින් මිනිස් සිරුරේ අඳුරු බව අඩු කරගත හැකිය. ශරීර පැහැය ලබා දෙයි.

06. සූර්ය මුද්‍රාව -

වෙදැඟිල්ල පහළට තබා මහපටැඟිල්ලෙන් තද කරන්න. අනෙක් ඇඟිලි කෙළින් තබා ගැනීම මෙමඟින් ශරීයේ තෛරොයිඩ් ග්‍රන්ථියේ කේන්ද්‍රය සක්‍රීය වෙයි. දෛනිකව දෙවරක් විනාඩි 15 දක්වා කාලයක් අභ්‍යාසයේ යෙදුණහොත් එමඟින් ශරීරයේ කොලෙස්ටරෝල් ප්‍රතිශතය අඩුකරයි. බර අඩු කරයි. සාංකාව අඩු කරයි. ආහාර ජීර්ණ පද්ධතියේ දුර්වලතා මඟහරවයි.

07.ප්‍රාණ මුද්‍රාව -

(සුලැඟිල්ලේ සහ වෙදැඟිල්ලේ තුඩුවලින් මහපටැඟිල්ල ස්පර්ශ කිරීම, අනෙක් ඇඟිලි දෙක දිගහැර තබන්න. මෙය ජීවිත මුද්‍රාව ලෙසද හඳුන්වයි. සැබවින්ම එය ජීවිතයේ බලය වැඩි කරයි. රුධිර නාලිකාවලට ඇතිවන බාධා (ඛ්පචථනඵ) අඩු කරයි. ප්‍රතිශක්තීකරණය වර්ධනය කරයි. ඇස් රෝගවලින් ආරක්ෂා වීමට ඉන් මිදීමටද මහෝපකාරී වෙයි. මහන්සි ගතිය ඉවත් කිරීමටද (විටමින් ඌනතාවයෙන් ඇතිවන) මේ මුද්‍රා භාවිතා කරයි.

08. ආපන මුද්‍රාව -

මැදැඟිල්ල සහ වෙදැඟිල්ල, මහපටැඟිලි තුඩ සමඟ ස්පර්ශ කර අනික් ඇඟිලි දෙක දිගු කර තැබීම. දෛනිකව විනාඩි 45ක් ක්‍රියාත්මක කිරීම තුළින් දියවැඩියාව පාලනය, මළ බද්ධය සහ අර්ශස් සුව කර ගැනීමටත්, මළ පහ කිරීමේ හා මුත්‍රා පහ කිරීමේ ක්‍රියාවලිය විධිමත් කිරීමටත් මේ මුද්‍රා භාවිතයට ගත හැකි ය.

09. ආපන වායු මුද්‍රාව -

මැදැඟිල්ලේ සහ වෙදැඟිල්ලේ තුඩුවලින් මහපටැඟිල්ලේ තුඩ ස්පර්ශ කර දබරැඟිල්ලේ තුඩෙන් මහපටැඟිල්ලේ මුල ස්පර්ශ කර සුලැඟිල්ල දිගු කර තබන්න. මෙම අභ්‍යාසයේ නිරත වීම හදවතට ප්‍රයෝජනවත්ය. එමඟින් හෘද වේදනා අඩු කරලීමට උපකාර වෙයි. හෘද රෝග පාලක බෙහෙත් පෙත්තකට වඩා හදවතට ගුණදායකය. ශරීරයේ ඇති කරන වාතය අඩු කරයි. හෘද රෝගීන් සහ රුධිර පීඩනය ඇති පුද්ගලයන් දිනකට දෙපාරක් මේ මුද්‍රාව භාවිත කරන්නේ නම් යහපත් ප්‍රතිඵල ලබාගත හැකි වනු ඇත. හදවතේ ගැස්ම ස්ථාවර කිරීමටත්, මළපහ කිරීමේ ක්‍රියාවලිය ක්‍රමවත් කිරීමටත් ආමාශීය අමාරුකම්වලින් මිදීමටත් මෙම මුද්‍රාව උපයෝගී කරගත හැකිය.

10. ලිංග මුද්‍රාව

අත් දෙකේම ඇඟිලි හිර කරගෙන, වම් අතේ මහපටැඟිල්ල කෙළින් අතට තබා දකුණු අතේ දබරැඟිල්ලෙන් මහපටැඟිල්ල වටකර ගන්න. මෙම අභ්‍යාසය කිරීමේදී වඩාත් හොඳ ප්‍රතිඵල ලබා ගැනීම සඳහා කිරි, ගිතෙල් පලතුරු වැනි විටමින් අනූන ආහාරත්, වැඩි ජල ප්‍රමාණයක් බීමට ගන්න. එය ශරීරයේ උෂ්ණත්වය නිපදවාලීමක් සිදු කරයි. පෙණහලුවලට ශක්තිය ලබාදෙන අතර සෙම් ප්‍රමාණය අඩු කරයි. සෙම්ප්‍රතිශ්‍යව, ශ්වාසනාලිකා ප්‍රදාහය සුවකරයි. සිරුර ප්‍රාණවත් කරයි.

මේ මුද්‍රා ක්‍රම නිවැරැදිව භාවිත කිරීමෙන් කිසිදු අමතර මුදලක් වැය නොකොට මුළු දිවි පෙවෙතම සරුකර ගත හැකි වනු නොඅනුමානය. තවද මේ ඕනෑම මුද්‍රාවක් දවසේ ඕනෑම වේලාවක, ඕනෑම ස්ථානයකදී ඉතා පහසුවෙන් කළ හැකි වීමද ඉතා වැදගත් වෙයි.

 

හිටපු දුම්රිය සාමාන්‍යාධිකාරි (මෙහෙයුම්)

ඡ්‍යොතිෂ /වාස්තු පර්යේෂක

ඡ්‍යොතිෂ ඩිප්ලෝමා /ඡ්‍යොතිෂ උසස් ඩිප්ලෝමාධාරි

ඉන්දීය චන්දිගාර් විශ්වවිද්‍යාලය

අනුබද්ධ ශිරෝමනී උපාධි විද්‍යාර්ථි

ඡ්‍යොතිෂවේදී ආචාර්ය

විජය සමරසිංහ

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
10 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.