වර්ෂ 2024 ක්වූ December 20 වැනිදා Friday
තොටේ යකාගේ කතාව
විජය කුමරු ලංකාවට පැමිණෙන විට, යක්ෂ ගෝත්‍රිකයන් ලංකාවේ ජීවත් වූ බව මහාවංශයේ සඳහන් වේ. යක්ෂයන් පිළිබඳ තොරතුරු සපයන තවත් සාහිත්‍ය මූලාශ්‍රයක් වන්නේ, කුරුණෑගල යුගයේදී ලියැවුණ පන්සිය පනස් ජාතක පොතයි.
ජාතක කතා තුළ යක්ෂයන්ගේ චරිත හා ක්‍රියාකාරකම් ජාතක කතාකරුවා මැනවින් නිරූපණය කිරීමට දක්වා ඇත්තේ අපූරු දක්ෂතාවයකි. ජන ශ්‍රැතිය තුළද යක්ෂයන්ගේ චරිත ඇතුළත් කතා පුවත් බහුලය.
ඔරුතොට වැල්ල ග්‍රාමයේ තොටුපොළට අරක් ගත්, අමනුෂ්‍යයකු, එම ගම්වැසියන්ට විවිධ පීඩා ගෙන දුන්නා පමණක් නොව රාත්‍රියේදී ගඟෙන් එතෙරවීමට ගිය මිනිසුන් ද බිළිගත් බවක් සඳහන් වේ. තොටුපොළට අරක්ගත් මේ අමනුෂ්‍යයා ගැමියෝ ‘තොටේ යකා’ නමින් හැඳින් වූහ. කල්යාමේදී තොටේ යකාට ඇති බිය නිසාම රාත්‍රියේදී ඔරුවෙන් ගමන් කිරීම ගැමියෝ මුළු මනින්ම නවතා දැමූහ. එය එසේ වුවද, එක් පුද්ගලයකු පමණක් තොටේ යකා මායිම් නොකර රෑ මැදියමේ වුවද ඔරුවෙන් ගමන් කිරීමට තරම් නිර්භීත විය. ඔහු කොත්මලේ ගුරුන්නාන්සේ නම් විය.
මනා උස මහතින් සහ හැඩි දැඩි පෙනුමකින් යුත් කොත්මලේ ගුරුන්නාන්සේ මුල් කාලයේ දී හැඳින්වූයේ කොත්මලේ ‘ගණිතයා’ යන නමිනි. යන්ත්‍ර මන්ත්‍ර කටයුතු සඳහා දැක් වූ උපන් හපන්කම් නිසාම ‘සිකුරාජපති’ යන ගෞරව නාමයෙන් පිදුම් ලද මොහුට රජතුමා රාජකීය දෛවඥ තනතුර ද පිරිනමා තිබුණි.
රජතුමාගේ නැකැත් කටයුතු ඉටුකර දීම සඳහා කොත්මලේ ගුරුන්නාන්සේ මාලිගයට යෑම් ඊම් කරන ලද්දේ, ගම්පල උලපනේ මාවතුර හරහා වැටී ඇති මාර්ගයක් ඔස්සේ ය. කඩ දොරට පැමිණෙන ගුරුන්නාන්සේ, ඔරුතොටවැල්ල නම් ස්ථානයෙන් ඔරුවට ගොඩ වී තිස්පනේ හරහා ගමන් කළේ ය. එක් ඇසළමාසයක කොත්මලේ ගුරුන්නාන්සේට රාජමාලිගයෙන් පණිවිඩ පතක් ලැබුණි. ඒ රාජ සභාවේ ඔහු විසින් කළ යුතු කටයුතු සඳහා එන ලෙසය. මේ වන විට ගුරුන්නාන්සේගේ රූමත් බිරිඳ ප්‍රථම දරු ප්‍රසූතිය සඳහා සූදානම් වෙමින් සිටියාය. එම කටයුතු සඳහාද තිබුණේ තවත් මාස දෙක තුනක් වැනි සීමිත කාලයකි. රාජ සභාවේ වැඩ කටයුත්තක් නිසා අකැමැත්තෙන් වුවද ගුරුන්නාන්සේට ඇය නිවෙසේ තනිකර සේවයට යාමට සිදුවිය.
රාජ සභාවේදී තමාට පැවරුණු වැඩ කටයුතු නිම කළ ගුරුන්නාන්සේ සන්ධ්‍යාව එළැඹී තිබුණද මාලිගාවේ නතර නොවී, ආපසු නිවෙසට ඒම සඳහා මඟට බැස්සේ ය. ඇසළ සඳ ක්‍රමයෙන් අහස් ගැබේ මෝරා වැඩෙත්ම, රාත්‍රී කළුවර සේදී ගොස් රාත්‍රිය දහවලක් මෙන් ඒකාලෝකව තිබුණි. එහෙත් එම ආලෝකය මධ්‍යයේම කිසියම් නුහුරු නුපුරුදු ගුප්ත බවක්ද සැඟව ඇතැයි ගුරුන්නාන්සේට සිතුණි.
තොටුපළට පැමිණි ගුරුන්නාන්සේ වටපිට බලා මහා හඬින් හූවක් නැඟුවේ අතීතයේ සන්නිවේදන ක්‍රමයේ එක් අංගයක් ලෙස හු හඬ යොදාගත් නිසාය. පිළිතුරු හූව ඈතින් ඇසෙන්නට විය. මඳ වේලාවකින් හුළු අත්තක් දල්වාගෙන ඈතින් තොටියා එන අයුරුද දිස්වන්නට විය. තොටුපළට පැමිණි තොටියා, පළමුව හුළු අත්ත බිම ගසා නිවා දමා ඔරුව දියඹට තල්ලු කළේ ය. ඉක්බිති ඔහු ගුරුන්නාන්සේගේ මුහුණ බැලීය. “හොඳටෝම රෑ බෝ වුණා... ඉක්මනට යමං....” ගුරුන්නාන්සේ තොටියාට අණ කළේ ය. කිසිවක් නොකී තොටියාද වේගයෙන් හබල් ගාන්නට පටන් ගත්තේ ය. වේගයෙන් ගඟ මැදට ඔරුව ගමන් කරන විට ගුරුන්නාන්සේගේ සිත අනියත බියකින් හා සැකයකින් පිරී ගියේ ය. එබැවින් ඔහු තොටියාගේ ශරීර ඉරියව් මැනවින් නිරීක්ෂණය කළේ ය. ගුරුන්නාන්සේගේ සිතට අතීත සිදුවීම් රැසක් ගලා ආවේ ය. ගඟ මැදට පැමිණි ඔරු කඳ ගැස්සෙයි. සඳ එළියෙන් අවට සෙවණැලි ගඟ දිගේ කදිමට සිත්තම්ව ඇත. ඔරුවේ හෙවණැල්ලත් තම හෙවනැල්ලත් ගඟ දිය මත දිස්වෙයි. එහෙත් ඔරුව පදවන තොටියාගේ හෙවනැල්ල ගඟ දියේ සලකුණුව නැත. ගුරුන්නාන්සේගේ සිතේ මෝදු වූ සැකය තහවුරු විය. මඳක් කල්පනා කළ ඔහු වේලාවේ හැටියට තමා දැන උගත් ශිල්පයෙන්ම තම ජීවිතය බේරා ගැනීමට සිතට ගත්තේ ය.
“කොල්ලො... මට අද දවසටම පැඟිරි බෝය පුරන්න (බුලත් විඩ කන්න) බැරි වුණා.” කියමින් ගුරුන්නාන්සේ ඉනේ රඳවාගෙන තිබූ බුලත් මඩිස්සලය අවුස්සන්ට විය. තොටියාට පෙනෙන සේ දුනු පිහියක් ද ඇදගත් ගුරුන්නාන්සේ මඩිස්සලයෙන් තෝරාගත් පුවක් ගෙඩියක ‘කුරුට්ට’ ඉවත් කරන්නට පටන් ගත්තේ ය. ටික වේලාවකින් එය ඔහු අතින් නොදැනී වැටෙන ආකාරයක් පෙන්වමින් ඔරුව මැද්දට වැටෙන සේ ඇඟිල්ලක් ලිහිල් කළේ ය. පුවක් ගෙඩිය රූටා ගොස් හරියටම ඔරුව මැද නතර විය. “ඔන්න... බං මට ඔය පුවකෙ ඇහිඳල දියංකො...” කියූ ගුරුන්නාන්සේ ක්ෂණිකවම තොටියාට නොපෙනෙනසේ ඉනේ රඳවාගෙන තිබූ ජීවම් කරන ලද ඉතා සිහින් තඹ කූරක් මිට මොලවා ගත්තේ ය.
තොටියා පහත් වී ඔරුව මැද වූ පුවක් ගෙඩිය ගන්නට සැරසුණා පමණි. පහතට නැඹුරු වූ තොටියාගේ හිස මැද්දෑවට වේගයෙන් තඹ කුර ඇන්නේ ය. එය තොටියාගේ හිස මැදට ගිලා බසිත්ම ඔහුගේ මුවින් මහා හූ හඬක් ගලා ගියේ මුළු ගංතුලාන දෙවනත් වන පරිදිය. ගුරුන්නාන්සේ කිසිදු බියක් චකිතයක් නැතුව මහා හඬින් මන්ත්‍රයක් ජප කරන්නට විය. ක්‍රමයෙන් හූ හඬ මැකී ගිය අතර, ඔරුව ද එහා තොටුපළට සේන්දු විය. තොටේ යකා දැන් පොඩි දරුවකුගේ ගානට මෙල්ල වී හමාරය.
මෙතෙක් රෑ පානේ, ගඟෙන් එගොඩ මෙගොඩ යාමට ඊටම පැමිණි අහිංසක මිනිසුන් බිලිගත් භයංකර තොටේ යකා ගුරුන්නාන්සේගේ මන්තර බලයට සිය බල පරාක්‍රමය හැර දමා ඇත. එපමණක් නොව, ඔරුවෙන් බැස ගත් ගුරුන්නාන්සේගේ දෙපාමුල වැඳ වැටී මහා හඬින් අඬන්නටද බැගෑපත් වන්නට ද විය. “අනේ... අනේ ගුරුන්නාන්සේ... මාව නිදහස් කරන්න... මට යන්න ඉඩ අරින්න.....” කිසිවක් නොකී කොත්මලේ ගුරුන්නාන්සේ, තම නිවෙස බලා පිය නඟන්නට විය. කිසිවක් කර කියා ගත නොහුණු තොටේ යකාද ගුරුන්නාන්සේගේ පසුපසින්ම ගමන් කළේ ය.
පාළු කළුව දිගෑදෙන යාම වන විට ගුරුන්නාන්සේ සිය නිවහනට පැමිණියේ ය. ඉක්බිති ගැබ්බර බිරිඳට කතා කළේ ය.... “ඔහේ කිව්වා නේ..... වැඩට පලට කවුරු හරි හිටියා නං හොඳයි... කියල... මේ ඉන්නවා.... හාදයෙක්, මූට කියල ඕන වැඩක් පලක් ගන්න....” බිරිඳ කිසිවක් පැවසුවේ නැත. පැමිණි තැනැත්තා දිහා ඔහේ බලා ගෙන සිටියාය. “හ්ම්.... උඹ දැං..... පලයං.... ගෙයි පිටිපස්සේ... මඩුවට..... ඒකෙ පරණ ඇඳක් ඇති. නිදිමත නං නිදා ගනිං....”
ගුරුන්නාන්සේගේ අණ පරිදි යක්ෂයා ගෙයි පිටිපස මඩුවට ගොස් නිදා ගත්තේය. පසු දින සිට තොටේ යකා ගුරුන්නාන්සේගේ බිරිඳගේ මෙහෙකරුවා බවට පත් විය. කුඹුරු කෙටීම්, දිය ඇදීම්, දර පැලීම්, වී කෙටීම් ආදී දහසකුත් එකක් වැඩ අලුත් මෙහෙකරුවාට පැවරුණි. පැවරූ හැම වැඩක්ම මෙහෙකරුවාද කිසිදු අලසකමකින් තොරව ඉටු කළේ ය.
නොසිතූ නොවිරූ ලෙස තමාට අත් වූ ඉරණම පිළිබඳ කල්පනා කළ තොටේ යකාද ඉන් ගැළවෙන මාර්ගයක් පිළිබඳ නිතර සිතුවේය. හදිසියේම සෙංකඩගල පුරවරයට යාමට ගුරුන්නාන්සේට සිදු විය. මේ බව තේරුම් ගත් තොටේ යකා එදිනම හවස දර කැඩීමට කැළයට ගියේ ය.
“හාමිනේ.... ගේ හරියෙ.... දර කෑල්ලක් නෑ.... දර ඩිංගිත්තක් බිඳං එන්න මං කැළේ රිංගනවා..... නැත්තං ගුරුන්නාන්සේ.... මට ආඩපාලි කියාවි.....” එසේ කියූ යක්ෂයා කැලයට ගොස් දර මිටියක් ද කඩා ගෙන නිවෙසට පැමිණ, එය දර මඩුවේ දමා කෙඳිරි ගාමින්, ගුරුන්නාන්සේගේ බිරිඳ ඇමතීය.
“හාමිනේ.....”
“ඇයි....?”
“මගේ ඔළුව රිදෙනවා......”
“ඒ මක් වෙලාද?”
“මං කැලේ දර බිඳින කොට ඔළුවෙ මොකක්ද ඇනුණා..... දැන් ඉවසන්න බැරි තරමට කැක්කුමයි.....”
“මෙහෙ වරෙං.... බලන්න....”
යක්ෂයාද ගුරුන්නාන්සේගේ බිරිඳ ඉදිරි පිටට ගොස් මහා හඬින් කෙඳිරි ගාමින් ඇයගේ දෙපතුළ ළඟ ඇනතබා ගත්තේ ය.... “මේ.... මේ හරියෙ..... තමයි.... ඇනුණෙ.....” යක්ෂයා හිස මැද අතගාමින් කීය.
ගුරුන්නාන්සේගේ බිරිඳ සිය මෙහෙකරුවාගේ හිස පරීක්ෂා කළා ය. ඇයට ඔහුගේ හිස මැද තිබුණ කූර නෙත ගැටුණි. කිසිවක අගක් මුලක් නොදත් ගුරුන්නාන්සේ බිරිඳ තඹ කූර සෙමෙන් අතින් ඇද ඔළුවෙන් ඉවතට ගත්තාය. මෙතෙක් මිනිස් වේශයෙන් සිටි යක්ෂයාගේ හැඩරුව වෙනස්ව ගොස්, යක්ෂයෙකුගේ අඟ පසඟ ඉස්මතු විය. මුඛය දෙපස දළ යුවළ, භයංකර රතු පැහැ ඇස් ගෙඩි, පමණක් නොව මුළු සිරුර පුරාම ඝනකම ලෝමද දැක ගත් ගුරුන්නාන්සේගේ බිරිඳ සිහිසන් නොමැතිව ඇද වැටුණාය. ඇද වැටුණ ගැහැණියගේ බොටුව කඩා ලේ බිව් යක්ෂයා කුස පලා එහි උන් දරුවාද රැගෙන කා දැමීය.
ගුරුන්නාන්සේ යළි නිවෙසට පැමිණෙන විට සියල්ල සිදු වී හමාරය. ඔහුට තමා අතින් වූ බලවත් වරද වැටහුණේ එවිටය. හිත හදාගත් ගුරුන්නාන්සේ තම බිරිඳගේ අවංමගල චාරිත්‍ර ඉටු කළේ ය. යක්ෂයා යළිත් ඔරුතොට වැල්ලේ සැඟව සිට මිනිස් ජීවිත බිලි ගැනීම ආරම්භ කළේ ය. ගැබ්ගත් කාන්තාවන් සොයා ගොස් ඔවුන් මරා කුස තුළ හුන් දරුවන් විනාශ කිරීම නිසා මුළු ගමම කැලඹීමට පත් විය.
ගමේ මිනිසුන් ගුරුන්නාන්සේට සිදුවෙමින් පවත්නා ව්‍යසනය අඩුවක් පාඩුවක් නැතුව විස්තර කළහ....
“හරි උඹලා... බය නොවී හිටපල්ලා. මං ඕකට ආයිත් බිලි ගන්න ඉඩ තියෙන්නෙ නෑ” කියූ ගුරුන්නාන්සේ යක්ෂයා බැඳ දැමීමට පේ විය.
ඔරුතොට වැල්ලට ගිය ගුරුන්නාන්සේ මන්ත්‍ර ජප කර, සැඟවී හුන් යක්ෂයා කැඳවා ගත්තේ ය. යක්ෂයා සුපුරුදු පරිදි බැගෑපත්ව ආයාචනා කරන්නට විය.
“උඹ කරල තියෙන දේවල්වලට සමාව දෙන්න බෑ... දැං තොගේ අවසානේ.... අර පේනවා නේද. තොටුපොළ අයිනෙ තියෙන ඇටඹ ගහ.... ආං එතැන්ට තියල උඹේ ආත්මෙ.... සදහට බැඳල දානවා....” එසේ කියූ කොත්මලේ ගුරුන්නාන්සේ යළිත් ජීවම් කිරීම පටන් ගත්තේය.
තවත් හෝරාවකදී යක්ෂයාගේ රුව වසාගෙන මතු වූයේ දුමාරයකි.... ගම දෙවණත් වන හූ හඬ මැද යක්ෂයාගේ ආත්මය ඉවුරේ තිබුණ ඇටඹ ගසේ බැඳ දැමූ ගුරුන්නාන්සේ තොටේ යක්ෂයාගේ බල පරාක්‍රමය සදහටම නිමා කළේ ය. එතැන් සිට ඔරුතොට වැල්ල අසලදී කිසිවකුට අමනුෂ්‍ය උපද්‍රවයක් සිදු වී නැත.