සම පැහැපත් කරන ඉදිමුම්-ඇස්රෝග නසන ඇට්ටේරියා

සැප්තැම්බර් 13, 2024

 

“අම්මේ... බලන්නකෝ මේ ඇට්ටේරිය මල්වල සුවඳ. ගහ පුරාම මල් පිපිලා .පළාතම සුවදයි.

“ඔව් දුවේ .ඇට්ටේරිය මල් පිපුනම හැම තැනම සුවදයි. මම ඔය ගහ හිටවල දැන් අවුරුදු 10 ක් විතර වෙනවා.”

“හැබැයි අම්මේ මල්වල සුවඳ විතරක් නෙවෙයි ඇට්ටෙරියා ඖෂධීය වශයෙනුත් වැදගත්.”

“ඉතින් දුවේ ඔයා වෙදකම ඉගෙන ගන්නව නේ. ඒ නිසා ඔයා ඒ ගැන හොඳට දන්නව ඇතිනේ”

“ඔව් අම්මේ ඒ නිසා තමයි මම කිව්වෙ.ඇට්ටේරියා ඖෂධීය වශයෙනුත් වැදගත් කියල

අම්ම දන්නවද? දේශීය වෛද්‍ය ක්‍රමයේ වගේම ආයුර්වේද වෛද්‍ය ක්‍රමයේත් ඖෂධ සඳහා යොදා ගන්න ශාක විශාල සංඛ්‍යාවක් තියෙනවා. හොඳින් කල්පනා කරලා බැලුවොත් මේ මහ පොළොවේ වැවෙන සියලුම ශාක ් කුමන හෝ රෝගයකට යොදනු ලබන ඖෂධ යෝගයක අඩංගු වෙන්න පුළුවන්.

ඉතින් ඒ අතුරින් බාහිර සහ අභ්‍යන්තර වශයෙන් යොදා ගන්නා ඖෂධ යෝග සඳහා ගනු ලබන ඖෂධ ශාක අතරට මේ ඇට්ටේරියා ශාකයත් අයිති වෙනවා.

ඒකට හේතුව ඇට්ටේරියා ගසෙන් ගනු ලබන ඖෂධාංගවලින් සකස් කළ ඖෂධ යෝග කිහිපයක්ම දකින්න ලැබෙන නිසායි.”

“දුවේ මේ ඇට්ටේරියා ගස් වෙන රටවලත් වැවෙනවා නේද?”

ඔව්... අම්මේ ඉන්දියාවේ හිමාල අඩවියේ සහ බෙංගාලයේ දකින්න පුළුවන්. ඒ වගේම මියැන්මාරයේ..මලයාවේ සහ ඕස්ට්‍රේලියාවේත් වැවෙන ශාකයක්.

දේශීය වශයෙන් ශ්‍රී ලංකාවෙ පහතරට තෙත් කලාපයේ සුලභව වැවෙන ශාකයක්.වියළි කලාපයේත් මීටර් 1000 දක්වා උස් ප්‍රදේශවල වැවෙනවා.”

එතකොට ඇට්ටේරියා අලංකාර පඳුරක් හෝ කුඩා ගසක් විදියට පවතින්නේ. ඒ වගේම කුඩා බීජ මඟින් ව්‍යාප්ත වන ගසක්... මේ ගස්වල අතු පහළට එල්ලා වැටෙන ස්වභාවයෙන් යුක්තයි... ගසේ පොත්ත සිනිඳුයි. මඳ බූවකින් යුතුයි. අඳුරු සුදු පාටින් යුක්තයි..ඇට්ටේරියා ගස්වල අවුරුද්ද පුරාම මල් හටගන්නවා. මල් සුදු පාටයි. ඉතාමත් සුවඳයි.

ඒ වගේම ඇට්ටේරියා ලීය ඉතා ශක්තිමත් ගතියෙන් යුතු නිසා වීවිධ දේවල්වලට යොදා ගනු ලබනවා

විශේෂයෙන් රුක් කලාවන් සඳහාත්, බස්තම් සකස් කිරීම සදහාත් යොදා ගන්නවා. ඒ වගේම ඇත් දල පාට ලීය කෘතීම ඇත් දල සෑදීමටත් යොදා ගනු ලබනවා. ඒ වගේම තමයි. මේ ඇට්ටේරිය ගස් දැඩි නියඟයන්ට පවා හොඳින් ඔරොත්තු දෙනවා. හැබැයි ඉන්දියාවේ වැවෙන ඇට්ටේරියා ගස්වලට වඩා ශ්‍රී ලංකාවෙ වැවෙන ඇට්ටේරියා ගස් වල සුළු වෙනස්කම් කිහිපයක් දකින්න පුළුවන්.”

“දුවේ මේ ඇට්ටෙරියාවලට ඇටවීර කියලත් කියනව නේද?”

“ඔව්... සිංහල භාෂාවෙන් ඇට්ටේරියා සහ ඇටවීර කියන නම් දෙකම කියනවා.

කැලයේ තියෙන ශක්තිමත්ම ගස හෙවත් තද කඳක් ඇති නිසා මෙසේ හදුන්වනු ලබනවා. සංස්කෘත භාෂාවෙන් කාෂ්ඨවීරා..වීරසාර..කාමිනී..ඒකාංගී යන නම් යෙදෙනවා.

හින්දි භාෂාවෙනුත්

වීරසාර නම යෙදෙනවා

වංග භාෂාවෙන්

කාමිනී නම යෙදෙනවා

ඉංග්‍රීසි භාෂාවෙන් ඇට්ටේරියාවලට Honey bush සහ Orange jesmin  , නම් යෙදෙනවා. ඇට්ටේරියාවල උද්භිද විද්‍යාත්මක නාම වන්නේ Murraya paniculata (L)
 

Murraya exotica Linn  ආදියයි.

ඇට්ටේරියාවල කුලය වන්නේ

RUTACEAE හෙවත් ජම්බීර කුලයයි.

ඒ වගේම ඇට්ටේරියාවල ප්‍රභේද 3 ක් තියෙනවා

1 ශ්වේත- සුදු

2 ශ්‍යාම-සුදු කළු මිශ්‍ර

3 කපිල-මඳක් රතු වශයෙන්

මේ අතුරින්

1ශ්වේත ඇට්ටේරියා

තික්ත රසයෙන් සහ ශීත වීර්‍යයෙන් යුක්තයි. එසේම පිත් දැවිලි නසන බලකාරක සහ රුචිය වඩන ගුණයෙන් යුක්තයි. එසේම ශරීරය පැහැපත් කරන අතරම හික්කා..ඉදිමුම්..සහ විසර්ප නසන ගුණ යුක්තයි

2 ශ්‍යාම ඇට්ටේරියා

රසයෙන් තික්තයි. වීර්‍යයෙන් උෂ්ණ සහ විපාකයෙන් කටුකයි.

වාතය සහ සෙම නසනවා. එසේම බඩගින්න වැඩි කරන අතර අජීර්ණ, ඉදිමුම් සහ අතීසාර පහකරනු ලබනවා

3 කපිල ඇට්ටේරියා

රසයෙන් තික්තයි. වීර්‍යයෙන් ශීතයි.වාතය සහ පිත නසනු ලබනවා ඒ වගේම වමනය, හික්කාව සහ ගැබ් නසන ගුණයද මෙහි පවතිනවා”

“එතකොට දුවේ ඇට්ටේරියාවල ගුණාගුණ කොහොමද? අපි මල් පූජා කරන්න ගන්නව විතරයිනේ...”

“අම්මෙ ඇට්ටේරියාවල පොදුවේ ගත්තාම

රසයෙන් කටුක... තික්ත සහ කෂාය රසයි.

ගුණයෙන් ලඝු සහ රූක්ෂයි.

වීර්‍යයෙන් උෂ්ණ යි

විපාකයෙන් කටුක යි

මේ නිසා වාතය, පිත සහ සෙම කියන තුන් දොසම සමනය කරනවා .

ඒ වගේම බඩගිනි වඩන,අරුචි නසන, බලකාරක සහ ගර්භ ස්‍රාව ජනක ගුණයෙන් යුතු නිසා ඉදිමුම්..කුෂ්ඨ..සුදු කබර ..වමන..අජීර්ණ. අතීසාර..උණ ..හික්කා..දැවිලි. ආමවාත..හිස්ටීරියා, පණු අමාරු ආදි රෝගාබාධ රාශියකට විශේෂ ගුණ ගෙන දෙනවා

මේ සඳහා බොහෝ ගුණ දෙන ඇට්ටේරියා අඩංගු ඖෂධ යෝග රාශියක් දේශීය වෛද්‍ය ක්‍රමයේ වගේම ආයුර්වේද වෛද්‍ය ක්‍රමයේත් දක්නට ලැබෙනවා

ඒ අතුරින් කිහිපයක් මම කියන්නම්

* ඇස් රෝග වලට

ඇට්ටේරියා දළු තම්බා ඇස් සෝදනු ලබනවා

*දේශීය කැඩුම් බිදුම් ප්‍රතිකාර සදහා

. ඇට්ටේරියා කොළ සහ පොතු යොදා ගනු ලබනවා

*ගෘධ්‍රසි ඇතුළු වාත රෝගවලදි

ඇට්ටේරියා පොතු වෙනත් ඖෂධ සමඟ යොදනු ලබනවා

උලුක්කු. කැඩුම් බිදුම් සහ ඉදිමුම්වලදී

ඇට්ටේරියා කොළ හා පොතු අමු කහ සහ ලුණු දමා කොටා මලවා බදිනු ලබනවා

සන්ධි ඉදිමුමට

ඇට්ටේරියා කොළ සහ යුෂ එරඬු ඇට, අබ, තල සමඟ අඹරා පත්තුව සාදා ගානු ලබනවා

*සර්ප විෂට

ඇට්ටේරියා දලු යුෂ නස්න සඳහා යොදා ගන්නවා

අධි රුධිර පීඩනය සහ සර්වාංග ඉදිමීමට

ඇට්ටේරියා කොළ කෂාය දෙනු ලබනවා

වාසා මේහයට

ඇට්ටේරියා මුල් හා පොතු යොදා ගනු ලබනවා

මේ ආදි ඔබට දේපළ ඖෂධ රාශියක් රෝගාබාධ රාශියකට යොදනු ලබනවා

ඒ වගේම ඇට්ටේරියා අඩංගු සංස්කාරික ඖෂධත් කිහිපයක් තියෙනවා

ඒ අතුරින්

ශිංශපා තෛලය

පණු අමාරු ..කුෂ්ඨ වාතය සහ සෙම නසනවා

ඒකාංගී මල් සහ කොළ පාණ්ඨය

වාතයෙන් හටගත් උණ කැස්ස කරකැවිල්ල,හිස්ටීරියා, පිපාසා, දැවිලි ආදිය නසනු ලබනවා

ඒ වගේම අම්මේ අපේ වෛද්‍යවරු කියල තියෙනවා ඇට්ටේරියා නැති අවස්ථාවල ඒ වෙනුවට සුරභිනිම්බ.(කරපිංචා) ප්‍රතිනිධි ලෙස යොදා ගත හැකියි කියලා.

එ වගේම ඇට්ටේරියාවලින් ලැබෙන වෙනත් ප්‍රයෝජනත් තියෙනවා

ඇට්ටේරියා මල් තෙල් වර්ග සුවඳවත් කිරීම සඳහා යොදා ගනු ලබනවා .

එසේම ඇට්ටේරියා අතු තෙල් මැතිරීමට සහ ගුරුකම් සදහා ගනු ලබනවා

ඉතින් අම්මේ මේ විදියට ඇට්ටේරියා ඖෂධීය වශයෙන් වගේම වෙනත් අවශ්‍යතා රැසක් සඳහා යොදා ගනු ලබනවා.”

 

පොල්ගොල්ල ශාස්ත්‍රාරවින්ද

වෛද්‍ය විද්‍යාලයේ කථිකාචාර්‍ය

වෛද්‍ය මධුර පරණවිතාන

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
3 + 12 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.