වා පිත් නසන ශුක්‍ර වඩවන ගංසූරිය

ජූලි 12, 2024

“මොකද සිරිසේන මේ ගංසූරිය අත්තක් අතේ තියාගෙන.”

“නැහැ වෙද මහත්තයෝ මම මේ ආවෙ මේ ගංසූරිය ගැන විස්තර ටිකක් දැන ගන්න. මොකද අපේ ගෙදර ළඟ ගහක් තියෙනවා. ගොඩක් අය මේ ගහෙන් අතු කඩාගෙනයනවා. බෙහෙත්වලට කියල. ඉතින් මේවායේ ගුණාගුණ හරියටම දැනගන්නයි ඔබතුමා මුන ගැහෙන්න ආවෙ.”

“සිරිසේන... ගංසූරිය කියන්නේ හොඳ ඖෂධයක් තමයි. ගම්බද මිනිස්සු ඉතාමත් හොඳින් දන්නා හඳුනන ශාකයක් තමයි ගංසූරිය. ඒ වගේම ආයුර්වේද වෛද්‍ය ක්‍රමයේ වගේම දේශීය වෛද්‍ය ක්‍රමයේත් බාහිර සහ අභ්‍යන්තර ඖෂධ ප්‍රයෝග සඳහා යොදා ගනු ලබන ඉතා වටිනා ශාකයක් තමයි ගංසූරිය කියන්නේ.

ඒ වගේම තමයි සිරිසේන ගංසූරිය ඉතා ඈත අතීතයේ ඉඳලම ඖෂධ සඳහා යොදා ගන්නා ශාකයක් බව පැරණි ආයුර්වේද සංහිතා ග්‍රන්ථ පරිශීලනයෙන් සනාථ වෙනවා.”

“ඒ කියන්නේ වෙද මහත්තයෝ ගංසූරිය කියන්නේ හොඳ ඖෂධයක් නේද?”

“ඔව් සිරිසේන ගංසූරිය ආයුර්වේද වෛද්‍ය ක්‍රමයේ දී ව්‍රණ රෝපණ ද්‍රව්‍ය ගණයට අයත් ශාකයක් විදිහටයි සලකන්නේ. ඒනිසා ගංසූරියගසේ කොළ සහ පොතු තුවාල සේදීම පිණිස යොදා ගනු ලබනවා. එසේම මේ ගසේ කසට ගුණය වගේම විෂබීජ නාශක ගුණයත් ඇති නිසා බාහිර වශයෙන් තුවාල කුෂ්ඨ ආදිය සේදීමෙන් විශිෂ්ට ප්‍රතිඵල ලබා දෙනවා. මෙයට අමතරව දේශීය වෛද්‍ය ක්‍රමයේ එන කැඩුම් බිදුම් වෙදකමේදී සහ ගෙඩි වණ පිළිකා වෙදකමේදී බහුල වශයෙන් යොදා ගනු ලබන ඖෂධීය ශාකයක් තමයි ගංසූරිය කියන්නේ.”

“එතකොට වෙද මහත්තයෝ ගංසූරිය අපේ රටේ විතරයිද හැදෙන්නේ?”

“නැහැ සිරිසේන. ඉන්දියාවේ හැදෙනවා. ඒ වගේම ඇමෙරිකාව, අප්‍රිකාව, ආසියාව, පැසිපික් දූපත් ආදියේ නිවර්තන ප්‍රදේශවල දකින්න පුළුවන්.

ශ්‍රී ලංකාවේ වෙරළ ආශ්‍රිත ප්‍රදේශවලත් වියළි කලාපයේත් මුහුදු මට්ටමේ ඉඳල මීටර් 670 දක්වා වූ ප්‍රදේශවලත් හොඳින් වැවෙන ශාකයක්. විශේෂයෙන් පේරාදෙණිය උද්භිද උද්‍යානයේත් නාවින්න ආයුර්වේද පර්‍යේෂණායතනයේ ඖෂධ උද්‍යානයේත් වගා කර තියෙනවා.

ඒ වගේම තමයි සිරිසේන ගංසූරිය ගහ මීටර් 10 - 15 දක්වා උසට වැවෙන විශාල ප්‍රමාණයේ ගසක්. වියළි කලාපයේ බහුල ලෙස වැවෙනවා. මේ ගස්වල කඳේ පිට පොත්ත රළුයි. වා සිදුරු සහිතයි. එසේම ගංසූරිය කොළ සරල සහ ඒකාන්තර ස්වරූපයක් ගනු ලබනවා. මේ කොළවල නටුව ඉතා දිගයි. කොළ අණ්ඩාකාර හා හෘදයාකාරයි. තද කොළ පාටයි. ගංසූරිය මල් ක්‍රමවත් සහ කහ පැහැයෙන් යුතුයි. මල් පරවී මැලවී යද්දී දම් පාටට හුරුයි. මේ මල් වසර පුරාම හට ගනු ලබනවා.”

“එතකොට වෙද මහත්තයෝ ගංසූරිය තවත් නම්වලින් හඳුන්වනවද?”

“ඔව් සිරිසේන ගංසූරියවලට සූරිය කියලත් කියනවා.

සංස්කෘත භාෂාවෙන් පාරිෂ, පලාශ, කපිචූත, කන්දරාල, කපීතන, ගර්දභාණ්ඩ. සුපාර්ශ්වක ආදී නම් යෙදෙනවා . හින්දි භාෂාවෙන් ගජදණ්ඩ, පාරිශපීපල සහ ඩිහාෙර්ය නාමයන් යෙදෙනවා. ඉංග්‍රීසි භාෂාවෙන Portia tree.Tulip tree සහ Heart tree නම් යෙදෙනවා ගංසූරියවල උද්භීද විද්‍යාත්මක නාමThespesia populnea Soland ex Corre සහ Hibiscus populneus යන නාමයන් යෙදෙනවා. මෙහි කුලය වන්නේ MALVAEAE හෙවත් කර්පාස කුලය යි.”

“වෙද මහත්තයෝ ගංසූරිය ගහේ පංචාංගයම ඖෂධ සඳහා ගන්නවද?”

“ඔව් සිරිසේන ගංසූරිය කොළ, පොතු, මල්, ගෙඩි සහ මුල් ඖෂධ සඳහා ගන්නවා. මේ අතුරින් මල් සහ ගෙඩි ඒ ඒ කාලවලදී වියළා කල් තබාගන්නවා.” “වෙද මහත්තයෝ ගංසූරියවල ඖෂධීය ගුණ ගැනත් විස්තර කරන්නකෝ.”

“ගංසූරියවල ඖෂධීය වටිනාකම සැලකුවාම මේවායේ මුල් රසයෙන් මධුර රසයි. ගෙඩි රසයෙන් මධුර සහ අම්ල රසයි. මද රසයෙන් මධුර සහ කෂාය රසයි. ගුණයෙන් ස්නිග්ධයි. වීර්‍යයෙන් ශීත යි විපාකයෙන් මධුරයි. ඒ වගේම දෝෂ අනුව සැලකුවාම පිත් සමන සහ වාත නාශක ගුණවලින් යුතු අතර පිත් සහ වාත රෝග සඳහා ප්‍රයෝග කළ හැකියි. එසේම ශුක්‍ර හා සෙම උපදවන ගුණයක් ද මේ ගංසූරියවල අන්තර්ගත වෙනවා. ඒ වගේම තමයි සිරිසේන ගංසූරියවල මූත්‍රකාරක ගුණය පණුවන් නසන ගුණය සහ කැසීම් නසන ගුණය වගේම තුවාල සමනය කරන ගුණයෙන් ද යුතුයි .

ඒනිසා පාණ්ඩු, දද, කුෂ්ඨ, තුවාල, අස්ථි බිදීම් ආදියේදී ප්‍රයෝග කරනු ලබනවා .

එසේම පංච ක්ෂීර වෘක්ෂ ගණයට අයත් ගංසූරිය ගසේ කොළ හා පොතු විශේෂයෙන් ලේ පිරිසිදු කිරීම සදහා යොදා ගනු ලබනවා

එසේම ගංසූරිය පොතුවලින් සකස් කළ ක්වාථය විශේෂයෙන් වාත රක්ත ..කුෂ්ඨ..තුවාල ආදිය සමනය කරන අතර වාතය සහ පිත සමනය ද හදවත් රෝග සමනය ද කරනු ලබනවා.

ඒ වගේම ගංසූරිය කොළ, පොතු සහ අමුකහ තම්බා සේදීමෙන් සියලුම සමේ රෝග එනම් වාත රක්ත කුෂ්ඨ, වීසර්ප, කණ්ඩ, විස්ඵෝට ආදිය සමනය කිරීම වගේම විෂබීජ නාශනයත් සිදු කරනවා.

විශේෂයෙන් කුඩා ළමුන්ගේ රත බිබිලි හොරි, දද ආදියට ගංසූරිය කොළ සහ පොතු අමුකහ සමඟ තම්බා සේදීමත් ඉතා ගුණදායකයි.

එසේම ගංසූරිය කොළ, පොතු සහ ගෙඩි තම්බා බීමෙන් ලේ පිරිසිදු වීම වගේම සමේ රෝගත් සමනය වෙනවා.”

“එතකොට වෙද මහත්තයෝ ගංසූරිය අඩංගු තවත් බේත් වර්ග තියෙනවාද?”

“ඔව් සිරිසේන දද සහ තුවාල ආදියට ගංසූරිය ගෙඩි යුෂ ආලේප කරනු ලබනවා ග්‍රන්ථි ඉදිමීමට ගංසූරිය කොළ ඇඹරූ කල්කය ගානු ලබනවා යෝනි ප්‍රදාහයට ගංසූරිය පොතු තැම්බූ වතුරින් සෝදනු ලබනවා සමේ රෝග සඳහා ගංසූරිය පැණිය යොදනු ලබනවා ඒ වගේම කුඩා ළමයින්ගේ රත ගාය. සහ මළමූත්‍ර බද්ධතාවයට ගංසූරිය පොතු, රත්මල්, අරළු, මදටිය පොතු කෂාය දෙනු ලබනවා .

ඒ වගේම ගංසූරිය අඩංගු සංස්කාරික ඔසුවක් වන ගංසූරිය පැණිය චර්ම රෝග සදහා යොදන ප්‍රකට පැණියක්.

එසේම හොරි තෙල සහ කුෂ්ඨ තෙල ද ගංසූරිය කොළ, පොතු සහ ගෙඩි අඩංගු සංස්කාරික ඖෂධයි. මේවා හොරී, දද, වණ කුෂ්ඨ ආදියේදී ආලේප ලෙස යොදනු ලබනවා

මේ ආදි වශයෙන් ඖෂධීයව ගංසූරිය බොහෝ සෙයින් ප්‍රයෝජන ගෙන දෙනවා

විශේෂයෙන් ලේ පිරිසිදු කිරීම විෂබීජ නාශනය ඇතුළුව තවත් බොහෝ දෝෂයන් සමනයට බාහිර සහ අභ්‍යන්තර වශයෙන් යොදනු ලබනවා.”

“වෙද මහත්තයෝ එතකොට ගංසූරියවලින් තවත් ප්‍රයෝජන තියෙනවද?”

ඔව් සිරිසේන ආහාරමය වශයෙන් ගංසූරිය කොළ යොදා ගන්නා අතරම මේවායේ දළු මලවා කෑමෙන් පණුවන් නැසෙනවා යැයි ගම්බද ජනතාවගේ මතයක් පවතිනවා.

ඒ වගේම ගංසූරිය පොතු විෂ බීජ නාශකයක් වශයෙන් ගම්බද මිනිස්සු තුළ විශ්වාසයක් පවතින නිසා ඔවුන් ගංසූරිය පොතු පිරිසිදුව වියළා කුඩුකර තේ මෙන් ඖෂධීය පානයක් වශයෙන් භාවිතා කරනු ලබනවා.

එසේම යාපනය ප්‍රදේශයේ මිනිස්සු පොහොරක් ලෙස ගංසූරිය කොළ ගනු ලබනවා.

ගංසූරිය මල් හා ගෙඩිවලින් කහපාට ඩයි වර්ගයක් ගනු ලබන අතර මෙය සිල්ක්, වූල් සහ සේද රෙදිවල ඉතා විශිෂ්ට ළා දුඹුරු කහ සහ දුඹුරු වර්ණ ඇති කිරීමට යොදා ගන්නවා.

ඒ වගේම ඉඩම්වල වැටවල් සඳහාත් ගංසූරිය ගස් ගනු ලබන අතර පස සේදීයාම වළක්වා ලීමටත් වගා කරනු ලබනවා

ඒ වගේම තුවක්කුවල ලී මිට කැපීමටත් ගංසූරිය ලී යොදා ගනු ලබනවා.

ඉතින් සිරිසේන ගංසූරිය කියන්නේ හැම අතින්ම ප්‍රයෝජන ගෙන දෙන ශාකයක්.”

“ඔව් වෙද මහත්තයෝ මට හොඳටම තේරුනා.ගංසූරිය කියන්නේ ඉතා අගනා ශාකයක් කියල. වෙද මහත්තයට ගොඩක් ස්තූතියි මේ ගැන දැනුවත් කළාට.”

 

පොල්ගොල්ල ශාස්ත්‍රාරවින්ද

වෛද්‍ය විද්‍යාලයේ කථිකාචාර්‍ය

වෛද්‍ය මධුර පරණවිතාන

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
6 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.