දිව ඔසුවක් වන් කොළ කැඳ ගුණ කඳ

ජූලි 12, 2024

අපට ආවේණික වූ පැරැණි කල ජීවන රටාව නීරෝගිකම සෞඛ්‍ය සම්පන්න භාවය නිරායාසයෙන්ම ළං කර දෙන්නක් විය. ඔබේ ගමේ ශතවර්ෂාධිකව ජීවත් වූවන් ගැන සොයා බැලුවහොත් ඔවුන්ගේ භෝජන රටාව ගැන බොහෝ දෑ දත හැකිය. ඇස් පෙනෙන, කන් ඇහෙන වැඩ කටයුතු කරන, කතාබහ කරන, ඇවිදින, සිනහවෙන, කායික මානසික නීරෝගිතාවයෙන් යුත් ඒ වැඩිහිටියා කොළ කැඳවල ගුණය ද ඔහුගේ කතාවේදී ඔබට කියා දෙනු ඇත. රෝගීන් නීරෝගීන් කරන ජවය බලය ශක්තිය ගෙන දෙන කොළ කැඳෙහි වටිනාකම එදා ඔවුහු වටහාගෙන සිටියහ.

අග්නි වර්ධනය කරන ආහාර දිරවීමේ ශක්තිය වඩන ආහාර රුචිකත්වය වර්ධනය කරන තමන්ගේ ගෙවත්තේ නියරේ අහල පහළ තිබෙන අනේක විධ ඖෂධීය ගුණයෙන් යුතු කොළ ටිකක් ඇසුරෙන් සකස් කර ගන්නා කොළ කැඳ ප්‍රයෝජනයට ගත්හ.

උදෑසන ගනු ලබන කොළ කැඳ පානය ඔහුගේ කුඹුරේ, වත්තේ වැඩ කටයුතු කිරීමට අවශ්‍ය ශක්තිය ලබා දෙයි. උදෑසන ආහාරය ගැනීමට පෙර කොළ කැඳ බීම මහත් ශක්තියක් ගෙන දෙන බව එදා අපේ ගැමියා දත්හ. ඒ ඒ කොළවලින් සකස් කරගන්නා කැඳ වර්ගවල විශේෂ ගුණ ඇත්තේ ය.

යම් යම් කොළ කැඳ යම් යම් රෝගවලට මහත්ම ඖෂධයකි. ළදරුවාගේ සිට මහල්ලා දක්වාත්, නීරෝගි පුද්ගලයාට මෙන්ම රෝගී පුද්ගලයාටත් සුවිශේෂි ගුණ දෙන තුන්දොස් සමනය කරන ශරීර ධාතු පෝෂණය කරන තාරුණ්‍යය රකින, රුධිරය පවිත්‍ර කරන, මළ මූත්‍ර පහසුවෙන් පිට කරන අපේ ජන ජීවිතයට තදින්ම බැඳුණ දේශීය වෛද්‍ය ක්‍රමය හා වෙළුණු කොළ කැඳ ගැන ඔබේ අවධානය අතිශයින් වැදගත් ය.

තවද ක්‍රිමි රෝග, මාන්දම, පණු රෝග, චර්ම රෝග එදා අපේ මුතුන් මිත්තෝ දැන සිටියහ. ගෙවත්තේ කුඹුරේ, නියරේ සෑම තැනම ඇති හැම පැළයකම ඖෂධීය ගුණයෙන් යුක්ත බව දන්නා රොබට් නොක්ස් නම් ඉංගී‍්‍රසි ජාතිකයා හැම ගැමියෙක්ම වෙදෙක් යයි පැවසීමේ ලොකු අර්ථයක් ඇත. වස විසක් නොගෑවුණු කොළ ඔවුනට විය.

ඒවා බොහොම හොඳින් පිරිසුදුව කැඳ සේ සකස් කර ගත්හ. පුරුෂ පක්ෂය ආරෝහ පරිණාහ කායබල නීරෝගි ජනතාවක් වීමට කොළ කැඳ පානයද හේතුය. අපේ මුතුන් මිත්තන්ගේ දේශීය භෝජන රටාවෙහි වැදගත් තැන් ගත් කොළ කැඳ පානයට දැන් දැන් බොහෝ දෙනා නැඹුරුව සිටිති.

නගරයේ නොයෙක් තැන්වල, කාර්යාල භූමි ආදී ස්ථානවල අද කොළකැඳ අලෙවි කරනු සුලභ ලක්ෂණයකි. යොදා ගන්නා කොළ වර්ගය අනුව ඒ ඒ ගුණ වෙනස් වෙයි. බෙහෙවින් ප්‍රචලිත කොළ කැඳ වර්ග කීපයක් ගැන බලමු.

ගොටුකොළ කැඳ

පහසුවෙන් සොයා ගත හැකි සුලබ වර්ගයක් වූ ඔබේ ගෙවත්තේ පහසුවෙන් වැවෙන ගොටුකොළ උපයෝගී කරගෙන සකස් කරන ගුණ රැසක් ගෙන දෙයි. නේත්‍රා රෝග සම්බන්ධව විශේෂ වන ගොටුකොළ කැඳ තාරුණ්‍යය රැක දීමෙහි සමත් ය. රුධිරය පිරිසුදු කරන විෂ දෝෂ ඉවත් කරන, බුද්ධිය ධාරණ ශක්තිය, ස්මරණ ශක්තිය වර්ධනය කරන මේ කැඳ ශරීරගත විෂ දෝෂ ඉවත් කරයි.

ඉරමුසු කැඳ

පිත සමනය කරන අතර රුධිරය පිරිසුදු කරයි. කුෂ්ඨාදි චර්ම රෝගවලට ගුණය. මූත්‍රා දැවිල්ලට අතුල් පතුල් පැළීමට මෙන්ම අධික ශරීර උෂ්ණත්වයට ශරීරයේ දැවිලිවලට බඩ පිපීමට වාත රක්තයට ගුණය. තාරුණ්‍යය රකියි. ධාතු වඩවයි. මව්කිරි වඩවයි. ශරීරය ආරක්ෂා කරයි. ඇඟ සිසිල් කරයි.

පොල්පලා කැඳ

මූත්‍රා දාහ මූත්‍රා බද්ධ, ශරීර දාහ දුරු කරයි. ලේ පිරිසුදු කරයි. වා පිත් සමනය වේ. ශරීරය පෝෂණය කරයි.

වැල්පෙනෙල කැඳ

ධාතු දුබලතාවයට පිළියමකි. ශරීර දාහය නිවයි. ශාරීරික දුබලතා නසයි. ශරීරය පෝෂණය කරයි. ශක්තිය වඩවයි. හෘද වේදනා දුරලයි.

හීන් බෝවිටියා කොළ කැඳ

සෙංගමාල රෝගයට අතිශයින් ගුණදායකය. අක්මාවේ රෝග නසා එහි ක්‍රියාකාරීත්වය නිසිලෙස සිදු කරයි.

රණවරා කොළ කැඳ

දියවැඩියාව, මූත්‍රා දාහ, වාත රක්ත රෝගයනට අතිශයින් ගුණදායකය. පිත් සමනය කරයි. සෙම් රෝග නසයි. කෘමි රෝග නසයි. ලේ, මූත්‍රා පිරිසුදු කරයි. චර්ම රෝගවලට කදිම ගුණයද සම පැහැපත් කරයි. පීනස් රෝගවලට ගුණය.

කුප්පමේනියා කැඳ

කුප්පමේනියා කැඳ කැස්ස, ඇදුම, පීනස, සෙම, මුත්‍ර බද්ධය, කෘමි රෝග ආදී රෝග රැසක් සම්බන්ධයෙන් ගුණදායක කැඳකි.

එළබටු කොළ කැඳ

ප්‍රතිශ්‍යාව, උණ, කැස්ස, ඇදුම, හතිය, පපුවේ බර ගතිය, සෙම් හා වාත දෝෂ අජීර්ණ රෝග, ග්‍රහණි රෝග ආදියට ගුණදායක එළබටු කොළ කැඳ කුසගින්න වඩවයි. ජීර්ණ ශක්තිය වඩවයි.

හීන් උඳුපියලි කොළ කැඳ

සෙංගමාලය, ඇස් රෝග, අතීසාර, ශාරීරික විෂ, අර්ශස් වැනි රෝගවලට ගුණදායක හීන් උඳුපියලි කොළ කැඳ රුධිරය පිරිසුදු කරන අතර ශරීරය පෝෂණය කරයි. පිත සමනය කරන මේ කොළ කැඳ ශරීරය සිසිල් කරයි.

වැල් තිබ්බටු කොළ කැඳ

කක්කල් කැස්ස රෝගයට අතිශයින් ගුණදායකය. ඇදුම, කැස්ස, ප්‍රතිශ්‍යාව, කෘමි රෝග සම්බන්ධයෙන් වැදගත් වන වැල්තිබ්බොටු කොළ කැඳ සෙම නසාලීමේ ගුණයෙන් යුතු ය.

මේ කොළ කැඳ පානයෙන් ඔබටත් නිරෝගීව දීඝායු විඳීමට හැකියාව ලැබේවා!

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 3 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.