සිංහල බෙහෙත් තෙල්වල ගුණ කඳ

අගෝස්තු 2, 2024

බටහිර වෛද්‍ය ක්‍රමය මෙරටට පැමිණීමට පෙරාතුව මෙරට අතිදියුණු බලගතු පාරම්පරික දේශීය වෛද්‍ය ක්‍රමයක් තිබී ඇති බැව් පෞරාණික නටබුන්, නෂ්ටාවශේෂ ලේඛන තුඩ පත්වලින් සනාථ වේ. ඔබ අනුරාධපුර පූජා භූමියේ ඇවිද්දොත් බුද්ධදාස වෙද රජු විසින් කර වූ පැරැණි රෝහල් සංකීර්ණයක නටබුන් නෙත ගැටේ. අප එකල කෙතරම් දියුණු ජාතියක්ද යන්න ඒවායින් මොනවට පැහැදිලි වේ.

මේ ලිපියෙන් උත්සාහ ගන්නේ වර්තමානයේ සිංහල බෙහෙත් බඩු කඩ තුළ තිබෙන ඔබට භාවිතයට ගත හැකි සිංහල බෙහෙත් තෙල් වර්ගවලින් කිහිපයක ප්‍රයෝජන, ගුණ ඔබ වෙත ගෙන ඒමටයි.

කෝලශ්ලේෂ්මා තෛලය

සෙම් ගෙඩි, උගුරේ සෙම බැඳී සිරවීම, ඇඳුම, ගලගණ්ඩය, ගණ්ඩමාල, ග්‍රන්ථි ඉදිමීම, ඇම්ම, ඇවිලිල්ල, දෑලවර වේදනා ආදියේදී ගෑමට පානය කිරීමට හා නස්‍යයට යෝග්‍යයි.

මහානාරායන තෛලය

රුධිර පීඩනය වැඩි වූ විට හිසට මේ තෙලෙන් බින්දු කිහිපයක් දමා පිරිමැදීමෙන් එම තත්ත්වය මඟ හරවා ගත හැකිය. වාත, නිදි උළුක්කු, උන්මාද, මානසික අපස්මාර රෝගවලට ගුණදායකයි. නස්‍යපාන හා බාහිර ලේපයක් ලෙස යෙදේ. සියලුම සර්වාංග කැක්කුම්වලට ගුණයි.

රතුලූණු තෛලය

සොටුදිය ගැලීම, නාසයෙන් ලේ ගැලීම, නාසය ගඳ ගැසීම ආදී පීනසින් හටගන්නා සියලු රෝගවලට ගෑමට, බීමට හා නස්‍ය කිරීමට යෝග්‍යයයි.

ශූලහර තෛලය

වේදනා නාශකයි. හස්ත, පාද, ශරීර සන්ධි වේදනා, ශෝථ අවස්ථා, තැළීම් හේතුවෙන් හටගන්නා ඉදිමුම්, කැක්කුම් ආදියට ඉක්මන් සහනය ලබා දෙයි. වාත වේදනා දුරලයි. වාත, රුජා, කැක්කුම්, ඉදිමුම්, තැලුම්, ගිරිවාත, සන්ධි ඉදමුම් ආදී සියලු රෝගවලට ප්‍රත්‍යක්ෂ තෙලකි.

රත තෛලය

ළදරුවන්ගේ ලේ කෝපවීමෙන් හටගත් බිබිලි, රත පලු ආදියෙහි ආලේපය සඳහා යෙදේ.

අශ්වගන්ධ තෛලය

ශරීරයේ කෙට්ටු බව ස්නායු දුර්වලතා නසන, ශරීර වර්ණය හා ඉන්ද්‍රීය ශක්තිය වඩන, සෞම්‍ය ධාතූන් පෝෂණය කර මාංශ පේශීන්ගේ ශක්තිය වර්ධනය කරන ප්‍රබල වාජීකරණ ගුණැති මහඟු තෙලකි.

බලා කෝරණ්ඩ තෛලය

වලිප්පු, ශීර්ෂ රෝග, වාත, සන්ධි, ස්නායු වාත, හා උදර රෝගවලට ගුණදායකයි.

බටු තෛලය

කැස්ස, ඇදුම, කක්කල් කැස්ස, උගුරේ සෙම හිරවීම හා විශේෂයෙන් ළදරුවන්ගේ සියලු සෙම් රෝග සඳහා බාහිර ආලේපයන් ලෙස ගෑමට යෝග්‍යයයි.

සර්ෂපාදී තෛලය

මාංශ පේශීන්ගේ වේදනාව, කැක්කුම් සඳහා ක්ෂණික සහනය ගෙන දෙන අගනා තෙලකි. බාහිර ආලේපනයකි. තැලීම් හේතුවෙන් හටගන්නා ඉදිමුම්, වේදනාව වාත රෝග සඳහා ඉක්මන් සහනය ලබාදෙයි.

කැඩුම් බිඳුම් තෛලය

කැඩුම්, බිඳුම්, තැලුම්, උළුක්කු සඳහා යෝග්‍යයි. කැඩුම් බිඳුම්, අස්ථි කැඩීම්, අස්ථි බිඳීම්, ඇමැට්ටි සඳහා, සුදුසුයි. අභ්‍යන්තර තැලීම් සඳහා වෛද්‍ය නිර්දේශය මත පානය වුවද කළ හැකි මහාර්ඝ ඖෂධ තෛලයකි.

ලශු භෛරණ්ඩ තෛලය

බඩේ කැක්කුම, අන්ත්‍ර වෘද්ධි (හර්නියා) බඩ පිපුම, වාත කැක්කුම් ආදී අවස්ථාවලදී ගෑමට, බීමට හා වස්ති කිරීමට යෝග්‍ය තෛලයකි.

පිණ්ඩ තෛලය

දැවිල්ල සහිත කුෂ්ට, කැසීම්, දද, ස්‍රාව සහිත හෝ රහිත පිපිරීම් හෝ තුවාල, යටි පතුල් පැලීම් හා විශේෂයෙන් වාත රක්ත රෝග අවස්ථා සඳහා ගුණදායකයි. බාහිර ආලේපනයකි.

භෘංගාමලක තෛලය

අකලට හිසකෙස් පැසීම වළක්වයි. හිස කෙස්වල වර්ණය පැහැපත් කරයි. හිසේ සහ ඇස්වල රෝග දුරු කරයි. ඇස් ඇඳිරිය නසාලයි. කේශ වර්ධනය ශීඝ්‍ර කෙරේ. ශීර්ෂාභ්‍යංගය සඳහා යෝග්‍යයයි. සියලුම හිසේ රෝග නසයි.

අකාල ඵලිත තෛලය

අකලට කෙස් පැසීම, කෙස් වැටීම, හිසකෙස්වල පැහැය වෙනස්වීම සුව කරයි. වර්ණවත් හා ප්‍රාණවත්ව කෙස් වඩයි. හිසෙහි ආලේප කිරීම සඳහා යෝග්‍යයයි.

නීල්‍යාදී තෛලය

හිසරදය, කරකැවිල්ල, කබ කඳුළු ගැලීම, ඇස් දැවිල්ල, ආදී සියලු ශීර්ෂ රෝග සඳහා විශේෂයි. කේශ වර්ධනයි. ලේ රත, කුෂ්ට, ලේ නරක් වීමෙන් ඇතිවන රෝග හා තුවාල යනාදියේ ගෑමට සුදුසුයි.

සිද්ධාර්ථ තෛලය

පක්ෂඝාතාදී සියලු වාත රෝගයන්හි යෙදේ. හෘදයාබාධ, වලිප්පුව, සන්නි, පිටගැස්ම, පපුවේ වේදනාව, හිරවීම ඇම්ම, දෑලවර රුජා හා ගර්භාෂයේ හදිසි ආබාධවලදී පාවිච්චි කළ හැකි අප රට තුළ ප්‍රසිද්ධ තෛලයකි.

නිර්ගුණ්ඩ්‍යාදී තෛලය

පීනස් රෝග, කන් කැක්කුම, කන් ඇහිරීම, කන් පැසවීම හා දොස් (වා, පිත්, සෙම්) කෝපයෙන් හටගන්නා බිහිරි බව, වා සෙම් ජනිත හිසේ රෝග හා සන්ධි වේදනා ආදියේදී ගෑමට, බීමට හා නස්‍යයට යෝග්‍යයැයි. සියලුම කැක්කුම්වලට ආයුර්වේද සම්බාහන තෛලයක් ලෙසින් වර්තමානයේ ඉතා ප්‍රචලිත තෛලයකි.

මහා මාෂ තෛලය

සියලුම වාත රෝග සඳහා ගුණදායකයි. ස්නායු පෝෂණය කරයි. පක්ෂඝාත රෝග දුරු කරයි. නස්‍ය පාන හා බාහිර ලේපයක් ලෙස යොදයි.

සර්වවිෂාදී තෛලය

විෂ සහිත සතුන්, කෘමීන් යනාදියගේ දෂ්ඨනයන් පිණිසයි.

ත්‍රිඵලා තෛලය

ශීර්ෂ රෝග, නේත්‍ර රෝග, රත්පිත් රෝග, හිසරදය, කැරකැවිල්ල, අකලට හිසකෙස් පැසීම, කබ කඳුළු ගැලීම ආදී රෝග සඳහා ගුණදායකයි. හිසකෙස් ප්‍රාණවත් කරයි. ශීර්ෂාභ්‍යංගය සඳහායි. ශිරෝධාරා සඳහා ද යෝග්‍යයයි.

සීතෝදක තෛලය

හදිසි කැසීම්, සීරීම් ආදී තුවාල, පැරණි තුවාල, කැසීම්, බිබිලි, ඉකිලි කැසීම යනාදියෙහිදි ගෑමට යෝග්‍යයයි.

වාත විදුරංගාදී තෛලය

ගර්භිණීන්ගේ වාත රෝග, සන්ධි වේදනා, හිසරුජා සහිත රත්පිත් රෝග, කන් ඇසීමේ දුර්වලතාවයක්, කැපුම්, කෙටුම්, තුවාල, කැඩුම්, බිඳුම්, නහර පෙරළීම් හා සියලුම වාත රෝගවලදී ගුණදායකයි. පානය හා අභ්‍යංග සඳහායි.

 

කොත්මලේ ඤාණාලෝක හිමි

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
4 + 5 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.