වර්ෂ 2024 ක්වූ December 13 වැනිදා Friday
මිනිසුන්ටත් සතුන්ටත් එක සේ ගුණ දෙන බුත්සරණ
“මොකද සේනානි මිස් අද නිවාඩු දවසෙ උදේම මේ පැත්තෙ .අසනීපයක්වත්ද?”
“අනේ නැහැ .අසනීපයක් නෙවෙයි .මම මේ වෙද නෝනා හමුවෙන්න ආවෙ. වෙන අවශ්‍යතාවයකට.”
“ඇයි මිස්. මොකක්ද උවමනාව.කියන්න පුළුවන් දෙයක් නම් කරල දෙන්නම්.”
“වෙද නෝනා. මමනේ ඉස්කෝලෙ සෞඛ්‍යය විෂයය උගන්වන්නෙ. ඉතින් ආහාර ගැන කතා කරන කොට ඖෂධාහාර ගැන කතා කරන්න තියෙනවා. බුත්සරණ කියන අල වර්ගයෙ ඖෂධීය වටිනාකම ගැන විස්තර ටිකක් දැන ගන්නයි ඕනෑ.”
“හොඳයි මිස් ඒ ගැන කතා කරමු. මුලින්ම අපි ඖෂධාහාර කියන්නේ මොනවාද කියල බලමු.
අපි ජීවත් වන මේ පරිසරය තුළ දකින්න තියෙන ශාක අතරින් සමහර ඒවා ආහාරමය වටිනාකමකින් යුතු ශාක. තවත් කොටසක් ඖෂධීය වටිනාකමකින් යුතු ශාක.
ඒ වගේම තවත් කොටසක් ඖෂධීය සහ ආහාරමය වටිනාකමෙන් යුක්ත ශාක
ඉතින් මේ ඖෂධීය සහ ආහාරමය වටිනාකමෙන් යුතු ශාක කොටසට ධාන්‍ය වර්ග පළා වර්ග, පළතුරු වර්ග, අල වර්ග ආදි වශයෙන් ප්‍රභේද රාශියක් අයත් වෙනවා. මේ අතුරින් එක වැදගත් පෝෂණීය කාණ්ඩයක් තමයි අල වර්ග
මේ අල වර්ග ගැන කතා කරන කොට ඈත අතීතයේ ඉඳලම අපේ රටේ ප්‍රචලිතව තිබුණු දේශීය අල වර්ග කිහිපයක්ම තියෙනවා .හුලංකීරිය...බුත්සරණ...වැල් අල...උඩල...ජාවාල... රාජාල...හිගුරල... කිරිකොඬොල්..කුකුලල....බතල ආදි වශයෙන්
මේ අතුරින් පෝෂණ ගුණයෙන් සහ ඖෂධීය ගුණයෙන් පිරිපුන් ප්‍රධානම දේශීය අල වර්ගයක් තමයි බුත්සරණ කියන්නේ”
“ආ... වෙද නෝනා හොඳ හැඳීන්වීමක් කළා නේ. ඒ කරුණු ටික මට ගොඩක් වැදගත්. එතකොට බුත්සරණවලට කියන තවත් නම් කිහිපයකුත් තියෙනවා නේද.
ඔව් ..සීනි අල.. සීනි කෙසෙල් ..ආදි නම් මේ සඳහා යෙදෙනවා. ඒ වගේම මේවායේ කොළ සහ මල් කැනාස් ගස්වලට සමාන නිසා ලංකා කැනාස් යනුවෙනුත් හදුන්වනු ලබනවා. ඒ වගේම දේශීය බෙහෙත් වට්ටෝරුවල මේ ශාකය හඳුන්වන්නේ බුද්ධත්සරණ කියලයි.
ඒ වගේම සංස්කෘත භාෂාවෙන් පවිත්‍ර . මුනිජනක සහ සූත්‍ර ජීව යන නම් යෙදෙනවා.
දෙමළ භාෂාවෙන් පාචාලෙ යනුවෙනුත්
වංග භාෂාවෙන් සර්ව ජායා නමිනුත් හදුන්වනු ලබනවා.
ඉංග්‍රීසි භාෂාවෙන්
Indian bread..Indian read/ indian shotයන නාමයන් යෙදෙනවා .
බුත්සරණවල උද්භිද විද්‍යාත්මක නාම වන්නේ Canna indica L
Canna indica Var Flave Roscoe ආදියයි.
මෙහි කුලය
CANNACEAE කුලයයි”
“වෙද නෝනා ..බුත්සරණ වැවෙන්නේ අපේ රටේ විතරයිද.?”
“නැහැ .. ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ සදාහරිත වනාන්තරවල දකින්න පුළුවන්. ශ්‍රී ලංකාවේ බොහෝ ප්‍රදේශවල විශේෂයෙන් සදාහරිත වනාන්තරවල සහ ඇල දොල දෙපස මීටර් 1000 ක් දක්වා තරමක් සුලභව හමුවෙනවා.මීට අමතරව පේරාදෙණිය උද්භිද උද්‍යානය ..නාවින්න ආයුර්වේද පර්‍යේෂණායතනය... ගිරාදුරුකෝට්ටේ සහ හල්දුම්මුල්ල ඔසු උයන්වලත් දකින්න පුළුවන්.
පර්වත උඩ කුණු පස්වල සහ දෙණිවල වැවෙන මීටර් 1-2 දක්වා උසට වැවෙන ශාකයක් තමයි බුත්සරණ..මෙහි කඳ සිනිඳුයි..රතු දුඹුරු පැහැයක් ගනු ලබනවා. ඒ වගේම මේ ගස්වල වැඩි කොටසක් දම් පැහැයෙන් යුතුයි. මේවායේ පත්‍ර පළල්. ඒ වගේම දම් පැහැයක් ගනු ලබනවා. ඒ වගේම බුත්සරණ ශාකයේ මල් කැනාස් මල්වලට බෙහෙවින් සමානකම් දක්වනවා. එසේම මේවායේ හටගන්නා ගෙඩි කොළ දම් පැහැයක් ගනු ලබන අතර ඒවා තුළ බීජ 9 ක් පමණ දක්නට ලැබෙනවා. මේ බීජ කළු පැහැයෙන් යුතුයි.
බුත්සරණ වල අල හෙවත් රයිසෝමය තෙතමනය සහිත පසේ ඉතා හොදින් හටගනු ලබනවා. මේ අල ආහාරමය වශයෙන් ප්‍රයෝජනයට ගනු ලබනවා. මේවායේ මේරූ අල මිහිරි රසයකින් යුක්තයි. මේවායේ අල ගලවා මුල් ඉවත් කර ප්‍රයෝජනයට ගනු ලබනවා
මෙම ශාකය සිටුවා මාස 9 ක් ගත වුණාට පස්සෙ බුත්සරණ අල හොදින් වැඩුණාට පසුව මේ ශාකයේ කොළ කහ පැහැ වෙනවා. එවිට එම ශාක ගැළවීමට සුදුසුයි. විශේෂයෙන් දෙසැම්බර් පෙබරවාරි අතර කාලයේ මේ අල ගලවා ගැනීම සුදුසුයි.
එසේම මේ ගළවා ගත් අල මද පවනේ වියළා ගැනීමෙන් ඖෂධ සඳහා ප්‍රයෝජනයට ගත හැකියි. ඒ වගේම මේවායේ අංකුර සහිත කුඩා අල කහ, ඉඟුරු වගාවන්හිදී මෙන් සිටුවීමට පුළුවන්.”
“වෙද නෝනා බුත්සරණවල ආහාරමය වැදගත්කම කොහොමද?”
“ආහාරමය වශයෙන් වැදගත් වන්නේ බුත්සරණ අලයි. මේ අලවල මුල් ඉවත් කර සෝදා පැය භාගයක් විතර තම්බා ඊට පසු ඝණ පොත්ත ඉවත් කර ලුණු එකතු කර පොල් සමග ආහාරයට ගනු ලබනවා.
ඒ වගේම මේ අල පොල් සමඟ කොටා මිරිකා යුෂ ගෙන ළිප තබා තම්බා සීනි සමඟ තලප ලෙස සකස් කර ගනු ලබනවා.
ඒ වගේම මේ අල ව්‍යංජන ලෙසත් සකස් කර ගන්න පුළුවන්. එසේම කැඳ වශයෙනුත් සාදා ගන්න පුළුවන්.”
“ඔව් නේ. වෙද නෝනා... ගම්බද මිනිස්සු ගොඩක් ආස කෑමක් නේ බුත්සරණ අල. ඒ වගේම වෙද නෝනා මේවායේ ඖෂධීය ගුණයත් විස්තර කර දෙනවද?”
“මේවායේ ඖෂධීය වටිනාකම ගැන සැලකුවාම, බුත්සරණ අලවල ඇති කෙඳිමය ගතිය නිසා බඩවැල් පිරිසිදු කරනවා වගේම මළ බද්ධය නැති කරනවා. ඒ වගේම බුත්සරණ අලවල පිටි ශරීර ශක්තිය වඩනවා. එසේම රත් පිත, සෙංගමාලය ආදියටත් හොඳයි. ඒ වගේම බුත්සරණ කොළ සහ මල් සර්ප විෂ වෙදකමටත් යොදා ගනු ලබනවා.
රත්පිතට සහ සෙංගමාලයට
බුත්සරණ මල් ..රසකිඳ..උක්පැණි..දෙහි ඇඹුල් ..තිබ්බටු ගෙඩි ...ඉඟුරු ..අමුකහ..රත්මල් කැකුළු..සමව අරගෙන නැවුම් වළඳක දමා එයට එළබටු ගෙඩියක් විතර සුදු හඳුන් ගලගා දමා කඩමැටි බැඳ දිනක් තබා සත්වරුවක් බීම ගුණදායකයි. එම දවස් වල ඇල්වතුර නෑමත් කළ යුතුයි.
නයි විෂ සඳහා
බුත්සරණ කොළ සහ පුහුල් කොළ කොටා මිරිකා ඇඟේ ගෑම හෝ කැඳ උයා බීම හොඳයි .
පලාබරි විෂට
බුත්සරණ කොළ... පොතු... කපු කොළ... මීකන් පළා..කොළ සහ ලුණු දමා කොටා මලවා බැඳීමත් හොඳයි.
රත් පිත සඳහා
සුදු හඳුන්... කිතුල් හකුරු... සුදු බුත්සරණ... දෙහි ගෙඩි ආදිය මල් බුලත් තටුවක දමා ලෙඩාගේ ඉහ ඉද්දර සවස පේ කර තියලා උදේ බුත්සරණ දලු තලා දෙහි ඇඹුල්වලට මිරිකලා සුදු හඳුන් සහ හකුරු යොදා දෙන්න. උදේ වරු දෙකක් එසේ දී එවෙලේම නාන්න... ලුණු ඇඹුල් දවස් දෙකක් නොකන්න. මේ බෙහෙත්වලින් රත්පිත සුවවේවි
මේ ආකාරයේ බෙහෙත් කිහිපයක්ම බුත්සරණ අඩංගුව යෙදෙනවා.
ඉතින් ඔය ආකාරයට බුත්සරණ. ආහාරමය සහ ඖෂධීය වශයෙන් ප්‍රයෝජන රාශියක් ගෙන දෙනවා.
මේ ප්‍රයෝජනයන්ට අමතරව වෙනත් ප්‍රයොජනයන්ද රැසක් තියෙනවා
එවා තමයි...
*ගවයන් විෂ කොළ වර්ග කෑ විට බුත්සරණ මුල් ප්‍රයෝග කරනු ලබනවා
*කුඩා ළමයින්ට ගණන් කිරීමට බුත්සරණ ඇට උපයෝගි කරගනු ලබනවා
*විසිතුරු නිර්මාණ සහ සැරසිලි සඳහාත් බුත්සරණ ඇට යොදා ගනු ලබනවා
*ටිබෙට් ජාතික බෞද්ධ ජනතාව නවගුණ වැල සකස් කිරිම සඳහාත් යොදා ගන්නේ බුත්සරණ ඇටයි
ඉතින් මිස් බුත්සරණ කියන්නේ හොඳ ඖධාහාරයක්.
මම හිතන්නෙ බුත්සරණ ගැන මම කියපු ටික මිස් ට ඇතිවේවි කියලා.”
ඔව් වෙද නෝනා ඔබතුමියට ගොඩක් පිං. මට තොරතුරු කියල දුන්නට. අවශ්‍ය වුණොත් ආයෙත් දවසක එන්නම්.
පොල්ගොල්ල ශාස්ත්‍රාරවින්ද
වෛද්‍ය විද්‍යාලයේ කථිකාචාර්‍ය
වෛද්‍ය මධුර පරණවිතාන