ශරීරයේ දුගඳ නසන කෘමීන්ගෙන් රෙදිපිළි රැක දෙන කොල්ලන් කොළ

ජූලි 19, 2024

අවසන් වසරේ ආයුර්වේද වෛද්‍ය සිසු සිසුවියන්ට ද්‍රව්‍ය ගුණ විෂයය කිරීම සඳහා පැමිණි විජිත වෛද්‍යාචාර්‍යතුමා දේශනය ආරම්භ කළේය.

“දැන් ඔයගොල්ලෝ අවසන් වසරේ ඉගෙන ගන්නෙ. ඖෂධීය ශාක ගැන දැන් ඔයාලට හොඳ දැනීමක් තියෙන්න ඕනෙ. මොකද ඖෂධීය ශාක තමයි අපේ ඖෂධ යෝග සඳහා බහුල වශයෙන් යොදා ගනු ලබන්නේ.ඔයගොල්ලො දන්නවා, ආයුර්වේදයයි පරිසරයයි අතර තියෙන්නේ වෙන් කළ නොහැකි සම්බන්ධතාවයක් කියලා.

ශාක සත්ත්ව සහ පාෂාණමය ද්‍රව්‍යවලින් අප ජීවත් වන පරිසරය සමන්විතයි. මේවා අතුරින් ආහාර සහ ඖෂධ සඳහා හාවිත කරන ශාක ප්‍රජාව වඩාත්ම වැදගත් වෙනවා.

ඒ වගේම ළමයිනේ ශ්‍රී ලංකාවෙ ජීවත් වන අප අවට පරිසරයේ ඖෂධීය වශයෙන් වැදගත් වන ශාක වර්ග විශාල ප්‍රමාණයක් දකින්න පුළුවන්. මේ ඖෂධ පැළෑටි අතුරින් තවත් එක් වැදගත් පැළෑටියක් ගැනයි මම අද ඔයාලට විස්තර කරන්නේ.

මේ පැළෑටිය තමයි ‘කොල්ලන් කොළ’ පැළෑටිය.

මේ පැළෑටියේ නාමය ගැන සලකන කොට දකින්න පුළුවන් විශේෂයක් තමයි ගසේ නම සඳහන් කරද්දී “කොළ” යන්නත් අගට එක්වී “කොල්ලන් කොළ “ නාමයෙන් හැදින්වීම.”

එවිට භාග්‍යා නම් ශිෂ්‍යාව ප්‍රශ්නයක් නඟමින්...

“එතකොට සර් මම අහල තියෙනවා කොල්ලන් කොළ ශාකය ට දේශීය වෙදකමේ ‘පුෂ්පරාජ කුමාරයා’ කියලත් කියනවා කියලා. ඒක ඇත්තද?” අසුවාය.

“ඔව් භාග්‍යා දේශිය වෙදක්මේ මේ නම කියනවා. එසේම දේශීය වෛද්‍ය ක්‍රමයේ වගේම ආයුර්වේද වෛද්‍ය ක්‍රමයේත් විවිධ රෝගාබාධ රාශියකට ඖෂධ යෝග සඳහාත් විවිධ ඖෂධ සංස්කරණය සඳහාත් කොල්ලන් කොළ බොහෝ සෙයින් යොදා ගනු ලබනවා”

“එතකොට සර් කොල්ලන් කොළ වැවෙන්නෙ කොයි ප්‍රදේශ වලද?” යනුවෙන් තවත් ශිෂ්‍යයකු ඇසුවේය.

“වෙනුර කොල්ලන් කොළ බටහිර ඝාට්ස්, නිල්ගිරි, බෙංගාලය, ඩැකාන්, ඝර්ම කලාපීය හිමාලය ප්‍රදේශ, මැලේසියාව වගේ විදේශීය රටවල සහ ප්‍රදේශවල දකින්න පුළුවන්

ඒ වගේම දේශීය වශයෙන් ගත්තාම ශ්‍රී ලංකාවේ අධික වියළී කලාපයේ හැර අනෙකුත් ප්‍රදේශ වල වැවෙනවා.

මීටර් 700 - 2000 දක්වා උසින් පහළ සහ ඉහළ කඳුකර වනාන්තර යටි රෝපණයක් ලෙස සුලබව හමුවෙනවා. විශේෂයෙන් හග්ගල වන රක්ෂිතයෙන් හමුවෙනවා. ඒ වගේම හන්තාන හුන්නස්ගිරිය්, මාතලේ, නුවරඑළිය, කුරුණෑගල, ගිනිගත්හේන, නමුණුකුල, ඔහිය ආදි ප්‍රදේශවල බහුල වශයෙන් දකින්න පුළුවන්”

“කොල්ලන් කොළ මොන වගේ ගහක්ද සර්?” තවත් සිසුවියකගේ පැනයකි ඒ.

“ළමයිනේ. කොල්ලන් කොළ සාමාන්‍යයෙන් මීටර් එකහමාරක් විතර උසට වැවෙන පඳුරක්. මේ වා බීජ සහ දඬු මඟින් බෝ කරගත හැකියි. ඒ වුණාට බීජවලට වඩා පහසුවෙන් සහ ඉක්මනින් දඬුවලින් බෝ කරගන්න පුළුවන්.

මේ පඳුරු වල කඳේ මුල් කොටස ඉතා ඝනකම්. මෙහි කොළ අණ්ඩාකාර ස්වරූපයක් ගනු ලබනවා. කොළවල තැනින් තැන රළු බූවක් දක්නට ලැබෙනවා. මේවායේ මල් හට ගනු ලබන්නේ ජනවාරි සිට ඔක්තෝබර් දක්වා කාලයේදීයි. මල් නිල් පැහැයට හුරු සුදු පාටයි. මේ මල් පිපී ඉන්පසු බීජ ඇති වූ විට මල් වියළී යනවා. ඊට පසු මල් කඩා වියළා අතින් පොඩිකලාම බීජ ලබාගත හැකියි. මේ බිජ දුඹුරු පාටයි.”

“එතකොට සර් කොල්ලන් කොළ හදුන්වන වෙනත් නම් මොනවාද?”

“ළමයිනේ.... පොදු සිංහල නාමයන් වන්නේ .කොල්ලන් කොළ ...ගං කොල්ලන් කොළ ..ගස් කොල්ලන් කොළ ආදියයි.

ඒ වගේම සංස්කෘත භාෂාවෙන් තමාල පත්‍ර... තමල් පත්... තමල දල... සහ තමලච්ඡද යන නම් යෙදෙනවා ..

හින්දි භාෂාවෙන්

පචෝලි යන නාමය යෙදෙනවා

දෙමළ භාෂාවෙන්

කට්ටම් යනුවෙන් හදුන්වනවා

කොල්ලන් කොළවල උද්භිද විද්‍යාත්මක නාම

Pogostemon heyneanis Benth  සහ Pogostemon patchouli Hook  ආදියයි.

මෙහි කුලය වන්නෙ LABIATAE හෙවත් තුලසි කුලයයි.

මේ තුලසි කුලයට අයිති අනෙකුත් ශාකයන් වන්නේ යක්වනස්ස..තුඹ.. කප්පරවල්ලිය..මදුරුතලා...පූදිනා(මිංචි)... ඉරිවේරිය ආදියයි.

ඒ වගේම කොල්ලන් කොළවල දලු සහ කොළ විශේෂයෙන් ඖෂධ සඳහා යොදා ගනු ලබනවා.. ඒ වගේම සම්පූර්ණ පැළෑටියම යොදා ගන්නා අතරම වියළී පත්‍ර තෙල් සඳහා යොදා ගනු ලබනවා.

ඒ වගේම තමයි මේ කොල්ලන් කොළවල ඉතාමත් සුවඳවත් වාෂ්පශීලී තෛල පදාර්ථයක් අන්තර්ගතයි. බෙංගාලි කොල්ලන් කොළ අධික සුවඳයි. මේ සුවඳ නිසා රෙදි පිළි කෘමීන්ගෙන් ආරක්ෂා කරගන්න වියළි කොල්ලන් කොළ රෙදි අල්මාරිවල රෙදි අතරින් තබනවා.

“සර්. එතකොට මේ කොල්ලන් කොළවල ඖෂධීය වටිනාකම කොහොමද?” යනුවෙන් නුවන් ඇසීය.

“නුවන් කොල්ලන් කොළ රසයෙන් තික්ත යි

විර්‍යයෙන් උෂ්ණ යි

විපාකයෙන් කටුක යි .

දෝෂ අනුව ගත්තාම

කොල්ලන් කොළවල සෙම නසන ගුණයෙන්

යුක්තයි.

ඒ වගේම ප්‍රධාන වශයෙන්

උෂ්ණය, ඇති කරන

සුවඳ ඇති කරන

සෙම් නසන

මූත්‍ර වඩන

බඩගිනි වඩන

පූතිහර(සැරව නසන) ගුණවලින් යුක්තයි. ඒ වගේම බඩගිනි අඩුකම..තුවාල සහ ශාරීරික දුර්ගන්ධය සමනය කරන ගුණයන්ගෙන්ද යුක්තයි.

කොල්ලන් කොළ පත්‍ර චූර්ණය ඖෂධ සදහා යෙදීමේදී වරකට රක්තිකා 10 ක් ගත යුතුයැයි දක්වා තියෙනවා

බඩගිනි අඩුකමට මේ කොල්ලන් කොළ චූර්ණය යොදනු ලබනවා

එසේම කාන්තාවන්ගේ ප්‍රදර රෝගවලදි

කොල්ලන් කොළ ගසේ මුල් කෂාය කර දෙනු

ලබනවා

තුවාල ආදියට

කොල්ලන් කොළ අඹරා තුවාලවල ගල්වනු

ලබනවා

ශරීරයේ දුගඳ නැසීමට

කොල්ලන් කොළ චූර්ණ කර දුම් අල්ලනු

ලබනවා

ගෝනුසු විෂ සඳහා

කොල්ලන් කොළ ..කහඹිලියා.. නිදිකුම්බා මුල් ..සමව අරගෙන අඹරා භාජනයක දමා දියකර ළිප තබා රත්කර ඉන් එන දුම් ගෝනුස්සා දෂ්ඨ කළ මුඛයට අල්ලා ඉන්පසු බෙහෙත් ආලේප කරනු ලබනවා

මේ ආදි වශයෙන් කොල්ලන් කොළ අඩංගු ඖෂධ යෝග රැසක් තියෙනවා

ඒ වගේම කොල්ලන් කොළ අඩංගු සංස්කාරික ඖෂධයන්ද ක්වාථ. පාණ්ඨ. චූර්ණ ආදි වශයෙන් රාශියක් දක්නට ලැබෙනවා

ඒ අතුරින් කොල්ලන් කොළ ආදි චූර්ණය

කොල්ලන් කොළ ..සුදු හඳුන්..සාදික්කා..ගම්මිරිස් සමභාගව ගෙන සියල්ලේම බරට දුම්කොළ දමා ඉතා සියුම් ලෙස චූර්ණ කර රෙදි කඩකින් කිහිප වරක් හලාගෙන එය පිනිදියෙන් පදම් කර මී අං හෙප්පුවක අසුරා තබා ගනු ලබනවා .

මේ චූර්ණය පීනස් රෝගයේදී නාසයට ඉරීම සඳහා යොදා ගන්නවා

තවත් කොල්ලන් කොළ චූර්ණයක් තියෙනවා

කොල්ලන් කොළ ..හීං එන්සාල් ඇට ..හීං කුරුඳු පොතු ..නාමල් රේණු...වියළි ඉඟුරු ..ගම්මිරිස් ... තිප්පිලි සහ සූදුරු සමභාගව ගෙන චූර්ණ කර රෙදි කඩකින් හලා ගන්නවා. මේ චූර්ණය සූතිකා රෝග ..මක්කල්ල ශූලය..සහ ප්‍රදර රෝග ආදිය සඳහා ගුණ දායකයි.

ඒ වගේම කුෂ්මාණ්ඩාව ලේහය.

ශෝථහර ලේපය (ඉන්චිකුලම්බුව) වගේ ප්‍රකට රසායන වර්ග සංස්කරණයේදී ඒවායේ කල්කය සඳහා ගනු ලබන එක් ප්‍රධානම ද්‍රව්‍යයක් වන්නේත් කොල්ලන් කොළයි. මේ විදියට කොල්ලන් කොළ කියන්නේ ඖෂධීය වශයෙන් ඉතා වැදගත් ද්‍රව්‍යයක් කියල කියන්න පුළුවන්.

එසේම කොල්ලන් කොළවල තියෙන කෘමි නාශක ගුණය නිසා ස්වාභාවික කෘමි නාශක නිෂ්පාදනයේදී කොල්ලන් කොළ අවශ්‍ය නම් යොදා ගන්න පුළුවන්

ඒ වගේම ළමයිනේ, කිතුල් මල් කපන්න පෙර ඒ මල් කෘමීන්ගෙන් ආරක්ෂා කර ගැනීමට කොල්ලන් කොළ සමඟ කිතුල් මලට බේත් බැඳීම කරනු ලබනවා

අනෙක බෙහෙත් තෙල් වර්ග සුවඳවත් කරන්නත් කොල්ලන් කොළ යොදා ගන්නවා.

ඉතින් ළමයිනේ මෙන්න මේ වගේ ප්‍රයෝජන රාශියක් ලබාදෙන අගනා ඖෂධීය ශාකයක් විදියට කොල්ලන් කොළ හඳුන්වන්න පුළුවන්.

ඉතින් එහෙම නම් අද දේශනය මෙතනින් ඉවර කරනවා. තවත් ඖෂධ ද්‍රව්‍යයක් ගැන හෙට කතා කරමු.”

 

පොල්ගොල්ල ශාස්ත්‍රාරවින්ද

වෛද්‍ය විද්‍යාලයේ කථිකාචාර්‍ය

වෛද්‍ය මධුර පරණවිතාන

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
13 + 5 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.