පුරුෂ කාය ශක්තිය දෙන දතේ කටේ රෝග නසන මූණමල්

ජූලි 26, 2024

“මොකද ගාමිණී ස්කෝලෙ මහත්තයෝ උදේ පාන්දරම . බෙහෙත් ගන්නද?”

“අපේ සිරිසේන වෙද මහත්තයෝ. මම උදේම ටවුමට යන ගමන්. ඔබතුමා බේත් සාප්පුව ඇරල තියෙන නිසා නැවතුණා. මගේ පුතාට පොඩි අසනීපයක් තියෙනවා. ඒකටත් උපදේශයක් ගන්නත් එක්කලයි ආවෙ.”

“මොකක්ද ස්කෝලෙ මහත්තයෝ පුතාට තියෙන අසනීපය. අපි බලමු මොකක්ද කරන්න පුළුවන් කියල”

“මේකයි වෙද මහත්තයෝ මගේ පුතාගෙ දත් මුල් දියවෙනවා. ඒ වගේම විදුරුමස්වලින් ලේ එනවා. කට ගඳ ගැසීමත් තියෙනවා. ඒකට මොනවාද කරන්න ඕන කියල තමයි දැනගන්න ඕනෑ.”

“පුතාගෙ වයස කීයද ස්කෝලෙ මහත්තයෝ ඒ වගේම වෙන මොනවාද පුතාට තියෙන අසනීප?”

“පුතාට දැන් වයස අවුරුදු 20 යි. වෙන අසනීප නම් මොකුත් නැහැ.”

“ඉස්කෝලේ මහත්තයෝ පුතාට මූණ මල් පොතු ටිකක් තම්බලා කට හොඳට හෝදන්න කියන්න. දවසට දෙවරක් විතර මේවායින් කට හේදුවාම ඔය ලෙඩේ හොඳ වේවි. බලන්නකෝ කරලා”

“හොඳයි වෙද මහත්තයෝ. ඒක කලාම ඇති වේවි නේද?. එතකොට වෙද මහත්තයෝ මූණ මල් එච්චර හොඳ බේතක් ද?”

“ඔව් ස්කෝලෙ මහත්තයෝ මූණ මල් කියන්නේ කටේ ඇතිවන සියලුම රෝගවලට හොඳ ඖෂධයක්.

මිනිස්සුන්ට හැදෙන රෝගවලින් මුඛ රෝග කියන්නේ ප්‍රධාන රෝග කාණ්ඩයක්. ඉතින් මේ මුඛය ආශ්‍රිතව ඒ වගේම දත් ආශ්‍රිතව හැදෙන රෝගවලට වගේම තවත් රෝග බොහොමයකට ගුණ දෙන අගනා ඔසුවක් තමයි මූණ මල් කියන්නේ

ඒ වගේම ස්කෝලෙ මහත්තයෝ මේ මූණ මල්වල ඖෂධීය වටිනාකම ගැන නාගරික ජනතාවගේ එතරම් දැනීමක් නැහැ. හැබැයි ගම්බද මිනිස්සු මේවායේ වටිනාකම හොදින් දන්නවා.”

“මූණ මල් අපේ රටේ හැම තැනම වැවෙන ශාකයක් ද වෙද මහත්තයෝ?”

මේ මූණ මල් ශාකය පහතරට තෙත් කලාපයේ හොඳින් වැවෙන දේශීය ශාකයක්. වතු ආශ්‍රිතව වගා කිරීමත් කරනු ලබනවා. ඒ වගේම මූණ මල් දේශීය ශාකයක් විදියට හැඳින්වුවත් ඉන්දියාවේ දකුණු ප්‍රදේශය..මැලේ අර්ධද්වීපය..මියැන්මාරය වගේ විදේශීය රටවලත් වැවෙන බව පෙනී යනවා.”

“මේ ගහ උසට වැවෙන ශාකයක් නේද වෙද මහත්තයෝ.”

“ඔව් ස්කෝලෙ මහත්තයා. මූණ මල් ශාකය මීටර් 15 ක් විතර උසට වැවෙන ශාකයක්. ගහ මුදුන ඝනව විසිරිලා පවතිනවා. ඒ වගේම මේ ගස්වල කොළ සුමටයි. ඒවා සෙ.මි. 5-15 දක්වා දිගින් යුතුයි. මේ කොළවල කෙලවර උල් ආකරයි. මූණ මල් ගස්වල හටගන්නා මල් සුදු පාටයි. ඒ වගේම හොඳ සුවදකින් යුක්තයි.

ඒවගේම මේ මල් තනි වශයෙන් පිහිටන්නේ. මේ ගස්වල ගෙඩි ඉදුණාම රතු පාටයි. මදය කහ පාටයි. මාංසලයි. මධුර සහ කෂාය රසයි. ඒ වගේම මේවායේ බීජ දැඩීයි. තද දුඹුරු පාටින් යුතුයි”

“මේ මූණ මල් වලට කියන වෙනත් නම් තියෙනවද වෙද මහත්තයෝ?.”

“ඔව්.

සංස්කෘත භාෂාවෙන්

වකුල..බකුල....විශාරද ..සීධ්‍ර..මද්‍යගන්ධ..මධුගන්ධ...ගුඩපුෂ්ප..ශීර්ෂ කේශරක..චිර පුෂ්ප ..මධුපුෂ්ප..සුරභි..භ්‍රමරානන්ද..ශාරදිත.. සහ මද්‍යාමෝද යන නම් යෙදෙනවා

එසේම දෙමළ භාෂාවෙන්

අලගු සහ වකුලම් යන නම් යෙදෙනවා

හින්දි භාෂාවෙන්

බකුල මුලසිරි සහ මෝලසිරි යන නාමයන් යෙදෙනවා .

වංග භාෂාවෙන්

බකුලගාජ් යැයි කියනවා .

ඒ වගේම

සිංහල භාෂාවෙන්

මූණ මල් යන නාමයට අමතරව මුහුදු සහ මුකුළු යන නාමයන් යෙදෙනවා

ඒ වගේම මූණ මල්වල උද්භිද විද්‍යාත්මක නාමය වන්නේ Mimusops elengi Linn,, වන අතර කුලය SAPOTACEAE හෙවත් මධුක (මී) කුලය වෙනවා.

“වෙද මහත්තයෝ මේ ගස්වල පංචාංගයම ඖෂධ සඳහා ගන්නවද?.”

“ඔව් ස්කෝලෙ මහත්තයෝ. මූණ මල් ගසේ ගෙඩි ..මල් ..පොතු ...කොළ සහ ඇට ඖෂධ සඳහා යොදා ගනු ලබනවා .

ඒ වගේම මූණ මල්වල ඖෂධීය ගුණ කර්ම ගැන සැලකුවාම

මේවා රසයෙන් කටුක සහ කෂාය රසයි.

ගුණයෙන් ගුරු ගුණයි. විපාකයෙන් කටුකයි. වීර්‍යයෙන් අනූෂ්ණයි. රසයෙන් සහ විපාකයෙන් කටුක නිසා සෙමත් රසයෙන් කෂාය නිසා පිතත් සමනය කරන බැවින් සෙම් පිත් රෝගවලදී මූණ මල් ඖෂධීය අංග බෙහෙවින් යොදා ගනු ලබනවා.

එසේම මේවායේ මල් මොළය වඩන ගුණයෙන් යුක්ත නිසා හිසේ වේදනා, මොළයේ දුබලතා සහ එම හේතුවලින් හටගත් රෝග සඳහා ප්‍රයෝග කරන අතර වියළි මල් චූර්ණය නස්‍ය කිරීමෙන් හිසේ ඇති වන සියලු වේදනා සමනය කෙරෙනවා.

ඒවගේම මෙහි තියෙන කෂාය රසය නිසා දත් සවිකරන ගුණයත්, පණුවන් නසන ගුණයත්, ග්‍රාහී ගුණයත් සහිතයි. මේ නිසා දත් සෙලවීමේදී මූණ මල් පොතු කෂායට තිප්පිලි කුඩු..මීපැණි සහ ගිතෙල් මිශ්‍ර කරල ගණ්ඩූෂධාරණයෙන් සෙලවෙන දත් සවිවෙන අතර දත්වල වේදනා සමනය කරනු ලබනවා .

එසේම මූණ මල් මුල්වල පොතු කල්කය දින 3 ක් උදේට එළකිරි සමග බීමෙනුත් දත් සවිවෙනවා.

ඒ වගේම මූණ මල් ඇට චූර්ණය දත් මැදීම සඳහා භාවිත කිරීමෙන් ද දත් සවිවෙනවා.

මුලේපොතු සැපීමෙනුත් සෙලවෙන දත් ස්ථිර වෙනවා .

එසේම ළා මූණ මල් දඩු දැහැටි දඩු වශයෙන් භාවිතා කිරීමෙන්ද දත් සවිවී ස්ථිර වෙනවා

මේ විදියට දත් සහ මුඛය ආශ්‍රිත රෝග බොහෝමයකදී මූණ මල්වල විවිධ ප්‍රයෝගයන් මඟින් වඩාත් සාර්ථක ප්‍රතිඵල ලබා දෙන අතරම දත් සෙල්වීම් නැතිකර ස්ථිර දත් ඇති කරනු ලබනවා.

එසේම අතීසාර සහ ප්‍රවාහිකා ආදියට මූණ මල් පොතු කෂාය විශේෂයෙන් ගුණදායකයි. ඒ වගේම පණු රෝග සඳහාත් මෙය ඉතා ගුණදායකයි.

ඒ වගේම ස්කෝලෙ මහත්තයෝ මේවායේ මල් හදවතට හිතකරයි. ගෙඩි සහ පොතු ලේ නතර කරන ගුණයෙන් යුක්තයි. මේ නිසා මල්වලින් සකස් කළ අර්කය හදවත් රෝගීන්ට විශිෂ්ට ගුණ ලබා දෙනවා .

රත් පිත සහ රක්ත අතීසාරයට මූණ මල්වල ගෙඩි සහ පොතු උපයෝගී කරගනු ලබනවා

ඒ වගේම මූණ මල්වල ඖෂධීය කොටස් මූත්‍ර මාර්ග ආශ්‍රිත වැගිරීම් ..සහ වස්ති ප්‍රදේශයේ ඉදිමුම් ආදිය සමනය කරන ගුණයෙන් ද යුක්තයි

ඒ වගේම මූණ මල්

ගර්භාෂයේ ලිහිල් බව ඉදිමුම් සහ යෝනිශ්‍රාව මර්දනය කරන ගුණයෙන් යුක්ත නිසා රක්ත ප්‍රදර, ශ්වේත ප්‍රදර, වැනි කාන්තාවන් කෙරෙහි හටගන්නා රෝගවලදි විශේෂ ගුණ ලබාදෙන අතර ශුක්‍ර ස්තම්භන ගුණ ඇති නිසා ශුක්‍ර මේහ ආදි පුරුෂයන් කෙරෙහි හටගන්නා රෝගවලදීද විශේෂ ගුණ ලබාදෙනවා.

එසේම මේවායේ මුල්වල වාජීකරණ ගුණයද ඇති නිසා පිරිමින්ගේ නැතිවී යන කාය ශක්තිය නැවත ලබා ගැනීම උදෙසාත් මෙය බෙහෙවින් ප්‍රයෝජනවත් වෙනවා.

මෙයට අමතරව මූණ මල්වල උණ නසන ගුණ ඇති නිසා උණ අවස්ථාවලදී මූණ මල් පොතු කෂාය ප්‍රයෝග කරනු ලබනවා.

එසේම විෂ නිසා ඇතිවන රෝගවලදී පොතු ද සාමාන්‍ය දුබලතා සඳහා ගෙඩි ද ප්‍රයෝග කරනු ලබනවා .

ඒ වගේම රක්ත අතීසාර සහ රක්ත ප්‍රවාහිකාවලදී මූණ මල් ගෙඩි කෑම ඉතා හොඳයි. මූත්‍ර දැවිල්ල ඇති වෙලාවට මූණ මල් ගෙඩි 10- 12 ක් පමණ කෑමෙන් දැවිල්ල නැති වෙනවා.

එසේම මූත්‍ර සමඟ ලේ යනවිටත් මූණ මල් පොතු කෂාය ඉතා හොද බේතක්.

තවත් හොඳ බෙහෙත් කීපයක් තියෙනවා ස්කෝලෙ මහත්තයෝ මූණ මල්වලින් හදන

ළදරුවන්ගෙ වියළි කැස්සට

මූණ මල් ගසේ මල් 5-6 ක් විතර වතුර කෝප්ප කාලක දමා රාත්‍රියක් තියල පසුදින උදේ මිරිකා පෙරා බීමෙන් ඉතා සාර්ථක ප්‍රතිඵල ලබා දෙනවා.

මූත්‍ර අමාරු සහ මූත්‍ර ගල්වලට

මේ මල් සරුවත් පානය ඉතා ගුණ දායක වන අතර මූත්‍ර ගල් ද කැඩී පිට වෙනවා

ශරීරයේ අධික උෂ්ණයට

මූණ මල් ගෙඩි නිතර කෑමට ගැනීමෙන් ශරීර උෂ්ණාධික බව සමනය වෙනවා

හිසේ වේදනාවට

මූණ මල් ගසේ මල් චූර්ණය නාසයට ඉරීමෙන් එම වේදනා සමනය වෙනවා.

මෙන්න මේ ආකාරයට ස්කෝලෙ මහත්තයෝ මූණ මල් කියන්නේ දත් රෝගවලට විශේෂ ගුණ දෙන අතරම තවත් රෝගාබාධ රාශියකට ගුණදායක අගනා ඔසුවක්.

එතකොට වෙද මහත්තයෝ මූණ මල්වලින් සකස් කරපු සංස්කාරික ඖෂධත් තියෙනවාද

ඔව් ස්කෝලෙ මහත්තයෝ මූණ මල්වල විවිධ කොටස් යොදා සකස් කළ දන්ත චූර්ණ වර්ග රාශියක් තියෙනවා. මොකද දත් බේත්වලට නැතුවම බැරි ද්‍රව්‍යයක් තමයි මූණ මල් කියන්නේ. ඒ වගේම බකුලාදී තෛලයත් මූණ මල් යොදා සකස් කළ දන්ත රෝග සහ මුඛ රෝග සඳහා යොදා ගන්නා අගනා ඔසුවක්.

ඉතින් ස්කෝලෙ මහත්තයෝ මූණ මල්වල දැන ගත යුතු ඖෂධීය ගුණ ආදිය තමයි මම කීවේ. මේ කරුණු ඔබතුමාට ගොඩක් ප්‍රයෝජනවත් වේවි.”

“ඔව් වෙද මහත්තයෝ මූණ මල් ගැන මට හොඳ අවබෝධයක් ලැබුණා. ඒගැන ඔබතුමාට ගොඩක් පිං” යනුවෙන් පවසා ඉස්කෝල මහතා නික්ම ගියේය.

 

පොල්ගොල්ල ශාස්ත්‍රාරවින්ද

වෛද්‍ය විද්‍යාලයේ කථිකාචාර්‍ය

වෛද්‍ය මධුර පරණවිතාන

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 7 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.