පියයුරුවල තැවරූ විට මවු කිරි වඩවන කලාඳුරු

අගෝස්තු 23, 2024

 

“ගයනි අක්කේ. ඔයා මේ වෙලාවෙ වැඩක්ද?”

“ඇයි පියුමි නංගි. මම මේ වෙලාවෙනම් වැඩක නෙවෙයි හිටියෙ.මොකද වුවමනාවක් ද නංගී?”

“ඔව් අක්කෙ වුවමනාවකට තමයි ආවෙ. අක්කෙ ඔයා දැන් ආයුර්වේද වෛද්‍ය විද්‍යාලයේ අවසාන වසරේ නේද”

“ඔව් නංගි .මොකද කෙරෙන්න ඕනෑ”

“අක්කෙ... මට උසස් පෙළ ව්‍යාපෘතියට ඖෂධ පැළෑටි ගැන තොරතුරු ටිකක් දැන ගන්න අවශ්‍ය වෙනවා. කලාඳුරු ගැන තමයි විස්තර ටිකක් අවශ්‍ය වෙලා තියෙන්නේ”

“හරි මම කියල දෙන්නම්.”

“කලාඳුරු කියන්නේ අජීර්ණ රෝගවලට හොඳම ඖෂධයක්. අපේ ආහාර ජීර්ණ පද්ධතිය ප්‍රධාන කොටස් කිහිපයකට බෙදෙනවා. මුඛය, ගලනාලය, ආමාශය, ග්‍රහණිය, කුඩා බඩවැල, මහ බඩවැල, ගුදය ආදි වශයෙන්. මෙන්න මේ ඉන්ද්‍රියයන් ආශ්‍රිතව ඇති වන අතීසාර, ග්‍රහණි වගේ රෝගයන් සඳහා යොදා ගන්නා ඖෂධ යෝගවල තිබෙන ප්‍රධානම ඖෂධ ද්‍රව්‍යයක් තමයි කලාඳුරු කියන්නේ. ඒ වගේම තවත් රෝග රාශියකට කලාඳුරු ඖෂධ විදියට යොදා ගනු ලබනවා.”

“එතකොට අක්කේ කලාදුරු අපේ රටේ විතරයිද හැදෙන්නේ?”

“නෑ... නෑ...ලෝකයේ සෑම තැනම වගේ දකින්න පුලුවන්. ඝර්ම කලාපීය සහ සෞම්‍ය කලාපීය රටවල කලාඳුරු බොහෝ සෙයින් දකින්න පුළුවන්. විශේෂයෙන් ඉන්දියාවේ දකුණු ප්‍රදේශයේ බහුල ලෙස දක්නට ලැබෙනවා.

ශ්‍රී ලංකාවේත් සෑම ප්‍රදේශයකම පාහේ පැතිරී පවතින පැළෑටියක්. විශේෂයෙන් පහතරට සහ මැද රට ගල් පර්වත සහිත කැළෑවල වනගතව වැවෙනවා.

පියුම් නංගී කලාඳුරු පැළෑටි දැකල තියෙනවා නේද? මේවා බහු වාර්ෂික පැළෑටි. කලාඳුරු අල මි.මි. 3-7 පමණ පළලයි. මි.මි. 12 ක් විතර දිගින් යුතුයි. දඬු වෙන් වෙන්ව හෝ සුළු සංඛ්‍යාවක් එකට තියෙනවා. මේ පැළෑටි සෙ.මි. 10 -40 පමණ උසට වැවෙනවා. මේවායේ අල සහ මුල් ඖෂධ ප්‍රයෝගයන්ට ගනු ලබනවා.”

“එතකොට අක්කෙ කලාඳුරුවලට වෙනත් නම් කියනවද?”

“ඔව්... සිංහල භාෂාවෙන් කලාඳුරු සහ වම්මුතු කියන නම් යෙදෙනවා. සංස්කෘත භාෂාවෙන් මුස්තක, ජලද, අම්භෝද, අම්බුධාරා, අබ්ද, කුරුවින්ද, මේඝා ආදි නම් රාශියක් යෙදෙනවා. හින්දි භාෂාවෙන් මෝරා යනුවෙනුත් දෙමළ භාෂාවෙන් කෝලායි සහ කිලන්ගු යන නම් ද යෙදෙනවා. ඉංග්‍රීසි භාෂාවෙන් Nut Grass pv  නම යෙදෙනවා. කලාඳුරුවල උද්භිද විද්‍යාත්මක නාමය

Cyperus rotundus Linn වන අතර

කුලය ,CYPERACEAE හෙවත් මුස්තා කුලයයි.

ඒ වගේම කලාඳුරුවල ප්‍රභේද 4 ක් තියෙනවා.

1 මුස්තක

2 භද්‍ර මුස්තක

3 නාගර මුස්තක

4කෛවර්ණ මුස්තක වශයෙන්”

“එතකොට අක්කේ කලාඳුරුවල ගුණාගුණ මොනවද?”

මෙය රසයෙන් තික්ත, කටුක සහ කෂාය රසයි. ගුණයෙන් ලඝු හා රූක්ෂයි වීර්‍යයෙන් ශීතයි විපාකයෙන් කටුකයි. මෙහි කටුක තික්ත කෂාය රස තියෙන නිසා සෙම සමනය වෙනවා.

ශීත වීර්‍යය ඇති නිසා පිත සමනය වෙනවා

මේ නිසා කලාඳුරු සෙම්, පිත්තජ රෝග සඳහා යොදා ගනු ලබනවා.

එසේම කලාඳුරුවලින් සකස් කළ ආලේපය සමේ දෝෂ නසන ගුණයෙන් මව්කිරි වඩන ගුණයෙන් සහ ලේපන ගුණයෙන් යුතුයි . ඒ නිසා මේ ආලේපයෙන් කැසීම සහ සමේ රෝග නසනවා පියයුරුවල ආලේපයෙන් මව්කිරි වැඩීම සිදු වෙනවා. ඒ වගේම ඇස් රෝගවලදි අඳුන් සඳහා යොදා ගනු ලබනවා. එසේම කලාඳුරු මොළයට හිතකාරී වගේම ස්නායු පෝෂක ගුණයෙන් යුතුයි. ඒ නිසා මොළයේ දුබලතාවලට සහ අපස්මාරයේදී ( මී මැස්මොරය) කලාඳුරුවලින් සකස් කළ කල්කය එළකිරි සමඟ දෙනු ලබනවා.

ඒ වගේම කලාඳුරු පිපාසා නසන, පණුවන් නසන, බඩගිනි වඩන ආදි ගුණවලින් යුතුයි. ඒ නිසා පිපාසා, අරුචි, වමන, අජීර්ණ, ග්‍රහණි සහ පණු රෝග සඳහා යොදනු ලබනවා.

ඒ වගේම කලාඳුරුවල ලේ පිරිසිදු කරන ගුණ තියෙන නිසා ලේ දෝෂවලදි ලේ පිරිසිදු කිරීමට යොදා ගන්නවා.

එසේම කලාඳුරුවල සෙම නසන ගුණයත් තියෙන නිසා කැස්ස සහ ඇදුම රෝග සඳහා යොදා ගනු ලබනවා.

තවද කලාඳුරුවල මූත්‍ර කාරක ගුණයද පවතින නිසා මූත්‍ර කෘච්ජ්‍ර රෝගයට සඳහා යොදනු ලබනවා

ඒ වගේම ගර්භාෂ සංකෝචන ගුණයත්, මව්කිරි වඩන ගුණයත්, මව්කිරි පිරිසිදු කරන ගුණයත් කලාඳුරුවල ඇති නිසා කිරි දෙන මව්වරුන්ට ඉතාමත් ගුණදායකයි.

එසේම කලාඳුරුවල ඩාදිය ඇති කරන ගුණයත්, සමේ රෝග නසන ගුණයත් සහිතයි. ඒ නිසා කැසීම් ආදි සමේ රෝගවලදි කලාඳුරු අඩංගු ඖෂධ යොදනු ලබනවා.

ඒ වගේම කලාඳුරු උණ නසන ගුණයෙන් ද යුතු නිසා උණ රෝගයේදී කලාඳුරු අඩංගු ඖෂධ යෙදීමෙන් උණ සමනය වන අතර පිපාසා නසා ශක්තිය වඩනවා .

ඒ වගේම විෂ නසන ගුණයෙන් ද, බලකාරී ගුණයෙන් ද යුතු නිසා කලාඳුරු විෂ සදහාත් ශාරීරික දුබලතා සදහාත් යොදා ගනු ලබනවා.”

“එතකොට ගයනි අක්කේ ඒ ඒ රෝගවලට යොදනු ලබන කලාඳුරු අඩංගු ඖෂධ යෝග මොනවාද?”

පියුම් නංගී ඒවගේ ඖෂධ යෝග නම් ගොඩක් තියෙනවා. උදාහරණ විදිහට...

ආම අතීසාරයට

ධාන්‍ය පංචක කෂායට හෝ කලාඳුරු අල කෂායට නවරත්න කල්කය දමා දෙනු ලබනවා

පක්ව අතීසාරයට

කලාඳුරු කෂායට මීපැණි හෝ විජයකුමාර කල්කය දමා දෙනවා

 

ඇසේ මල් පොලට සහ ඇස් රතුපාට වූ විට

කලාඳුරු අල එලු මස් වලින් අඹරා අදුන් ලෙස යොදනවා

 

වණ තුවාල ආදියට

කලාඳුරු අල ගිතෙලින් අඹරා ආලේප කරනු ලබනවා

 

මූත්‍ර කෘච්ජ්‍රයට

කලාඳුරු අල තම්බා බීම හොඳයි

අපස්මාරය(මීමැස්මොර) සඳහා

කලාඳුරු පඳුරේ උතුරු පැත්තෙ තියෙන අල අරගෙන අඹරා රන්වන් පාටින් යුතු සහ පැටියෙක් සහිත එලදෙනකගේ කිරි සමඟ පෙවීමෙන් අපස්මාරය සුවවේ.

එසේම කලාඳුරු අල කල්කය එළුකිරි සමඟ බීමත් හොඳයි .

 

මව්කිරි වැඩිවීමට

කලාදුරු අල වතුරින් අඹරා පියවුරුවල ආලේපය ඉතා හොඳයි

කැසීම්..පාමා..ගජචර්ම.ආදි සමේ රෝගවලට

කලාඳුරු අල ආලේපය යොදනු ලබනවා

 

උණ රෝගයට

මුස්තාපර්පටාදී ක්වාථය හොඳයි

ඒ වගේම විශේෂයෙන් අරුචි, ග්‍රහණි, ආමාතිසාර, වමන, අජීර්ණ, අර්ශස් ආදියට වගේම සංග්‍රහ ග්‍රහණියේදීත් කලාඳුරු අල බෙහෙවින් ගුණදායකයි.

එසේම උණ පිත් උණ සූතිකා උණ ආදියට කලාඳුරු ඉතා හොඳයි

එසේම කලාඳුරු මඟින් පිපාසය මැඩපැවැත්වෙන අතර ඩාදිය හොඳින් පිටවෙනවා. එසේම උත්තේජනය ඇති කරන අතර මූත්‍ර නික්මීමත් හොඳ අතට හැරෙනවා.එසේම ගර්භාෂය මද වශයෙන් හැකිලීමද සිදුවෙනවා.”

“එතකොට අක්කේ කලාඳුරු අඩංගු සංස්කාරික ඖෂධත් තියෙනවාද?”

‘‘ඔව්. මුස්තා පර්පට භූනිම්බාදී ක්වාථය

මුස්තා ශුණ්ඨී ධාන්‍ය ජාලී ගුඩූචී........ආදි ක්වාථය ෂඩංග පානය, ධාන්‍ය පංචකය, මුස්තකාරිෂ්ඨය, මුස්තකාදී වටිය

මුස්තකාදී මෝදකය ආදී ඖෂධ ප්‍රධාන වශයෙන් අතීසාර ග්‍රහණි අජීර්ණ අග්නි මාන්දිය( බඩගිනි අඩුකම) ආදි ආහාර ජීර්ණ පද්ධතිය ආශ්‍රිත රෝගවලට විශිෂ්ට ගුණ ගෙන දෙනු ලබනවා.

ඉතින් නංගී කලාඳුරු කියන්නේ ඉතා විශිෂ්ට ඖෂධයක්. මේ කරුණු ටික ඔයාට හොඳටම ඇතිවෙයි කියල හිතනවා.”

“ඔව් “අක්කේ ඔයාට ගොඩක් පිං. මට මේ ටික කියල දුන්නට. මම මේ කරුණුවලින් අවශ්‍ය දේ කර ගන්නම්. ඔයාට ගොඩක් ස්තුතියි.”

 

පොල්ගොල්ල ශාස්ත්‍රාරවින්ද

වෛද්‍ය විද්‍යාලයේ කථිකාචාර්‍ය

වෛද්‍ය මධුර පරණවිතාන

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
9 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.