කොණ්ඩය හැළෙනවාද? රෑට ඇස් පේනවා අඩුද?

මේ ලිපිය කියවන්න
අගෝස්තු 9, 2024

“මොකද ඉස්කෝලේ නෝනා... දුවත් එක්ක කොහේ යන ගමන්ද?”

“වෙන කොහේවත් නෙවෙයි.

වෙද නෝනා මෙහේටමයි ආවෙ. මේ දුවට බේත් ටිකක් ගන්න” “ඇයි? මොකක්ද දුවට තියෙන අසනීපය. කියන්න බලන්න.”

“මේ අපේ දුවගෙ කොණ්ඩය යනවා. නාලා ඔළුව පිසින කොට වගේම පනාවෙන් කොණ්ඩය පීරන කොටත් හිසකෙස් ගොඩක් ගැලවෙනවා.”

“අද කාලයේ ගොඩක් අයට ඔය ප්‍රශ්නය තියෙනවා ඉස්කෝලේ නෝනා. හිස කෙස් කියන්නේ ස්ත්‍රී පුරුෂ දෙගොල්ලගේම රූප අලංකාරය සඳහා අත්‍යවශ්‍යයෙන්ම තිබිය යුතු අංගයක්. විශේෂයෙන්ම කාන්තාවන්ගේ රූප සම්පත්තිය සඳහා අවශ්‍යයෙන්ම තිබිය යුතු පංච කල්‍යාණයෙන් එකක් විදියට කේශ කල්‍යාණය හදුන්වන්න පුළුවන්.

ඒත් හිස කෙස් ආශ්‍රිත රෝග බහුල ලෙස වැඩිවී ඇති බව මේ කාලයේ පැහැදිලිව පෙනීයන දෙයක්. අපි ගන්නා ආහාරවල යම් යම් දෝෂ, ඒ වගේම හිසේ ගල්වන ආලේප සහ ෂැම්පු වර්ග වල ආසාදන සහ පීනස ආදි රෝග වගේම තවත් හේතු රාශියක් නිසා අකලට හිස කෙස් පැසීම බහුල ලෙස හිස කෙස් ගැලවී යාම තට්ටය පෑදීම වගේ තත්ත්වයන් බොහෝ අයට දකින්න පුළුවන්

ඒ නිසා ඉස්කෝලේ නෝනා දුවගෙ ඔය තියෙන තත්ත්වය අද බොහෝ දෙනෙකුට තියෙනවා. ඒ වුණාට බයවෙන්න දෙයක් නැහැ . ආයුර්වේදයේ මේ සඳහා හොඳ ප්‍රතිකාර තියෙනවා මේ සඳහා අපි ගන්නා ප්‍රධාන ඖෂධයක් තමයි කීකිරිඳිය කියන්නේ.”

“වෙද නෝනා කීකිරිඳිය කියන්නේ හොඳ බෙහෙතක් නේද?”

“ඔව් ඉස්කෝලේ නෝනා කීකිරිඳියවලින් තෙල් ඇතුළු බෙහෙත් රාශියක් තියෙනවා හිස කෙස්වල ආබාධවලට හොඳ”

“කීකිරිඳිය කුඹුරු වගේ තැන්වල තියෙනවා නේද වෙද නෝනා.”

“ඔව් ඉස්කෝලේ නෝනා කීකිරිඳිය ඉන්දියාවේ සහ ශ්‍රී ලංකාවේ තෙත් වන භූමි කුඹුරු නියරවල් සහ වැව් ආශ්‍රිතව වගේම ජලය බැසයන කානු ආශ්‍රිතවත් හොඳින් වැවෙනවා.

ඒ වගේම කීකිරිදිය සෘජු හෝ වැතිරී යන පැළෑටියක්. මේවායේ තියෙන ගැට වගේ තැන්වලින් තමයි මුල් හට ගන්නෙ

කීකිරිදිය කියන්නේ සරල පත්‍රවලින් යුක්ත ශාඛා රාශියකට බෙදුණු පැළෑටියක. ඒ වගේම මේවායේ මල් රාශියක් හටගන්නවා මේ මල් හටගන්නේ... ජනවාරි සිට මැයි දක්වා හෝ නොවැම්බර්මාසයේදියී.

 

 

ඒ වගේම ඖෂධ සඳහා යොදා ගන්න විට සම්පූර්ණ පැලෑටියම ගනු ලබනවා.”

“වෙද නෝනා කීකිරිදියවලට භෘංගරාජ කියල කියනව නේද?”

“ඔව් ඉස්කෝලේ නෝනා මී මැස්සා හඳුන්වන නාම විශේෂය කීකිරිඳියවලට සංස්කෘත භාෂාවෙන් යෙදෙනවා භෘංගරාජ, භේකරාජ, කේශරාජ, කේශරංජන, අජාගාර මහා නීල, අංශාරක, මාර්කව, බ්‍රිංගා ආදී නම් රාශියක් සංස්කෘත භාෂාවෙන් යෙදෙනවා

ඒ වගේම හින්දි භාෂාවෙන් භෘංශරා සහ භෘංගරෙයා යන නම් යෙදෙනවා දෙමළ භාෂාවෙන් කයිකේශි, කාරිප්පන් සහ ගරුගා යන නම් යෙදෙනවා.

කීකිරිඳියවල උද්භිද විද්‍යාත්මක නාමය

Eclipta alba Hassk  වන අතරම

කුලය වන්නේ COMPOSITAE හෙවත් භෘංගරාජ කුලයයි.” “වෙද නෝනා කීකිරිදිය වර්ග 2ක් තියෙනවා නේද?” “ඔව් සුදු මල් කීකිරිඳිය සහ කහ මල් කීකිරිඳිය කියල වර්ග 2ක් තියෙනවා. මේවා මල්වල පාට අනුව ප්‍රභේද කළාට ගුණයෙන් වෙනසක් නැහැ.”

“එතකොට වෙද නෝනා කීකිරිඳියවල ගුණාගුණ මොන විදියද?”

“කීකිරිදිය රසයෙන් කටුක හා තික්ත රසයි. ගුණයෙන් ලඝු හා රූක්ෂයි වීර්‍යයෙන් උෂ්ණ යි. විපාකයෙන් කටුක යි. මේ නිසා සෙම සහ වාතය සමනය කරනවා. ඒ නිසා සෙම් වාත රෝග සඳහා යොදනු ලබනවා

ඒ වගේම කීකිරිඳියවල තියෙන විශේෂිත ගුණ සැලකුවොත් ඉදිමුම් නසන, වේදනා සමනය කරන තුවාල සමනය කරන ගුණවලින් යුතුයි. එනිසා මේවායේ දී ආලේප ලෙසද යොදනු ලබනවා.

වර්ණීකරණ ගුණ කීකිරිඳියවල ඇති නිසා සමේ පැහැය ඇති කරනවා.

ඇස්වලට හිතකර නිසා ඇස් රෝගවලදි කීකිරිඳිය යුෂ ඇසට දමනු ලබනවා.

කන් කැක්කුමේදී මෙම යුෂ කණට දැමීමත් හිසරදයට මේ යුෂ හිසේ ගෑමත් ඉරුවාරදයේදී මේ යුෂ එළකිරි සමඟ නස්‍ය කිරීමත් කරනු ලබනවා.

විශේෂිතම දේ වන්නේ මෙහි කෙස් වඩන සහ කෙස් කළු කරන ගුණ ඇති නිසා අකලට කෙස් වැටෙන අවස්ථාවල මේ යුෂ හිසකෙස්වල ආලේප කිරීම ඉතා හොඳයි.

එසේම වාත සමන සහ වේදනා ගුණ ඇති නිසා හිසේ වේදනා සහ කැරකිල්ල ආදියට යොදනු ලබනවා.

කීකිරිඳියවල ඇස්, පෙනීම දියුණු කිරීමේ ශක්තිය තියෙනවා .ඒනිසා පෙනීමේ දුබලතාවයන්ට සහ නක්තාන්ධ්‍යතාව නමින් හඳුන්වන අඳුරේ ඇස් නොපෙනීම(Night Blindness ) සඳහා යොදා ගනු ලබනවා.

ඒ වගේම කීකිරිඳියවල දීපන, පාචන සහ අක්මා උත්තේජන ක්‍රියා ඇති කරන නිසා බඩගිනි අඩුකම, අජීර්ණ, අක්මා ඉදිමුම, පිලාව ඉදිමීම, කාමලා (සෙංගමාලය), අර්ශස් ආදියට ඉතා ගුණයි. එසේම බඩේ කැක්කුම්වලටත් හොඳයි. ඒ වගේම පණු අමාරුවටත් කීකිරිඳිය හොඳ නිසා එරඩු තෙල් සමඟ යෙදීමෙන් පණුවන් වැටෙනවා.

එසේම ලේ වඩන ගුණ ඇති නිසා ලේ අඩුකම පාණ්ඩුව හා ඉදිමුම් සඳහා යොදනු ලබනවා. සෙම නසන ගුණ ඇති නිසා කැස්ස ඇදුම ආදියට හොඳයි. මූත්‍ර දැවිල්ලටත් ගුණයි.

ඒ වගේම කීකිරිඳිය ඇටවල වාජීකරණ ගුණ සහිත නිසා කාම ශක්තිය වඩනවා. එසේම බලය වඩන සහ රසායන ගුණ කීකිරිඳියවල ඇති නිසා සාමාන්‍ය දුර්වලතා ආදියට හොඳයි.

ඒ වගේම සමේ රෝග නසන ගුණ ඇති නිසා කුෂ්ඨ කිලාස ශීත පිත්ත ආදියට හොඳයි.”

“වෙද නෝනා කීකිරිඳිය ගැන හොඳ අවබෝධයක් ලබල දුන්නා. මම නොදන්නා ගොඩක් විස්තර එයින් දැන ගත්තා. එතකොට වෙද නෝනා කීකිරිදිය අඩංගු ඖෂධ කිහිපයකුත් කියන්න පුළුවන් ද?”

“කීකිරිඳිය අඩංගු ඖෂධ යෝග රාශියක් තියෙනවා.

ඒ අතුරින් සෙම නිසා හටගත් කැස්සට කීකිරිඳිය යුෂ සහ බටු දලු යුෂ මීපැණි සමඟ යොදනු ලබනවා

අකලට කෙස් වැටීමට

එළුකිරි, කීකිරිඳිය යුෂ සහ වැල්මී සහ තල තෙල් යොදා කළ තෙල නස්න කිරීමට ගනු ලබනවා අම්ල පිත්ත නිසා හටගත් වමනයට අරළු, කීකිරිඳිය චූර්ණය උක් හකුරු සමඟ කෑමට දෙනු ලබනවා

 

රාත්‍රීයට ඇස් නොපෙනීමට

මාළු බිත්තර සමඟ කීකිරිඳිය යුෂ දමා පිස සතියක් කෑමට දීම හොඳයි

 

දෙබර විෂට

වදකහ, කීකිරිඳිය හා රසකිඳ වෙන වෙනම කොටා මිරිකා ගත් යුෂ බීමට දීම ඉතා හොඳයි.

මෙයට අමතරව කීකිරිඳිය යොදා සකස් කළ නිෂ්පාදිත ඖෂධත් රාශියක් තියෙනවා. භෘංගාමලක තෛලය, භෘංගරාජ චූර්ණය, භෘංගරාජ තෛලය, භෘංගරාජ ඝෘතය, නවපටල චූර්ණය, කුමරි පත්ම තෛලය, ෂඩ් බිංදු තෛලය, නවපටල ගුලිය ආදි වශයෙන්.”

“ඒ වගේම කීකිරිඳිය ආහාරමය වශයෙනුත් යොදා ගන්නව නේද වෙද නෝනා?”

“ඔව් කීකිරිඳිය කොළ කැඳ ලෙස සකස් කර ආහාරයට ගනු ලබනවා.

මේ කැඳ අක්මාවේ හා ප්ලීහාවේ රෝගයන්ට හොඳ ඔසුවක්

එසේම අධික ලෙස මත්පැන් පානය සහ අධික ලෙස මිරිස් කෑමෙන් ඇතිවන රෝගයන්ටත් මේ කොළ කැඳ ඉතා ගුණයි.

එසේම කීකිරිඳිය කොළ එළවළුවක් ලෙස ආහාරයට ගැනීම අර්ශස්‍ රෝගීන්ට ගුණයි.

ඉතින් ඉස්කෝලේ නෝනා කීකිරිඳිය කියන්නේ ඖෂධීය වශයෙන් වගේම ආහාරමය වශයෙනුත් වැදගත් පැළෑටියක්.

ඒ නිසා දුවගෙ කොණ්ඩය වැවෙන්න හොඳම ඖෂධය වෙන්නෙ කීකිරිඳිය. කීකිරිඳිය පාවිච්චි කළාම කොණ්ඩය හරි යාවි.”

“හොඳයි වෙද නෝනා. කීකිරිඳිය කොච්චර ගුණ ද කියල තේරුණා... ඒ ගැන ඔබතුමිය කරපු පැහැදිලි කිරීමෙන්. අද ඉඳලම මම දුවට කීකිරිදිය දෙන්නම්. ඔබතුමියට ගොඩක් ස්තූතියි.”

 

පොල්ගොල්ල ශාස්ත්‍රාරවින්ද

වෛද්‍ය විද්‍යාලයේ කථිකාචාර්‍ය

වෛද්‍ය මධුර පරණවිතාන

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
9 + 3 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.