ඔසප් වේදනා නසන ශුක්‍ර ධාතු වඩන සුවඳකොට්ටන්

සැප්තැම්බර් 20, 2024

 

“මොකද වසන්ත පුතා මේ පැත්තෙ. අසනීපයක්වත්ද? බෙහෙත් ගන්නද?”

“අසනීපයක් නම් නැහැ වෙද මහත්තයෝ. මම ආවෙ ඔබතුමා මුණ ගැහෙන්න. මට ඔබතුමාගෙන් සුවඳකොට්ටන් ගැන කරුණු ටිකක් දැන ගන්න ඕනෑ.”

“හොඳයි පුතා ආයුර්වේද වෛද්‍ය ක්‍රමය ගත්තාම බොහෝ සෙයින් ප්‍රයෝජන ගෙන දෙන ඖෂධ ද්‍රව්‍ය අති විශාල සංඛ්‍යාවක් දකින්න පුළුවන්. ඒවා අතරින් බොහොමයක් අපේ රටේ දකින්න ලැබෙනවා. තවත් බොහෝ ප්‍රමාණයක් විදේශ රටවලින් අපේ රටට ආනයනය කරනු ලබනවා. ඒ වගේම සමහර ඖෂධ ද්‍රව්‍ය මේ වනවිට අභාවයට යමින් තිබෙනවා.

ඒ වගේම තමයි තවත් සමහර ඖෂධ ද්‍රව්‍ය හදුනාගැනීමේදී විවිධ මත්භේදයන්ට හේතුවී ඇති අවස්ථාවනුත් තියෙනවා. ඉතින් මෙන්න මේ මතභේදයන්ට තුඩුදී ඇති ද්‍රව්‍යයන් අතුරින් එක් ද්‍රව්‍යයක් විදියට සුවඳකොට්ටන් හඳුන්වන්න පුළුවන්.

එතකොට මතයක් තියෙනවා මෙය කොට්ටන්වල ප්‍රභේදයක් බවත් මෙහි සුවඳවත්බව නිසා සුවඳකොට්ටන් කියල හදුන්වනවා කියලත්”

“එතකොට වෙද මහත්තයෝ සුවඳකොට්ටන්වල ප්‍රභේද තියෙනවාද?”

‘සාමාන්‍යයෙන් කොට්ටන්, සුවඳකොට්ටන් සහ පුෂ්කර මූල කියල ප්‍රභේද දක්වලා තියෙනවා. මේවා අතුරින් කොට්ටන් සහ සුවඳකොට්ටන් යන වර්ග දෙකේ පැහැදිලි වෙනසක් දකින්න නැහැ. උද්භිද විද්‍යාඥයන් අතරත් මේ ගැන විවිධ මතයන් තියෙනවා.

ඒ වගේම ආචාර්ය භාවමිශ්‍ර පවසන්නේ

කොට්ට්න් සහ සුවඳකොට්ටන් යනු ප්‍රභේද 2ක් බවයි.

ඒ කොහොම වුණත් කොට්ටන් සහ සුවඳකොට්ටන් කියන්නේ එකම උද්භිද කුලයට අයත් ඉතාම ආසන්න සහෝදර උද්භිද වර්ග2 ක් ලෙසයි සලකන්නේ.

රස, ගුණ, වීර්‍යය, විපාක ආදියෙනුත් මේ වර්ග දෙක බොහෝ දුරට සමානයි. මේ වර්ග දෙකේ අලවල ස්වරූපයත්. සුවඳත් ප්‍රධාන වෙනස්කම් විදියට දක්වන්න පුළුවන්. මේ අතරින් සුවඳකොට්ටන් වා, සෙම් ප්‍රකෝප ජ්වර, ශ්වාස(හතිය) පාර්ශව ශූල (දෑලවර වේදනා ) සඳහා ඉතා විශේෂයි.

කොට්ටන්, වාත රක්ත සහ මානසික රෝගවලදි ඉතා හොඳයි.

 

ඒ වගේම මිහිරි සුවඳක් තියෙන පුෂ්කර මූල කොට්ටන් විශේෂයක් නොවෙයි. මේ වර්ගය ආයුර්වේද චිකිත්සාවේදී භාවිත කරන්නෙ නැහැ. මේ වර්ගය සුවඳ පුයර සහ දන්තාලේප ආදිය සෑදීමට බටහිර වෛද්‍ය ක්‍රමයේ යොදා ගනු ලබනවා. ඒ වගේම මේ පුෂ්කර මූල ඉතාලියේ කෘෂි භෝගයක් වශයෙන් වවනු ලබනවා .

මේ වගේ මතභේද තිබුණත් ආයුර්වේද වෙදකමේ බෙහෙවින් යොදාගනු ලබන ඉතා වටිනා ඖෂධ ද්‍රව්‍යයක් විදියට සුවඳකොට්ටන් හදුන්වන්න පුළුවන්”

“එතකොට වෙද මහත්තයෝ මේ සුවඳකොට්ටන් අපේ රටේ වැවෙන්නෙ නැද්ද?”

“නැහැ .

අඩි 2000-13000 දක්වා උසින් යුතු හිමාලය ප්‍රදේශ සහ කාශ්මීරයේ තෙත කදුබෑවුම්වල තමයි වැවෙන්නෙ.”

“වෙද මහත්තයෝ සුවඳකොට්ටන් හදුන්වන වෙනත් නම් තියෙනවද?”

“ඔව්

සිංහල භාෂාවෙන්

උපුල් කොළ, පොකුරු මුල් සහ සුවඳකොට්ටන් නම් යෙදෙනවා.

සංස්කෘත භාෂාවෙන්

කුෂ්ඨ පුෂ්කර, මූල පුෂ්කර, ජටා පෞෂ්කර මූල පෞෂ්කර, පද්ම පත්‍ර, කාශ්මීර වගේ නම් යෙදෙනවා.

හින්දි භාෂාවෙන්

පෝහකර මූල කියනවා

සුවදකොට්ටන් උද්භිද විද්‍යාත්මකව Inula racembsa Hook  සහ Saussurea lappa C.B.Clarke  යන නම්වලින් හඳුන්වනවා.

මෙහි කුලය COMPOSITAE හෙවත් භෘංගරාජ කුලයයි..

මේ කුලයට අයිති අනෙක් ඖෂධ වන්නෙ කීකිරිදිය, මුඩමහන, අක්කරපට්ට, විෂදූල, සන්නිනායම්, පුපුල, අක්මැල්ල, මොණරකුඩුම්බිය ආදියයි.”

“එතකොට වෙද මහත්තයෝ සුවඳකොට්ටන්වල ඖෂධීය ගුණ කොහොමද?”

“වසන්ත පුතා සුවඳකොට්ටන් රසයෙන් මධුර, කටුක සහ තික්ත රසයි..

ගුණයෙන් ලඝු.. රූක්ෂ සහ තීක්ෂ්ණයි.

වීර්‍යයෙන් උෂ්ණයි

විපාකයෙන් කටුකයි

දෝෂ අනුව ගත්තාම

සුවඳකොට්ටම්, සෙම් සහ වාත සමන ගුණ යුතුයි. ඒනිසා සෙම්, වාත රෝග සඳහා යොදා ගනු ලබනවා’

ශාරීරික ව්‍යුහ ආශ්‍රිතව සැලකුවාම

බාහිර වශයෙන්

දුර්ගන්ධ නසන ගුණයෙන්, කුෂ්ඨ නසන ගුණයෙන් සහ වේදනා නසන ගුණයෙන් යුතුයි ඒ වගේම වර්ණ ඇති කරන ගුණයෙන් ද යුක්තයි.

මේ නිසා කල්ගත වූ තුවාල, සමේ රෝග, හිසේ වේදනා, දත්වල වේදනා සන්ධි ඉදිමීම් සහ ආමවාත ආදි රෝගවලදි ආලේපන ලෙස යොදනු ලබනවා. එසේම ශරීරයේ පැහැය ඇති කිරීමටත් කෙස් වැටීම් ආදිය නතර කර නැවතත් ප්‍රකෘති තත්ත්වය ඇති කීරීමටත් උදව් වෙනවා.

අභ්‍යන්තර වශයෙන් ගත්තාම සුවඳකොට්ටන් ආක්ෂේප සමන ගුණයෙන් සහ වාත සමන ගුණයෙන් යුතුයි. ඒ නිසා වාත රෝග, අපස්මාර (මී මැස්මොර), ආක්ෂේප ආදි රෝග සඳහා යොදනු ලබනවා.

එසේම සුවඳකොට්ටන් දීපන, පාචන, අනුලෝමන සහ ග්‍රාහී ගුණවලින් යුතු නිසා බඩගිනි අඩුකම, අජීර්ණ, උදරාබාධ, වේදනා, අතීසාර, විසූචිකා, විෂ්ටම්බ ආදියට යොදනු ලබනවා.

ඒ වගේම සුවඳකොට්ටන් ලේ පිරිසිදු කරන, ඉදිමුම් නසන සහ උත්තේජක ගුණවලින් යුතු නිසා වාත රක්ත, ආමවත, ඉදිමුම්, දුබලතා අදියට යොදන්න පුළුවන්.

ඒ වගේම සුවඳකොට්ටන්වල සෙම් නසන, සෙම් පිටකරන සහ හතිය නසන ගුණ යුතු නිසා කැස්ස, කක්කල් කැස්ස, හික්කාව, ඇදුම හතිය, දෑලවර වේදනා ආදියේදී ප්‍රයෝග කරනු ලබනවා. තවද මෙහි ගර්භාෂ උත්තේජක ගුණයද, ශුක්‍ර ශෝධක ගුණයද, ආර්තව උපදවන ගුණයද යුතු අතරම ශරීර වර්ධක ගුණයෙන් ද යුක්තයි. එනිසා ඔසප් දෝෂ වේදනාකාරී සෘතුවීම් සඳහාත් ප්‍රසූතියට පසුව මව්කිරි වැඩීම සඳහාත්, ශුක්‍ර ශෝධනය සහ වාජීකරණය සඳහාත් සුවදකොට්ටන් ප්‍රයෝග කරනු ලබනවා.

ඒ වගේම සුවදකොට්ටන් මූත්‍රකාරක ගුණයෙන් යුතු නිසා මූත්‍ර කෘච්ජ්‍ර රෝගීන්ට ගුණ දායකයි.

සුවඳකොට්ටන් දහඩිය උපදවන සහ කුෂ්ඨ නසන ගුණයෙන් යුතු නිසා සමේ රෝගවලට විශිෂ්ට ගුණ ගෙන දෙනු ලබනවා.

ඒ වගේම උණ නසන ගුණද සුවඳකොට්ටන්වල තියෙන නිසා සියලුම උණ රෝග සඳහා යොදන්න පුළුවන්.

එසේම රසායන ගුණයද මෙහි හොඳින් පවතින නිසා ශාරීරික දුබලතා සඳහාත් බෙහෙවින් යොදාගනු ලබනවා.”

“එතකොට වෙද මහත්තයෝ සුවඳකොට්ටන් කොයි ආකාරයට ද ප්‍රයෝග කරන්නෙ?”

වසන්ත පුතා සුවඳකොට්ටන් ඒකීය ඖෂධයක් විදියට චූර්ණ, පාණ්ඨ, ක්වාථ, තරල සාර, ක්වාථසාර ආදි වශයෙන් යොදනු ලබනවා.

ඒ වගේම වෙනත් ඖෂධ සමඟ මිශ්‍රිත ඖෂධ යෝග ලෙසත් භාවිත කරනු ලබනවා.

මේ ආකාරයට යෙදෙන ප්‍රධාන ඖෂධ යෝගයක් ලෙස ‘අග්නිමුඛ චූර්ණය’ හදුන්වන්න පුළුවන්. මෙය බඩගිනි අඩුකම සහ අජීර්ණ ආදි රෝග අවස්ථාවලදී යොදනු ලබනවා. මීට අමතරව කුෂ්ඨ ‘තරලසාරය’ නම් ඔසුවද තවත් යෝගයක්.

ඒ වගේම පුතා කොට්ටන් සහ සුවඳකොට්ටන් යොදපු ඖෂධ යෝග රාශියක් විවිධ රෝග රාශියකට යොදනු ලබනවා.

ඒ අතුරින්

මණ්ඩල කුෂ්ඨවලට

කොට්ටන් සහ කොත්තමල්ලි අඹරා ආලේප කරනු ලබනවා.

රසායන ගුණ සඳහා

කොට්ටන්,ගිතෙල් සහ මීපැණි යෝගය දිනපතා උදේ කෑමට දෙනු ලබනවා.

අපස්මාරයට

කොට්ටන්, මීපැණි සමඟ යොදනු ලබනවා.

අර්ශස් සඳහා

කුෂ්ඨ තෛලය ආලේප කරනු ලබනවා.

මේ වගේ ඖෂධ යෝග රාශියක් කොට්ටන් සහ සුවඳකොට්ටනි අඩංගුවට යොදා ගනු ලබනවා.

ඒ වගේම පුතා සුවදකොට්ටන් තෙල් විවිධ ඖෂධීය තෙල් වර්ග සුවදවත් කරන්න එකතු කරනු ලබනවා. විශේෂයෙන් හිසේ ගාන තෙල් වර්ග සුවඳවත් කරන්න සුවඳකොට්ටන් තෙල ගන්නවා. එසේම මුහුණේ පැහැපත් බව ඇතිකරලීමට යොදා ගන්නා ආලේප වර්ගවල එක් ද්‍රව්‍යයක් ලෙසත් සුවඳකොට්ටන් තෙල ගනු ලබනවා.

ඉතින් වසන්ත පුතා සුවදකොට්ටන් කියන්නේ ඖෂධීය වශයෙන් අතිශයින් ප්‍රයෝජනවත් අගනා වටිනා ඔසුවක්.

සමහර අවස්ථාවල කොට්ටන් යොදා ගත්තත් වඩාත් යෝග්‍ය සහ සුදුසු ඖෂධ ද්‍රව්‍යය වන්නේ සුවඳකොට්ටන්‍ තමයි.”

“වෙද මහත්තයෝ සුවඳකොට්ටන් ගැන ඔබතුමා කරපු දැනුවත් කිරීම ගොඩක් වැදගත්. ඒ නිසා ඔබතුමා ට ගොඩක් ස්තූතියි.”

 

පොල්ගොල්ල ශාස්ත්‍රාරවින්ද

වෛද්‍ය විද්‍යාලයේ කථිකාචාර්‍ය

වෛද්‍ය මධුර පරණවිතාන

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
13 + 4 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.