ශුක්‍ර දුබලතා නසන උන්මාද සුව කරන දියලබු

සැප්තැම්බර් 6, 2024

“මොකද ජයසේන අත වෙලාගෙන? වැටිලා කැඩුනද...?”

“ඔව් වෙද මහත්තයෝ මීට මාස දෙකකට විතර ඉස්සෙල්ලා නේ වැටිලා කැඩුණේ. ඒවාට බේත් කරල හොඳ වෙලානේ තිබුණේ. ඒ වුණාට දැන් අත මැණික් කටුව ගාවින් නවන්න අමාරුයි. තදයි.ඒක නිසයි වෙද මහත්තය හමුවෙන්න ආවෙ.”

“කෝ බලන්න. ජයසේන අත. මැණික් කටුව ගාවින් අත නවන්න අමාරු මාංශ පේශි තදවීමක් තියෙන්නෙ. ම්කට දියලබු පත්තුව ගෑවම හරියාවි.”

“දියලබු? වෙද මහත්තයෝ දියලබු මේවට හොඳ බේතක් ද?”

“ඔව් ජයසේන දියලබු කියන්නේ ආහාරයක් වගේම හොඳ ඖෂධයක් තමයි. දිය බහුල නිසාත් ආහාරයට ගනු ලබන විට දිය ගතිය බහුල වශයෙන් දැනෙන නිසාත් මේවා දියලබු නමින් හදුන්වනවා.

ආහාරමය වශයෙන් ගත්තාම දියලබු ගෙඩි ඉතා රසවත් ව්‍යංජනයක් විදියට සකස් කර ආහාරයට ගන්නවා කියලා ජයසේනත් දන්නවානේ.

ඒ වගේම ඖෂධීය වශයෙන් දියලබු ගෙඩි, ඇට සහ කොළ අපේ ආයුර්වේද වෛද්‍ය ක්‍රමයේත්. දේශීය වෛද්‍ය ක්‍රමයේත්. යුනානි වෛද්‍ය ක්‍රමයේත් යොදා ගනු ලබනවා.”

“වෙද මහත්තයෝ දියලබු කියන්නේ අපේ රටේ විතරක් වැවෙන වර්ගයක් ද?”

“නෑ... නෑ... ඉන්දියාවේ සියලුම ප්‍රදේශවලත් වනගතවත් හොඳින් වැවෙනවා. ඒ වගේම ශ්‍රී ලංකාවේ සියලුම ප්‍රදේශවලත් වැලක් ලෙස දකින්න පුළුවන්. මේ වැල් ළා කොළ පැහැයකින් යුක්තයි. එසේම මේ දියලබු කොළවල බූවක් එතරම් නැහැ. මේවායේ ගෙඩිත් ළා කොළ පැහැයක් ගනු ලබනවා.”

“එතකොට වෙද මහත්තයෝ දියලබුවලට වෙනත් නම් එහෙමත් තියෙනවාද?”

“ඔව් සිංහල භාෂාවෙන් දියලබු කියල හදුන්වනවා. සංස්කෘත භාෂාවෙන් අලාබ, තුම්බී, තුම්බා, ඒලාබ, ලාබ, ලාබුකා, මිෂ්ටතුම්බී යන නම් යෙදෙනවා. හින්දි භාෂාවෙන් කද්දු, ලෟආ සහ ලෞකී යන නම් යෙදෙනවා. දෙමළ භාෂාවෙන් සොරකායි යන නම යෙදෙනවා. ඉංග්‍රීසි භාෂාවෙන් දියලබු හඳුන්වන්නෙ White Pumpkin  යන නමින්. දියලබුවල උද්භිද විද්‍යාත්මක නාම Lagenaria vulgaris Serings  සහ Lagenaria siceraria Standi syn  ආදියයි.

මෙහි කුලය වන්නේ CUCURBITACEAE හෙවත් කෝශාතකී කුලයයි.

ඒ වගේම දියලබු ප්‍රභේද 2ක් තියෙනවා. දිග දියලබු සහ වට දියලබු වශයෙන්.

මේ වර්ග දෙකේම ගුණ එක හා සමානයි.” “වෙද මහත්තයෝ දියලබුවල ගුණාගුණ කොහොමද?”

“ජයසේන. දියලබුවල ආහාරමය වටිනාකම සැලකුවාම මේවා හදවතට හිතකරයි. ඒ වගේම පුහුල්වලට වඩා දිරවීම අපහසුයි. ග්‍රීෂ්ම පළාත්වලට හෝ පායන කාලයට හෝ ඇඟ සිසිල් වීමට පුහුල් වගේම ගුණයි.

මේ වගුවෙන් පේනව නේද දියලබු කොච්චර ගුණයිද කියල?

දියලබු ග්‍රෑ.100ක අඩංගු පෝෂ්‍ය පදාර්ථ

 

ශක්තිය කැලරි 12

ප්‍රෝටීන් ග්‍රෑම් 0.2

මේදය ග්‍රෑම් 1

කාබෝහයිඩ්‍රේට් ග්‍රෑම් 2.5

කැල්සියම් මිලිග්‍රෑම් 20

පොස්පරස් මිලිග්‍රෑම් 20

යකඩ මිලිග්‍රෑම් 07

තයමීන් මයික්‍රෝගෑම් 30

රයිබොප්ලේවීන් මයික්‍රෝගෑම් 10

නියැපීන් මිලිග්‍රෑම් 0.2

විටමින් ජ මිලිග්‍රෑම් 20

 

දියලබු ඉතා ඈත අතීතයේ ඉඳලම ඖෂධ යෝග සඳහා යොදා ගෙන තියෙනවා. ඒ බව චරක සංහිතාව සුශෘත සංහිතාව සහ අෂ්ඨාංග හෘදය සංහිතාව ආදි ආයුර්වේද වෛද්‍ය ක්‍රමයට සම්බන්ධ ප්‍රධාන ග්‍රන්ථවල දක්වා තියෙනවා.

එසේම මේ දියලබුවල ලබුකබල් ආයුර්වේද වෛද්‍ය ක්‍රමයේ පංච කර්මවල එන රක්ත මෝක්ෂණ ක්‍රියාවලිය සඳහා යොදා ගනු ලබනවා.

දියලබු රසයෙන් මධුර යි ගුණයෙන් ගුරු සර සහ ස්නිග්ධයි. වීර්‍යයෙන් ශීතයි. විපාකයෙන් මධුරයි. ඒ වගේම ප්‍රභාවයෙන් නිද්‍රාජනක ගුණයෙන් යුතුයි. දෝෂ අනුව ගත්තාම වාතය සහ පිත සමනය කරනවා. මධුර සහ ස්නිග්ධ නිසා වාතයත් මධුර සහ ශීත නිසා පිතත් සමනය වෙනවා. ඒනිසා වාපිත් රෝගවලට ප්‍රයෝග කරන්න පුළුවන්.”

“එතකොට වෙද මහත්තයෝ මේ දියලබු ඖෂධ සදහා යොදා ගන්නෙ කොහොමද?” “දියලබුවල ඖෂධ යෝග ශරීරයේ බාහිර සහ අභ්‍යන්තර වශයෙන් දෙආකාරයටම යොදා ගනු ලබනවා. බාහිර වශයෙන් ගත්තාම දියලබු නින්ද ඇති කරන දැවිලි නසන සහ සමන ගුණයෙන් යුතුයි.ඒනිසා සන්නිපාත උණ, උන්මාද, හිසේ වේදනා මත්බව ආදියට දියලබු ගෙඩියේ මදය අඹරා හෝ ඇට වල තෙල් හිද ගෙන හිසේ ආලේප කරනවා.

ඒ වගේම මොළයේ රූක්ෂතාවයේදී සහ නින්ද නැතිකමේදී මේවායේ ලේපය සහ නස්‍යය යන දෙකම කරනු ලබනවා. අභ්‍යන්තර වශයෙන් ගත්තාම මානසික දුබලතාවය, නින්ද නැතිකම, උන්මාදය, මොළයේ උද්වේගය ආදියට යොදනු ලබනවා.

ඒ වගේම දියලබුවල පිපාසා නසන, පිත සමනය කරන සහ රුචිය ඇති කරන ගුණ ඇති නිසා පිපාසය, දැවිල්ල, අරුචිය සහ ආමාශයේ ඉදිමුම් ආදියට දියලබු ගෙඩියේ මදය සහ ඇට යෙදීම ගුණදායකයි. එසේම දියලබු කොළ යුෂ කාමලාවේදී (සෙංගමාලයේදී) පෙවීම සුදුසුයි.

ඒ වගේම හදවත් බලකාරක සහ ලේ නතර කරන ගුණ යුතු නිසා හදවත් රෝග සහ රත්පිත සඳහා යොදා ගනු ලබනවා

ඒ වගේම දියලබු ස්නිග්ධ ගුණ යුතු නිසා සෙම් පිටකරන සහ සන්ධානීය ගුණ යුතුයි . ඒ නිසා වාත පිත්තජ කාස උරක්ෂත (පෙනහළුවල තුවාල ) ක්ෂය රෝගය සහ ලේ කාරා දැමීම ආදියට ප්‍රයෝග කරනු ලබනවා.

ඒ වගේම දියලබු මධුර රස සහ ස්නිග්ධ ගුණ යුතු නිසා ශුක්‍ර වර්ධක ගුණ යුතුයි. මෙනිසා ශුක්‍ර දුබලතාවලදී දියලබු ගෙඩියේ මදය වගේම බීජයනුත් ප්‍රයෝග කරනු ලබනවා.

එසේම මූත්‍රකාරී සහ ස්නිග්ධ ගුණ යුතු නිසා මූත්‍ර දැවිල්ල. වේදනා සහිතව මූත්‍ර පිටකිරීම ( මූත්‍ර කෘච්ජ්‍ර) පූයා මේහ ආදියට අධික වශයෙන් යොදනු ලබනවා.

ඒ වගේම දියලබුවල මධුර රස සහ ස්නිග්ධ ගුණ ඇති නිසා වෘංහණ ගුණයෙන් යුතුයි. සාමාන්‍ය ශාරීරික දුබලතාවලදී බලකාරකයක් ලෙස දියලබු යොදා ගනු ලබනවා. ඒ වගේම උණ අතීසාර ආදියෙන් දුර්වල වූ රෝගීන්ට සුදුසු ආහාරයක් විදියටත් දියලබු යොදා ගන්නවා.

එසේම දියලබුවල උණ නසන, දැවිලි සමනය කරන ගුණ ඇති නිසා විශේෂයෙන් කල්ගත වූ උණ ඇති විට දියලබු ව්‍යංජනය දැවිලි සංසිදුවනු ලබනවා.

ඒ වගේම දියලබු ඇට අඹරා සිරප් වශයෙන් ද යොදනු ලබනවා.

ඒ වුණාට ජයසේන දියලබු අධික ලෙස ගත්තොත් සෙම වැඩිවී ශරීරයේ බර ගතිය සහ අරුචිය හටගනු ලබනවා.

එතකොට එම තත්ත්වය සමනය කරන්න යොදා ගන්නේ කරාබු නැටියි.

ඔන්න ඔය විදියට තමයි ජයසේන දියලබුවල ඖෂධ යෝග ශරීරයේ බාහිරින් සහ අභ්‍යන්තරව ක්‍රියා කරන්නේ.”

“එතකොට වෙද මහත්තයෝ මගේ ලෙඩේට දියලබු පත්තුව හදාගන්නෙ කොහොමද?”

“ඒ සඳහා දියලබු මද අරගෙන කැකුළු හාල්, අමුකහ සමඟ පොල්කිරෙන් තම්බලා අඹරලා ගත්තු පත්තුව ගොඩක් හොඳයි .

මේ පත්තුව මස්පිඩු නහර දැඩි වූ වාත සන්ධි වාත සහ භග්න සඳහා හොඳයි .

ඒ වගේම දියලබු මද, ළපටි පුවක් මල්, කැකුළු සහල් පොල් කිරෙන් උයා අඹරා ගත් පත්තුවත් මේ ආබාධවලට හොඳයි.

එසේම යුනානි වෛද්‍ය ක්‍රමයේදීත් දියලබු විවිධ ඖෂධ යෝගයන් සඳහා යොදා ගනු ලබනවා.

මේ විදියට දියලබු ඖෂධ යෝග රාශියක අඩංගුයි. ඒ වගේම ඒවා රෝගාබාධ රාශියකට ප්‍රයෝග කරනු ලබනවා. මේවායේ ඖෂධ මාත්‍රාවන් ගත්තාම දියලබු ගෙඩි යුෂ කර්ෂ 5-10 දක්වා බීජ චූර්ණය රක්තිකා 18-30 දක්වා කොළ යුෂ කර්ෂ 1-2 දක්වා ඉතින් ජයසේන දියලබු කියන්නේ ඖෂධයක් වගේම අගනා ඖෂධාහාරයක්.”

“අනේ ඔව් වෙද මහත්තයෝ දියලබු කියන්නේ කොච්චර හොඳ ඖෂධයක් ද? ඒ ගැන විස්තර කරල දුන්නට ඔබතුමා ට ගොඩක් පිං” යනුවෙන් පැවසූ ජයසේන නිවස බලා පිටත් වුණේය.

 

පොල්ගොල්ල ශාස්ත්‍රාරවින්ද

වෛද්‍ය විද්‍යාලයේ කථිකාචාර්‍ය

වෛද්‍ය මධුර පරණවිතාන

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 13 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.