වරද්දා නොගත යුතු රුව වඩන ඔසුව කුංකුමප්පු

මැයි 17, 2024

 

වෛද්‍ය ශිෂ්‍යයාවක වූ ජානකීට තම පාසල් මිතුරියක වූ උදේනි හමුවූයේ බොහෝ කලකට පසුවයි. කොහොමද උදේනි. ගොඩක් කාලෙකින්.

ඔව්. අනේ ගොඩක් දවසකින් තමයි. ජානකී මම ඔයා මුණ ගැහෙන්නමයි හිටියේ.

ඇයි ඒ, ඔයා කුංකමප්පු කියන ද්‍රව්‍යය ගැන දන්නවද. මට ඒ ගැන විස්තර ටිකක් දැන ගන්න ඕන. ඔයාල ඒ ගැන දන්නව නේ.

කුංකුමප්පු ගැන නම් විස්තර දෙන්න පුළුවන් ඒත් මොනවටද ඒ උදේනි.

මම රූපලාවණ්‍ය කටයුතු කරන නිසා ඒ සඳහා යොදා ගන්නා ආලේපන කිහිපයක් හදන්න.

බොහොම හොඳයි නේ උදේනි කුංකුමප්පු කියන්නේ කුංකුම නමින් හඳුන්වනු ලබන පැළෑටියක මල්‍ රොන් වලටයි මේවා ලබාගැනීමේ ඇති අපහසු බව නිසාම කුංකුමප්පු මිළ අධික දුර්ලභ ද්‍රව්‍යයක් වශයෙන් සලකනු ලබනවා

ඒ වගේම සංස්කෘත භාෂාවෙන් කුංකුම ශබ්ද යෙන් ගැනෙන මෙය සිංහල භාෂාවෙන් සමහර විට කොකුම් ලෙස ව්‍යවහාර වුවත් කොකුම් නමින් හඳුන්වන වෙනත් ශාකයක් ද ශ්‍රී ලංකාවේදී දකින්න පුළුවන්. මේ ගස ඉතා විශාලයි. සමහර අය මේ වෙනස්කම් නොදැන එම ගසේ මල් කුංකුම මල් යයි වරදවා තේරුම් ගත් අවස්ථා ද වෙනවා

එතකොට ජානකී කුංකුම පැළෑටි අපේරටේ හැදෙන්නේ නැද්ද ?

නැහැ. කුංකුමවල නිජබිම වන්නේ කාශ්මීරයයි.තූර්කියෙ ලෙවාන් වලද මුලින්ම ඇතිවූ බවට මතයක් තියෙනවා

වර්තමානයේ වෙළෙඳ ද්‍රව්‍යයක් ලෙස කාශ්මීරය..ස්පාඤ්ඤය ..ඉරානය ..ප්‍රංශය සහ ඉතාලිය ආදි රටවල වවනු ලබනවා

කුංකුම පැළෑටිය මොන වගේද?

කුංකුම පැළෑටිය ඉන්දියාවේ කාශ්මීරය වැනි ශීතල දේශගුණය සහිත ප්‍රදේශ වල වැවෙන රටලූනු කොළ සහ අලවලට සමාන ලක්ෂණවලින් යුතු අඩි එකහමාරක් පමණ උසට වැවෙන කුඩා පැළෑටියක්. මෙහි මල් දෙක තුනක් හටගනු ලබනවා. මේ මල්වල පහතින් ඩිම්බ කෝෂයේ කෝෂ 3ක් පවතින අතර එතුළ ගෝලාකාර ඇට බොහෝ තිබෙනවා. එසේම ස්ත්‍රීකේශරවල කෙලවර කොටස් 3 බෙදෙමින් ඒවායේ කොන්වල රතුපාට නූල් වැනි කොටස් තියෙනවා. නියම කුංකුමප්පු ලෙස ගනු ලබන්නේ මේ ස්ත්‍රී ක්‍රෙශර වල ඇති නූල් වැනි කොටස්. මේ කේශර අඟල් 1/2-1 දක්වා දිගයී. ඉතා තියුණු සුවදකින් යුතුයි. මදක් බෙලසුල් සහ තික්ත සහ කසට රසයෙන් යුක්තයි. සාමාන්‍යයෙන් කුංකුමප්පු අවුන්ස 1ක් සාදා ගන්න කුංකුම මල් 4320 ක් අවශ්‍යයි කියල ගණන් බලල තියෙනවා.

ඒ වගේම ඉතා උසස්ම තත්ත්වයේ කුංකුමප්පු තද රතු මිශ්‍ර කහ පාටින් යුතුයි. බාල තත්ත්වයේ කුංකුමප්පු පඬුවන් කහපාට හෝ කළු පාටින් යුතුයි .

මේ හොඳම වර්ගයේ කුංකුමප්පු කිලෝ 1 ක් වෙළෙඳ පොළේ සාමාන්‍යයෙන් ලක්ෂ 3 ක් පමණ වෙනවා .

ඒ වගේම කුංකුමප්පු නාමයෙන් කෘතීම දේ වෙළෙඳ පොළේ දක්නට ලැබෙනවා ඒ වුණාට නියම කුංකුමප්පු තෙල් ගතියෙන් සහ හොද සුවඳකින්‍ යුක්තයි.

එසේම කුංකුම පුෂ්ප කියන්නේ හඳුන් මල් කියල සමහර අය තුළ වැරැදි අදහසක් තියෙනවා

එතකොට ජානකී Safron  කියන්නේත් කුංකුමප්පු ම නේද.

ඔව් ඉංග්‍රීසි භාෂාවෙන් සැෆ්රන් කියන්නේ කුංකුමප්පු ම තමයි. සංස්කෘත භාෂාවෙන් කුංකුමප්පුවලට කුංකුම..සුසෘණ..රක්ත ...රුධිර ..කාශ්මිරජ..සංකෝච..වාහ්ලික..කේසරවර ආදි නම් යෙදෙනවා

හින්දි භාෂාවෙන් කේසර සහ ජපරන් යන නම් යෙදෙනවා. දෙමළ භාෂාවෙන් කුංකුම පූ... නාමය යෙදෙනවා. කුංකුමප්පුවල උද්භිද විද්‍යාත්මක නාමය Crocus sativus Lin වෙනවා. කුලය IRIDACEAE හෙවත් කේශර කුලයයි.

මේවායේ ඖෂධ සඳහා යොදා ගනු ලබන අංග වන්නේ ස්ත්‍රී පුෂ්පයන්ගේ පරාග රේණු. ඒ වගේම කුංකුම වල ප්‍රභේද කිහිපයක් ද තියෙනවා

1 ආරණ්‍ය කුංකුම

2 ආබාදී (වවාගත්) කුංකුම යනුවෙනුත්

ජන්ම ස්ථාන අනුව

1 යුරෝපීය

2 භාරතීය (කාශ්මීර ) වශයෙනුත් ප්‍රභේද කර තියෙනවා. ඒ වගේම ධන්වන්තරී නිඝණ්ඩුවේ තෘණ කුංකුම යනුවෙන් ද ප්‍රභේදයක් තියෙනවා. විශේෂයෙන් මේ ප්‍රභේද අතුරින් උසස් තත්ත්වයේ කාශ්මීර කුංකුමප්පු ඖෂධ සඳහා ඉතා ශ්‍රේෂ්ඨ වන අතරම යුරෝපීය කුංකුමප්පු සංස්කරණයේදී බටර්, සත්ව තෙල් සහ සීනි ආදිය මිශ්‍ර වන නිසා ඖෂධ සඳහා සුදුසු වෙන්නේ නැහැ

ඒ වගේම ඉහතින් දක්වපු උසස් තත්ත්වයේ වර්ණ යුක්ත සියුම් රේණු සහිත නෙළුම් සුවඳින් යුතු කාශ්මීර කුංකුම උත්කෘෂ්ඨයි. ඒ වගේම තෙල් මිශ්‍ර කුංකුම යෝග්‍ය වන්නෙ නැහැ .ඒ වගේම සියුම් කේශර සහිත සුදු පැහැ වැටකේ මල් සුවද සහිත වාහ්ලික දේශයේ හටගත් කුංකුම මධ්‍ය ගුණයි.

එසේම ලොකු රේණු සහිත මඳක් සුදු පාට මීපැණි සුවදැති පර්සියා දේශයේ හටගත් කුංකුම ගුණයෙන් ඉතා අඩුයි. ඒ වගේම තමයි උදේනි මේ කුංකුමප්පු අධික මිල සහිත නිසා වෙනත් මල්වල රේණු..මල්වල විවිධ කොටස් ඩයිවලින් පාට කළ ද්‍රව්‍ය දාස්පෙති මල් රේණු ආදිය සමහරු මිශ්‍ර කරනවා. ඒ වගේම බර වැඩි කරන්න ග්ලිසරීන්.. තෙල් වගේ දේවලුත් මිශ්‍ර කරනවා .

අනෙක් කාරණය තමයි කුංකුම ගස්වල මල් පිපෙන්නෙ ඔක්තෝබර් ..නොවැම්බර් මාස වලදි..එවිට මේ මල් කඩල රේණු වෙන්කර ගෙන කම්බි දැල් පෙනේරවල දමා මඳ ගිනි සහිත පෝරනු හෝ මැටි භාජනවල තැන්පත් කරනු ලබනවා. මෙසේ හොඳින් වියළුණාට පසු සුරක්ෂිත භාජනවල තැන්පත් කරනු ලබනවා.

එතකොට ජානකී මේ කුංකුමප්පුවල ඖෂධීය වටිනාකම කොහොමද?

කුංකුමප්පු වෛදික යුගයේ ඉඳලම ඖෂධ සඳහා යොදා ගෙන තියෙන බව චරක සහ සුශෘත ග්‍රන්ථ පරිශීලනයෙන් දැන ගන්න පුළුවන්

කුංකුමප්පු රසයෙන් කටුක සහ තික්තයි.

ගුණයෙන් ලඝු සහ ස්නිග්ධයි

වීර්‍යයෙන් උෂ්ණ යි

විපාකයෙන් කටුක යි.

මේ නිසා තුන් දොසම සමනය කරන නිසා තුන් දොසින් හටගත් රෝගවලට ගුණයි.

ඒනිසා බාහිර වශයෙන්

කුංකුමප්පු වර්ණය ඇති කරනවා. ඒනිසා වර්ණ විකෘතිතා ආදියට හොඳයි

ඒ වගේම ඇස්වලට හිතකර ගුණයෙන් ද යුතුයි. ඒ නිසා පෙනීමේ දුබලතාවලදී කුංකුමප්පු රෝස වතුරින් අනා පුරවලියම් ලෙස යොදනු ලබනවා. ඒ අතරම හිසරදය .අක්මා ඉදිමුම් සහ තුවාල සදහාත් යොදනු ලබනවා

අභ්‍යන්තර වශයෙන් ස්නායු පද්ධතියට හා මොළයට බලය ගෙන දෙනවා. වේදනා නසනවා.ඒනිසා මොළයේ දුබලතා . ආම වාත ..නාඩි වේදනා ආදියේදී කුංකුමප්පු මාත්‍රානුකූලව යොදනු ලබන අතර අර්ධාවභේද නම් හිසේ වේදනාවට කුංකුමප්පු සීනි සහ ගිතෙල් සමග තවනු ලබනවා

එසේම කුංකුමප්පුවල සෙම් නසන ගුණ යුතු නිසා කැස්ස හා හතිය සහ ප්‍රතිශ්‍යාවට ගුණයි.

මේ නිසා ළදරුවන්ගේ ප්‍රතිශ්‍යාවට කිරිවලට කුංකුමප්පු දමා පොවනු ලබනවා .

ඒ වගේම කුංකුම මල් අඹරා පපුවේ හා නළලේ ගානු ලබනවා.

ඒ වගේම කුංකුමප්පු බඩගිනි අඩුකම..අරුචිය අජීර්ණ අතීසාර වමන අක්මා ආදියට හොඳයි. එසේම හෘද දුබලතා. මූත්‍ර ආබාධ ආදියටත් හොඳයි.

ඒ වගේම කුංකුමප්පු වල වාජීකරණ ගුණ විශේෂයි. ඒ නිසා ලිංගික දුබලතා ආදියේදී විශිෂ්ට ගුණ ගෙන දෙනවා. එසේම ගර්භාෂ සංකෝචක ගුණයෙන් ද යුතුයි.

මේ නිසා අර්ධාවභේද.. සූර්‍යාවර්ත (ඉරුවාරදය) ආදි හිසේ අමාරුවලට

කුංකුම මල් ගිතෙලින් බැද සීනි සමග අඹරා නස්න කරනු ලබනවා.

මූත්‍රාඝාතයට

කුංකුම මල් කර්ෂයක් රෑට මීපැණි සහිත වතුරේ බහා තබා උදේට බීම හොඳයි

සියලුම මූත්‍ර කෘච්ජ සඳහා

රටමිදි යුෂයෙන් කුංකුම මල් අඹරා බීම හොඳයි. මේ ආදි යෝග ගොඩක් තියෙනවා උදේනි කුංකුමප්පු අඩංගු

එතකොට ජානකී කුංකුමප්පු අඩංගු සංස්කාරික ඖෂධත් තියෙනවාද ?

ඔව්. කුංකුමාදී වටිය ( ආකාරකරභාදී වටිය) , කුංකුමාදී තෛලය, කුංකුමාදී ඝෘතය ආදි යෝග කිහිපයක්ම තියෙනවා. මේ අතරිනුත් කුංකුමාදී ඍතය රෝග කිහිපයක් සදහා වට්ටෝරු කිහිපයක් තියෙනවා.

ඉතින් උදේනි කුංකුමප්පු වල ඖෂධීය වටිනාකම තමයි මම ඔය කිව්වෙ අපේ තියෙන ඖෂධ ද්‍රව්‍ය අතුරින් මිල අධිකම ද්‍රව්‍යවලින් එකක් තමයි කුංකුමප්පු.

හොඳයි ජානකී. මම කුංකුමප්පු ගැන ගොඩක් විස්තර ඔයාගෙන් ඉගෙන ගත්තා.

බලාගෙන ගියාම කුංකුමප්පු කියන්නේ හොඳ වටිනාම ඖෂධයක්නේ හැබැයි ඉතින් රූපලාවණ්‍ය නිෂ්පාදනවලට හොඳම එක යොදන එක තමයි අමාරු වෙන්නේ කියමින් ඔවුන්ගේ සංවාදය නිමා කළහ.

 

පොල්ගොල්ල ශාස්ත්‍රාරවින්ද

වෛද්‍ය විද්‍යාලයේ කථිකාචාර්‍ය

වෛද්‍ය මධුර පරණවිතාන

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 5 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.