වර්ෂ 2024 ක්වූ October 11 වැනිදා Friday
ගුණ නොදැන විසි කරන අගනා ඔසුව ඇත් අඩි
“නිසල්... මොකද පුතා දැන් ආයුර්වේද විද්‍යාලයේ ඉගෙන ගෙන ඉවරද?”
“නැහැ. සුමිත් සර්. මේ අවසාන අවුරුද්ද. ඒනිසා වැඩ වැඩියි. දැනුත් මේ ආවෙ නිබන්ධනයකට කරුණු ටිකක් දැන ගන්න. සර් මුණගැහෙන්න”
“ආ ඇත්තද. මම ආයුර්වේද විද්‍යාලයෙ උගන්වලා පෙන්ෂන් අරගෙනත් දැන් අවුරුදු 8ක් විතර වෙනවනේ. හොඳයි මොකක්ද මගෙන් දැනගන්න අවශ්‍ය”
“සර්. මට ඖෂධ පැළෑටි ගැන නිබන්ධනයක් කරන්න තියෙනවා. ඒකෙ ගොඩක් තොරතුරු මම හොයා ගත්තා. තව කීපයක් තමයි හොයන්න ඉතුරු වෙලා තියෙන්නේ. එයින් ඇත් අඩි කියන පැළෑටිය ගැන කරුණු ටිකක් දැන ගන්නයි අවශ්‍ය”
“හොඳයි නිසල් ඔයා දන්නවනේ ආයුර්වේද වෛද්‍ය ක්‍රමයේ වගේම දේශීය වෛද්‍ය ක්‍රමයේත් ඖෂධ සඳහා බහුල වශයෙන් යොදා ගන්නෙ ශාක වර්ග කියල. මේ ඖෂධ පැළෑටි අතර නිරන්තරයෙන් භාවිත කරන ඖෂධ පැළෑටි රාශියක් තියෙනවා. මේවා අතුරින් සමහර ඖෂධ පැළෑටි ගැන සලකා බැලුවාම ඒවා ඖෂධ පැළෑටිවලට වඩා වල් පැළෑටි යනුවෙන් වරදවා වටහා ගනු ලබන අවස්ථා රාශියක් තියෙනවා.
මේ ආකාරයට වල් පැළෑටි යයි වරදවා වටහා ගනු ලබන පැළෑටියක් වශයෙන් ඇත් අඩි පැළෑටිය හදුන්වන්න පුළුවන්.
ඒ වගේම මේ ඇත් අඩි පැළෑටිය ඖෂධීය වශයෙන් බොහෝ සෙයින් ප්‍රයෝජන ගෙන දෙන පැළෑටියක් වුණත් බොහෝ දෙනා තුළ හරි වැටහීමක් ඇත්තේ නැහැ.
ඒ වගේම නිසල් ඇත් අඩි කියන පැළෑටිය මතභේදාත්මක පැළෑටියක් වශයෙන් හදුන්වන්න පුළුවන්. ඒ වගේම ඇත් අඩි පැළෑටිය අප අවට පරිසරයේ බොහෝ සෙයින් දකින්න පුළුවන්.
ඉංග්‍රීසි භාෂාවෙන් Elephant foot කියල මේ පැළෑටිය හදුන්වන්න හේතු වෙලා ඇත්තේ සිංහල භාෂාවෙන් ව්‍යවහාර වන ඇත් අඩි වචනය වෙන්න පුළුවන්.
ඇතෙකුගේ අඩි සටහනක් වගේ වටරවුමට පොළොව බදාගෙනම හැදෙන ඒ පළලට රවුමට වැවෙන පැළෑටියක් තමයි ඇත් අඩි පැළෑටිය.”
“එතකොට සුමිත් සර් ඇත් අඩි පැළෑටිය අපේ රටේ විතරයිද වැවෙන්නෙ?”
“නැහැ නිසල් ඉන්දියාවේ උතුරු පැත්තෙ ඉඳලා හිමාලය, මියැන්මාරය, ඉන්දු චීනය, මාල දිවයින, බටහිර චීනය, පිලිපීනය, ඕස්ට්‍රේලියාව, නිවර්තන අප්‍රිකාව දකුණු ඇමෙරිකාව, අග්නිදිග ආසියාව ආදි රටවල වැවෙන පැළෑටියක්
ඒ වගේම ශ්‍රීලංකාවේ පහතරට ප්‍රදේශවල මුඩු බිම්වල බොහෝ සෙයින් දක්නට ලැබෙනවා. පාර දෙපැත්තේ තියෙන වන ලැහැබ පහත් බිම් සහ තණ බිම්වල වල් පැළෑටියක් විදියට වැවෙනවා.පහතරට ප්‍රදේශවල බහුලව දකින්න තියෙන මේ පැළෑටිය මීටර් 2000 ක් පමණ උස් ප්‍රදේශවලත් හමුවෙනවා. මහනුවර, පේරාදෙණිය, ගලගෙදර, වැලිමඩ, හබරණ වැනි ප්‍රදේශවල බොහෝ සෙයින් දක්නට ලැබෙනවා. එසේම පේරාදෙණිය උද්භිද උද්‍යානය, නාවින්න ආයුර්වේද පර්‍යේෂණායතනය හල්දුම්මුල්ල, පට්ටිපොල, පල්ලෙකැලෙ, ගිරාඳුරුකෝට්ටෙ. ඔසු උයන්වලත් දකින්න පුළුවන්.
“සර් මේ පැළෑටියෙ ස්වරූපය ගැනත් විස්තර කරන්නකෝ”
“නිසල් මේ පැළෑටිය පොළොව බදාගෙන හැදෙන්නේ. අඩි එකහමාරක් විතර දිගින් යුතුයි.පස තදින් අල්ලා සිටින මුදුන් මුලක් සහ සිහින් මුල් රාශියක් තියෙනවා. මේ පැළෑටියේ කඳ පැතලියි. පස තදින් බදාගෙන ඉන්නෙ. ඇත් අඩි පැළෑටියේ එක් පත්‍රයක් අඟල් 4 -5 ක් පමණ දිගයි. මේ පත්‍ර 8 - 10 ක් පමණ එක්ව රෝස මලක ආකාරයට පිහිටනවා. මේ පත්‍රවල දෙපැත්තේම බූව තියෙනවා. දම්පාට මල් තියෙනවා එතකොට නිසල්
ඇත් අඩිවල පොදු සිංහල නාමය වන්නේ ඇත් අඩි නාමයමයි.
සංස්කෘත භාෂාවෙන් දාර්වී, ශෝබී, අදුජීව, ශෝජිහ්වා, දාර්වී පත්‍රිකා යන නම් යෙදෙනවා
හිංදි භාෂාවෙන්
ශෝබී නම යෙදෙනවා
ඉංග්‍රීසි භාෂාවෙන්
Elephant foot කියනවා
ඇත් අඩි වල උද්භිද විද්‍යාත්මක නාමය
Elephantopus scaber L
වන අතර කුලය COMPOSITAE (ASTERACEAE ) හෙවත් භෘංගරාජ කුලය යි.
මේ භෘංගරාජ කුලයට අයිති අනෙක් ශාක වන්නේ අක්කරපට්ට, විෂදූල, සන්නිනායම්, කීකිරිදිය, කොට්ටම්, මුඩමහන, අක්මැල්ල, පුපුල සහ මොණරකුඩුම්බිය ආදියයි.
ඒ වගේම ඇත් අඩිවල සම්පූර්ණ පැළෑටියම ඖෂධ සඳහා යොදාගනු ලබනවා.”
“එතකොට සර් කිව්ව නේද මේ පැළෑටිය මතභේදාත්මක පැළෑටියක් කියල. ඒඇයි?”
“අපි මේ ඇත් අඩි පැළෑටියට සංස්කෘත භාෂාවෙන් ගෝජිහ්වා කියනවනේ ගෝජිහ්වා කියන්නේ සිංහල භාෂාවෙන් ගවදිව යන තේරුමයි.
සමහරු ගෝජිහ්වා කියන්නේ
Elephantopus scaberi නමින් හඳුන්වන වර්ගයයි තවත් සමහරු
Onosma bracteatum wall කියන වර්ගය ගෝජිහ්වා ලෙස හඳුන්වනු ලබනවා
එසේ වුවත් ගෝජිහ්වා හෙවත් ඇත් අඩි කියන්නේ. Elephantopus scaber L නමින් හඳුන්වනු ලබන පැළෑටියටයි.
පොළොවේ පැතිරී ඇති ආකාරයට අනුව ඇත් අඩි නමින් හඳුන්වන මේ පැළෑටිය සංස්කෘත ග්‍රන්ථවල ගෝජිහ්වා නමින් විස්තර වෙනවා. ඇතාගේ පතුල වගේ රවුමට දිගටි කොළ විසිරී පිහිටා ඇති මේ පැළෑටිය ඇතෙකුගේ පතුලට වඩා ලොකු නැහැ. පෙනුමේ ස්වරූපය අනුව ඇත් අඩි යයි ව්‍යවහාර කරනු ලබනවා
ඒ වගේම ඇත් අඩි පැළෑටිය ඉතා ඈත අතීතයේ ඉඳල ඖෂධ සදහා යොදා ගෙන තියෙනවා. සුශෘත සංහිතාව වගේ ආයුර්වේද මූලික ග්‍රන්ථවල ඇත් අඩි ගැන දක්වා තිබීමෙන් එය සනාථ වෙනවා”
“සර් ගොඩක් කරුණු ඇත් අඩි ගැන කිව්ව
එතකොට සර් ඇත් අඩි කොහොමද ඖෂධ සඳහා යොදා ගනු ලබන්නේ?”
“නිසල් ශ්‍රී ලංකාවේ ඇත් අඩි ලෙස හඳුන්වනු ලබන පැළෑටිය දේශීය වෛද්‍ය ක්‍රමයේ බොහෝ සෙයින් ප්‍රයෝජනයට ගනු ලබන දේශීය ව්‍රණ තෙල සඳහා ගනු ලබනවා
ඇත් අඩිවල ඖෂධීය කර්ම ගැන සැලකුවාම
මෙය රසයෙන් තික්ත හා කෂාය රස වන අතර
ගුණයෙන් ගුරු සහ ස්නිග්ධ වෙනවා
වීර්‍යයෙන් ශීතයි.
විපාකයෙන් මධුරයි
දෝෂ අනුව ගත්තාම සෙම් පිත් නසන ගුණ යුතුයි.
මෙය ප්‍රධාන වශයෙන් උණ නසන ගුණ යුතුයි. එයට අමතරව අතීසාරය, කැස්ස. රක්ත වාතය, කැඩුම් බිදුම්, තැලීම් සීරීම් ආදිය සඳහාත් යොදා ගනු ලබනවා. ඇත් අඩිවල ඖෂධාංග යොදා ගනු ලබන රෝග අවස්ථා සලකා බලද්දී
* හදිසි තුවාල අවස්ථා වක ලේ නතර කිරීමට
* පිරිසිදුව සකස් කළ සම්පූර්ණ ශාකයම හෝ කොළ හෝ කොටා මිරිකා යුෂ එලීමෙන් ලේ නතර වෙනවා.
වණ සහ තුවාල සඳහා
* ඇත් අඩි කොළ තැම්බූ වතුරෙන් සේදීම.
* මේ කොළ යුෂ ඒවායේ ආලේප කිරීම
* කොළ අඹරා පැළැස්තර දැමීම ආදිය කරනු ලබනවා.
ඒ වගේම පිළිකා සඳහා යොදනු ලබන තෙල සකස් කිරීමේදී සහ බාහිර ආලේපය සඳහා ස්වරස (යුෂ ) ලෙසද මැල්ලුම් ලෙසද යොදා ගනු ලබනවා.
නිසල් මෙන්න මේ ආකාරයට ඇත් අඩි දේශීය වෛද්‍ය ක්‍රමයේ මෙන්ම ආයුර්වේද වෛද්‍ය ක්‍රමයේ දී ආබාධ රාශියක් සඳහා ගුණ දෙන අගනා ඔසුවක් ලෙස හඳුන්වන්න පුළුවන්.
ඒ වගේම ඇතුන්ගේ වණවල ආලේපය සඳහාත් ඇත් අඩි යුෂ යොදා ගනු ලබනවා .
මේ නිසා නිසල් බැලූ බැල්මට වල් පැළෑටියක් ලෙස පෙනුනත් ඇත් අඩි කියන්නේ ඉතා වටිනා බොහෝ ප්‍රයෝජන ලබාදෙන ඖෂධීය පැළෑටියක් කියල කියන්න පුළුවන්”
“අනේ සර් සර්ට ගොඩක් පිං. මට මේ කරුණු විස්තර කර දුන්නට. එහෙනම් සර් මම මේ කරුණු වලින් නිබන්ධනය සකස් කර ගන්නම්”
“හොඳයි නිසල්. එහෙම කරන්න. මොනවා හරි ගැටලුවක් නම් මට කතා කරන්න”යැයි කියමින් සුමිත් මහතා කතාව නිමා කළේය.
පොල්ගොල්ල ශාස්ත්‍රාරවින්ද
වෛද්‍ය විද්‍යාලයේ කථිකාචාර්‍ය
වෛද්‍ය මධුර පරණවිතාන