වර්ෂ 2024 ක්වූ November 29 වැනිදා Friday
ලාදුරු කුෂ්ඨ නසන දියවැඩියාව සුව කරන මකුල්ල
“මොකද දුව ආවෙ... බෙහෙත් ගන්නද?” යනුවෙන් උදෑසනම තමා හමුවට පැමිණි තරුණිය ගෙන් නිශානී වෛද්‍යතුමිය විමසුවාය.
“නැහැ. වෙද නෝනා මම ආවෙ බෙහෙත් ගන්න නොවෙයි. ඔබතුමියගෙන් කරුණු ටිකක් දැන ගන්නයි. මම දැනට පශ්චාත් උපාධියක් සඳහා සූදානම් වෙනවා.
ඒ සඳහා මම ශ්‍රී ලංකාවේ රක්ත රෝගවලට යොදා ගන්නා ඖෂධ පැළෑටි ගැන නිබන්ධනයක් සකස් කර ගෙන යනවා. ඒ සඳහා යොදා ගන්නා මකුල්ල කියන ශාකය ගැන විස්තර ටිකක් දැන ගන්නයි ආවෙ.”
“හොඳයි. මම උදව් කරන්නම්. මොකක්ද දුවේ ඔයාගෙ නම.?”
“මගේ නම විශාඛා. මම දැනට ගුරුවරියක් විදියට තමයි සේවය කරන්නෙ.”
“හොඳයි විශාඛා දුවේ, අපි අවට පරිසරයේ දකින්න ලැබෙන ශාක අතුරින් ඖෂධීය වශයෙන් ප්‍රයෝජන ගෙන දෙන ශාකයන් අති විශාල ප්‍රමාණයක් දකින්න තියෙනවා. හොඳින් පරීක්ෂා කරලා බැලුවම පෙනී යන්නේ ඖෂධීය වශයෙන් ප්‍රයෝජනයක් ලබා නොදෙන ශාකයක් නැති තරම්.
ඒ වගේම දුවේ දේශීය වෛද්‍ය ක්‍රමයේ මෙන්ම ආයුර්වේද වෛද්‍ය ක්‍රමයේත් ප්‍රයෝජනයට ගනු ලබන ඖෂධ යෝග සඳහා යොදා ගන්නා ඖෂධ අංගයන්ගෙන් වැඩි ප්‍රමාණයක් ලබා ගන්නේ ශාක වලිනුයි. මේ නිසා අප අවට පරිසරයේ ඇති ශාකවල කුමන හෝ කොටසක් කුමක් හෝ රෝගයකට යොදන ඖෂධ යෝගයක එක් අංගයක් විය හැකියි. මේ නිසා අප අවට පරිසරයේ දකින්න තියෙන සියලුම ශාක ඖෂධීය ගුණයෙන් යුතු ශාක කියලා කියන්න පුළුවන්.
ඒ වුණාට බොහෝ ශාකවල ඇති ඖෂධ ගුණ පිළිබඳව නිවරැදි අවබෝධයක් තියෙන අය සිටින්නේ ඉතා සීමිත ප්‍රමාණයක්.
ගොඩක් අය නොදන්නා එවන් ඖෂධීය ගුණයෙන් පිරිපුන් ශාකයක් තමයි මකුල්ල කියල කියන්නේ ඒ වගේම තමයි දුවේ මේ මකුල්ල එහෙම නැත්නම් මකුළු කියන ශාකය ශ්‍රී ලංකාවට ආවේණික ශාකයක්. ඒ වගේම මේ ශාකය ඉන්දියාවේ තුවරක ශාකය වෙනුවට ශ්‍රී ලංකාවේ ඖෂධ සඳහා ගනු ලබන ප්‍රතිනිධියක් ලෙසත් දක්වන්න පුළුවන්.
විශේෂයෙන් තුවරක තෛලය වෙනුවට මකුල්ල බීජ යොදා සිඳගත් තෙල ලාදුරු ආදි කුෂ්ඨ රෝගීන්ට යෙදුවාම ඉතා විශිෂ්ට ප්‍රතිඵල ලබා දෙන නිසා මකුල්ල ශාකයේ ඖෂධීය වටිනාකම හොඳින් පැහැදිලි වෙනවා”
“එතකොට වෙද නෝනා මේ මකුල්ල ශාකය වැවෙන ප්‍රදේශ මොනවාද?”
“දුවේ... ශ්‍රී ලංකාවට ආවේණික ශාකයක් තමයි මකුල්ල කියන්නේ. මේ ශාකය ශ්‍රී ලංකාවේ ඕනෑම ප්‍රදේශයක වැවෙන ශාකයක්. මුහුදු මට්ටමේ ඉඳල අඩි 2000 වෙනකල් පහතරට තෙත් කලාපයේ ගංගා ඉවුරු ආශ්‍රිතව බහුල වශයෙන් හමුවෙනවා. විශේෂයෙන් කුරුණෑගල, හන්තාන, පේරාදෙණිය ආදි ප්‍රදේශවල දකින්න පුළුවන්. ඒ වගේම ගම්පහ වික්‍රමාරච්චි ආයුර්වේද විශ්ව විද්‍යාල ඔසු උයන, පේරාදෙණිය උද්භිද උද්‍යානය, හල්දුම්මුල්ල, මීගොඩ, ගිරාඳුරුකෝට්ටේ ආදි ඔසු උයන්වලත් දකින්න පුළුවන්.”
“මකුල්ල ගස මොනවගේද වෙද නෝනා?”
“මේ ගස තුවරක ගසට බොහෝ දුරට සමානයි. මේ ශාකය විශාල ශාකයක්. කඳේ පොත්ත සිනිඳු සුදු පාටක් ගන්නවා. නොමේරු කඳ කොටස් බූව සහිතයි. ගසේ අතු බෙදී පවතිනවා. ඒ වගේම මකුල්ල පත්‍ර අතු දෙසට නැමී පවතිනවා. පත්‍ර සරල සහ ඒකාන්තරයි. දිගින් සෙ.මි.12-18 දක්වාත් පළලින් සෙ.මි.5-6.5 දක්වාත් වෙනවා.
ඒ වගේම මේ පත්‍ර හැඩයෙන් ලන්සාකාර හෝ ඉලිප්සාකාරයි. මේවායේ පත්‍ර ඝනකම්. පත්‍ර නාරටිය දෙපස රේබා සම්මුඛව පිහිටනවා.මකුල්ල ශාකයේ මල් තනි තනිව හෝ කිහිපයක් එක්ව පවතිනවා මකුල්ල ශාකයේ ගෙඩි උපගෝලාකාර ස්වල්පයක් ගනු ලබනවා. මෙහි විෂ්කම්භය සෙ.මි. 1.8-2.5 දක්වා වෙනවා මෙහි ගෙඩි තුළ බීජ 6 ක් පමණ තියෙනවා.”
“වෙද නෝනා එතකොට මකුල්ල වලට කියන වෙනත් නම් තියෙනවාද?”
“ඔව් දුවේ. මකුල්ලවලට සිංහල භාෂාවෙන්
මකුළු සහ මාකිටිය යන නම් යෙදෙනවා
සංස්කෘත භාෂාවෙන්
තෛලම් සහ පිණ්ඩික යන නම් යෙදෙනවා
දෙමළ භාෂාවෙන් කියන්නේ නිර්මුත්තු කියලයි.
ඉංග්‍රීසි භාෂාවෙන් මකුල්ල සදහා
Tangli Armond නම යෙදෙන අතර
මකුල්ල ශාකයේ උද්භිද විද්‍යාත්මක නාම
Hydnocarpus venenata Gaerth සහ Hydnocarpus inebriansvani ආදිය වේ
මෙහි කුලය FLACOURTIACEAE හෙවත් තුවරක කුලයයි.
ඒ වගේම මේ මකුල්ල ගහේ බීජ, ගෙඩියේ පොත්ත කොළ සහ ගහේ පොත්ත ඖෂධ සඳහා යොදා ගන්නවා
ඒ වගේම දුවේ මේ මකුල්ල ශාකයේ පොතුවල Mangstin..betulic acid ..ursolic acid ...betulonic acid සහ Sitosterol ආදි රසායනික උපාදාන රාශියක් අඩංගු වෙනවා”
“එතකොට වෙද නෝනා මේ මකුල්ල ශාකය පැල කර ගන්න අමාරුයි ද?”
“එච්චර අමාරුවක් නැහැ දුවේ. මේවායේ බීජ හොඳින් ඇල් ජලයේ පොගවා තවාන් මිශ්‍රණයක් හෝ වැලි තවානක පැළ කරගන්න පුළුවන්. ඒ වගේම අතු වලිනුත් පැළ කරන්න පුළුවන්. එහිදී මේ මකුල්ල අතු කැබලි මුල් වර්ධක හෝමෝන ද්‍රාවණයක් හෝ මුල් වර්ධක කුඩක ගිල්වා පැළ කර ගන්න පුළුවන්
ඒ වගේම මකුල්ල ගෙඩි මේරුවාට පස්සෙ ගහෙන් වැටෙන හරි මේරූ ගෙඩිවලින් කලු හෝ දුඹුරු පාට බීජ රැස්කරගෙන එම බීජවලින් තෙල් සකස් කරගන්න පුළුවන්.”
“වෙද නෝනා මකුල්ලවල ඖෂධීය ගුණ ගැනත් ටිකක් කරුණු කියන්න පුළුවන් ද?”
“දුවේ මකුල්ල රසයෙන් කටුක, තික්ත සහ කෂාය රසයි
ගුණයෙන් ලඝු ..තීක්ෂ්ණ සහ ස්නිග්ධ යි.
වීර්‍යයෙන් උෂ්ණ යි.
විපාකයෙන් කටුක යි.
දෝෂ අනුව සැලකුවාම
උෂ්ණ නිසා සෙම් සහ වාත සමන ගුණ යුතු නිසා සෙම් සහ වාතයෙන් හටගත් රෝග සඳහා යොදා ගනු ලබනවා. ඒ වගේම මකුල්ලවල වේදනා නසන, කැසිම් දුරු කරන, කුෂ්ඨ නසන, ව්‍රණ රෝපණ සහ ව්‍රණ ශෝධන ආදි ගුණ යුතු අතර, මකුල්ල තෙල සියලු කැසීම් හා කුෂ්ඨ, ක්‍රිමි ජනිත තුවාල ආදියට ආලේප වශයෙන් යොදන අතර නාඩී ව්‍රණ සහ අස්ථි ව්‍රණ ආදියටත් ප්‍රයෝග කරනු ලබනවා. ඒ වගේම මකුල්ල තික්ත සහ උෂ්ණ නිසා ක්‍රිමි නසන ක්‍රමයෙනුත්, ලේ පිරිසුදු කරන ගුණයෙන් ද යුක්තවෙනවා. කටුක, තික්ත කෂාය රසයෙන් යුක්ත නිසා ප්‍රමේහ නාශක ගුණයෙන් ද යුතුයි.
ඒ වගේම ආම වාත වේදනා රක්ත වාත වේදනා ආදී රෝගවලදි මකුල්ල තෙල ආලේපයෙන් වේදනා සමනය වෙනවා. එසේම ලේ නරක් වීම නිසා ඇති වන රෝගවලදීත් හිතයි.
ඒ වගේම ලාදුරු, කුෂ්ඨවලට
මකුල්ල ඇට තෙල ආලේප කරනු ලබනවා
උපදංශ රෝගයට
මකුල්ල ඇට තෙල ආලේපය හොඳයි
දියවැඩියාවට
මකුල්ල ඇට අඹරා එළකිරෙන් දෙනු ලබනවා
ඒ වගේම දුවේ .
අතීසාර ගුලිය කියන සංස්කාරික ඖෂධයට මකුල්ල අඩංගු වෙනවා
මකුල්ල ගෙඩියේ පොතු, කුඹුරු දළු, නික දළු, බෙලි මද, දිවුල් මද, මැලියම්, අරළු, ඉගුරු, දෙදුරු, හික් මැලියම්, තිප්පිලි, සුදුලූණූු, නෙල්ල, මිදෙල්ල ගෙඩි, සමභාගව ගෙන චූර්ණ කර මීපැණියෙන් අඹරා, ගුලි සාදා ගනු ලබනවා. මෙය අතීසාර රෝගයට විශිෂ්ට ඔසුවක්
ඒ වගේම මකුල්ල ඇට ආදී ආලේපය
මකුල්ල ඇට, කොහොඹ කොල, සන්නිනායම්, ඇත් තෝර කොළ, පුපුල කොළ සහ ඇහැළ දලු සමව ගෙන ඇල්දියෙන් අඹරා ගෑමෙන් කැසීම් සහිත ව්‍රණ, තුවාල සුව කරනු ලබනවා
ඉතින් දුවේ ඔය කිව් තොරතුරු තමයි මකුල්ල ගැන කියන්න තියෙන්නේ. මම හිතන්නේ මේ කරුණු ටික දුවගෙ වැඩේට ප්‍රමාණවත් වේවි.”
“ඔව් වෙද නෝනා කියූ කරුණු මගේ නිබන්ධනයට ප්‍රමාණවත්. අවශ්‍ය කරුණු සියල්ලම කියවුණා. ඔබතුමියට ගොඩක් පිං මට කරපු උදව්වට.”
“හොඳයි දුවේ එහෙනම් හොඳින් වැඩ ටික කරගන්න. ඔයාගෙ වැඩ කටයුතු සාර්ථක වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා.”
පොල්ගොල්ල ශාස්ත්‍රාරවින්ද
වෛද්‍ය විද්‍යාලයේ කථිකාචාර්‍ය
වෛද්‍ය මධුර පරණවිතාන