සමේ රෝග නසන ලේ පිරිසිදු කරන කම්පිල්ල

ජනවාරි 20, 2023

 

ආයුර්වේද වෛද්‍ය ක්‍රමයේ මෙන්ම දේශීය වෛද්‍ය ක්‍රමයේ බොහෝ සෙයින් ඖෂධ සඳහා යොදාගනු ලැබුවේ තුරුලතාවලින් ලබා ගත් විවිධ කොටස්ය. වර්තමානය වන විට අධික වශයෙන් කැලෑ එළිපෙහෙළි කිරීම් ආදිය නිසා බොහෝ ශාක වඳවී යන තත්ත්වයක් ඇති වී තිබේ. මෙනිසා එවන්වූ ඖෂධීය ශාක බොහෝ සෙයින් ආරක්ෂා කර ගත යුතු තත්ත්වයට පත් වී ඇත.

මෙවන් වටිනා අගනා ඖෂධීය ශාකයන් ලෙස කම්පිල්ල ශාකය හැඳින්විය හැකිය. කි‍්‍රමි පානක ගුණය සහ විරේචන ගුණය ප්‍රධාන වශයෙන් අඩංගු කම්පිල්ල ශාකය ආයුර්වේද වෛද්‍ය ක්‍රමයේ ද දේශීය වෛද්‍ය ක්‍රමයේද බොහෝ ඖෂධ යෝගයන් සඳහා නැතිවම බැරි ශාකයක් වශයෙන් හැඳින්විය හැකිය. තවද යුනානි වෛද්‍ය ක්‍රමයේද කම්පිල්ල ප්‍රධාන ද්‍රව්‍යයක් වන අතර විශේෂයෙන් සාධාරණ රස ඵල ප්‍රධානම ද්‍රව්‍යය වනුයේ කම්පිල්ලය.

 

කම්පිල්ල වැවෙන ප්‍රදේශ

විදේශීය වශයෙන්

ඉන්දියාවේ බොහෝ ප්‍රදේශවලද, විශේෂයෙන් කාශ්මීරය, බෙංගාලය ආදී ප්‍රදේශවලද මියැන්මාරය, චීනය, සිංගප්පූරුව, අන්දමන් දූපත් සහ මැඩගස්කරය ආදී රටවලද දැකිය හැකිය.

දේශීය වශයෙන්

ශී‍්‍ර ලංකාව තුළ මෙම ශාකය දක්නට ලැබෙනුයේ අවම වශයෙනි. හල්දුම්මුල්ල ඔසු උයනේ මෙම ශාක කිහිපයක් දැකිය හැකිය.

 

කම්පිල්ල ශාකයේ ස්වරූපය

මධ්‍යම ප්‍රමාණයේ ගසකි. සාමාන්‍ය ගස අඩි 25 – 50 අතර උසින් යුතුය. මෙහි කඳ ගුරු පැහැ වේ. මෙම ශාකයේ පත්‍ර විශාල ප්‍රමාණයක් ඇති අතර ඒවායේ කඳ කොළ පැහැ යුතුය. මෙම පත්‍ර අත්තික්කා පත්‍රවලට සමානකම් දක්වයි. මෙම පත්‍ර දිගින් අඟල් 6ක් පමණ ද පළලින් අඟල් 2ක් පමණ ද වේ. මෙම පත්‍රවල නටුවේ මුල වටකුරු කුඩා ගැට දෙකක් බැගින් ඇත. පත්‍රයේ යටිපස රතු පැහැ නාරටි තුන බැගින් ඇත. පත්‍රවල උඩුපැත්ත තද කොළ පාටය. මෙහි මල් පොකුරු ලෙස පවතින අතර මල් දඬු තද රතු පැහැවේ. මල් කුඩාය. දෙසැම්බර් මසදී මෙම ගස්වල මල් පිපෙන අතර ජනවාරි පෙබරවාරි අවසානයේදී ගෙඩි පැසෙයි. මෙම ගෙඩි කුඩා මසන් ගෙඩි පමණ වේ. ගෙඩිද පොකුරු ලෙස හටගනී. මෙම ගෙඩි පැසීමෙන් පසු පුපුරයි. එහි මැද ඇති රතු පැහැ ගඩොල් කුඩු වැනි ද්‍රව්‍යය ඉන් පසු බිමට හැලේ. මෙම කුඩු ඖෂධ සදහා ගනු ලබයි.

කම්පිල්ල පිළිබඳ විවිධ භාෂාවලින් හඳුන්වන නම්

පොදු සිංහල නාම : හම්පිල්ලක, කුඩු වෙලඟ, හම් පැරිල්ල ආදී නාම යෙදේ.

සංස්කෘත බසින් : කම්පිල්ලක, කාම්පීලස, කනිශ, රක්තාංග, රත්තඵල, රේචන, කමලා, රඤ්ජන, ලෝහිතාංග, බහුපුෂ්ප, රක්ත චූර්ණග ආදී නාම රාශියක් භාවිත වේ.

හින්දි බසින් : කමලා සහ කංබිලා යෙදෙනයි,

දෙමළ බසින් : කපිල සහ කපිලා වේද නාමවෙයි.

වංග බසින් : කමලා ගුංරි වන අතර

ඉංගී‍්‍රසි බසින් : Kamala abe සහ Mohlces face tree යන නාම යෙදේ.

කම්පිල්ලවල උද්භිද විද්‍යාත්මක නාමය :Malluyus philippinensis Muell Arg වන අතර කුලය :EUPHORBIACEAE  හෙවත් ඒරණඩ කුලය වෙයි.

 

කම්පිල්ලවල ඖෂධීය අංග

කම්පිල්ල ගෙඩි ආවරණය කොට ඇති රතු පැහැ බූව, කුඩු (කමලාංගුණ) සහ කොළ මුල් ආදියයි.

 

කම්පිල්ල වල අඩංගු රසායනික උපාදාන

80%ක් මැලියම්(Resin)
Tannin Acid , වාෂ්පශීලී තෛල සහ වර්ණකාරක ද්‍රව්‍යයක අන්තර්ගත වේ.

කම්පිල්ල චූර්ණ ප්‍රභේද

1. කපිලී

2. කපිලා වශයෙනි.

කම්පිල්ල ගෙඩියෙන් ලැබෙන රතු මිශ්‍ර කහ පාට කුඩයි. මෙය කම්පාංගුණී නමින් හඳුන්වයි.කම්පිල්ල ගසේ ගෙඩි හැර අනෙක් කොටස්වලින් රැස්කර ගනු ලබන රතු මිශ්‍ර කහ පාට කුඩ කපිලා වන අතර එය කපිලීවලට වඩා ගුණයෙන් අඩුය.

 

කම්පිල්ල චූර්ණ පරික්ෂා විධි

1. කම්පිල්ල චූර්ණය තෙක් කරන ලද ඇඟිලි තුඩින් ගෙන සුදු කඩදාසියක් මත දැඩි ලෙස ඇතිල්ලූ විට මොළොක් වැටියක් සෑදෙන එසේම කඩදාසිය බබළන කහ පැහැයක් ගනීද,එය උත්කාෂ්ඨ කම්පිල්ල චූර්ණයයි.

2. ශුද්ධ කම්පිල්ලක ඊතයිල්වල දියවෙන අතර සූරා සාරයේද දියවේ. ජලයේ දිය නොවන අතර උණු දියේ මදක් දියවේ.

 

කම්පිල්ලවල ඖෂධීය ගුණ කර්ම

රසයෙන් : කටුක වන අතර ගුණයෙන් : ලඝු, රූක්ෂ හා තීක්ෂණ වේ.

වීර්යයෙන් : උෂ්ණ වන අතර

විපාකයෙන් : කටුක වේ.

දෝෂ අනුව සැලකීමේදී

කම්පිල්ල සෙම් හා වාත සමන ගුණ යුතු අතර පිත්ත කාරකද වේ. එනිසා මෙය සෙම් වාතජ රෝග සඳහාද පිත් සංශෝධනය සඳහාද යොදයි.

 

ශාරීරික ව්‍යුහාගත කි‍්‍රයා

බාහිර වශයෙන්

කම්පිල්ල කුෂ්ඨ නසන ගුණයෙන්ද වෘත ශෝධන හා රෝපණ ගුණයෙන්ද යුතු වන අතර කණ්ඩු, පාමා, කුෂ්ඨ ආදී සමේ රෝග සඳහාද තුවාල, පිළිස්සුම් තුවාල සඳහාද කම්පිල්ල චූර්ණය තෙල් සමඟ අනා ආලේප කරයි. එසේම කෙස් වැටෙන අවස්ථා සඳහා සියක් වාරයක් සේදූ ගිතෙල්වලට කම්පිල්ල චූර්ණය මිශ්‍ර කර හිසේ ගෑම සුදුසුය.

 

අභ්‍යන්තර වශයෙන්

ආහාර පරිපචන ව්‍යුහාවේදී

කම්පිල්ල, අනුලෝමක, රෝචන සහ කෘමිග්න ගුණ යුතු අතර, විශේෂයෙන් පටි පණුවන් බැහැර කිරීමට ඉතා යෝග්‍ය වේ. මෙය යොදන විට අතිරේක විරේක බෙහෙතක් අවශ්‍ය නොවේ. තවද, බඩ පුරවා දැමීම, උදර, ගුල්ම කි‍්‍රමි රෝග සඳහා ද ඉතා යෝග්‍යය.

රුධිර සංසරණ ව්‍යුහාවේදී

කම්පිල්ල ලේ පිරිසිදු කරන ගුණ යුතු නිසා ලේ නරක් වීමෙන් හටගන්නා රෝග සඳහා බොහෝ සෙයින් හිතකාරී වේ.

මුත්‍රා ව්‍යුහාවේදී

මෙහි ගල් දියකරන ගුණ ඇති නිසා අශ්මරී රෝග සඳහා යොදයි.

ප්‍රජනන ව්‍යුහාවේදී

මෙය ඉතා අනර්ඝ වාජීකරණ ගුණ යුතු නිසා කාම උත්තේජනයට යොදයි.

චර්ම ව්‍යුහාවේදී

මෙහි කුෂ්ඨ නසන ගුණ ඇති නිසා කුෂ්ඨ රෝග සඳහාද යොදයි.

කම්පිල්ල අඩංගු ඖෂධ යෝග

උදර ගත කි‍්‍රමි සඳහා

කම්පිල්ල චූර්ණය කරෂක් ගෙන උක් හකුරු සමඟ ගැනීම

ගුල්මයට

කම්පිල්ලවල සාරය විරේචනය සඳහා යොදයි

තුවාල සඳහා

කම්පිල්ල චූර්ණය පලම් 4යි, තල තෙල් ප්‍රස්ථ 1, ජලය ප්‍රස්ථ 4යි. මේවා මිශ්‍ර කර සකස් කල තෙල ගුණදායකය.

මේ ආදි වශයෙන් කම්පිල්ල යනු ඉතා අගනා වටිනා ඔසුවක් බව පැහැදිලි වේ.

 

 

පොල්ගොල්ල ශාස්ත්‍රාරවින්ද

වෛද්‍ය විද්‍යාලයේ

කථිකාචාර්ය වෛද්‍ය

මධුර පරණවිතාන

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
5 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.