කෑම පිඟානෙන් ඉවතට යන දිව ඔසුව කරපිංචා

ජූලි 29, 2022

පාරම්පරික වෛද්‍ය පරම්පරාවේ වගේම දේශීය වෙදකම තුළත් අණසක පතුරුවන්නට සමත් වුණ ශාකයක් තමයි කරපිංචා. රසායනික පොහොර හෝ කෘමිනාශක භාවිතයෙන් තොරව ඔබේ ගෙවත්තේ හැදෙන කරපිංචා ශාකයේ ඖෂධීය ගුණය ඔබ දැන සිටියාද? මුළුතැන්ගෙට නැතුවම බැරි ව්‍යංජන රසකාරකයක් තමයි කරපිංචා කියන්නේ. හොද්දට වගේම බැදුමටත් කරපිංචා මුසු කිරීමෙන් අපූරු සුවඳක් සහ රසයක් ලබාගන්න දුරාතීතයේ ඉඳලම අපේ ගෘහිණියන් වග බග බලාගත්තා. ඒත්..., බොහොමයක් දෙනා කරපිංචා සුවඳ විඳ, විඳ බත් පිඬ ඇඟිලිවලින් සකසන අතරේ අහුවෙන කරපිංචා කොළේ නම් හෙමිහිට පිඟානේ පැත්තකට කරනවා.

එහෙම වෙන්නේ ඇයි ?

අපි කරපිංචා ගැන දන්නේ ආහාර රසකාරකයක් ලෙසින් පමණක් වීම නිසයි ඒ.... ඒත් කරපිංචා කියන්නේ සුවඳීන් පිරුණු ආහාර රසකාරකයක් වගේම ගුණයෙන් සපිරුණ ඖෂධීය ආහාරයක්.

හෘදයාබාධ හා කොලෙස්ටරෝල් පාලනයට කරපිංචා

රුධිරගත කො‍ලෙස්ටරෝල් මට්ටම අඩු කරන්න කරපිංචා බෙහෙවින් උපකාර වෙනවා. , සුදුළූණු සහ කරපිංචා දළු අඹරා සකසා ගන්නා සම්බෝලය සිරුරේ ඇති අහිතකර මේද මට්ටම අඩු කරන දිව ඔසුවක්. කරපිංචා හෘදයේ ආබාධ තත්ත්වයනුත්, අධික රුධිර පීඩන තත්ත්වයනුත් වළක්වන විශේෂඥ ඖෂධයක්.

තරබාරුවට කරපිංචා

උදෑසන හිස් බඩට කරපිංචා කොළ කිහිපයක් අනුභව කිරීම කොලෙස්ටරෝල් මට්ටමත්, ශරීරයේ අධික බරත් අඩු කරගැනීමට යෙදිය හැකි සරල ප්‍රතිකර්මයක්.

බඩේ ලෙඩේටත් කරපිංචා

කරපිංචා ආහාර ජීර්ණ ක්‍රියාවලියට උපකාරී වන එන්සයිම උත්තේජනය කරනවා. ආහාර ජීර්ණය, ආහාර අරුචිය, බඩ පිපුම හා බඩ රිදුම සුව කරන්නටත්, මළබද්ධය ඇතිවීම වළක්වාලන්නටත් කරපිංචාවලට හැකියි. අර්ශස් රෝගීන්ටත් කරපිංචා භාවිතය ඉතාමත් ගුණදායකයි. පණුරෝග සුව කිරීමේ හැකියාවකුත් කරපිංචාවලට තියෙනවා. වමනය පාලනයටත් කරපිංචා උපකාරී වෙනවා. විශේෂයෙන්ම ගර්භිණී මාතාවන්ට ඇතිවන වමනය තත්ත්වය පාලනය කිරීමටත් කරපිංචා භාවිත කරන්නට පුළුවන්.

විෂ නසන කරපිංචා

කරපිංචා කොළ කැඳ, හීනටි හාල් සමඟ මුසු කරලා සකසාගෙන ලුණු නොදමා පානය කිරිමෙන් සර්ප විෂ නැසෙයි. පත්තෑයන්ගේ, ගෝනුස්සන්ගේ, මී මැස්සන්ගේ, බඹරුන්ගේ හා දෙබරුන්ගේ දෂ්ට කිරීම්වලදී කරපිංචා ගෙඩි, දෙහි යුෂ සමග අඹරා ගෑම සිදු කෙරෙනවා. ඒ වගේම රුධිරයේ විෂ නසන ස්වභාවයකුත් කරපිංචා සතුයි. සාමාන්‍යයෙන් ශරීරයේ විෂ ඉවත් කරන අවයවය ලෙස ක්‍රියා කරන අක්මාව සුවෙන් තබන්නටත් කරපිංචා උපකාරී වෙනවා.

දෑස රකින කරපිංචා

පෙනීමේ දුර්වලතා පාලනය කරමින් පෙනීම වර්ධනය කිරීමට කරපිංචා උපකාරී වෙනවා. කරපිංචා සතු මහඟු පෝෂණ ගුණයන් නිසා අක්ෂි කාචය ක්‍රමයෙන් පාරාන්ද වීමත් අවම කළ හැකි බව පැවසෙනවා.

අකලට හිසකෙස් පැසීම පාලනයට කරපිංචා

අකලට හිසකෙස් පැසීමත්, අකලට හිසකෙස් හැලීමත් පාලනය කරන කරපිංචා ආහාර වශයෙන් ගැනීම වගේම, හිස ගල්වන තෙල් කරපුච්චා ගැනීමට භාවිත කළ හැකියි. හිසකෙස් වර්ධනයටත් කරපිංචා ඉවහල් වෙනවා.

කරපිංචා කොළය හපලා කන්න හිතෙන්නේම නැතිනම්...?

කරපිංචා කොළය අඹරා ලබා ගන්නා තලපය හෝ කරපිංචා කොළ වියළා ඇඹරීමෙන් සකසා ගන්නා කුඩු ව්‍යංජන සැකසීමේදී භාවිතා කිරීමෙන් මේ අපහසුතාවය මඟ හැරෙනවා. කරපිංචා කොළ වියළා උණු වතුරට එක් කොට ඉතාමත් ගුණදායක පානයක් සකසා ගන්නත් ඔබට පුළුවන්.

කරපිංචා කොළ කැඳ හදමු...!

මේ සඳහා අවශ්‍යය ද්‍රව්‍යය,

 කරපිංචා කොළ මිට 4ක්

 පොල්කිරි අඬු කෝප්ප 2

 කැකුළු හාල් අඬු කෝප්ප 1/2

 රතුළූණු

 ලුණු

 වතුර කෝප්ප 1/2

සාදන ක්‍රමය

සහල් ලිප තබා එයට රතුළූණු සිහින්ව ලියා ලුණු මිශ්‍ර කරන්න. කරපිංචා කොටා පොල්කිරි වලින් මිරිකා ගන්න. එසේත් නැතිනම් පොල් සමඟ මිශ්‍ර කොට කරපිංචා කොළ කොටා ගන්න. මෙසේ කීප වරක් කරපිංචා කොළ කොටමින් යුෂ සියල්ලම ඉවත් කරගන්න. හාල් ඉදුණු පසුව හොඳීන් පොඩි කර කරපිංචා යුෂ සමග එක්කර ගන්න. ඉතාමත් පෝෂ්‍යදායී කරපිංචා කැඳ ඔබට මේ ආකාරයෙන් සකසා ගන්නට පුළුවන්.

කෘමීන් පලවාහැරීමට කරපිංචා

පත්‍රවල සිහින්, දිගැටි ස්වභාවයත්, කරපිංචා නටු සහ දලු රත් පැහැයෙන් යුතු වීමත් නිසා ඖෂධීය කරපිංචා පහසුවෙන් හඳුනාගන්නට පුළුවන්. මේ ශාකයටම ආවේණික සුවිශේෂී ගන්ධය නිසා කරපිංචා ශාකයක් ගෙවත්තේ ඇති විට කෘමි හානි ඇතිවීම අවම කරගන්න පුලුවන්. ඔබේ ගෙවත්තටත් කරපිංචා ගහක් කරපිංචා කියන්නේ ශ්‍රී ලංකාවේ වගේම ඉන්දියාව, නේපාලය ආදී අසල්වැසි ඝර්ම කලාපීය ආසියාතික රටවලත් ආහාර රස ගන්වන කුළුබඩුවක් සහ ඖෂධයක් ලෙස ප්‍රයෝජනයට ගැනෙන්නක්.

අපේ රටේ ඕනෑම ප්‍රදේශයක කරපිංචා වගා කරන්නට පුළුවන්. මුල්වලින් ව්‍යාප්ත වන ශාකයක් නිසා එක පැළයක් ගෙවත්තේ වගා කිරීමෙන් ඔබට ඉතාමත්ම පහසුවෙන් කරපිංචා යායක් වුණත් සකසා ගන්න පුළුවන්.

කරපිංචා සම්බෝලයක් සකසා ගනිමු...

අවශ්‍යය ද්‍රව්‍යය,

කරපිංචා දළු , දෙහි

රතුළූණු , සුදුළූණු

ගා ගත් පොල්, ලුණු

ගම්මිරිස, සූදුරු තේ හැඳී 1

සාදන ක්‍රමය

කරපිංචා දළු හොඳීන් සෝදා පසෙක තබන්න.ගා ගත් පොල් රන්වන් පාට වනතුරු කබලේ බැදගන්න. ලිපෙන් බෑමට පෙර සූදුරු එකතු කර මඳක් ලිප තබා බාගන්න. ඉන්පසු සියලුම ද්‍රව්‍ය ගලේ, වංගෙඩියේ හෝ බ්ලෙන්ඩරයක දමා අඹරා ගන්න. එයට දෙහි යුෂ එක් කරගන්න. මේ කරපිංචා සම්බෝලය රසවත් මෙන්ම කොලෙස්ටරෝල් අධික රෝගීන්ට විශේෂයෙන් ගුණදායක ආහාරයකි.

උපදෙස්

වෛද්‍යාචාරිණී ධම්මිකා අමරසේකර

සටහන

කීර්ති එස් කුමාර

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.