ධාතු බල වඩන ස්නායු පෝෂණය කරන උඳු

ජුනි 10, 2022

 

උඳු වැවෙන ප්‍රදේශ‍ විදේශීය වශයෙන්

ඉන්දියාවේ නොයෙක් ප්‍රදේශවල වවනු ලබන පැළෑටියක් වන අතර ඉන්දියාවේ වසන බොහෝ දෙනෙකු බහුල වශයෙන් විවිධ අයුරින් ආහාර සඳහා එක්කර ගනු ලබන ද්‍රව්‍යයකි.

දේශීය වශයෙන්

ශ්‍රී ලංකාවේ වියළි කලාපීය ප්‍රදේශවල වවනු ලබන අතර විශේෂයෙන් පහතරට වියළි කලාපය උඳු වගාව සදහා බෙහෙවින් ම සුදුසු වෙයි.

උඳු පැළෑටියේ ස්වරූපය

උඳු බොහෝ සෙයින් මුංවලට සමාන ව වැඩෙන පැළෑටියක් වන අතර සෙ.මි. 30 – 60 පමණ උසට වැඩේ. මෙම පැළෑටියේ පත්‍ර මුං පත්‍රවල ආකාරයට ම එක් නටුවකට පත්‍ර 3ක් තිබිය යුතු අතර පැළෑටියේ මල කහ පැහැයෙන් යුක්ත වන අතර උඳු කරල් සෙ.මි. 5ක් පමණ දිගින් යුක්ත වේ. එසේ ම කරල පුරා ම බූව පවතියි.

 

උඳු ගැන විවිධ භාෂාවලින් හඳුන්වන නාම

සංස්කෘත බසින් මාෂ ලෙස හඳුන්වන අතර හින්දි බසින් උරිද් හා උර්ද් ලෙස හඳුන්වයි.

වංග බසින් මාෂ කලාය නම් වන අතර දෙමළ බසින් උළුදු නම් වේ.

උද්භිද විද්‍යාත්මක නාමය

Phasedus mungo Linn වන අතර කුලය LEGUMINOSEAE හෙවත් ශිම්බී කුලය වේ.

ඉංග්‍රීසි බසින් ඕතචජඬ ඨපචථ වෙයි. මෙසේ විවිධ භාෂා වලින් හඳුන්වනු ලබන උඳු පිළිබඳ ව ආයුර්වේදයේ ඈත අතීතයේ සිටම තිබූ බව චරක සංහිතාව, සුශ්‍රැත සංහිතාව ආදියේ විශේෂයෙන් දක්වා තිබීමෙන් පැහැදිලි වේ.

 

උඳු ප්‍රභේද

පැරණි වෛද්‍ය ග්‍රන්ථවල දක්වා ඇති පරිදි ප්‍රභේද 2 කි.

1.මාෂ

2.රාජමාෂ (විශාල වර්ගයකි)

මෙයින් රාජ මාෂමල්වල වර්ණය අනුව නැවත ප්‍රභේද 3 කි.

1. ශ්වේත (සුදු)

2. රක්ත (රතු)

3. කෘෂ්ණ (කළු) වශයෙනි

මෙයට අමතරව ලංකාවේ කළු පාට තරමක් කොළ පාටට හුරු උඳු වර්ගයක් දක්නට ලැබේ. මෙසේ විවිධ අයුරින් දක්වා ඇති උඳු චරක සංහිතාවේ වාජිකරණ සහ වෘෂ්‍ය යෝගවල විශේෂයෙන් සඳහන් කර ඇත.

උඳුවල ආහාරමය වටිනාකම

තෝසේ, උළුදු වඩේ, උදුවැල් සහ පපඩම් ආදි සංස්කරණ ලෙස ආහාර වශයෙන් එකතු කර ගනු ලබන අතර මෙය සුප් වශයෙන් සකස් කර පානය කිරීමෙන් ශරීරයට මහගු ගුණ ලබා දේ.

 

උඳු ග්‍රෑම් 100ක අඩංගු පෝෂ්‍ය පදාර්ථ

ශක්තිය කැලරි 347

ප්‍රෝටීන් ග්‍රෑම් 24

කාබෝහයිඩ්‍රේට් ග්‍රෑම් 59.6

මේද ග්‍රෑම් 1.4

කැල්සියම් මිලිග්‍රෑම් 154

පොස්පරස් මිලිග්‍රෑම් 385

යකඩ මිලිග්‍රෑම් 9.1

කැරෝටින් මයික්‍රො ග්‍රෑම් 38

තයමින් මයික්‍රො ග්‍රෑම් 420

රයිබොප්ලේවින් මයික්‍රො ග්‍රෑම් 200

නියැසීන් මිලිග්‍රෑම් 2

විටමින් ඒ අ.ජ.ඒ. 1.19

විටමින් බී මිලිග්‍රෑම් 1.5

 

මේ අනුව පෙනීයන්නේ ආහාරමය වශයෙන් උඳුවල පිෂ්ඨය හෙවත් කාබෝහයිඩ්‍රේට් බහුල වශයෙන් අඩංගු වන අතර ප්‍රෝටීන් ද සාමාන්‍ය ප්‍රමාණයක් අන්තර්ගත වන අතර අනෙකුත් ශාරීරික වර්ධනයට අඩංගු සංඝටක ද සාමාන්‍ය වශයෙන් අඩංගු වන බවයි. මෙසේ ආහාරමය වශයෙන් ඉතා ගුණදායක ද්‍රව්‍යයක් වන මෙය වැඩි වශයෙන් ආහාරයක් ලෙස ගන්නා බවක් නොපෙනේ. මෙනිසා මෙහි ඇති ආහාරමය වටිනාකම පිළිබඳ අවබෝධයක් මහජනතාවට ලබා දීම වැදගත් වේ.

 

ඖෂධීය වටිනාකම

බහුල වශයෙන් උඳු ගනු ලබනුයේ ඖෂධමය වශයෙන් වන අතර වාජීකරණ ගුණය ද වෘෂ්‍ය ගුණය ද මෙහි විශේෂයෙන් පවත්න අතර ශාරිරික ධාතු වර්ධනය ද මෙමඟින් සිදුවේ. එසේ ම වාත නසන ගුණය ද මෙහි බහුල ලෙසම පවතින අතර ශාරීරික ස්ථූලතාව අඩුකරලීම ද මෙමගින් සිදුවේ. ඖෂධ සඳහා උඳුවල බීජ බහුල ලෙස යෙදෙන අතර සම්පූර්ණ පැළෑටිය සහ මුල් ස්වල්ප වශයෙන් භාවිතයට ගනු ලබයි. මේවායින් උඳු මුල් නින්ද ඇතිකරන ඔසුවක් ලෙසද යෙදේ.

 

ඖෂධීය ගුණකර්ම

රසයෙන් මධුර වන අතර ගුණයෙන් ගුරු සහ ස්නිග්ධ වේ. විර්‍ය්‍යයන් උෂ්ණ වන අතර විපාකයෙන් මධුර වේ.

දෝෂ අනුව සැලකීමේ දී

ගුරු ,ස්නිග්ධ හා මධුර රස හේතුවෙන් සෙම් වඩන අතර උෂ්ණ හේතුවෙන් පිතද වඩයි.එසේම උත්තම වාත සමන ද්‍රව්‍යයක් වෙයි.

ශාරිරික ව්‍යුහාගත කක්‍රියා සැලකිමේ දි

බාහිර වශයෙන්

වාත රෝගවලදී මෙය උපනාහ කරගනු ලබන අතර මෙය යොදා සකස් කළ තෙල් වර්ග අභ්‍යංග ලෙස ද යොදා ගනියි.

 

අභ්‍යන්තර වශයෙන්

නාඩි ව්‍යුහාවේ දී

නාඩි දුබලතා, පක්ෂාඝාත, අර්දිත,සන්ධි වාත ආදියේ දී මෙය බොහෝ සෙයින් ප්‍රයෝග කරනු ලබන අතර ස්නායු හෙවත් නාඩි ශක්තිමත් කිරීම මෙමඟින් සිදු කරයි.බොහෝ වාත රෝගවල සමනයට මෙය බොහෝ උපකාරි වෙයි.

ආහාර පරිපචන ව්‍යුහාවේදී

පුරාණ අජීර්ණවලට මෙන්ම ආමාශ ගත තුවාල සඳහාද උඳු බෙහෙවින් ගුණදායක වන අතර උදර වේදනා,අක්මා ආශ්‍රිත ආබාධ අර්ශස් ආදියේ දී ප්‍රයෝග කරයි.

මුත්‍ර ව්‍යුහාවේ දී

වස්ති ඉදිමුම්,මුත්‍ර කෘච්ඡ ආදියේ දී උපයෝගී වෙයි.

ප්‍රජනන ව්‍යුහාවේදී

මව්කිරි අල්පතාවය,මාස් ශුද්ධිය නතරවීම,ආදියේ දී බෙහෙවින් ගුණදායක ඔසුවකි.

උඳු අඩංගු ඖෂධ යෝග

විශ්වාචි වාත රෝගයට බැබිල උඳු කෂාය තලතෙල් සමඟ නස්‍යය මාසයක් යෙදීම සුදුසුය.

වාජීකරණයට

ගිතෙල් යොදා පිසූ සැටදා හාල් බත උඳු හොද්ද සමඟ කා කිරි බීම සුදුසු ය.

ශෝෂයට

අමුක්කරා,උඳු තල චූර්ණය මී පැණි සහ එළඟිතෙල් සමඟ ලේපය ද සුදුසු ය. මෙවන් ඖෂධ යෝග රාශියක් උඳු අඩංගුව රෝගාබාධ රැසකට යොදනු ලබයි.

උඳු අඩංගු සංස්කාරික යෝග

1.මාෂ බලා දී ක්වාථය

2.මාෂාත්ම ගුප්තාදී ක්වාථය

3.මාෂාදී චූර්ණය

4.මහා මාෂ තෛලය

5.මාෂ තෛලය

මේ ආදී සංස්කාරික ඖෂධ රාශියක් වාත රෝග ප්‍රධාන බොහෝ රෝගාබාධ සඳහා ප්‍රයෝග කරනු ලබයි. මෙයට අමතරව උඳු යොදා සකස්කළ පත්තු ද වාත වේදනා සඳහා යොදනු ලබන අතර උඳු තම්බා ගත් යුෂ වස්ති ඉදිමුම්, මුත්‍ර කෘච්ඡ සහ ශාරීරික දුබලතා සඳහා යොදයි.

තවද වාතාබාධ සඳහා යෙදෙන විශේෂ චිකිත්සාවක් වන කටීවස්ති සඳහා ද උඳු යොදා ගනියි.

මේ අනුව පැහැදිලි වනුයේ උඳු යනු ආහාරමය වශයෙන් සහ ඖෂධීය වශයෙන් ඉතා ගුණදායක ද්‍රව්‍යයක් බවයි. ශාරීරික දුබලතා නසා ශාරීරික ශක්තිය වර්ධනය කරන ශරීරයේ සප්ත ධාතු පෝෂණය කරන අගනා වටිනා ද්‍රව්‍යයක් වන මෙය නිතර ප්‍රයෝජනයට ගැනීම ශාරීරික නී‍රෝගිතාවයට ඉවහල් වේ.

 

වෛද්‍ය මධුර පරණවිතාන

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
5 + 9 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.