සමේ රෝග සඳහා කදිම ඔසුව බිං තඹුරු

ජුනි 3, 2022

 

බිංතඹුරු ඖෂධ සඳහා බෙහෙවින් යෙදේ.

 

 

ඖෂධ පැළෑටි රාශියක් අතුරින් ලේ පිරිසිදු කරන ගුණය ඇතුළු බොහෝ ගුණයන්ගෙන් සපිරි අගනා ඖෂධ පැළෑටියක් ලෙස බිංතඹුරු පැළෑටිය හැඳීන්විය හැකි ය. බිම දිගේ පැතිරෙන අලංකාර ලතාවක් වන මෙය බොහෝ රෝගාබාධ සඳහා ඖෂධ ප්‍රයෝග වශයෙන් යොදා ගනු ලබයි. භූමිවල්ලී යන සංස්කෘත නාමය අනුව යමින් බිම්ලිය යන වචනය සකසාගෙන දේශීය ව්‍යවහාරයේ බිං තඹුරු හැඳීන්වීමට යොදනු ලබන බව පෙනේ. එසේම බිංතඹුරු ලේ පිරිසිදුකරන ගුණයෙන් යුතු වන අතර විරේචන, මුත්‍ර කාරක සහ විෂ නාශක ගුණයන් ගෙන්ද යුක්ත ද්‍රව්‍යයක් ලෙසද හඳුන්වනු ලබයි. මෙනිසා සමේ රෝග, ප්‍රමේහ, ඉදිමුම්, ගෙඩි, අස්ථි බිඳීම් ආදී රෝගයන් සඳහා යොදනු ලබන ප්‍රශස්ත ද්‍රව්‍යයක්ද වේ. බතල වලට මඳක් සමාන බිම දිගේ පැතිරෙන ගැටතිවලින් මුල් අදින ස්වභාවයක් ඇති ලතාවකි. මෙහි කඳ මටසිලුටු වුවද සමහර ස්ථානවල යටිපස ඝන වූ රවුම් ස්ථාන දැකිය හැකිය. මෙහි පත්‍ර සරල වන අතර වකුගඩු අකාර හැඩයක් ගනියි.

 

 

බිං තඹුරු වැවෙන ප්‍රදේශ

විදේශීය වශයෙන්

අරාබියේ සිට නිවර්තන ආසියාව පුරා දැකිය හැකි නමුත් ඉන්දීයන් සාගරය ආශ්‍රිතව බහුල ලෙස දැකිය හැකි ය.

දේශීය වශයෙන්

මෙරට මුහුදු බඩ ප්‍රදේශ ආශ්‍රිතව වැවෙන අතර ඉතාමත් කළාතුරකින් රට අභ්‍යන්තරයේ ඇති මුත් ඒ බොහෝ විට හඳුන්වා දී හෝ අහම්බයෙන් පස් සමඟ පැමිණි ඒවා විය හැක.

 

බිං තඹුරුවල ස්වරූපය

බතලවලට මඳක් සමාන බිම දිගේ පැතිරෙන ගැටිතිවලින් මුල් අදින ස්වාභාවයක් ඇති ලතාවකි. මෙහි කඳ වුවද මටසිලුටු වුවද සමහර ස්ථානවල යටිපස ඝන වූ රවුම් ස්ථාන දැකිය හැකිය. මෙහි පත්‍ර සරල වන අතර වකුගඩු ආකාර හැඩයක් ගනියි. එසේම මෙම පත්‍රවල තුඩ රවුම් ය. පත්‍ර ඝනකම් වන අතර පැහැදිලි නාරටි පද්ධතියක් දැකිය හැකිය. පත්‍රවල නටුව කෙළින්ම කඳට සම්බන්ධ වේ. මෙහි හටගනු ලබන මල් ක්‍රමවත් හා ද්විලිංගික වන අතර පෙති 5 කින් යුතු ය. එසේම මෙම පෙති එකට බැඳී පවතියි. මල් රෝස පැහැයට හුරු දම් පැහැ ගනියි. සුදු මල් ද දැකිය හැකි ය. මෙහි මල් හට ගැනීම ඔක්තෝබර් සිට දෙසැම්බර් දක්වා වේ. එසේම මෙහි ඇති බීජ තද දුඹුරු සිට කළු පැහැති හෝ ඝන වූ දුඹුරු පැහැයට හුරුවේ.

 

බිංතඹුරු පිළිබඳ විවිධ භාෂාවලින් හඳුන්වන නාම

පොදු සිංහල නාම - බිංතඹුරු, මූදු බිංතඹුරු, බිම්ලිය, රත්තිඹුරු, සස, කනක සහ කිඹුරු යන නාම යෙදේ.

සංස්කෘත බසින් - භූමි වල්ලී, සාගර, රක්ත පුෂ්ප, මෘදු රේචනී වැනි නාම යෙදෙන අතර දෙමළ බසින් - ආදාපන්ගොදි, අදාම්බු, අඩඹු වැනි නාම යෙදේ.

වංග බසින් - ජාගලබුරි යන නාමය ද හින්දි බසින් - දොපාට්ලතා යන නාමය ද යෙදේ. ඉංග්‍රීසි බසින් GoatsFoot Creeper  යනුවෙන් යෙදේ.

බිං තඹුරුවල උද්භීද විද්‍යාත්මක නාමය - Ipomoea pes - caprea(L)

අ.ඕප වන අතර කුලය Convolvulaceae  හෙවත් ත්‍රිවෘත් කුලය වෙයි.

බිංතඹුරුවල ඖෂධාංග - සම්පූර්ණ පැළෑටියම ඖෂධ සඳහා ගනු

ලබයි. බිං තඹුරුවල ප්‍රභේද-

1. එළ බිංතඹුරු

2. රතු බිංතඹුරු වශයෙන් ප්‍රභේද දෙකකි.

මෙම ප්‍රභේද දෙක ඖෂධ සඳහා බෙහෙවින් යෙදේ. මින් රතු බිංතඹුරු හෙවත් Ipomoea pes - caprea යන උද්භීද විද්‍යාත්මක නාමයෙන් හඳුන්වන රතු මල් හටගන්නා වර්ගය බහුලව ඖෂධ සඳහා යොදා ගනියි. මෙයට අමතරව ඵළ බිංතඹුරු හෙවත් Ipomoea asarifolia (Desr) Roem යන උද්භීද විද්‍යාත්මක නාමයෙන් හඳුන්වන සුදුමල් හටගන්නා වර්ගය සමාන්‍ය වශයෙන් ඖෂධ සඳහා ගනු ලබයි. මෙයට අමතරව මුහුදු බිං තඹුරු නම් වර්ගයක්ද පවතින අතර එහි උද්භීද විද්‍යාත්මක නාමය Ipomoea pes capia  නම් වේ.

බිංතඹුරු වල ඖෂධීය වටිනාකම- බිං තඹුරු අතීතයේ සිටම ඖෂධ සඳහා යොදාගෙන තිබෙන බව පැරණි ආයුර්වේද සංහිතා ග්‍රන්ථ පරිශීලනයෙන් පැහැදිලි වේ. සුශ්‍රැත සංහිතාවේ සූත්‍ර ස්ථානයේ 38 අධ්‍යාය 29 ශ්‍යාමාදී ගණයේද, එහිම සූත්‍ර ස්ථානයේ 36 අධ්‍යාය 4 විරේචන ගණයේද එහිම සූත්‍ර ස්ථාන

46 අධ්‍යාය 249 කෂාය මධුර ශාක වර්ගයේද ඇතුළත් ය. මෙය රසයෙන් කටුක හා කෂාය වන අතර ගුණයෙන් ගුරු හා ශ්‍රීත වේ. වීර්‍යයෙන් ශ්‍රීත වන අතර විපාකයෙන් කටුක වේ. දෝෂ අනුව සැලකීමේදී - ප්‍රකටව දක්වා නැතත් වා, පිත්, ශාමක ගුණ ඇත. මෙය රක්ත ශෝධන හා විරේචන ගුණ ප්‍රධාන වන අතර මුත්‍ර කාරක ද වේ. එසේම ශක්ති ජනක ද්‍රව්‍යයන් නිසා රක්ත හීනතාවයේ දී යොදා ගත හැක. හිරිවාතය, කායික දුබලතා, ආමවාත, සිපිලිස් අදී රෝගවලදී උපයෝගී කරගනු ලබන අතර චර්මාබාධ, ලාදුරු ආදියදට බරවා ආදී රෝග සඳහා ද යොදා ගනියි. වාත රක්ත, රක්ත වාත, ප්‍රයාමේහ ආදියටද ප්‍රයෝග කරනු ලබයි.

බිංතඹුරු අඩංගු ඖෂධ ප්‍රයෝග - ආමවාත, වාත රක්ත, සන්ධි ශෝථ, ආදියටද බිං තඹුරු මුල් සහ කොළ තැම්බූ කෂාය යොදයි.

වළලුකර ඉදිමුමට - මූදු බිංතඹුරු කොළ, අමු කහ, ලුණු දමා කොටා මලවා බඳීයි. කැඩුම් බිදුම් සඳහා- බිංතඹුරු කොළ එළඟිතෙලින් මලවා බඳීයි.

ගුදභ්‍රංශ හා පාද ආසාදන සඳහා- බිංතඹුරු කොළ තැම්බූ ජලයේ අවශාපනය කිරීම.

සමේ රෝග සඳහා - බිංතඹුරු ස්වරසය යෙදීම උදර රෝග (ජලෝදර ) වලදී මුත්‍ර කාරකයක් ලෙස බිංතඹුරු යුෂ සහ තලාගත් පත්‍ර උදරයේ ආලේපය. වීසර්ප, ආමවාත, ඉදිමුම්, කෙණ්ඩා පෙරලීම, දියවැඩියාව නිසා ඇතිවන තුවාල සඳහා බිංතඹුරු කොළ අඹරා ආලේපය.

මේ ආදී ඖෂධ යෝග රාශියක් බිං තඹුරු අඩංගුව විවිධ රෝග සඳහා යොදනු ලබයි.

බිංතඹුරු අඩංගු නිෂ්පාදිත ඖෂධයෝද වන අතර බිංතඹුරු ක්වාථය ඉන් ප්‍රධාන වේ. මේ ආදී වශයෙන් අතිශයින් ප්‍රයෝජන ගෙන දෙන ලතාවක් වශයෙන් බිංතඹුරු හැඳීන්විය හැක.

 

පොල්ගොල්ල ශාස්ත්‍රාරවින්ද

වෛද්‍ය විද්‍යාලයේ, කථිකාචාර්ය වෛද්‍ය

මධුර පරණවිතාන

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
8 + 12 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.