රසවත් ආහාරයක් අගනා ඔසුවක් තල

මැයි 27, 2022

 

දේශීය වශයෙන්

ආහාරමය වශයෙන් මෙන්ම ඖෂධීය වශයෙන්ද ඉතා ප්‍රයෝජනවත් ද්‍රව්‍යයක් ලෙස ‘තල’ හැඳීන්විය හැක. ආහාරමය වශයෙන් වඩාත් හොඳින් බාල, තරුණ, මහලු කොයි කවුරුත් පාහේ මෙය හඳුන්වන්නේ රසකැවිල්ලක් ලෙසයි. තල ගුළි, තල කැරලි, තල අළුවා ආදී විවිධ සංස්කරණ ලෙස වෙළෙඳපොළේ දක්නට ලැබෙන මෙය බොහෝ ගම්බද ජනතාව නිතර දෙවේලේ ආහාරයට ගනු ලබයි.

තල වලට අමතරව තල තෙල්ද ආහාර සකස් කිරීමේදී එක්කර ගනු ලබන අතර තල තෙල් වලට විශේෂ ඇල්මක් දක්වනුයේ දෙමළ ජනතාවය. ආහාර සැකසීමට මෙන්ම ශරීරයේ ආලේපය සඳහා ද ඔවුන් තලතෙල් යොදා ගනු ලබයි.

එසේම ඖෂධීය වශයෙන් සලකන කළ තල, තල ඳඩු සහ තල තෙල් බොහෝ සෙයින් රෝග සමනය සඳහා යොදා ගනී.

ශ්‍රී ලංකාවේ වියළි කලාපයේ ඉතා හොඳීන් වැවෙන අතර හේන් ගොවිතැනේ දී වගා කරනු ලබන ප්‍රධාන භෝගයකි.

 

ශාකයේ ස්වරූපය

අඩි 1-3 දක්වා වැවෙන ශාකයක් වන තල ශාකයේ කඳේ ගැට වැනි ස්වරූපයක් ඇත. කඳ මෘදු වූ රෝම වලින් ගැවසී ගත් ස්වරූපයක් දක්වන අතර පත්‍ර සමතල මංජරී වශයෙන් පිහිටයි. ලා කහ පැහැයක් දරන අතර මල් වල කුඩා තිත් ස්වභාවයක් ඇත. මෙහි ඵල තුළ කුඩා බීජ පවතින අතර ඒවා දිලිසෙන ස්වභාවයක් ගනු ලබයි. මෙම බීජ සුදු, කළු සහ රතු පැහැවන අතර මෙම තල ශාකවල අස්වනු නෙවැම්බර් සහ දෙසැම්බර් මාස වල නෙළාගනු ලබයි. මෙහි ආර්ථික වටිනාකමද ඉහළය.

තල තෙල් ඉංග්‍රීසි බසින් Gingelli oil  හා Teel oil  යනුවෙන් ද තල වල උද්භිත විද්‍යාත්මක නාමය SeasamumIndicum Linn  වන අතර කුලය Pedaliaceae හෙවත් තිල කුලය වෙයි.

ප්‍රභේද

මෙහි ප්‍රභේද කළු, රතු හා සුදු වශයෙන් තෙවැදෑරුම් වේ.

 

තල වල ආහාරමය වටිනාකම

සෝදා පිරිසිදු කරගත් තල නැවත වියලා කොටා බාහිර සිවිය ඉවත් කර නැවත කිතුල් හකුරු සමඟ කොටා සාදාගන්නා තලගුළි ප්‍රණීත ආහාරයකි. තල කැරලි, තල අලුවා ආදිය ද මෙසේම ය. මේවා නිතර ගැනීමෙන් හිසකෙස් වර්ධනය, බුද්ධිය වර්ධනය, තනකිරි වර්ධනය ආදිය මෙන්ම කෙට්ටු අය මහත් කරන හා මහත අය කෙට්ටු කරන ගුණය ද ඇත.

 

ඖෂධීය වටිනාකම

ඇට, තල මිරිකා ගැනීමෙන් ලැබෙන තෙල් මල් දඬු සහ සම්පූර්ණ පැළෑටිය ඖෂධ සඳහා ගනු ලබයි. තවද තල තෙල් ආයුර්වේදයේ එන චතුර්විධ ස්නේහ වලින් ද එකකි. තල ඖෂධීය වශයෙන් ඉතා ඈත අතීතයේ සිට ම භාවිතයට ගෙන ඇති බව පැරණි සංහිතා ග්‍රන්ථ වලින් හමු වෙයි. තල රසයෙන් මධුර වන අතර ගුණයෙන් ගුරු හා ස්නිග්ධ වේ. වීර්යයෙන් උෂ්ණ වන අතර විපාකයෙන් මධුර වේ.

 

දෝෂ අනුව සැලකීමේ දී

ගුරු හා ස්නිග්ධ, මධුර හා උෂ්ණ නිසා වාතය සමනය කරන අතර පිත් සෙම් දෙක කෝප කරයි. මේ නිසා වාත රෝග සඳහා හිතකාරී වන අතර තල තෙල ත්‍රිදෝෂජ අවස්ථා සඳහා ප්‍රයෝග කරයි.

ශාරීරික ව්‍යුහාගත ක්‍රියා සැලකීමේ දී-: බාහිර වශයෙන්

ස්නේහන වේදනා ස්ථාපන, සන්ධානීය ව්‍රණ ශ්‍රෝධක, ව්‍රණ රෝපණ සහ කේශ්‍ය යන ක්‍රියා වලින් යුතු වන අතර හමේ රළු බවට, හිස රුදාවට, අත්පා වේදනා ආදියට තල තෙල් ද අර්දිත හා පක්ෂාගාත වැනි දරන වාත ආබාධ වලදී විශේෂ ඖෂධ වර්ග තල තෙල් යොදා කළ බෙහෙත් වර්ග ද අභ්‍යංග ලෙස යොදයි. අර්ශස් වලදී ඇති වන වේදනා සමනයට තල තෙල් කල්කය (තල මුරු) රත්කර බඳීයි. කැඩුම්, බිඳුම්, කැපුම් කෙටුම් ආදියේ දී පරිෂේක, අවගාහ, අභ්‍යංග ආදී වශයෙන් තල තෙල් යොදයි.

හිස කෙස් වැඩිමට හා හිසකෙස් කළු වීමට තල ගසේ කොළ සහ මුල් තම්බා පෙරා ගත් වතුරින් කෙස් සහ හිස සේදීම කරන අතර තල තෙල් අඩංගු බෙහෙත් තෙල් හිස ගැල්වීම ද සුදුසු ය.

අභ්‍යන්තර වශයෙන්-: නාඩි ව්‍යුහාවේ දී

මේධ්‍ය ගුණ ඇති අතර මොළයේ දුබලතා හා එයින් ඇති වන රෝගවල දී තල ඇට සැපීමට දෙනු ලබයි.

ආහාර පරිපචන ව්‍යුහාවේ දී:-ස්නිග්ධ නිසා දන්ත්‍යද, උෂ්ණ නිසා දීප්ත, ග්‍රාහී හා දෝෂ ප්‍රශමණ ක්‍රියා ද සිදුවන අතර බඩගිනි අඩුබව හා ග්‍රහණි රෝග ආදියේ දී යොදනු ලබයි.

 

රුධිර සංසරණ ව්‍යුහාවේ දී

අර්ශස් වලදී ඇතිවන ලේ යාම වැළකීමට තල බටර් සමඟ කෑමට දෙනු ලබයි. තල වල කෂාය රස නිසා ස්ථම්භන කර්මය ක්‍රියාත්මක වන අතර තල වල ඇති උෂ්ණ ගතියෙන් ඇති වන උපද්‍රව බටර් නිසා සමනය වෙයි.

තල විවිධ රෝගාබාධ රාශියක් සඳහා යොදා ගනු ලබයි.

අර්ශස් සඳහා-තල මුරු, තල තෙල් වලින් අනා පොට්ටනි කර මඳ උණුසුමින් තැවීම.

ප්‍රවාහිකාවට-තල මුරු හා බෙලිගැටමඳ ඇඹුල් දී කිරි යොදයෙන් අඹරා කෑම සුදුසු ය.

අතීසාරයට-ඇල්වතුර පලම් එකට තල තෙල් පලම් 1/2 ක් දමා හිස්බඩට බීම සුදුසු ය.

රක්ත අතීසාරයට-තල මුරු එළුකිරි සමඟ පෙවීම.

වාත රක්තයට-තල ඇට කබලින් බැඳ එළකිරෙහි බහා නිවා අඹරා ගෑම සුදුසු ය.

දත් සවිවීමට- දිනපතා කළුතල පලම් 1 බැඟින් ගෙන විකා ඇල්වතුර බීම.

පිපාසයට-තල මුරු කාඩ් වතුරෙන් අඹරා ආලේප කළ හැක.

රක්ත ගුල්මයට-තල දඬු කෂායට තිකුළු හා කර්කටක ඍංගී සීනි ගිතෙල් දමා බීම.

මුත්‍ර අවරෝධයට-තල දඬු ක්‍ෂාරය මී පැණි මුසු කළ එළකිරි සමඟ තුන් දිනක් බීම.

පාද වේදනාවට- තල තෙල් ගා සම්භාහනය

ආම වාතයට-තල ඉඟුරු දෙවර්ගයේ කල්කය කෑමට දීම.

ඉරුවාරඳයට-කිරි වලින් අඹරන ලද තල වලින් තැවීම.

 

උඳුගොව්වාකෑමට- ගොකටු , තල මල්, ගිතෙල්, මී පැණි සමව ගෙන හිස කෙස් නැති තැන් වල ගෑම.

ඇස් රෝග වලට-කළු තල කෑම ගුණ දායකය.

අධික ස්ථුලතාවයට-උදේට තල තෙල් බීම ගුණය.

මේ ආදී වශ‍යෙන් ඖෂධීය වශයෙන් ප්‍රයෝජන රාශියක් තල වලින් ලැබේ. එසේම ආහාරමය වශයෙන් ද තලවලින් ලැබෙන ප්‍රයෝජන ද ඒ හා සමානය.

මෙනිසා අපට පැහැදිලි වනුයේ තල යනු ඖෂධීය වශයෙන් මෙන්ම ආහාරමය වශයෙන් ද ඉතා ප්‍රයෝජනවත් ද්‍රව්‍යයක් බවයි. මෙ නිසා බොහෝ සෙයින් පහසුවෙන් වගා කර ගත හැකි විශාල අස්වැන්නක් ලබාගත හැකි තල බහුල වශයෙන් වගා කර ගැනීමෙන් ආහාරමය වශයෙන් හා ඖෂධීය වශයෙන් තල සඳහා ඇති ඉල්ලුම සපුරා ගත හැක.

එසේම සැම සියලු දෙනා ම මේ වටිනා ඖෂධිය ආහාරය නිතර ප්‍රයෝජනයට ගැනීමෙන් රෝගාබාධවලින් තොර නිරෝගී ප්‍රජාවක් ඇති කර ගැනිමට මහෝපකාරී වේ.

 

පොල්ගොල්ල ශාස්ත්‍රාරවින්ද

වෛද්‍ය විද්‍යාලයේ, කථිකාචාර්ය වෛද්‍ය

මධුර පරණවිතාන

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
5 + 2 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.