රෝග රැසකට ගුණ දෙන රතු හාලේ බත

දෙසැම්බර් 10, 2021

දියවැඩියාව, හෘද රෝග, අධිරුධිර පීඩනය, තරබාරුව මෙන්ම අනෙකුත් බෝ නොවන රෝගවලට ද මහඟු ගුණයක් දෙන නිවුඩ්ඩ සහිත රතු හාලේ බත් ආහාරයට ගන්නා ලෙස අප විසින් බොහෝවිට ජනතාව දැනුම්වත් කර ඇත. එහෙත් වර්තමාන සමාජයේ බොහෝ දෙනෙකු පි‍්‍රයමනාපයටත් ලෙහෙසියටත් පහසුවටත් සුදු සහලට මෙන්ම අනෙකුත් සහලේ බත ආහාරයට ගැනීමට පුරුදුව සිටිති.

සමහර නිවෙස්වල රෝගීන් යැයි කියන අය සිටීනම් ඔවුන්ට රතු සහලේ බත් කැකුළු සහල් බත් ද අනෙකුත් අයට සුදු සහල් මෙන්ම සම්බා සහල් බත් පිසින බවද සමහරු පවසති.එහෙත් ආහාරයට ගන්නා උපරිම ගුණයක් ලබා ගැනීමට නම් බතෙහි රතු පැහැය තිබිය යුතු ය. රතු සහල් බතේ නිවුඩ්ඩ ඇටයේ ඇති පෝෂණ ගුණ විනාශ නොවන අයුරින් සහල් සේදිය යුතු ය. ජලය පෙර පෙරා කීපවරක් සහල් සේදීමෙන් ඒ ගුණාත්මකභාවය අඩු වේ. සහල් තැම්බීමේ දී ඇති වන කැඳ උතුරා යාමෙන්ද පෝෂණය ගුණය හීන වේ.

සහල්වල සහල් ඇටයේ විටමින් හා ඛනිජ වර්ග නිවුඩ්ඩ හා සහල් ඇට බීජවල පැවතීම නිසා පමණට වඩා සේදීමෙන් හා ගැරීමෙන් ඒවා අපතේ යා හැකියි. දියවැඩියාව, හෘද රෝග අධිරුධිර පීඩනය හා බෝ නොවන රෝග ඇති අයට නිවුඩ්ඩ සහිත සහල් බත ඉතාම ගුණදායක වන්නේ නිවුඩු සහල් බත් ජීර්ණය වන්නේ සෙමින් බැවිනි. එහෙයින් රුධිරය තුළට එකවර විශාල පිෂ්ටය ප්‍රමාණයක් එක්වීම සිදු නොවේ. ලේවල සීනි මට්ටම ඉහළ යෑමේ තත්ත්වය පවතින දියවැඩියාව වැනි රෝග පවතින අයට කැකුළු සහලේ බත වඩාත්ම ගුණදායක වන්නේ එය පාලනය කරන බැවිනි. තවද නිවුඩු හාලේ බතින් ඉක්මනින් කුස පිරීම නිසා ගනු ලබන පිෂ්ඨ ප්‍රමාණයේ පාලනයක්ද ඇති කරයි. සහල් ගැන කතා කිරීමේ දී රතු සහල් අප රටේ හැර වෙනත් කිසිදු රටක ඇතැයි සිතිය නොහැක. එම රටවල තිබෙන සහල් අප රටේ පවතින රක්තශාලි නම් රතු සහල් මෙන්ම වඩාත් ගුණාත්මක බවෙන් යුක්ත යැයි සිතිය නොහැක.

රතු පැහැති සහලක් වන මා වී ඉතා ගුණාත්මක සහලකි. එම සහලේ බත් කෑමෙන් අධික තරබාරුකම අඩුවේ. දියවැඩියාව නොහොත් මධුමේහය පාලනය කර ගත හැකිය. මළබද්ධයටද සුවයක් ගෙනදෙන අතර අර්ශස් රෝගීන්ටද හොඳ සහනයක් දෙයි. එමෙන්ම මාවී සහලේ කැඳ සිරුරට මනා ශක්තියක් දෙයි. රතු පැහැති සහලක්වන පච්ච පෙරුමාල් ද ඉතා ගුණවත් සහලකි. එය දියවැඩියාව නොහොත් මධුමේහය පාලනයට කදිම සහලකි. බොහෝවිට මෙම සහලේ බත දරුවන්ගේ වැඩීමට යහපත් ය. එමෙන්ම සිරුර සිසිල් කිරීමේ ගුණයක් ද පවතී. අධික ප්‍රෝටීන් ප්‍රමාණයක් ද ඇති පච්ච පෙරුමාල් ශරීරගත තුවාල සුවවීමේ ගුණයක්ද පවතී. රතු රුධිරානු ශෛල වර්ධනය කිරීමේ ශක්තියක් ද ඇති මෙම සහලේ බත් ප්‍රතිඔක්සිකාරක ගුණයෙන්ද යුක්ත වේ. කළුහීනටි මෙම සහලේ යකඩ හා සින්ක් සංයුතියෙන් ඉහළ තත්ත්වයක පවතී. දියවැඩියාවටත් අක්මා රෝගවලටත් ඉතාම ගුණදායකය.

යකඩ තත්ත්වයන් ඉහළ කළුහීනටි සහල් දියවැඩියා රෝගීනටද ඉතාම ගුණදායකය. ශරීරයේ විෂ ඉවත්කිරීමේ හැකියාවෙන් ද යුක්ත කළුහීනටි සහල අක්මාවටද ගුණදායකය. ගර්භිණී මවුවරුන්ට මෙන්ම කිරිදෙන මවුවරුන්ටද ඉතාම ගුණදායකය. රත්හැල් සහල් රෝස පැහැති සහලකි. මෙම සහලේ බත් ආහාරයට ගැනීමේ සමේ පියකරු බව වැඩිවේ. දද, කුෂ්ට හා උෂ්ණාධික රෝග පාලනය කරයි. මුත්‍ර රෝග හටගැනීම වළක්වන අතර මුත්‍ර ගල් හටගැනීමද වළක්වාලයි. කල්ගිය හා හටගෙන ඇති තුවාල සුව කිරීම ඉක්මනින් සිදු කෙරේ. රත්හැල් සහලේ කැඳ උණ රෝගීන්ට කදිම ඖෂධයකි. ශරීරශක්තිය ද ලබා දෙයි. සුවඳැල් සහල් පැසෙන විට බත සුවඳවත් වේ. වාජීකරණ ගුණයෙන් යුක්තවන සුවඳැල් ශරීරයේ සමබරතාව ඇති කරයි. මිහිරි කටහඬක් ඇති කරයි. කිරිබත්වලට ඉතාම යෝග්‍ය සහලකි. ගොඩහීනටි විටමින් ඊවලින් යුක්තවේ. ප්‍රතිශක්ති කරන පද්ධතියට ශක්තිමත් භාවයක් ගෙන දේ. දියවැඩියාව, ස්නායුවලට හා පිළිකාවලට ගුණදායකය. ඕලු හාල් දියවැඩියා රෝගීන්ට ඕලු හාලේ බත ඉතාම ගුණදායකය. අක්මාවේ රෝග වකුගඩු රෝගවලට හා පිත්තාශයේ ගල් දිය කර ගැනීමට සමත් වේ.

රක්තශාලී සහල් රතු සහල් බත් කෑමෙන් තුන් දොස් සමනය වේ. අපගේ ප්‍රධාන ආහාරය වූ බත් ධාන්‍යවර්ගයට අයත් වූවකි. එනම් වී ප්‍රධාන ධාන්‍ය වර්ගයයි. පෙර පැවැති ගුණාත්මක වී වෙනුවට අද බොහොමයක්ම ඇත්තේ පර්යේෂණවලින් ලබාගත් වී වර්ගයි. පෙර රත් ඇල්, හැට දා වී, සුවඳැල් ඖෂධීය වශයෙන් ප්‍රධාන තැනක් ගනු ලැබූ වී වෙයි. එහෙත් අද සමාජයේ වැඩියෙන්ම ප්‍රයෝජනයට ගනු ලබන්නේ කැකුළු සහල්, තම්බපු සහල් වී වර්ගයි. වීවල කාබොහයිඩේ‍්‍රට් අධිකව අඩංගුවන අතර තෛල පදාර්ථ අඩුවෙන් පවතී.

දේශීය වශයෙන් වීවලට කියනු ලබන්නේත් වී යනුවෙනි. සංස්කෘතනාමය වන්නේ ශාලිය. විද්‍යාත්මක නාමය වූයේ ධපරලච ඵචබඪමචත දෙමළ බසින් අරිසි යනුවෙන්ද ඉංගී‍්‍රයෙන් රයිස් කියාද නම් කර ඇත. විශේෂයෙන් කළු හීනැටි සහල රතු පැහැයෙන් යුක්තය. ශරීරගත විෂ නැසීමේ බලයක් පවතී. කාම ශක්තිය වර්ධනය කරන එම සහල් මළබද්ධයට ද ගුණවේ. දරුවන්ගේ ආහාරයට වඩාත්ම සුදුසු ය.

මොනරාගල සිරිගල ආයුර්වේද

වෛද්‍ය

මැණික් නේරංජනා හෙට්ටිආරච්චි

සටහන

එස්.එස්.එස්. ප්‍රනාන්දු

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.