එළබටු

ජුනි 18, 2021

අපේ ඉපැරණි ආයුර්වේද ග්‍රන්ථවල සඳහන් වන ආකාරයට එළබටු රසවත් එළවළුවක් මෙන්ම ගුණදායක ඖෂධයකි. ආයුර්වේදයේ සඳහන් වන ආකාරයට එළබටු ගෙඩි, පත්‍ර, මුල්, දඬු, පඳුරේ සෑම කොටසක් ම ඖෂධ නිෂ්පාදනය සඳහා යොදා ගනී.

 

අපේ සම්ප්‍රදායික ආහාර රටාවේ භාවිතා කරන දේශීය එළවළුවකි “එළබටු” කොළ පැහැති, දම් පැහැති, සහ සුදු පැහැති යනුවෙන් එළබටු ප්‍රභේද තුනකි. වඩාත්ම ගුණදායක සුදු පැහැති එළබටු වර්ගයයි.

 

අපේ ඉපැරණි ආයුර්වේද ග්‍රන්ථවල සඳහන් වන ආකාරයට එළබටු රසවත් එළවළුවක් මෙන්ම ගුණදායක ඖෂධයකි.

ආයුර්වේදයේ සඳහන් වන ආකාරයට එළබටු ගෙඩි, පත්‍ර, මුල්, දඬු, පඳුරේ සෑම කොටසක් ම ඖෂධ නිෂ්පාදනය සඳහා යොදා ගනී.

මුඛය ආශි‍්‍රතව හටගන්නා විදුරුමස් දියවීම, මුඛයේ සෙම්ගෙඩි, දත් නරක්වීම, දත් ඇදීම, මුඛ දුර්ගන්ධය ආදී රෝග රැසකට එළබටු ඉතා ගුණදායක ඖෂධයකි.

එළබටු ගෙඩි හොඳින් වියළාගෙන, එහි වියළි ඇට ඉවත්කර වියළි ඇට පුච්චා නගින දුම් මුඛයට ඇතුළු කරගෙන, මුඛයේ පුළුවන් තරම් රඳවා තබාගෙන පිට කිරීමෙන් මුඛයේ රීග සුව වේ.

වියළි එළබටු ඇට ස්වල්පයක් ගෙන එයට ගිතෙල් මිශ්‍ර කර සියුම්වනතුරු අඹරා ගෙන, තෙතමනය අඩු වී තරමක් ඝන වේගෙන එන කොට එය අතින් අඹරා (දුම්වැටියක් ලෙස) සාදා ගන්න. ඒ වැටිය පත්තු කර දුම්වැටියක් ලෙස දුම් අරගෙන මුඛයේ මද වේලාවක් රඳවා තබාගෙන පිට කරන්න. මුඛය ආශි‍්‍රත සෑම රෝගයකටම එළබටු ආයුර්වේද දුම් වැටිය ඉතා ගුණදායකය.

එළබටු මුල් කෂාය

පිරිසුදු එළබටු මුල් කලං 12 වැටි මුට්ටියට දමා වතුර පත අට එකට සිඳ පෙරා උදේ සවස පත භාගය බැගින් දින තුනක් පානය කරනවා නම් “නොදැනුවත්වම මුත්‍රා පිටවීමේ රෝගය” සුව වේ.

පණු රෝගයට

එළබටු කොළ කොටා යුෂ මේස හැඳි දෙකක් අරගෙන එයට ඉඟුරු යුෂ මේස හැඳි දෙකක් මිශ්‍රකර පානය කිරීමෙන් පණු අමාරුව, බඩේ රුදාව ඉක්මනින් සුව වේ.

අර්ශස් රෝගයට

එළබටු ගෙඩි හොඳින් වියළාගෙන එම වියළි එළබටු ගෙඩි ගිනි අඟුරු කබලකට දමා ඉන් නැගෙන දුම් අර්ශස් ගෙඩිවලට ඇල්ලීමෙන් අර්ශස් ගෙඩි වේදනාවට සහනය ලැබේ.

එළබටු ළපටි ගෙඩි ස්වල්පයක් තම්බා ලිපෙන් බාගෙන එයට සහිඳ ලුණු, මී පැණි ස්වල්පයක් බැගින් මිශ්‍ර කර හොඳින් කලවම් කර දින කීපයක් ආහාරයට ගැනීමෙන් අර්ශස් රෝගය සුවවේ.

උඳු ගොව්වන්ට විසඳුමක්

එළබටු ගෙඩි කීපයක් අරගෙන තලා එම යුෂවලට මී පැණි මිශ්‍ර කර දින කීපයක් උඳු ගොව්වා කෑ ස්ථානයේ ආලේප කිරීමෙන් යථා පරිදි රෝම වැවේ. එළබටු ඇට දෙහි ඇඹුලෙන් අඹරා උඳු ගොව්වා කෑ ස්ථානයේ ආලේප කිරීමෙන් ද රෝම වැවේ.

සර්ප විෂට

සර්ප විෂට ප්‍රතිකාර කිරීම සඳහා සුදුසු වෛද්‍යවරයෙකු වෙත රැගෙන යන තුරු එළබටු ගෙඩි තම්බා එම ගෙඩි ආහාරයටද, තැම්බූ වතුර පානය කිරීමටද ලබාදීම ගුණදායකය. සර්පයා දෂ්ට කල ස්ථානයේ එළබටු මුල් අඹරා ආලේප කිරීමද යෝග්‍යය. පූර්ව එළබටු ප්‍රතිකාරය ලබා දෙන්නේ විෂ ශරීර ගතවීම වළක්වා ගැනීමට ය.

ඇඟ කැසීම, ඇඟ දැවිල්ල වැනි කායිකව හටගන්නා අසාත්මිකතාවලදීත් එළබටු කොළ සහ ගෙඩි අරගෙන මී පැැණියෙන් අඹරා ශරීරයේ දැවිල්ල, කැසීම ඇති වූ ස්ථානයේ ආලේප කර සුළු වේලාවකින් සෝදා හැරීමෙන් සහනය ලැබේ.

ඇතැම් අවස්ථාවලදී විවිධ උණ රෝගවලට ගොදුරු වී සුව වූ පසු දැනෙන ශාරීරික අප්‍රානික බවට ළපටි එළබටු වෑංජනයක් සාදා දීමෙන් සහ එළබටු කොළ යොදා පිළියෙල කර කැඳ රෝගියාට දීමෙන් ශාරීරික ප්‍රාණවත් බව ලැබේ. එළබටු ගෙඩි තම්බා ආහාරයට ගැනීමෙන්, එළබටු කැඳ පානය කිරීමෙන් කෑම රුචිය වර්ධනය වේ.

බටු පැණිය

එළබටු කොටස් එකකට ඒ වගේ හතර ගුණයක් වතුර මිශ්‍ර කර පත හතර එකට සිඳ එය පෙරා ගෙන ඒ ද්‍රව්‍යයට සමානව සීනි මිශ්‍ර කර පැණි පදම එනතුරු ලිපේ කකාරා එයට තිප්පිල් කුඩු ස්වල්පයක් මිශ්‍රකර ලිපෙන් බා ගත් ‘බටු පැණිය’ නිවුණු පසු සුරක්ෂිත ඇසුරුමකට දමන්න. උදේ, සවස තේ හැඳි දෙක බැගින් බීමෙන් කැස්ස, සෙම්ප්‍රතිශ්‍යාව, උණ, ඇදුම, හතියන රෝගවලට සුවදායක සහනය ලැබේ.

එළබටු මුල් හොඳින් සෝදා වියළා කුඩුකර සුරක්ෂිත ඇසුරුමකට දමා තබා ගන්න. දිනපතා උදේ නටන උණු වතුර වීදුරුවකට එම එළබටු කුඩු හැන්දක් දමා හුමාලය පිට නොවන පරිදි විනාඩි තුනක් පමණ වසා තබා පානය කිරීමෙන් සෙම් රෝග නිට්ටාවටම සුව වේ.

දේශීය ආයුර්වේදයේ විවිධ රෝග සඳහා භාවිතා කරන දේශීය ඖෂධ තුළ එළබටු ශාකයේ විවිධ ඖෂධ කොටස් අන්තර්ගතයි. දශමූලාරිෂ්ටයේ එළබටු මුල් අන්තර්ගතයි. උදරය ආශි‍්‍රත රෝග සඳහා භාවිතා කරන දන්ත්‍යාරිෂ්ටයේ එළබටු මුල් අඩංගුයි. සෙම් රෝග සඳහා භාවිතා කරන ආලේපන වන බටු තෙල, සිද්ධාර්ථ තෙල, නාරායන තෙල වැනි ඖෂධීය තෛලවලද එළබටු අන්තර්ගතයි.

අංශභාග රෝගයට දෙන ‘චන්ද්‍රකල්කය’ ඔසුව දෙන්නේ අනිවාර්යයෙන්ම දලු අනුපානයක් සමඟ රෝගීන්ට ඖෂධයක් දෙන අතරතුර දෙන අනු ඖෂධ වර්ගයකි. දලු අනුපානය මේ දලු අනුපානය ඖෂධයේ එළබටු දලුත් අන්තර්ගතයි.

 

මාදම්පේ සමූහ

ඒ.පී. ගුණරත්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
8 + 3 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.