අර්ශස් රෝගය නිට්ටාවටම සුව කරගන්න

දෙසැම්බර් 27, 2024

ආයුර්වේද වෛද්‍ය විද්‍යාව නිරන්තරයෙන්ම ස්වභාවික ප්‍රතිකාර හා ඖෂධවලින් සමන්විත වූ විද්‍යාවකි. එහි ආරම්භය කෙදිනක සනිටුහන් වූවා ද යන්න නිශ්චිතවම ප්‍රකාශ කළ නොහැකිය.

බුදුරජාණන් වහන්සේගේ වෛද්‍යවරයා වශයෙන් සිට උන්වහන්සේට ප්‍රතිකාර කරනු ලැබුවේ ජීවක ඇදුරුතුමා ය. ජීවක ඇදුරුතුමාට අනුව මේ ලෝකය ඖෂධ ඝටිකාවකි. ඖෂධයට නොගත හැකි වස්තුවක් මේ ලෝකයේ නොමැති බව ඇදුරුතුමා ප්‍රකාශ කර තිබේ.

අනුරාධපුර යුගයේ මුල් අවධියේ මෙරට සමාජය වෛද්‍ය වෘත්තිය මහත් ඉහළින් පිළිගෙන තිබේ. වෛද්‍යවරුන් හැඳීන්වීමට සෙල්ලිපිවල යොදාගෙන තිබෙන්නේ "වෙජ" යන පදයයි. ක්‍රිස්තු වර්ෂ නවවැනි සියවසේ දී ඇතැම් වෛද්‍යවරුන් "මහ වෙදනා" යන නමින් හඳුන්වා ඇති අතර මේ වචනය ප්‍රධාන වෛද්‍යවරයා හෝ ශල්‍ය වෛද්‍යවරුන් හැඳීන්වීමට යොදා ගෙන ඇති බව විශ්වාස කෙරේ. මෙසේ විකාශනය වූ වෛද්‍ය විද්‍යාව වර්තමානය වන විට තාක්ෂණය සමඟ මුසුවී ඉහළ සාර්ථකත්වයක් කරා ළඟාවී ඇත.

කෙසේ වෙතත් ඉපැරැණි ලංකා සමාජයේ භාවිත වූ ආයුර්වේද වෛද්‍ය විද්‍යාව පරම්පරාවෙන් පරම්පරාවට පැවත එමින්, විකාශනය වෙමින් වර්තමානය තුළ ද රෝග බොහොමයකට ප්‍රතිකාර ලබාදීමට සමත් වී ඇත.

වර්තමාන සමාජයේ බොහෝ දෙනෙකුට යම් හෝ තරමින් තිබෙන රෝගයක් වශයෙන් අර්ශස් රෝගය හැඳීන්විය හැකි ය. අර්ශස් රෝගය පැරැණි වෛද්‍ය ග්‍රන්ථයක "අරිවත් ප්‍රාණාන් ගෘණාති හීනස්තීති අර්ශස්" ලෙසින් දක්වා ඇත. පූජාවලිය ග්‍රන්ථය තුළ මයුරපාද පිරිවෙන්පති බුද්ධ පුත්‍ර හිමියන් බිම්බිසාර රජුට සෑදුණු මේ රෝගය හඳුන්වා ඇත්තේ "භගන්ධරාබාධය" ලෙස යි.

ගුද මාර්ගයේ ශ්ලේෂ්මලධාර, ඉහළට නෙරා ඒම, ගුදයේ පවතින ශිරාවක් විස්තාරීත වී රුධිරයෙන් පිරීම හා ගුද ද්වාරයේ මස් වැදලි පිටට නික්මීම "අර්ශස්" යනුවෙන් හඳුන්වයි.

අර්ශස් රෝගයේ විවිධ ප්‍රභේද පවතී. එනම්, ප්‍රවාහනී හා විසර්ජනී ගුදවලි තුළ "අභ්‍යන්තර අර්ශස්" ඇතිවන අතර, සංවර්ණිය ඇසුරෙන් "බාහිර – වියළි අර්ශස්" ඇති වේ. එමෙන්ම ගුද මාර්ගයේ ස්‍රාවය හෝ රක්තය පිටවන අර්ශස් "ස්‍රාවී අර්ශස්" ලෙස ද ස්‍රාවය රහිත අර්ශස් "ශුෂ්කාර්ශස්"ලෙස ද හඳුන්යි. මෙහි සාමාන්‍ය රෝග ලක්ෂණ අතර මලබද්ධය, ගුද මාර්ගය ඇතුළ සහ පිටත ගෙඩි ඇතිවීම, ගුදමාර්ගයේ කැසීම හා ඉන් ලේ ගැලීම සහ ගුද මාර්ගයේ වේදනාවක් හෝ දැවිල්ලක් ඇතිවිය හැකිය. මෙයින් අධිකව රුධිරය වහනය වීම සිදුවන ස්‍රාවී අර්ශස් හෙවත් රක්තාර්ශස් රෝගීන් අතර බහුලව දක්නට ලැබේ. මේ හේතුවෙන් ශරීරයේ ලේ හිඟවී නීරක්තියට පත්වීමටත් ඉඩ තිබේ. අර්ශස් රෝගයේ අසාධ්‍ය අවස්ථාවට පත්වූ විට රෝගියාගේ දෑත්, දෙපා, මුඛය, ගුදය හා වෘෂණ ඉන්ද්‍රියන් ඉදිමීම හා උණ, තද පිපාසය, පපුව ප්‍රදේශයේ බලවත් වේදනාව ඇති වීම සිදු වේ.

ආයුර්වේද වෛද්‍ය විද්‍යාව තුළ මේ සඳහා පිළියම් රාශියක් පවතී. ඉන් කිහිපයක් මෙසේය.

අර්ශස් රෝගීන්ගේ මළ බද්ධතාවය නැතිකර ගැනීමට රෝගියා හැකි පමණ ජලය පානය කිරීම අත්‍යාවශ්‍යය. එසේ ම කොහිල, කතුරුමුරුංගා කොළ, කෙසෙල් මුව, කෙසෙල් බඩ, ගස්ලබු, කෙසෙල් ගෙඩි, බෙලි සහ බතල වැනි මල බද්ධය අඩු කරවන පලතුරු හා ආහාරපාන ඉතා යෝග්‍යය වේ.

එසේම, අළු කෙසෙල් අල උණු අළු පල්ලේ තම්බා, ගිතෙලින් අඹරා බුළු ගෙඩියක ප්‍රමාණය පමණ දවල්ට / රෑට ගිල, ගොටුකොළ තැම්බූ දිය බොන්න.

ගස් කරල්හැබ සහ මුල්, හීන් කොහිල අල දඬු හා කොළ, වැල් කොහිල කොළ, සූදුරු, රතුළූනු, බේත් අනෝදා කොළ කලං 2 බැගින් ගෙන වතුර කෝප්ප බාගයක් දමා හින්දා ගෙන උදේ / සවස එළඟිතෙල් දමා වැලඳීම ඉතා සුදුසු ය. මෙකී ඖෂධ තම්බා නිතර වැලඳීම ද රෝග සුවයට උපකාරී වෙයි. තව ද අර්ශස් ගෙඩි තද වී වේදනා දෙන විට උණු දිය භාජනයකට ලුණු කැට කීපයක් දියකර මඳ රස්නය තිබියදී අධෝමඟ වැසෙන පරිදි විනාඩි 15ක් 20ක් පමණ වාඩි වී සිටීම මැනවි.

ගංසූරිය පොතු හෝ කරඳ පොතු බාගෙට කොටා එම තැම්බූ දිය මඳ රස්නය තිබියදී භාජනයක දමා ගුද මාර්ගය වැසෙන පරිදි වාඩි වී සිටීම අර්ශස් ගෙඩිවලට ඉතා ගුණයි.

එසේ ම බෙහෙත් අනෝදා කොළ කොටා පොට්ටනි බැඳ වණ්ඩුවේ තම්බා අර්ශස් ගෙඩි තැවීමෙන් වේදනාව අඩුවන අතර පසුව සර්ව විෂාදී තෛලය හා ගිතෙල් සමව කවලම් කර ගැල්වීමෙන් අර්ශස් ගෙඩිවල වේදනාව හා ඉදිමීම අඩු වී යයි.

රක්ත අර්ශස් (ලේ අර්ශස්) සඳහා නෙළුම් රේණු ගිතෙලින් අඹරා වරකට බුළු ගෙඩියක් ප්‍රමාණයට ගිලින්න.

හාතාවාරිය අල අඹරා එය හාල්පානු දියට දියකර කලතා වැලඳීම ද ගුණ ය.

වැල්මී චූර්‍ණය, අරළු චූර්‍ණය, සූකිරි, මුද්‍රස්පලම් සම ප්‍රමාණයෙන් ගෙන එකට අඹරා නෙල්ලි ගෙඩියක ප්‍රමාණයෙන් රාත්‍රියට ගිල උණුජලය පානය කිරීම ද සුදුසු ය. මීට අමතරව කොහිල අල, දඬු හා දළු, හීන් ගොටුකොළ සමව ගෙන කොටා ඉස්ම මිරිකා රතු ළූණු ද දමා කැඳ පිස ගිතෙල් සමඟ වැලඳීම අර්ශස් රෝගීන්ට මනා සුවපහසුවක් සලසයි.

අර්ශස් රෝගීන් ඉස්සන්, දැල්ලන්, බලමාළු, අච්චාරු, තක්කාලි සහ දෙල් වැනි සියලු උෂ්ණාධික ආහාර පානවලින් වැලකිය යුතු ය. එසේ ම අධික අම්ල, ලවණ ගතියෙන් යුත් ආහාර පාන, තෙල් අධික ලෙස යෙදූ බැදුම් වර්ග, ස්වාභාවිකත්වය ඉක්මවාගිය සියලු කෘත්‍රීම ආහාරපාන නුසුදුසු ය. එසේ ම අධිකව කය වෙහෙසීම, බර ඉසිලීම, එක තැන බොහෝ වේලා හිඳ සිටීම හෝ බොහෝ වේලා ඇවිදීම, මල වේග, වාත වේග ධාරණය කරගෙන සිටීම වැනි දේවල්වලින් වැළකිය යුතු ය. මේ ආකාරයෙන් නිසි වෛද්‍ය උපදෙස් මත ආයුර්වේද වෛද්‍ය ප්‍රතිකාර මඟින් අර්ශස් රෝගය නිට්ටාවට සුවකර ගැනීමේ හැකියාව ඇත.

ඕනෑම රෝගයකට ප්‍රතිකාර පැවතුණ ද තමන්ගේ කර්මය විපාක දෙන විට ප්‍රතිකර්ම නොමැත. රෝග සුව නොවී, උත්සන්න වී රෝගීන් දුක් විඳීන අවස්ථා වර්තමාන සමාජය තුළ බහුල ය. එම නිසා ප්‍රථමයෙන්ම රාග, ද්වේශ, මෝහ නැමති ක්ලේශයන්ගෙන් ඈත් වී සිත දැහැන්ගත කිරීම තුළින් අපට කායික, මානසික වශයෙන් නිරෝගී සුවය අත්කරගත හැකි ය.

 

තොරතුරු :

ආයුර්වේද පංච කර්ම,චීන කටු,අස්ථි,සන්ධි රෝග,විශේෂ කැඩුම් බිඳුම් චිකිත්සක

ආයුර්වේද වෛද්‍ය ජී.ජී.කරුණා

 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
18 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.