යටිපතුලේ කැක්කුම හා විළුඹේ වේදනාව

මාර්තු 8, 2024

 

වයස් භේදයකින් තොරව ලොකු කුඩා කාටත් වැලඳෙන රෝගයකි යටි පතුලේ කැක්කුම හා විළුඹේ වේදනාව, අස්ථි විසිහයකින් හා මාංශපේශීන් රැසකින් පාදය නිර්මාණය වී ඇත. ශරීරයේ සම්පූර්ණ බර පොළොවට සම්පේ‍්‍රෂණය කිරීමත් පොළොවෙන් නිකුත් කරන බලය සිරුරට උරා ගැනීමත් මේ මඟින් සිදු කෙරේ.

සිරුරේ සියලු බර දරා සිටින්නේ විළුඹේ ඇට හා ඇඟිලි ඇට පිහිටා තිබෙන කොටසෙනි. මේ ඇට නොහොත් අස්ථි සම්බන්ධ වී ඇත්තේ සම්බන්ධක පටක මඟිනි. මේ පටක යටිපතුල පුරාම විහිදී පවතී.

යටිපතුල කැක්කුමට පත්වන්නේ මෙම පටකය තුළ සිදුවන වෙනස්කම් හේතුවෙනි. යටි පතුලේ කැක්කුම හට ගනු ලබන්නේ ශරීරය තුළ සිදුවන යම් යම් වෙනස්කම් හේතුවෙනි. යටිපතුල වෙහෙසට පත්වීම පාදයට නොගැළපෙන පාවහන් පැලඳ පාදය වෙහෙසට පත්වන අන්දමින් ඇවිදීම යටිපතුලේ සම පීඩාවට පත්වන අයුරින් දැඩි උෂ්ණත්වයක් ඇතිවන සම් සහිත පාවහන් දමා සිටීම හා පාදයේ ඇඟිලි හිරවන අයුරින් පාවහන් පැලඳීමෙන් ද යටි පතුලේ වේදනාව හට ගනී. පාවහන් සමානව හා පාවහන් උස් අයුරින් පැලඳ ඇවිදීම ද යටිපතුලේ කැක්කුම හට ගැනීමට හේතු වේ. එමෙන්ම ගෙවී ගිය සෙරෙප්පු, සපත්තු පැලදීම ද යටි පතුලේ කැක්කුමට හේතුවකි. සෙරෙප්පු, සපත්තු පැලඳ වැඩි වේලාවක් සිටගෙන එකම ඉරියව්වකින් සිටීමත් වැරදි ඉරියව් මවාපාමින් ගමන් කිරීමත් කෙණ්ඩා මස්පිඬු පෙරළීමත් තවත් හේතුවකි.

සෙරෙප්පු, සපත්තු නොපලඳින අය බොරලු පස් දැමූ මාර්ගවල ගමන් කිරීම, ගල් අතුරා වැඩ ඉවර නොකළ මාර්ගවල ගමන්කිරීම තද අව්රශ්මියෙන් රත් වී ඇති පොළොවේ හෝ මාර්ගවල ගමන් කිරීම තද පොළොවේ හෝ මාර්ගවල යටිපතුල තබා සිටීම ආදි කරුණු ද හේතු වේ. යම් වැදීමක් හෝ පහරදීමක් හේතුවෙන් කෙණ්ඩා ප්‍රදේශයට පහර වැදීමක් නිසා හානි සිදුවීම කෙණ්ඩා මස් පිඬු තදවීමත් මේ තත්ත්වයට හේතුවේ. ශරීරයට දරාගත නොහැකි අන්දමේ බරක් ගෙනයෑමත් බරක් උසුලා ගෙන සිටීමත් යටිපතුලේ කැක්කුමට හේතුවකි.

එදිනෙදා ගනු ලබන ආහාර ආමාශය තුළට නිසි පරිදි ජීර්ණ නොවීමත් මේ තත්ත්වයට හේතුවකි. අප එදිනෙදා ගන්නා ආහාර ජීර්ණ පද්ධතිය තුළින් නිසි පරිදි ජීර්ණ නොවීම තුළින් ද යටිපතුලේ කැක්කුම හටගනී. මේ සඳහා ඖෂධීය තෙලක් පාවිච්චි කිරීමෙන් හා ආහාර ජීර්ණය පිළිබඳ වෛද්‍ය උපදෙස් ලබා ගැනීමෙන් තත්ත්වය සුවපත් කරගත හැකිය.

බොහෝ කාන්තාවන් බෙහෙවින් වේදනාවට පත්කෙරෙන රෝගයක් ලෙස විළුඹේ වේදනාව පත්ව ඇත. වාත කණ්ඨකය නමින් පවතින විළුඹේ වේදනාව ඇතිවන්නේ වළ ගොඩැලි සහිත පොළොවෙහි පය තබා ඇවිදීම මෙන්ම වැඩිදුරක් පයින් ඇවිදීම හේතුවෙනි. නොයෙකුත් අන්දමේ විවිධ මාදිලියේ සමබරතාවක් නොමැති පාවහන් පැලදීමෙන් ද විළුඹේ වේදනාව ඇතිවේ. බොහෝවිට විළුඹේ වේදනාව හටගන්නේ නින්දේ සිට උදේ අවදිව පොළොවට පය තැබීමෙදීය. එහිදී දැනෙන්නේ විළුඹ යට සමට කටුවකින් අනින්නාක් මෙනි. එය ස්වල්ප වේලාවකින් ඉවත්ව ගියත් නැවත නැවතත් විළුඹට කටුවකින් අනින්නාක් මෙන් දැනේ. කකුල්වල පාදයේ ඇති අස්ථි එකට සම්බන්ධ කරනු ලබන ඇදීමකට ලක්වීම හේතුවෙන් මෙසේ රෝග තත්වයන් ද ඇතිවේ. අඩි උස පාවහන් පැලඳ ඇවිදීම, ඇවිදින විට පාවහන් සමඟ පාදය පෙරළීම පාවහන් ඇලයට හැර වී ගමන් කිරීම නිසා ද අස්ථි කැඩීම් හා බිඳීම් සිදුවීම් වගේම ස්නායු රෝග, චර්ම ස්ථාන පීඩාවට පත්වීම වගේම අධික තරබාරුව ද විළුඹේ වේදනාවට හේතු වේ.

යටිපතුලේ සමෙහි ඝනවීමක් හෝ ඉන්නකු මෙන් බිබිලක් හට ගත හැකිය. එවැනි අවස්ථාවලදී පාවහන් පැලඳි විට තද වේදනාවක් ඇතිවිය හැකිය. එහිදී බොහෝ දෙනකු ඉන්නන් වැනි බිබිලි අල්පෙනෙත්තකින්, කටුවකින් හෝ වෙනත් උපකරණයකින් සිදුරු කිරීමට හෝ කපා ඉවත් කිරීමට හෝ උත්සහ දරති. එය ඉතාම අවදානම් දෙයකි. එවැනි දෑ කිරීමෙන් යටිපතුල තුවාල විය හැකිය. පාවහන් පැලඳ සිටියත් නොසිටියත් එසේ කිරීම අවදානම් වේ. යටිපතුල තුවාල වීමෙන් ආසාදිත වීමෙන් බැක්ටීරියාවලට සම්බන්ධ විය හැකිය. එමෙන්ම ඉන්නන් හෝ ගල්තැල්මක් පවතින විට ආරක්ෂාකාරී වන්නේ පාවහන් පැලඳ සිටීමය. ගල්තැල්මක් ඇතිවූ විටද ඇතිවන වේදනාව බොහෝ ය.

පාදවල බොහොමයක් ආබාධ ඇති කරගන්නේ තමන් විසින්මය. තමන්ගේ දෙපයට නොගැළපෙන තද පාවහන්, කලින් කලට එන නවීන විලාසිතාවන් තෝරාගෙන පාවිච්චි කිරීමට බොහෝ යෞවනියෝ උනන්දුවක් දක්වති. සමහර පාදවල විළුඹ තදවන සේ පටි යොදා ඇති අතර, සමහර පාවහන්වල ඇඟිලි තදවන සේ පටි යොදා ඇත. එමෙන්ම වානේ මෙන්ම රබර් වගේම ප්ලාස්ටික් බොත්තම් ද යටිපතුලට සම්බන්ධ වන අයුරින් සවිකර ඇත. පාවහන්වල අලංකාරයට මේවා යොදා ඇතත් පාදවලට ඉන් සිදු වන්නේ අපහසුතාවකි.

සපත්තු පැලඳීමේදී වියළි බවෙන් යුත් ඒවා පාවිච්චි කිරීමට නිතරම උනන්දු විය යුතුය. තෙත ගතියෙන් යුත් පාවහන් පැලඳීමෙන් යටිපතුල අපිරිසුදු වීමෙන් කැසීම් ගතියක් ඇති විය හැකිය. එබැවින් පාවහන් පැලඳ යම් කිසි ගමනක් ගොස් පැමිණි විට තරමක රස්නයෙන් යුත් උණුවතුරෙන් සෝදා හැරීම සුබදායකය.

 

මොනරාගල සිරිගල

ආයුර්වේද වෛද්‍ය

මැණික් නේරංජනා හෙට්ටිආරච්චි

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
8 + 3 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.