හදවත ලෙඩ කරන ග්‍රහ දෝෂවලට බුදු දහමෙන් ප්‍රතිකර්ම

ජනවාරි 24, 2025

ජන්ම පත්‍රයක් හරහා මනුෂ්‍ය ශරීරයේ යම් යම් ස්ථාන එනම්, හිසේ සිට පාදාන්තය දක්වාම විවිධ ස්ථානවල පවතින රෝගාබාධ පිළිබඳව ජෝතිෂයට අනුව ප්‍රකාශ කිරීමේ හැකියාව පවතී. එය වසර කිහිපයකට පෙරාතුව හෝ කෙටි කාලයකට පෙර ප්‍රකාශ කිරීමේ හැකියාව එනම්, යම් යම් අනාවැකි ප්‍රකාශ කිරීමේ ශක්‍යතාව ඡ්‍යොතිෂයේ විශේෂත්වයකි.

වර්තමානයේ පුද්ගලයකු මැදිවියට පා තැබීමත් සමඟම දියවැඩියාව, හෘද රෝග, අධිරුධිර පීඩනය හා කොලෙස්ට්‍රෝල් වැනි බෝ නොවන රෝග වැලඳෙයි. ඒ අතුරෙන් හෘද රෝගය ඉතාමත් අවදානම් සහගත තත්ත්වයකි. ඡ්‍යොතිෂය මඟින් තමන්ගේ ජන්ම පත්‍රයේ ග්‍රහයන්ගේ ක්‍රියාකාරීත්වය මත හෘදය ආශ්‍රිතව ඇතිවන්නට තිබෙන්නා වූ පීඩාකාරී තත්ත්වයන් පිළිබඳව හඳුනාගත හැකිය.

මේ සඳහා විශේෂයෙන්ම චිත්ත ස්ථානය, ශරීරයේ පපුව ප්‍රදේශය පිළිබඳව කියාපාන්නා වූ කේන්ද්‍ර කොටුව භාවිතා කරනු ලබයි. එම කේන්ද්‍ර කොටුව වන්නේ ලග්න කුණ්ඩලියේ හතරවැන්නයි. මේ හතරවැන්න පරීක්ෂා කිරීමේදී විශේෂයෙන්ම හතරවැන්නාගේ අධිපතියා පිහිටි ස්වභාවය පිළිබඳව සලකා බැලීම පළමු කාරණාව වශයෙන් සඳහන් කළ හැකිය. එම හතරවැන්නාගේ අධිපතියා එම ලග්න කුණ්ඩලියේ විවිධ ස්ථානවල සිටින විට ඔහුට සතුරු රාශි දෙකක් පවතී. එනම්, නීච රාශිය හා මිතුරු රාශියයි. මේ රාශි සුබ හා අසුබ ඵල අත්කර දෙන ලෙස ඒ හතරවැන්නේ අධිපතියාට ස්ථානගතව පිහිටා තිබිය හැකිය. ඒ අනුව, හතරවැන්නේ අධිපතියා නීච රාශී ගතවී සිටියහොත් ඒ හතරවැන්නා දුර්වල වීමක් සිදුවේ. එවිට, පංචස්කන්ධයේ පපුව ප්‍රදේශය පීඩාකාරී තත්ත්වයන්ට ගොදුරු වීම දක්නට හැකි ය.

දෙවැනි කාරණය ලෙස, හතරවැන්න තුළ තැන්පත් වී සිටින්නා වූ ග්‍රහයන් දැක්විය හැකිය. හතරවැන්නෙහි සෙනසුරු ග්‍රහයා, කුජ ග්‍රහයා හා කේතු ග්‍රහයා ආදී වශයෙන් වන්නා වූ ග්‍රහයන් සිටීම නිසාත් හතරවැන්නා දුර්වල වීම සිදුවේ. ඒ අනුව, එම ජන්ම පත්‍රය හිමි පුද්ගලයාගේ ශරීරයේ හෘදය දුර්වල වීමත් දක්නට ලැබේ. මේ ආකාරයෙන් මූලිකවම ජන්ම පත්‍රයක් හරහා කෙනකුගේ පපුව ආශ්‍රිත ප්‍රදේශවල පැවතිය හැක්කා වූ ලෙඩ රෝග පිළිබඳව ප්‍රකාශ කළ හැකි ය.

විවිධ වූ ග්‍රහයන් කාලයෙන් කාලයට ලග්න කුණ්ඩලියේ ගමන් කිරීම සිදුවේ. එය “ගෝචරය” ලෙස හැඳීන්විය හැකිය. එම ගෝචරයේ ස්වභාවය අනුව හතරවැන්නාධිපතියාට සහ හතරවැන්නාට වැටෙන්නා වූ දෘෂ්ටි අයහපත් ආකාරයෙන් බලපැවැත්වෙන විටදී, පපුව ප්‍රදේශයට පීඩා ගෙන දීම් දක්නට හැකි ය. හෘදයාබාධ පවා ඇති විය හැකිය. ඇදුම රෝගය හා සෙම නරක්වීමෙන් පපුවේ ඇතිවන්නා වූ නියුමෝනියා වැනි තත්ත්වයන්ට ද භාජනය විය හැකිය.

මෙසේ ඇතිවිය හැකි රෝග පීඩාවන් ඡ්‍යොතිෂයට අනුව මහ දසාව, අතුරු දසාව ආදී වශයෙන් වන්නා වූ පරාසර ඍෂි නියමයට අදාළව ඒවා සිදුවිය හැකි කාල නිර්ණය කිරීමේ හැකියාව පවතී. මේ ආකාරයෙන් ඒ හතරවැන්නාධිපතියාගේ තැන්පත් වී සිටින්නා වූ ග්‍රහයන් කාලයෙන් කාලයට දුර්වල වන ආකාරයේ ගෝචරයන් පැමිණි විට, පපුව ආශ්‍රිත රෝග ඇති වී ජීවිතයෙන් සමුගන්නා අවස්ථාවන් ද දක්නට හැකිය.

විශේෂයෙන්ම මෙය වැඩිදුර අවබෝධ කරගැනීම සඳහා පහත ආකාරයේ උදාහරණයක් ඉදිරිපත් කළ හැකි ය.

යම් පුද්ගලයකු ඉපදී ඇත්තේ මේෂ නවාංශකයෙනි. එවිට, මිථුන ලග්නයේ පුද්ගලයා මේෂ නවාංශකයෙන් උප්පත්තිය ලැබූ විට හත්වන නවාංශකයෙන් උප්පත්තිය ලැබීම සිදු වේ. මේ අනුව, මිථුන ලග්න හිමියාගේ හතර වැන්නා කියන්නා වූ කොටුවේ විසි අට වැනි විෂනවාංශකය පිහිටයි. එහිදී මේ මිථුන ලග්න කුණ්ඩලියේ මේෂ නවාංශකය හිමි පුද්ගලයාගේ විසි අටවෙනි නවාංශකාධිපතියා වන්නේ චන්ද්‍රයාය. මේ චන්ද්‍රයා චිත්තකාරකයකු වෙයි.එනම්, සිතිවිලිවලට අධිපතියෙක්ය. එලෙසම හතරවැන්නේ විනාශකාරී විෂ නවාංශකාධිපතියෙක් ද වෙයි. හතරවැන්නට අදාළව දෙර්කාණකයක් ද පවතී. ඒ අනුව මේෂ නවාංශකයෙන් උත්පත්තිය ලැබූ පුද්ගලයාගේ හතරවෙනි කොටුවේ පවතින විෂ දෙර්කානය වන්නේ දහ වැනි දෙර්කාණයයි.

මෙය විෂ දෙර්කාණාධිපතියා වන්නේ සිකුරු ග්‍රහයාය. එහෙත් මිථුන ලග්නය ගත්විට, මිථුන ලග්න හිමියාගේ යෝග කාරකයා වන්නේ ද සිකුරු ග්‍රහයාය. මේ ග්‍රහයන් අර විෂ නාවාංශකයට හා දෙර්කාණයට අයත් වී සිටින අවස්ථාවලදී විවිධ දසාවන් එම පුද්ගලයාට බලපානු ලබයි. එම කාලයේ දී රවි ග්‍රහයාගේ මහ දසාවක් පැවතුණා නම්, එය ගෙවී යන විටදී එම පුද්ගලයාට සෙනසුරුගේ අතුරු දසාව, බුධගේ අතුරු දසාව හා කේතුගේ අතුරු දසාව ඇති වෙයි. මේ කාල පරිච්ඡේදයේ දී හදිසියෙන් ම පපුව ආශ්‍රිත රෝගාබාධයකට ලක් වේ.

ඒ අනුව මේ නිදසුන තුළින් ලග්න කුණ්ඩලියේ පළමු කොටුවේ සිට දොළොස් වැනි කොටුව දක්වා පවතින විෂ දෙර්කාණ හා විෂ නවාංශකවලට අයත් ග්‍රහයන්ට ඒ ඒ ස්ථානයට පීඩාවන් ගෙන දීමේ හැකියාව පවතින බව පැහැදිලි වේ.

එලෙසින්ම ඕනෑම ලග්නයකින් ඉපදී සිටින අයෙකුට ඔහුගේ හෝ ඇයගේ ලග්න ස්ථානය මතින් රවි ග්‍රහයා ගමන් කරන කාලයේ දී උපකල්පනයක් ලෙස, මාසයක කාලයක් දැක්වුවහොත් එම කාලය පුරාම එම පුද්ගලයාගේ පපුව ආශ්‍රිත පීඩාවන් හා ආමාශගත රෝග ආදිය ඇතිවිය හැකිය. එම රවි ග්‍රහයා ඕනෑම ලග්න හිමියෙකුගේ හතරවැන්නේ ගමන් කරන කාලයේ දී එම පුද්ගලයාට ලේ නහරගත රෝගයක්, හදවතේ රුධිරය බෙදෙන ස්ථානයේ පීඩාවල් ගෙනදිය හැකි අතර බලාපොරොත්තු රහිත ආකාරයේ රුධිර ගලනයක් ද ඇතිවීමේ අවදානමක් පවතී.

පෙර සදහන් කළ පරිදි විවිධ දුර්වලකම් පවතින කේන්දර හිමි පුද්ගලයන්ගේ ඕනෑම ලග්න කුණ්ඩලියක හත්වැනි කොටුවේ රවි ග්‍රහයා ගමන් කරන කාලයේ දී උදරාබාධ, පපුව ආශ්‍රිත රෝග මෙන්ම අක්මාව සම්බන්ධ රෝග පීඩා ද ඇති විය හැකිය. තවද, කුජ ග්‍රහයා විනාශකාරී දශානුදශාවක සිටින විට ගෝචරය තුළින් ද පීඩාකාරී තත්ත්වයන් පැමිණෙන කාලවකවානුවක දී පපුව ආශ්‍රිතව ගිනි විපත්ති හා සැත්කම්වලට භාජනය වීමට ඉඩකඩ තිබේ.

විවිධ ග්‍රහයින්, විවිධ දශාවන්, විවධ නවාංශක හා දෙර්කාණ ලග්න කුණ්ඩලිය තුළ පවතින ආකාරය අනුව හෘදයාබාධ ඇති විය හැකිය. මේ සඳහා තමන්ගේ ජන්ම පත්‍රය පමණක් නොව තමන්ගේ කර්මය ද බොහෝ අවස්ථාවල බලපායි. එහිදී, මේ අවදානම් සහගත තත්ත්වයන් පාලනය කර ගැනීම සඳහා අපට නිර්මල වූ බුදු දහමේ පිහිට පැතිය හැකි ය.

එහිදී ප්‍රධාන වශයෙන්ම පිරිත් ශක්තිය තුළින් පුද්ගලයන්ට වැළඳෙන රෝග පීඩාවන් පාලනය කර කරගත හැකිය. මෙහිදී හෘදයාබාධ සඳහා අත්දුටු, ප්‍රත්‍යක්‍ෂ බුද්ධ ඖෂධය වන්නේ, අන්තරාය පිරිතයි. මේ පිරිත අවම වශයෙන් නව වතාවක් පිරිත් කරගත් ජලය පානය කිරීම, එම ජලයෙන් ආබාධ ඇති ස්ථාන තෙත මාත්තු කිරීම හා එම පිරිත් ජලය ශරීරයට ඉසීම තුළින් ද රෝගියාට සහනයක් ලබාගත හැකිය. තවද සත්ත බොජ්ඣංග සූත්‍රයෙන්ද මේ සඳහා ප්‍රතිකාර කළ හැකි ය.

පීරිසියක් ගෙන එයට කහ හා පොල්තෙල් දමා එය තැඹිලි පොල් ඉරටුවකින් කරකවමින් මේ සූත්‍රය අවම වශයෙන් නව වතාවක් සජ්ඣායනා කොට එම කහ මිශ්‍ර පොල්තෙල්වලින් පහනක් දැල්වීම මඟින් ද සෙත ශාන්තිය අත්කරගත හැකිය. එසේ ම එක නැට්ටේ තිබෙන දෙහි ගෙඩි තුනක් ගෙන එයට 21 වතාවක් “සබ්බ පාපස්ස අකරණං....” යන ගාථාව ජප කොට දෙහි කැපීම තුළින් ද විපුල ගුණ ලබාගත හැකිය. ඒ ඒ අපල ගෙන දෙන ග්‍රහයින්ට විශේෂිත වූ ඖෂධ වර්ග පවතී. එම ඖෂධ ගෙන ශරීරය දෝවනය කිරීමෙන් හා ශරීරයේ ගැල්වීම තුළින් ද රෝග පීඩාවලින් අත්මිදීමේ හැකියාව පවතී. එසේම තුන් සූත්‍රය දේශනා කිරීමෙන් ද විශේෂයෙන් රතන සූත්‍රය නිරන්තරයෙන් සජ්ඣායනා කිරීමෙන් මේ අපලවලින් ඇති විය හැකි අනතුරු හා රෝග පීඩාවන් දුරු කරගත හැකිය.

මෙලෙසින් තමන්ගේ ජන්ම පත්‍රයේ ලග්න කුණ්ඩලිය තුළ කුමන ග්‍රහයා බලවත් වී රෝග පීඩා ගෙන දුන්න ද අපගේ ජීවිතයේ පැවැත්මේ ස්වභාවය තීරණය කරන්නේ අපගේ කර්මය බවට සමාජයේ ප්‍රායෝගිකව දකින සමහර අවස්ථා මනාව සාක්ෂි දරයි.

 

තොරතුරු :

ඡ්‍යොතීර් විද්‍යා දේශක හා ලේඛක ඡ්‍යොතිෂ නන්දන විශ්ව කීර්ති ඡ්‍යොතිෂ විද්‍යා පණ්ඩිත ශිරෝමණී,

තලගහ සද්ධානන්ද ස්වාමීන්වහන්සේ

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
12 + 3 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.