සුබසෙත සුවසෙත

ජනවාරි 17, 2025

 

ඉන්දිකා ද සිල්වා - පාමන්කඩ

ප්‍රශ්නය

වෛද්‍යතුමනි

අවුරුදු විසිහයක් වන මාගේ කෙස්කලඹ දිගට වැවී ඇත. අලංකාරවත්ව පිහිටි එම කෙස් තැනින් තැන ඉගිල්ලුවා වගේ පෙනේ. හිසේ දෙතුන් පළකම මෙසේ කෙස් අඩු වී ඇත. එබැවින් කරුණාකාර මට මෙය සුවකර ගැනීමට ප්‍රතිකාරයක් පවසන්න.

 

පිළිතුර

හිසේ පවතින රෝග බොහොමයකට හේතුවන්නේ ශරීරයට ලැබිය යුතු පෝෂණය නොලැබුණු විටයි. එමෙන්ම කලක් පවතින පීනස නිසාත් මෙසේ විය හැකිය. හිසේ හිස්හොරි පැවැති විටත් කෙස් කැඩීයනවා. ශරීරයේ පවතින අධික උෂ්ණත්වය නිසාත් කෙස් කැඩී යනවා. දෙහි ඇඹුල් ටිකක් මිශ්‍රකර ජලයෙන් හිස සෝදා පිසදාගන්න. නෙල්ලි, වෙරළු, පේර, මුද්දරප්පලම්, පෙයාර්ස්, ඇපල් වැනි ඉදුණු පලතුරු හැකි පමණින් ලබාගෙන කෑමට ගන්න. කීකිරිඳිය, මුකුණුවැන්න මුල්, අමු නෙල්ලි ටික ටික ගෙන වෙන වෙනම කොටා යුෂ ගෙන එක ප්‍රමාණයකට එළකිරිත් එක් ප්‍රමාණයකට දමා මිශ්‍රකර තලතෙල්, එඬරුතෙල්, එළඟිතෙල් එක්කර ළිප තබා රත්කර නිවුණුු පසු හිසේ ගාන්න. ස්වල්ප වේලාවක් සිට ස්නානය කරන්න. හිස සම්බන්ධ රෝගයක් බැවින් ආයුර්වේද වෛද්‍යවරයකුට පෙන්නා ප්‍රතිකාර ලබා ගැනීමද වඩාත්ම සුදුසුය.

 

කේ.ඩී.ඒ. ලක්ෂිත - රාගම

ප්‍රශ්නය

වෛද්‍යතුමනි

මම විසි එක් හැවිරිදි පාසල් සිසුවෙකි. කඩිසරව කටයුතු කළ මා මහත් කම්මැළියෙක් වෙලා යම් යම් දේ කියන නිසා මගේ මවුපියන් ඇතුළු වැඩිහිටියන්ට මා වෛරක්කාරයකු ලෙසින් පෙනෙන්නේ. මේ තත්ත්වය ඉවත්කර ගැනීමට කළ යුතු යමක් ඇත්නම් පහදා දෙන්න.

 

පිළිතුර

ඔබ සතුව තවත් රෝගී තත්ත්වයන් තිබිය හැකිය. දැනට කිව හැකිවන්නේ ඔබට යකඩ ඌණතාවය පවතින බවයි. එබැවින් එදිනෙදා ගනු ලබන ආහාර ගැන සැලකිලිමත් විය යුතුªය. මස්, මාළු, හාල්මැස්සන් මාළු වගේම කතුරුමුරුංගා, සාරණ, ගොටුකොළ, නිවිති, තම්පලා මෙන්ම අලුත් එළවළු ද විටමින් බහුල පලතුරු ද ආහාරයට වැඩියෙන් ගත යුතුය. ඒ සඳහා දොඩම්, පේර, නෙල්ලි, වෙරළු, කාමරංගා වඩාත්ම ගුණදායකය.

 

ලලන්තා රුද්‍රිගු - දෙවිනුවර

ප්‍රශ්නය

වෛද්‍යතුමනි

මම තිස්එක් හැවිරිදි දෙදරු මවකි. දැනට සතියක පමණ කාලයක සිට ආහාර ගත් විට බඩේ දැවිල්ලක් එනවා. ඇඹුල් රසැති සෙම ගතියකුත් එනවා. ඒ වෙලාවට උගුරේ රිදීමකුත් පවතිනවා. බඩ පුරවා දමල වගේ පෙනෙනවා සමහරදාට උදේට වමනය දමනවා. ඒත් සෙම වගේ වමනය. කරුණාකර මෙය සුව කර ගැනීමට ප්‍රතිකාරයක් ලබාදෙන්න.

 

පිළිතුර

මෙය අම්ලපිත්ත රෝගය බව කිව යුතුයි. නිසි වේලාවට ආහාර නොගැනීම අවශ්‍ය තරම් ජලය පානය නොකිරීම, ලුණු සහ මිරිස් අධිකව යෙදූ ආහාර ගැනීම, ඇඹුල් අධික දේවල් කෑම, උෂ්ණාධික ආහාර ගැනීම රෝගයට හේතු වේ. එබැවින් හිස් බඩට ඇල්වතුර පානය කරන්න. කැකිරි, මෝරු, යෝගට් මෙන්ම බෙලිගැට තැම්බූ වතුර, බෙලිමද, මී පැණි සමඟ ආහාරයට ගැනීම බෙලි දලු පවනේ වියළා කුඩුකර තේ මෙන් සීනි දමා හිස් බඩට බීම. කුරුම්බා, තැඹිලි ලොඳ සමඟ දවසට දෙවරක් බීම වඩාත්ම ගුණදායකය. උෂ්ණාධික මස්, මාළුවලින් වැළකී අලුත් එළවළු හා පලතුරු ආහාරයට ගන්න.

 

යූ.කේ. සුකුමාල් - රත්තොට

ප්‍රශ්නය

වෛද්‍යතුමනි, හතළිස් එක් හැවිරිදි මා වෙළෙඳ සලක සේවය කළ අයෙක්මි. මෑතක සිට මගේ දකුණු දණහිසේ කැක්කුමක් ආවා. ඒකට මම සර්ව විශාදිය තෙල් ටිකක් ගෑවා. වේදනාව තරමක් දුරට අඩු වුණා. දැන් දණහිස් දෙකම වේදනාවට පත්වෙලා. දැන් දණහිස් දෙක ඉදිමිලා තියෙනවා. දණහිස් සුව කර ගැනීමට ප්‍රතිකාරයක් සඳහන් කරන මෙන් ඉල්ලමි.

 

පිළිතුර

නිතර නිතර ඇඟ පත වෙහෙසවා වැඩෙහි යෙදෙන විටත් දණහිසට බර ඇතිවන ලෙස බර ඉසිලීමත් ප්‍රමාණය ඉක්මවා බයිසිකල් පැදීම නිසාත් දණහිස් අමාරුව ඇතිවිය හැකියි. කෙසේ වෙතත් පවතින රෝග ගැන විමසා ප්‍රතිකාර කළ යුතු බැවින් ආයුර්වේද වෛද්‍යවරයකු වෙත ගොස් ප්‍රතිකාර ලබා ගන්න. අච්චාරු, අන්නාසි, තක්කාලි, ලුණුදෙහි, හරක් මස්, බලමාළු, දෙල් වැනි උෂ්ණාධික ආහාර කෑමෙන් වළකින්න.

 

ඩී.කේ. සුරේනි - අලව්ව

ප්‍රශ්නය

වෛද්‍යතුමනි

වයස අවුරුදු විසිදෙකක් වන මා මැහුම් ආයතනයක රැකියාව කරයි. මගේ මිතුරියන්ට වඩා මගේ අත්දෙකේ සම රැලි වැටීමක් පවතිනවා. වයසට ගිය කෙනෙක්ගෙ වගෙයි අත්දෙක. මේ නිසා මම බ්ලවුස් අඳින්නෙත් අත්දෙක වැහෙන ලෙසයි. ඒත් වෛද්‍යතුමනි සමේ රැලි වැටීම නවතා ගැනීමට කරුණාකාර බෙහෙතක් හෝ උපදෙසක් මේ පුවත්පතින්ම ලබාදෙන්න.

 

පිළිතුර

වැඩි සුන්දර බවක් ලබාගැනීමට බොහෝ දෙනකු ෆේෂල් කිරීමට උනන්දුවක් දක්වනවා. එයද පසුව සම රැලි වැටීමට හේතුවිය හැකියි. අධික හිරුඑළියට නිරාවරණය වීම නිසාත් සම රැලි වැටෙනවා. අධික සීනි භාවිතයත් හේතුවිය හැකියි. පැණි රස වැඩි ආහාරපානවලින්ද වැළකිය යුතුය. අල, පරිප්පු, කරවල, හාල්මැස්සන් හා ගෙඩි එළවළු වැඩියෙන් ආහාරයට ගන්න. කොළපාට අලුත් එළවළු හා පලා වර්ගත් වැඩියෙන් ආහාරයට ගන්න. ජලය වැඩියෙන් පානය කරන්න. විටමින්, ඛනිජලවණ සමේ පෝෂණයට අවශ්‍ය වන බැවින් විටමින් අඩංගු ආහාර පාන ගැනීමට උනන්දු වන්න.

 

එම්.ඩී. ද සොයිසා - වස්කඩුව

ප්‍රශ්නය

වෛද්‍යතුමනි

පණස් හය හැවිරිදි මම රැකියාව වශයෙන් කරන්නේ මාළු වෙළෙඳාමයි, මාළු වෙළඳාම නිම වී එන්නේ රාත්‍රි හතට පමණයි. ඒ සෑම දිනකම මම රෑ අටට විතර ස්නානය කරනවා. දැනට සති දෙකකට වගේ මම දැක්කා මගේ කකුලක දණහිසින් පහළ කොටසක සම ගොරෝසු වෙලා ඇති බව. ඒකෙන් කිසිම කැක්කුමක් හෝ වේදනාවක් ඇතිවන්නේ නැහැ. වෙනසකට ඇත්තේ ඒ කොටස අළුපාටට තිබීමයි. සමහර වෙලාවට තරමක් කසනවා. ඒත් මොනම වෙනසක් නැහැ. මේ රෝගය සුවකර ගැනීමට ඔබතුමාගේ පිහිට පතමි.

 

පිළිතුර

විස්තරය අනුව නම් ඔබට වැලඳී ඇත්තේ සමේ රෝගයක්. පොතුකබර රෝගය බවයි හැඟෙන්නේ. මේ තත්ත්වය සිරුරේ අනිත් කොටස්වලටත් පැතිරයා හැකියි. එමෙන්ම අනෙක් අයටත් බෝවිය හැකියි. එබැවින් ඔබ පාවිච්චි කරන සියලු දේවල් වෙන්කර තබන්න. සබන් කෑල්ල, තුවාය, ඇඳුම් වගේම පිඟාන කෝප්පෙද එසේ වෙන්කර තබා ගන්න. මේ රෝගයේ විශේෂත්වයක් වන්නේ ඔබගේ පියාගේ පැත්තේ හෝ මව පැත්තේ කෙනකුට රෝගය පැවතියේ නම් ඒ අනුවත් වැලඳෙන්නට හැකියි. කෙසේ එහෙත් සමේ රෝගයක් නිසා ප්‍රතිකාර කළ යුත්තේ ශරීරයේ එම ස්ථානය පරික්ෂා කිරීමෙනුයි. එබැවින් ආයුර්වේද වෛද්‍යවරයකු වෙත ගොස් ප්‍රතිකාර ගන්න.

 

නිමාලිද සිල්වා - රාගම

ප්‍රශ්නය

වෛද්‍යතුමනි,

තිස්එක් හැවිරිදි මම අවිවාහක තරුණියක්මි. පොකුරු කොණ්ඩයක් පැවැති මගේ හිසේ තැනින් තැන කෙස් ගැලවී ගොස්ය. අප්‍රසන්න විදියට එසේ ඉස්මුදුනේ කෙස් රවුමට නැත. මට බයක් ඇත්තේ මේ විදියට මුළු කෙස්ම කැඩීයාද කියලයි. එබැවින් වෛද්‍යතුමනි මට අනුකම්පාකර මේ රෝගයෙන් කෙස් ටික ආරක්ෂා කර ගැනීමට බෙහෙතක් සුබසෙතේම පළකරන්න.

 

පිළිතුර

විවිධ ආලේපන වර්ග, සබන් වර්ග, රසායනික ද්‍රව්‍ය අඩංගු ෂැම්පු වර්ග හිසේ ගෑමෙනුත් මෙම තත්ත්වය ඇතිවෙනවා. එමෙන්ම සවස් වී ස්නානයකොට කොණ්ඩය වේලා ගැනීමට විද්‍යුත් උපකරණ ඇල්ලීමෙන් රත්වන කෙස් කැඩීයාමටත් ඔළුවේ සම වේළීමත් සිදුවන තත්ත්වයත් මෙයට හේතුවිය හැකියි. වතු කහඹිලියා, අත්කහ, එකට කොටා ඉස්ම මිරිකා එම ඉස්ම කෙස් නොමැති තැන්වල හොඳට ගාන්න. දිනපතා ස්නානය කළ යුතුය. ගොඩපර, දෙහිගැට, උළුහාල්, එකට දමා තම්බා එම වතුර නිවුණු පසු හිසේ දාන්න. හීන් නිදිකුම්බා, බෙහෙත් අනෝදා කොළ තම්බා හිස සෝදන්න. මේ ප්‍රතිකාරවලට සුවයක් නොමැති නම් ආයුර්වේද වෛද්‍යවරයකු වෙත ගොස් ප්‍රතිකාර ලබාගන්න.

 

ආයුර්වේද වෛද්‍ය

සුමිත් රාජපුර

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
6 + 10 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.