මුළු වසරම නිරෝගීව ගතකරන මඟ

ජනවාරි 3, 2025

අපේ රටේ සියලුම දෙනා 2025 නව වර්ෂය පිළිගත්තේ නව බලාපොරොත්තු ගොන්නක් එක්ක. ඉගෙන ගැනීමේ කටයුතු, රැකියා කටයුතු, ගෙදර දොරේ සමඟිය, යාන වාහන මේ වගේ බලාපොරොත්තු හැම කෙනෙකුටම වාගේ තියෙනවා. මේ අතරින් අපට අමතක වන පොඩිම කරුණක් මතක් කරන්නයි මේ සූදානම. අපි හැමෝම කැමතියි සතුටින් ඉන්න. ඒ වගේම නීරෝගීව ඉන්න. නීරෝගීව ඉන්නවා කියන දෙයෙහි ප්‍රධාන වශයෙන් අර්ථ දෙකක් තියෙනවා. එකක් නම් ලෙඩ නොවී ජීවත් වීම. අනිත් කරුණ නම් ලෙඩ වෙලා ඉන්න කෙනෙක් ඉතා ඉක්මණින් සුවපත් වීම. අපේ ශාරීරික මානසික සෞඛ්‍යය වගේම ආධ්‍යාත්මික සහ සමාජීය යහ පැවැත්මත් ඉතාම වැදගත් වෙනවා නීරෝගීව ජීවත් වන්න. ඒ සඳහා මොනවද අපි කළ යුත්තේ කියා බලමු.

 

සෞඛ්‍ය සම්පන්න අහාර රටාවකට හුරු වීම

අපි නිතරම කතා කරනවා සමබල ආහාර වේලක් ගැන. ඒ කියන්නෙ පෝෂක කොටස් පුද්ගලයාට ගැළපෙන පරිදි තියෙන ආහාර රටාවට. අද ඉඳන් අපි ඒක වෙනස් කරමු. පිරිසිදු පෝෂ්‍යදායී සමබල ආහාර වේලක් බවට. මොන තරම් ගැළපෙන විදියට කාබෝහයිඩ්රේට, ප්‍රෝටීන, ලිපිඩ , විටමින්, ඛණිජ ලවණ වගේ කොටස් ඇතුළත් ආහාර ගත්තත් ඒවා පිරිසුදුව සකස් කරලා නැත්නම්, එහෙමත් නැත්නම් කෘත්‍රිම රසකාරක, කෘත්‍රිම වර්ණකාරක සහ අනවශ්‍ය ලෙස රසායනික ද්‍රව්‍ය එකතු කරලා පිසූ හෝ නොපිසූ ආහාර ගන්නවා නම් ඒ ආහාර වේල සමබල එකක් වන්නෙ නෑ. ඒක නිසා අපේ සාම්ප්‍රදායික ආහාර රටාවට මුල් තැන දෙන විදියට පවුලේ ආහාර වේල වෙනස් කරගන්න උත්සාහ කරමු. අධිකව පාන්පිටි සහිත (පිෂ්ඨය) ආහාර, අධිකව ලුණු, සීනි සහ තෙල් ආහාර භාවිතය අවම කරන්න උත්සාහ කරමු. නිතරම ආහාර වේලට පලා වර්ගයක්, ප්‍රෝටීන ප්‍රභවයක් විදියට ධාන්‍ය වර්ගයක් හෝ මස්, මාළු, බිත්තර වගේ දෙයක් එකතු කරගමු. නෙල්ලි, නමිනං, දොඩම්, පේර, අලිපේර, අන්නාසි, ගස්ලබු, කෙසෙල්, වෙරළු වගේ ලංකාවේ අපට පහසුවෙන් සොයාගන්න පුළුවන් රසායනික එකතු නොකරපු පලතුරු වැඩිපුර ආහාරයට ගන්න පුරුදු වෙමු. එලකිරි, යෝගට්, චීස්, බටර්, මී කිරි වගේ කිරි ආහාර ආහාර වේලට එකතු කරගමු. ගෙදර ඉන්න අපේ ගෘහණියන්ට පුළුවන් නම් අපේ සාම්ප්‍රදායික කුළුබඩු වර්ග ආහාර වේලට එකතු කරන්න, අපි හැමෝම දන්න තුනපහ ගුලියක් සකස් කරලා ආහාරවලට එකතු කරන්න, එමඟින් ආහාරයට හොඳ සුවඳක්, රසක් වගේම හොඳ පෝෂණ ගුණයක් ලැබෙනවා. ආහාර රුචිය වඩවනවා සහ ආහාර ජීරන ක්‍රියාවලිය පහසු කරවනවා. අපි ගන්න ආහාරවලින් තමයි අපේ ශරීරයේ ස්වාභාවික ආරක්ෂකයා වන ප්‍රතිශක්තීකරණ පද්ධතිය නියාමනය සහ පෝෂණය වෙන්නෙ. ඒ නිසා අප ගන්නා ආහාර ගැන වැඩි සැලකිල්ලක් මේ අලුත් අවුරුද්දේ ඉඳන් දක්වන්න පටන් ගමු.

 

ව්‍යායාම සහ ක්‍රියාශීලී ජීවන රටාවක්

කාර්ය බහුලත්වය එක්ක අපට අමතක වන දෙයක් තමයි ව්‍යායාම. දවසකට අවම විනාඩි 20-30ක් වත් ව්‍යායාම සඳහා වෙන් කරන්න උත්සාහ කරන්න. ශරීරයේ වර්ධනයට අවශ්‍යම හෝමෝන, සීනි මට්ටම පාලනය කරන ඉන්සියුලීන් වගේ හෝමෝන සහ එන්සයිම වර්ග ව්‍යායාම සමඟ උත්තේජනය වනවා. ශරීරයේ තැන්පත් වෙලා තිබෙන අනවශ්‍ය මේද කොටස් ඉවත් වෙලා යනවා. මොන තරම් කාර්ය බහුල වුණත් අලුත් අවුරුද්දේදී ගෙදරටම සීමා නොවී, ව්‍යායාම සඳහා සාධාරණ කාලයක් වෙන් කරන්න. මෙයට ජිම් යන්නම ඕනි නෑ. පැය භාගයක් ඇවිදින්න, යෝගා ව්‍යායාම නිවැරැදිව පුහුණු වන්න. මේ වගේ සරල ක්‍රම මඟින් ක්‍රියාකාරීත්වය ඉහළ නංවගන්න උත්සාහ කරමු.

 

මානසික සෞඛ්‍යය රැකීම

අපට අමතකම වන කොටසක් තමයි අපේ මානසික තත්ත්වය. ඒ වගේම අපිව ආශ්‍රය කරන අයගේ මානසික සෞඛ්‍යය. පවුලේ සාමාජිකයන් හා මිත්‍රයන් සමඟ ගුණාත්මකව කාලය ගත කිරීම, මානසික සෞඛ්‍යය සඳහා අත්‍යාවශ්‍යම වනවා. ඒ වගේම සින්දු අහන්න, පොත් කියවන්න වගේ විනෝදාංශයක නිරත වීම ඉතාම සරලව අපේ මානසික තත්ත්වය වැඩිදියුණු කරවනවා. තරහව, වෛරය, ඊර්ෂ්‍යාව වගේ මානසික සෞඛ්‍යයද පිරිහෙන තත්ත්ව පාලනය කරන්න උත්සාහ කරන්න. සෑම විටම “මට මෙහෙම වුණොත් මම මොකද කරන්නේ” කියන දේ කල්පනා කරන්න උත්සාහ ගන්න.

 

පිරිසිදු ජලය භාවිතය

වර්තමානයේ පවතින බෝ නොවන රෝග සහ බෝ වන රෝග රාශියකට හේතුව වන්නේ අපිරිසුදු ජලය භාවිතය වගේම ප්‍රමාණවත් තරම් ජලය ශරීරයට ලබා නොගැනීම. ඝර්ම කලාපීය රටක් නිසා අවුරුද්දේ වැඩි කාලයක් පරිසර උෂ්ණත්වය ඉහළ අගයක තියෙන නිසා අවම වශයෙන් සාමාන්‍යයෙන් වැඩිහිටියකු වතුර ලීටර් 3ක් වත් පානය කිරීම ඉතාම වැදගත් වනවා. ක්‍රියාශීලිත්වය වැඩි රැකියා සහ අවුවේ වැඩි වෙලාවක් ඉන්න පුද්ගලයන්ට මේ අවශ්‍යතාවය මීටත් වඩා වැඩි වනවා. මේ අවශ්‍යතාවය ජලය පානය, තැඹිලි, ඖෂධීය පාන වර්ග (බෙලිමල්, රණවරා, පොල්පලා ) වැනි දියරවලින් සපුරා ගන්න අමතක කරන්න එපා. ඒ වගේම නිතරම උණුකර නිවා පෙරාගත් ජලයම බීමට, ආහාර පිසීමට ආදියට භාවිත කරන්න උත්සාහ කරන්න.

 

රෝග සඳහා පෙර සූදානම

ඇත්තෙන්ම සෑම දෙනාටම පූර්ව සෞඛ්‍ය පරීක්ෂාවක් කරගන්න හැකියාව තිබෙනවා නම් ඉතාම කාලෝචිතයි. වෛද්‍ය පරීක්ෂාව මඟින් හඳුනාගන්න පුළුවන් යම් යම් සාධක තියෙනවා නම් මහා රෝගයක් බවට පත් වන්න කලින් පියවර ගෙන ඒ තත්ත්වයන් සමනය කරගැනීම ඉතාම වැදගත් වෙනවා. ඔබගේ සහ පවුලේ අයගේ සෞඛ්‍ය තත්ත්වය ගැන අදහසක් තිබීම ඉදිරියේදී කටයුතු කිරීමට පහසුවක් වනවාට නොඅනුමානයි. රෝග සුව කිරීමට වඩා රොගවලින් වැළකී සිටීම උතුම් බව වටහාගෙන කටයුතු කරන්න. විශේෂ අවස්ථාවලදී වෛද්‍ය ප්‍රතිකාර සහ වෛද්‍ය උපදෙස් පිළිපදින්න.

ඔබ නීරෝගී ජීවිතයක් ගත කිරීම ඔබට, පවුලේ අයට නෑදෑ හිතමිතුරන්ටත් වැදගත් බව අමතක කරන්න එපා. 2025 සඳහා විශේෂ ජීවිත අරමුණු සකස්කර, ඒවා සෞඛ්‍ය සම්බන්ධව යහපැවැත්ම සමඟ එකතු කරන්න. කුඩා ගැටලු මැඩ පවත්වා, දිගුකාලීනව නිරෝගීව ජිවත් වීමේ වැදගත්කම වටහාගෙන කටයුතු කරන්න. සාමාන්‍යයෙන් අලුත් අවුරුද්දක ආරම්භය සුබදායක නම් ඉදිරි කාලයම සුබ වන බව අපේ විශ්වාසයක් තිබෙනවා. ඒ නිසා 2025 අලුත් අවුරුද්ද, ඔබේ ශාරීරික, මානසික, සමාජීය සහ ආධ්‍යාත්මික යහපැවැත්ම ගැන සැලකිලිමත් වන නව පරිච්ඡේදයක ආරම්භයක් බවට පත් කරගන්න උපරිම උත්සාහ ගන්න.

2025 අලුත් අවුරුද්ද සතුටින් ගත වන, සෞඛ්‍ය සම්පන්න කාලයක ආරම්භයක්ම වේවා!

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 3 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.