සුබසෙත සුවසෙත

දෙසැම්බර් 27, 2024

ශානිකා වරුසප්පෙරුම - වෙන්නප්පුව

ප්‍රශ්නය

වෛද්‍යතුමනි

මම විශ්‍රාමිකව නිවසට වී ඉන්නා අයෙක්. උදේටත්, දවල්ටත් එක වගේ දහඩිය දමනවා. මේ නිසා දින දෙක තුනක් මම උදේට, උදේට ස්නානය කළා. ඒත් දහඩිය දැමීම නම් නැවතුනේ නැහැ. එබැවින් බෙහෙත් හෝ උපදේශයක් ලබා දෙන්න. සමේ වෙනස්කම් ද පේනවා. බිබිලි වගයක් තියෙනවා.

 

පිළිතුර

මෙවැනි රෝග ලක්ෂණ අනුව නම් පවතින්නේ කුෂ්ඨයක් බව පෙනී යනවා. ප්‍රතිකාර ලබාදිය යුතු වන්නේ පරීක්ෂා කිරීමෙන් පසුවයි. එබැවින් ආයුර්වේද වෛද්‍යවරයකු වෙත ගොස් ප්‍රතිකාර ලබා ගන්න. උෂ්ණ ආහාරගන්න එපා. සමේ ගොරොසු වූ තැන්වලට පිණ්ඩතෛලය, නීල්‍යාදී තෛලය හා සර්ව විෂාදි තෛලය ගාන්න. හැකිතාක් පිරිසුදුවට ඉන්න.

 

ප්‍රෙමිලාද සිල්වා - හොරේතුඩුව

ප්‍රශ්නය

වෛද්‍යතුමනි

මා අවුරුදු හතළිස් නමයක් වූ දෙදරු මවකි. මේ මෑතක සිට ආහාරගත් සැනින් වැසිකිළි යෑමට සිද්ධ වෙනවා. වැසිකිළි ගිහින් එනවිට ඇඟට පණ නැති වගෙයි දැනෙන්නේ. ඒ වගේම කටට කෙළ උනනවා. වැසිකිළි ගියාම තෙල්ගතියකුත් පිටවෙනවා. දියාරුවටත් ඒවා යනවා. දොස්තර මහත්තයකුගෙන් ප්‍රතිකාර ගත්තා සුවයක් නැහැ. කරුණාකර මෙයට ප්‍රතිකාරයක් ලබා දෙන්න.

 

පිළිතුර

කෑමෙන් බීමෙන් ප්‍රවේසම් විය යුතුය. මුං ඇට තම්බා පෙරාගත් වතුර බීම ගුණදායකයි. දිවුල් මද, බෙලිමද, ඇඹුල් අඹිලිය තම්බා පෙරා ඊට දෙළුම් ඉස්ම දමා කළවම් කර පානය කරන්න. වඩාත් හොඳයි. ආයුර්වේද වෛද්‍යවරයකුගෙන් බෙහෙත් ගැනීම වඩාත්ම සුදුසුය.

 

කල්‍යාණි ද සිල්වා - දොඩන්දුව

ප්‍රශ්නය

වෛද්‍යතුමනි

මා වයස විසිහයක එක් දරු මවකි. මගේ කෙස් තැනින් තැන සුදුවී තිබෙනවා. ඒ වගේම පීරන විට කළු කෙස්ගස් පනාවට කැඩී එනවා. හිසට බෙහෙත් තෙල් දැමීමත් බෙහෙවින්ම අඩුයි. වැඩ ඇරී ඇවිත් හවසට ස්නානය කිරීමට පුරුදුව සිටියා. දැන් එහෙම ස්නානය කරන්නෙත් නැහැ. කෙස් සුදුවීම හා කෙස් කැඩීයෑම නවතා ගැනීමට ප්‍රතිකාරයක් ලබා දෙන්න.

 

පිළිතුර

හිසේ හටගන්නා රෝග නිසාත් කෙස් සුදු වනවා. හිසට කෙස්වලට නිසි පෝෂණයක් නොලැබීම නිසාත් කෙස් සුදුවීම හා කෙස් කැඩීම ඇතිවනවා. දෙහි ගැට හා උළුහාල් හොඳට තම්බා ඒවා සිනිඳුවට අඹරා තලපයක් සේ හිසේ ගා විනාඩි දහයක් පහළොවක් පමණ සිට හොඳට හිස සෝදා හරින්න. ලුණු, ගම්මිරිස් අධික ආහාර කෑමට ගන්න එපා. විටමින් අඩංගු ආහාර ගන්න. පලතුරු හා අලුත් එළවළු කෑමට ගන්න. ආයුර්වේද බෙහෙත් තෙලක් හිසට දමන්න.

රමනී ද සොයිසා - නිකවැරටිය

ප්‍රශ්නය

වෛද්‍යතුමනි

මගේ දාසය හැවිරිදි දරුවා පාසල් ශිෂ්‍යයෙකි. දැනට සතියක පමණ කාලයක සිටි උදෑසන පිබිදෙන්නේ කිවිසුම් අරිමිනි. ටික වේලාවක් යනකොට නාසයෙන් සොටු දියර වැගිරෙනවා.

නිතර නිතර උගුර කසනවා. කන් රිදෙනවා කියලත් කියවා. ඇස්වල දැවිල්ලකුත් එනවා කෑමට පි‍්‍රයක් දක්වන්නේත් නැහැ. කළ යුතු ප්‍රතිකාරයක් හෝ උපදෙසක් ලබා දෙන්න.

 

පිළිතුර

පවතින්නේ පීනසයි. පීනස වර්ධනය වුණොත් නාසයෙන් මස්දලු පවා හටගත හැකියි. හුස්ම ගැනීමේ අපහසුතාවයද ඇතිවිය හැකියි. රතුලූනු, ගොටුකොළ, සමවගෙන කොටා මිරිකා යුෂ පීරිසි කෝප්ප 1/2ක් ගෙන මී පැණි තේ හැඳි භාගයක් දමා උදේ හිස්බඩට බීමට දෙන්න. එළපිටවක්කා, පාවට්ටාමුල්, රටඉඳි, මුද්දරප්පලම්, එළබටුමුල්, කටුවැල්බටු එක වර්ගයකින් කලං දෙක බැගින්ගෙන වතුර කෝප්ප අටක් දමා එව එකට සිදුවා කෝප්ප බාගයක් ගෙන එයිනුත් භාගයක් උසේ, සවස තිප්පිලි කුඩු ඉඟුරු කුඩු කලවම් කර බීමට දෙන්න. දරුවා නොකීවාට ශරීරගතව තවත් රෝග පැවැතිය හැකි බැවින් ආයුර්වේද වෛද්‍යවරයකුට දරුවා පෙන්නා ප්‍රතිකාර ගැනීම සුදුසුය.

 

කේ.ජී. හත්තොටුව - නාගස්හන්දිය

ප්‍රශ්නය

වෛද්‍යතුමනි, වයස හතළිස් අටක්වන මගේ කෙස්කළඹ දිගට වැවී තිබෙනවා. ඔළුවේ කීප පළකම කෙස් හැලී සම මතුවී පෙනෙනවා. නිදාගෙන නැගිටින කොටත් කොට්ටයේ කෙස්ගස් මේ රෝගීකම නතරකර ගැනීමට බෙහෙතක් කියා දෙන්න.

 

පිළිතුර

කෙස් ඔය විදියට කැඩීයන්නේ උඳුගොව්වන් කෑම නිසායි පසුකාලීනව මුළු ඔළුව පුරාම ඔය තත්ත්වය පැතිර යා හැකියි. වදකහ, අත්කහ එකට කොටා ඉස්ම මිරිකා උඳුගොව්වන් කන තැන කෙස් ගැලවී ඇති තැන ඇඟිලිවලින් හොඳට ගාන්න. දිනපතා ස්නානය කරන්න. සබන් ගා සේදීම අඩු කරන්න. ගොඩපර, දෙහිගැට, උළුහාල් තම්බා එම ජලයෙන් හිස් සෝදන්න. හීන් නිදිකුම්බා, අනෝදා කොළ තම්බා හිසකෙස් සෝදා හරින්න. කලු හබරලවල පිත්තක් ගෙන එහි කොනක හුණුටිකක් ගා එම හුණු ගෑ කොටස කතා නොකර කෙස් අඩු තැන හුණුූ ගෑවෙන සේ අතුල්ලන්න. මෙසේ දිනහතක් පුරාම කරන්න. හුණු හබරල පිති කෑල්ල හිසේ ගානවිට කෙසේවත් කතා කරන්න එපා. සතියක් ගතවන විට කෙස්වල රෝගය සුවවෙයි. ප්‍රතිකාරය කරන විට ඇස්වලට ආවරණයක් දමා ඇස්වසා ගෙන කරන්න. හබරල පිත්තේ ඉස්ම ඇසට විස සහගතයි.

 

ජී.ඩී.ලක්ෂිකා - වත්තල්පොළ

ප්‍රශ්නය

වෛද්‍යතුමනි

තිස්දෙහැවිරිදි මා පාසලක ක්‍රීඩා ගුරුතුමියකි, දරුවන්ට ව්‍යායාම කිරීමේදී ඔවුන් සමඟ අවුවේ සිටීමට මට සතියකට දිනක්, දින දෙකක් පමණ සිදු වේ. මේ නිසා දෝ මගේ කෙස්වල පැවැති දීප්ති ගතිය අඩු වී ඇත. හිස කෙස් ද ගැලවී යන තත්ත්වයක් පවතී. සාමාන්‍යයෙන් හිස පීරනවිට කෙස් කැඩීයාමක් නොවූවත් ස්නානය කර හිස පිසදානවිටත් හිස පීරන විටත් මෙසේ කැඩීයාමක් සිදුවේ. එබැවින් පවතින මේ රෝගී තත්ත්වය නතර කර ගැනීමට යම් ප්‍රතිකාර ක්‍රමයක් සඳහන් කරන්නේනම් ස්තුතිවන්ත වෙමි.

 

පිළිතුර

තද අවුවේ ගැවසීමත් හිසේ ඇතිවන රෝග නිසාත් හිස කෙස් කැඩී ගැලවී යයි. කෙසේ වෙතත් ඇල්වතුර වීදුරුවකට තේ කොළ හැන්දක් පමණ දමා පසුව එම තේ කොළ වතුර වෙනත් භාජනයකට දමා රත් කරන්න. රත්වීමෙන් පසු ඉවතට ගෙන නිවුණු පසු දෙහි ඇඹුල් ටිකක් දමා මිශ්‍රකර හිසකෙස්වල ගාන්න. දින දෙකතුනක්වත් එසේ කර ටික වේලාවකට පසු ස්නානය කරන්න. මිශ්‍ර සමබල ආහාර ගැනීමෙන් කෙස්වලට අවශ්‍ය පෝෂණය ලබාගත හැකිය. එළවළු, පලතුරු, ධාන්‍ය ඇටවර්ග සහ කිරි සහ ජලයද ලබාගත යුතුය. හිසකෙස් වර්ධනය කර ගැනීම සඳහා කැල්සියම්, අයඩින්, සින්ක් සහ විටමින් ද ලබාගත යුතුය.

 

රසිකා නිල්මිණී - ගිනිගත්හේන

ප්‍රශ්නය

වෛද්‍යතුමනි

මා දහඅට හැවිරිදි තරුණියෙකි. පාසල් නොයා නිවෙසේ ඉන්නා විට ඇඟට පණ නැති ගතියක් දැනෙනවා. ඒ වගේම පොතක් බලන විට නින්ද යනවා කිසිම වැඩක් කරන්න බැහැ. කම්මැළියි. කෑමට පවා පි‍්‍රයක් නැහැ. හැම වේලෙම නිදාගැනීමටයි සිතෙන්නේ. එහෙම වන්නේ රෝගයකට කියා ආච්චි අම්මා කියනවා එබැවින් මෙය රෝගයක් නම් බෙහෙතක් ගැනීමට උපදෙසක් දුන්නොත් හොඳයි.

 

පිළිතුර

ඇඟට පණ නැතිවීම කම්මැළිවීම ආදි සිදුවන්නේ ප්‍රතිශක්තිය දුර්වලවීම නිසයි. විටමින් ඒ විටමින් කේ අඩංගු ආහාර ගත යුතුයි. කොළ පැහැති එළවළු ආහාර වැඩියෙන් ගන්න. බෝංචි, වැටකොළු, පතෝල වැනි එළවළු ද ඉතාම ගුණයි. සුදුලූනු වැඩියෙන් ආහාරයට ගන්න. දිනපතා එකම වේලාවකට ආහාර ගැනීමට උනන්දු වන්න. එසේ කිරීමෙන් ප්‍රතිශක්තිය ඉහළ නංවා ගැනීමට හැකිය. එය ඔබට පවතින රෝගී තත්ත්වයක් මඟහැර ගැනීමට උපකාරි වේ.

 

සටහන

බී.ඇල්. ප්‍රේමරත්න

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 7 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.