වර්ෂ 2025 ක්වූ January 17 වැනිදා Friday
සුබසෙත සුවසෙත
යූ.කේ. ප්‍රෙමිලා රුද්‍රිගු - පොතුහැර
ප්රශ්නය
වෛද්‍යතුමනි,
මා වයස අවුරුදු තිස්හයක් වූ තිදරු මවකි. දිනපතාම කෙටි දුරක් ඇවිදගෙන ගොස් මගේ දරුවා පෙර පාසලෙන් රැගෙන එයි. ඉන්පසුව කිසිදු අපහසුවකින් තොරව ඉවුම් පිහුම් කටයුතුවලද නිරත වේ. ඒත් දැන් සති දෙකක පමණ කාලයක සිට මගේ ඇඟට මහත් වේදනාවක් දැනේ. දරුවා පාසලින් එක්කන් ආවම මහත් සේ කකුල් දෙකම රිදෙනවා හරිම මහන්සි ගතියක් දැනෙනවා. අත් පා හිරි වැටිල වගෙත් දැනෙනවා. අනෙක පොතක්, පත්තරයක් බලන්න ගත්තත් නිදිමත එනවා. කලින් මෙවැනි තත්ත්වයක් තිබුණේ නැහැ. මෙය රෝගී තත්ත්වයක්ද? සුවකර ගැනීමට බෙහෙතක් හෝ උපදෙසක් ඉල්ලා සිටිමි.
පිළිතුර
ඔබේ රෝගී තත්ත්වය නිගමනය කළ හැක්කේ රුධිර පරීක්ෂණය කර ගැනීමෙන් පසුවය. කොලෙස්ටරෝල් වැඩිවීම නිසාත් මෙවැනි තත්ත්වයන් ඇති වෙනවා. රුධිර පරීක්ෂණය කරවා ගත යුත්තේ පැය දාහරක කාලයක් ආහාර ගැනීමෙන් වැළකී සිටීමෙන් පසුවය. රුධිර පරීක්ෂණ වාර්තාව බැලීමෙන් පසු බෙහෙත් ලබා දිය හැකියි. එතෙක් කරපිංචා, කොළකැඳ සාදා පානය කරන්න. කරපිංචා කොළ මැල්ලුමද ගුණදායකය. කොල්ලු තම්බා බොන්න. හරක්මස්, එළුමස් වැනි මස් ආහාරයට ගැනීමත්, තෙලෙන් බදින හා තෙම්පරාදු කරන ලද එළවළු, පලාවර්ග, වෑංජන ආහාරයට නොගන්න. කැරට්, තුඹ, ඇඹරැල්ලා, දඹල, අළුකෙසෙල් වැනි එළවළුත්, ගොටුකොළ, මුකුණුවැන්න වැනි පලා වර්ගත් කුඩා මාළුත් ආහාරයට ගත්තාට වරදක් නැත. ලේ පරීක්ෂණය වාර්තාව ගත් පසු ආයුර්වේද වෛද්‍යවරයකුට පෙන්නා ප්‍රතිකාර ලබා ගන්න.
එච්.එම්. මල්ෂිකා - රත්කරව්වල
ප්රශ්නය
වෛද්‍යතුමනි
වයස අවුරුදු විසිතුනක් වූ මම රැකියාවක් බලාපොරොත්තුවෙන් නිවසට වී සිටිමි. පාළුගතිය නිසා පොතක් පත්තරයක් බැලීමෙන් හා රූපවාහිනිය බැලීමෙන් කල්ගත කරමි. ඒත් ටික දිනක සිට මොනම වැඩක් කරන්නවත් හිතදෙන්නේ නැහැ. හැමදේම ටික ටික කරමින් ඇඳට යනවා. හරිම කම්මැළිගතියකුයි තියෙන්නේ. මේ තත්ත්වය මඟහරවා ගැනීමට බෙහෙතක් හෝ උපදේශයක් හෝ ලබාදෙන්නේ නම් මැනවි.
පිළිතුර
මහ රෑ වෙනකල් රූපවාහිනිය බැලීම නිසාත් නිදිමරමින් සිටින නිසාත් ඒ තත්ත්වය ඇති විය හැකියි. ඇස්වල දුර්වලතා පවතින විටත් එසේ විය හැකියි. තරබාරු ශරීරයකින් යුක්ත නම් දහවල් කාලයේදී නිදිමත ගතිය වැඩියි. ඇස්වලට විවේකයක් නොමැති වූ විට මේ තත්ත්වයට පත් විය හැකියි. කෙසේ වෙතත් දිගටම මෙය පවතින්නේ නම් සියලු තොරතුරු ආයුර්වේද වෛද්‍යවරයකුට පවසා ප්‍රතිකාර ගන්න.
කාන්ති ජෙරම් - ගනේවත්ත
ප්රශ්නය
වෛද්‍යතුමනි
හතළිස් පස් හැවිරිදි මම තුන්දරු මවකි. ගෙදර දොර වැඩකටයුතු කරමින් සිටින මගේ වම් උරහිසේ දැඩි වේදනාවක් හටගත්තා. එයට ගෙදර තිබු බෙහෙත් තෙල් ටිකක් ගෑවා ටිකක් සුවයක් ඇති වුණා. ඒත් වැළමිටේ නැමෙන තැන කැක්කුමක් ආවා. ඒ නිසා ගෙදර ළඟ ඩිස්පැන්සරියකට ගොස් දොස්තර මහත්තයකුගෙන් බෙහෙත් ගත්තා. ඒ බෙහෙත්වලට සුවයක් වුණේ නැහැ. බෙහෙත් තෙල්වලටත් තිබූ සුවයත් ආවේ නැහැ. මෙයට ප්‍රතිකාරයක් ලබා දෙන්න.
පිළිතුර
මෙවැනි රෝගී ත්ත්ත්වයන් ඇතිවන්නේ බෙහෙවින් මහන්සිවන අයටයි. ඒ නිසා විශේෂයෙන් උෂ්ණාධික ආහාරපාන ගැනීමෙන් වැළකී සිටිය යුතුය. උඳු, සුදුලූනු, වගේම එළඟිතෙල් මිශ්‍ර ආහාර ගැනීමට කටයුතු කරන්න. නාරායන තෛලය, අශ්වගන්ධ තෛලය හෝ හන්දිතෙලක් ගෙන උරහිසේ පහළ සිට ඉහළ ගා හොඳින් අතගාන්න. කොල්ලු, සුදුලූනු, බැවිල, අරත්ත තම්බා බීමෙන් සහනයක් ලැබේ. පෙනෙළකොළ, හාතාවාරිය, කැඳ බීමද සුවයි.
සිසිලිනා හාමිනේ - තිහගොඩ
ප්රශ්නය
වෛද්‍යතුමනි
මා ගෙදරක මුළුතැන්ගෙයි වැඩකරන පනස්අට හැවිරිදි කාන්තාවකි. ගෙදර අය මට ආදර කරුණාව දැක්වුවත් ගෙදර වැඩ නම් ඉතාම අධිකය. මේ නිසාදෝ හරිම වෙහෙසකාරී බවක් දැනෙනවා. මගේ බඩ දැවිල්ලක් එනවා. ඒ වෙලාවට එක තැනක ඉන්න බැහැ. වාඩිවෙලා ඉන්නත් බැහැ. වමනයට එනව වගේ දැනෙනවා. වමනය එන්නෙත් නැහැ. බඩේ දැවිල්ලට වේදනාවට වේලාවක් කියල නැහැ. ගෙදර අය බෙහෙත් ගන්න කියනවා. ඒත් මම දොස්තර බෙහෙත්වලට කැමැති නැහැ. මට ප්‍රතිකාරයක් ගැන කියන්න.
පිළිතුර
බොහෝවිට මෙවැනි රෝගයක් ඇතිවන්නේ වේලාවකට ආහාරපාන නොගැනීම නිසයි. වතුර අඩුවෙන් බීමත් හේතු වෙනවා. අධික කුළුබඩු හා අධික ඇඹුල්රස ඇති හා තෙල් අධික ආහාර නොගත යුතුයි. පාන් හා පාන් පිටි නිෂ්පාදන ආහාර ගැනීම ද සුදුසු නැහැ. මස්වර්ග හා උෂ්ණාධික ආහාරද නොගත යුතුයි. බෙලිගැට මද තම්බා බොන්න. බෙලිමද මී පැණි සමඟ ආහාරයට ගන්න. කුරුම්බා, තැඹිලි යොද සමඟ බොන්න. මේ ආහාරපාන ගන්නා විට ගුණයක් නැත්නම් ආයුර්වේද වෛද්‍යවරයකුගෙන් බෙහෙත් ගන්න.
පී.කේ.ඩී. නානායක්කාර
ප්රශ්නය
වෛද්‍යාචාර්යතුමනි
මම හැටපස් වියැති විශ්‍රාමික රජයේ සේවකයෙකි. දැනට සති දෙකක පමණ කාලයක සිට බෙහෙවින් අමතක වීම් සිදුවෙනවා. ඇස් කණ්ණාඩිය පැලඳගෙන සෑම තැනම ඇස් කණ්ණාඩිය සොයනවා. යමකට මුදල් වියදම් කර නැවත නැවතත් මුදල් අඩුයි කියමින් හැම තැනම සොයනවා. හැමදේටම ගෙදර දරුවන් සැක කරමින් බැණ වඳිනවා. මේ තත්ත්වය කුමක් නිසා ඇති වූවාද කියා නොදනී. එබැවින් අමතකවීමේ තත්ත්වය සුවපත් කර ගැනීමට උපදෙසක් හෝ ප්‍රතිකාරයක් ලබා දෙනු ඇතැයි බලාපොරොත්තු වෙමි.
පිළිතුර
වයස්ගතවීමෙන් අමතකවීම් ඇති වෙනවා. ස්නායු දුර්වල වීම හා විනාශවීමයි මෙයට හේතුව. ඒ නිසා රුධිරය වැඩෙන පෝෂ්‍යදායි ආහාරපාන ගත යුතුයි. එමෙන්ම මතක ශක්තිය වර්ධනය වන ප්‍රතිකාර ගත යුතුයි. ඒ සඳහා සුදුසුකම්ලත් වෛද්‍යවරයකු හමුවන්න. ලුණුවිල, වදකහ, වියළි ඉඟුරු, තිප්පිලි, වැල්මී, සවිඳලුණු, බෙහෙත් ඖෂධ කලන් දෙක බැගින් ගෙන වතුරපත අට එකට සිඳ බොන්න. ලුණුවිල, ගොටුකොළ තම්බා බීමත් යහපත්ය.
පුෂ්පාද සිල්වා - කෝට්ටේගොඩ
ප්රශ්නය
වෛද්‍යතුමනි
වයස අවුරුදු විසි එකක් වන මම මැහුම් සාප්පුවක සේවය කරන සේවිකාවකි. උදේ, සවස මැහුම් සාප්පුවට යන්නේ පාගමනිනි. වැඩි දුරක් නැත. ඒත් මේ මෑතක සිට යන විටත් එන විටත් කකුල්දෙක රිදෙන්න ගන්නවා. නිදාගෙන උදේට අවධිවන විටත් කකුල්දෙක රිදෙනවා. එසේ රිදෙන්න ගත්තාට ටික වේලාවක් යන කොට රිදීම නැතිව යනවා. මේ රෝගී තත්ත්වය සුවකර ගැනීමට ඔබතුමාගේ පිහිට පතමි.
පිළිතුර
කෑම ගැන සැලකිලිමත් විය යුතුයි. කෑමට මස්, මාළු, කරවල, හාල්මැස්සන් ගන්න. කතුරුමුරුංගා , සාරණ, නිවිති, ගොටුකොළ, යන පලා වර්ග මෙන්ම බෝංචි, සෝයාබෝංචි, කඩල, මුං ඇට වගේම අලුත් එළවළු ද පලා වර්ග ද ආහාරයට ගැනීම වෑංජනවලට දෙහි, සියඹලා, තක්කාලි, එකතු කිරීම වඩාත්ම ගුණදායකයි. රෝගී තත්ත්වය අඩුවීමක් නොමැති නම් ආයුර්වේද වෛද්‍යවරයකු වෙත ගොස් ප්‍රතිකාර ගන්න.
ආර්. ගුණපාල - රක්වාන
ප්රශ්නය
වෛද්‍යතුමනි, මා වයස අවුරුදු තිස් අටක් වන සිල්ලර වෙළෙඳාමක් පවත්වාගෙන යන අයෙකි. මම දිවා ආහාරය ගන්නා විට සවස තුන පහුවනවා. රෑට ආහාරගන්නේ කඩේ වැහුවාට පසු රාත්‍රී නමය පසුවෙලාය. දවල්ට වුණත් රෑට වුණත් කෑම කෑවාට පස්සේ බඩ රිදෙන ගතියක් පවතිනවා. යටිබඩේ වේදනාවක් හා ඕක්කාරයටත් එනවා. මූත්‍රා කරන විට අධික දැවිලි ගතියකුත් තියෙනවා. මුත්‍රාද තද රශ්නයක් තියෙනවා. මේ නිසා දොස්තර මහත්තයකුගෙන් බෙහෙත් ගත්තා. කිසිම සුවයක් නෑ. මූත්‍රා තිබුණාට වඩා උෂ්ණයි. කරුණාකර ප්‍රතිකාරයක් හෝ උපදේශයක් ලබාදෙන්න.
පිළිතුර
මුත්රාශ්මරී රෝගී තත්වයයි පවතින්නේ මෙවැනි රෝගවලදී රෝගියාගේ රෝග තත්ත්වය විමසලයි බෙහෙත් ලබා දෙන්නේ. එබැවින් ආයුර්වේද වෛද්‍යවරයකු වෙත ගොස් බෙහෙත් ලබාගන්න. එතෙක් මේ බෙහෙත් පාවිච්චි කරන්න. අක්කපාන කොළ සලාදය, කුප්පමේනියා කොළ වෑංජනය, නීරමුල්ලිය , පොල්පලා, රණවරා, හාතවාරිය , බෙලිමුල් ඖෂධ තම්බා එම ඖෂධීය ජලය බොන්න. වැටකොළු, පතෝල වැනි දියර ආහාර එළවළු ගන්න. ඉදුණු ගස්ලබු, කොල්ලුකුට්ටි, අමුනෙල්ලි ආහාරයට ගන්න. තෙල් බැදුම් හා පිටිකෑම හා පාන් අවම කරන්න.