වර්ෂ 2025 ක්වූ January 24 වැනිදා Friday
ඔබත් ආර්තවහරණ වයසේද? (Menopause)
මල්වර වීම හෙවත් පළමු ඔසප් වීමේ ක්‍රියාවලිය ආරම්භ වීමත් සමඟ ස්ත්‍රියකගේ ඔසප් චක්‍රය ආරම්භ වෙනවා. නිරෝගී ස්ත්‍රියකගේ මේ ඔසප් චක්‍රය සෑම දින 26-29 කට වරක්ම සිදුවෙනවා. මෙලෙස අඛණ්ඩව සිදුවන ක්‍රියාවලිය වයසට යාමත් සමඟ පූර්ණ වශයෙන් නවතිනවා.
සාමාන්‍යයෙන් මෙය වයස අවුරුදු 45ත් 55ත් අතර වියේදී ඇතිවන්නට පුළුවන්. මේ සමඟම ස්ත්‍රියකගේ දරුවන් පිළිසිඳ ගැනීමේ හැකියාව පූර්ණයෙන්ම වලකිනවා. මේ ස්වාභාවික ක්‍රියාවලිය අර්තවහරණය ලෙස හඳුන්වන අතර රුධිරයේ පවතින ඊස්ට්‍රිජන් හෝමෝනයේ ප්‍රමාණය අඩුවීම මීට ප්‍රධානතම හේතුව ලෙස සලකන්නට පුළුවන්. මෙය කිසියම් රෝගී තත්ත්වයක් නොවුණද අර්තවහරණයෙන් පසුව ස්ත්‍රියකට යම් යම් කායික සහ මානසික දුර්වලතාවයන් ඇතිවන්නට පුළුවන්. මේ නිසා ඔබත් ස්ත්‍රියක් නම් මේ පිළිබඳ නිවැරදි අවබෝධයක් ලබා ගැනීම ඉතාම වටිනවා.
ඉහතින් දක්වා තිබෙන වයස පරතරවලදී මෙය සිදු වුවත්, සාමාන්‍ය වශයෙන් ඊට වසර 2සිට 8 දක්වා කාලය (සාමාන්‍යයෙන් වසර පහක කාලය) (Perimenopause) පූර්ව ආර්තවහරණ සමය ලෙස හඳුන්වනවා. මෙය ශරීරයේ හෝමෝන වෙනස් වීමේ ආරම්භය වනවා.
සම්පූර්ණ වශයෙන් ඔසප් වීම නැවතීමට පෙර පහත සඳහන් විවිධ ලක්ෂණ දැක ගැනීමේ හැකියාව පවතිනවා.
අක්‍රමවත් ලෙස ඔසප් වීම.
ලිංගික අවයව ආශ්‍රිත පවතින වියළි ස්වභාවය සහ තෙත්වීම සිදු නොවීම.
රාත්‍රියේදී අධික වශයෙන් දහඩිය දැමීම.
නින්ද යාම ආශ්‍රිත ගැටලු ඇතිවීම.
මානසික ස්වරූපය විටින් විට වේගයෙන් වෙනස්වීම.
වචන සහ සිද්ධීන් මතක තබා ගැනීමේදී ඇතිවන ගැටලුව.
පපුව බෙල්ල සහ මුහුණ ආශ්‍රිතව ඇතිවෙන ශරීරයේ උෂ්ණත්වය ඉහළ යෑම හෝ උණ ගතිය.
මේ ලක්ෂණවලින් පසුව ඔසප් වීම ක්‍රමයෙන් නවතින අතර සම්පූර්ණ වර්ෂයක්ම ඔසප්වීම නැවතුණු පසු ආර්තවහරණයට පැමිණීම සිදුවේ.
අර්තවහරණය රෝගී තත්ත්වයක් නොවුණත් එහිදී ඇතිවන හෝමෝන වෙනස්කම් නිසා විවිධ සංකූලතාවයන් හට ගැනීමේ හැකියාව පවතිනවා.
Osteoporosis හෙවත් අස්ථි ඝනත්වය අඩුවීමේ අවදානම ඉහළ යෑම
රුධිරයේ ඊස්ට්‍රජන් ප්‍රමාණය අඩුවීම නිසා මේ තත්ත්වය ඇතිවේ. අස්ථි ඝනත්වය අඩුවීමෙන් අස්ථි දුර්වල වීමත් එමනිසා ඉතා සුළු අනතුරකින් වුවද අස්ථි බිඳීමේ හැකියාව ඉහළ යනවා. මේ නිසා සෑම විටම වැටීම්වලින් ආරක්ෂා වීම ඔබ කළ යුතුමයි.ඒ සමඟම දිනපතා සිදු කරන නිවැරැදි ව්‍යායාම සහ කැල්සියම්/ විටමින් D බහුල ආහාර ගැනීම මඟින් මේ අවදානම අඩුකරගැනීමේ හැකියාව පවතිනවා .
රුධිර සංසරණපද්ධති ආශ්‍රිත රෝග අවදානම ඉහළ යෑම
ඊස්ට්‍රජන් ප්‍රමාණයන් අඩුවීම නිසා ඇතිවන ඊළඟ ගැටලුව වන්නේ මෙම තත්වයයි. මෙහිදී ආර්තවහරණයෙන් පසුව ආඝාතය, අධි රුධිර පීඩනය, රුධිරගත අහිතකර කර කොලෙස්ටරෝල් මට්ටම් ඉහළ යෑම සහ හදවත අකර්මණ්‍ය වීමේ අවධානම ඉහළ යාම සිදුවනවා. මෙයින් වැළකීම සඳහා නිවැරැදි පෝෂණ රටාවක් අනුගමනය කිරීම සහ ක්‍රමානුකූලව ව්‍යායාමවල යෙදීම අත්‍යවශ්‍යයි.
ශ්‍රෝණියේ පවතින අවයව පහත්වීම
අර්තවහරණයෙන් පසුව ශෝණිය ආශ්‍රිතව පවතින උදර කුහරයට අයත් අවයවල පහත්වීම සිදුවන්නේ එහි පවතින සම්බන්ධක පටක වල ඇතිවන දුර්වලතාවයන් නිසාය. මෙහිදී Pelvic Floor Muscles නම් සුවිශේෂී මාංශ පේශි වර්ගය නිසි පරිදි ශක්තිමත් කර තබා ගැනීම වැදගත් වෙනවා.
ලිංගික අවයව ආශ්‍රිතව ඇතිවන තෙත් නොවීමේ ස්වභාවය
නියමාකාර ලිංගික ක්‍රියාවලියක් සඳහා ස්ත්‍රියකගේ ප්‍රජනක අවයව තෙත්වීම අත්‍යවශ්‍ය වේ. එහෙත් ආර්තවහරණයෙන් පසුව මේ ක්‍රියාවලිය නිවැරැදිව සිදු නොවන නිසා වියළි ස්වභාවය අඩුකර ගැනීමට බාහිර ආලේපන භාවිත කිරීමේ හැකියාව පවතිනවා.
Urinary Incontinence හෙවත් නොදැනුවත්ව මුත්‍රා පිටවීමස් ඉහළ යෑම.
රුධිරයේ ඊස්ට්‍රජන් ප්‍රමාණය අඩුවීමත් සමඟ ශ්‍රෝණිය ආශ්‍රිතව පටක දුර්වලතාවය නිසා ඇතිවන තව තත්ත්වයක් ලෙස මෙය හඳුන්වන්නට පුළුවන්. නොදැනුවත්ව මුත්‍රා පිටවීම මඟින් ඔබගේ එදිනෙදා වැඩ කටයුතුවලට බාධා ඇතිවෙනවා මෙන්ම මුත්‍රා ආසාදන ඇතිවීමටද වැඩි ඉඩකඩක් පවතිනවා .
සිරුරේ බර වැඩිවීම සහ තරබාරු වීමේ ප්‍රවණතාවය ඉහළ යෑම
අර්තවහරණයත් සිරුරේ පටක වයසට යාමත් යන හේතු කාරණා දෙකම නිසා ස්ත්‍රියකගේ සිරුරේ බර වැඩිවීම සිදුවන්නට පුළුවන්. සිරුරේ බර වැඩිවීමත් සමඟ බොහෝ බෝ නොවන රෝග ඇතිවීමේ අවදානම වැඩි වන නිසා ක්‍රමානුකූලව සිදු කරන ව්‍යායාම සහ නිවැරදි පෝෂණ රටාව මඟින් සිරුරේ බර පාලනය කර ගැනීමට උනන්දු වන්න.
අර්තවහරණයෙන් පසුව විවිධ සංකූලතාවයන් වළක්වා ගැනීමට නිසි පෝෂණ රටාවකට අනුගත වීම අත්‍යවශ්‍ය වෙනවා. ඒ සඳහා පහත පියවර අනුගමනය කරන්න.
කැල්සියම් අඩංගු ආහාර ප්‍රමාණවත් තරම් ආහාර වේලට එකතු කරගන්න.
දවසේ උදය කාලයේදී ප්‍රමාණවත් තරම් හිරු එළියට නිරාවරණය වීම මඟින් අවශ්‍ය විටමින් D ලබාගන්න .
විවිධ වෙනස් වර්ගවලින් යුතු එළවළු සහ පලතුරු ප්‍රභේද 5ක් වත් දිනපතා ආහාරයට එකතු කරගන්න. එමඟින් සිරුරට අවශ්‍ය තන්තු, ප්‍රතිඔක්සිකාරක, විටමින් සහ ඛනිජ ලැබීම සිදුවේ. මාළු සහ මේද වැඩි ප්‍රමාණයක් පවතින ආහාර භාවිත කිරීම මඟින් සිරුරට අවශ්‍යය ර්‍ණථඥඨච 3/ර්‍ණථඥඨච 6 මේද අම්ල ලබාගන්න .
අඩු ග්ලයිසීමික් අගයක් සහිත සංකීර්ණ කාබෝහයිඩ්‍රේට්ස් වැඩි ආහාර වැඩි වශයෙන් එකතු කර ගැනීම මඟින් රුධිරගත සීනි මට්ටම් පාලනය කර ගැනීම, විටින් විට ඇතිවන උණ තත්ත්වය පාලනය කරගැනීම සහ සිරුරේ බර ඉහළ යෑමද පාලනය කරගන්නට පුළුවන්.
කිරි සහ ඒ ආශ්‍රිත නිෂ්පාදන ප්‍රමාණවත්ව පරිභෝජනය කිරීම මඟින් සිරුරට අවශ්‍ය කැල්සියම්, මැග්නීසියම්, විටමින් D සහ විටමින් K ලබාගැනීමට හැකියාව පවතිනවා.
Pheytoestrogen අඩංගු වන මුං ඇට, කඩල, කව්පි, සෝයා සහ තල වැනි ආහාර පරිභෝජනය කිරීම මඟින් රුධිරයේ ඊස්ට්‍රජන් මට්ටම අඩුවීමෙන් අතිවන ගැටලු අවම කර ගැනීමේ හැකියාවද පවතිනවා.
ආර්තවහරණයෙන් පසුව දිනපතා ව්‍යායාමවලට යොමු වීම ඔබගේ ශරීරයට සහ මනසට යහපත් ප්‍රතිඵල රැසක් ලබාදීමට හේතු වෙනවා. මෙහිදී ප්‍රධාන අරමුණු 4ක් අරබයා ව්‍යායාම කිරීම සිදුකරන්න.
රුධිර සංසරණ පද්ධතියේ දරාගැනීමේ හැකියාව වැඩිවන ස්වායු ව්‍යායාම ඔබගේ ව්‍යායාම වැඩසටහනට එකතු කරගන්න.
අස්ථි වල ඝනත්වය නිවැරැදිව පවත්වා ගැනීම සඳහා අස්ථිවලට බර වැටෙන Weight Bearing වර්ගයේ ව්‍යායාම ඔබගේ ව්‍යායාම වැඩසටහනට එකතු කරගන්න.
සිරුරේ මාංශ පේශී ශක්තිමත් කිරීම සඳහා Resistance Training වර්ගයේ ව්‍යායාම ඔබගේ ව්‍යායාම වැඩසටහනට එකතු කරගන්න.
සිරුරේ සමබරතාවය සහ සමායෝජනය වැඩි කර ගැනීමට අවශ්‍ය ව්‍යායාම ඔබගේ ව්‍යායාම වැඩසටහනට එකතු කරගන්න.
අර්තවහරණය මැදි වයසේදී සිදුවුවත්, එය ඔබගේ ශරීරයේ සිදුවන කාලානුරූපී වෙනස් වීමක් බව අවබෝධ කරගැනීම ඉතා වැදගත් වනවා මෙන්ම ඔබගේ ජීවිතයේ නව පරිච්ඡේදයක ආරම්භයක් ලෙසද දක්වන්නට පුළුවන්. විවිධ ගැටලු සහ සංකූලතාවයන් මතු වුණත් ඔබගේ ජීවිතයේ සිදුවන මේ වෙනස්වීමත් සමඟ ඔබගේ සමාජීය, වෘත්තීය සහ පවුල ආශ්‍රිත වගකීම් සහ ක්‍රියාකාරකම්වලින් මිදීමේ හැකියාවක් ඔබට ලැබෙන්නේ නෑ. සියලු වගකීම් සිදුකරමින්ම මේ ක්‍රියාවලියට මුහුණ දීමට ඔබට සිදුවෙනවා. නිවැරැදි සෞඛ්‍ය පුරුදු, නිවැරදි පෝෂණ රටාව සහ ප්‍රමාණවත් ව්‍යායාම මඟින් ඔබගේ ජීවිතයේ මේ කාල පරිච්ඡේදය අර්ථාන්විතව සහ නිරෝගීව ගත කළ හැකි බව සෑම විටම මතක තබා ගන්න.
පාරම්පරික සර්වාංග
කැඩුම් බිදුම් විශේෂ
වෛද්‍ය ජෙනාඩ් භානුක ධර්මප්‍රිය