නව වසරේ ප්‍රතිජීවක අවභාවිතය වළක්වමු

ජනවාරි 10, 2025

ඔබට වැලඳෙන බැක්ටීරියා ආශ්‍රිත ආසාදනවලදී අනිවාර්යයෙන්ම ලබාගත යුතු බටහිර ඖෂධ වර්ගයක් ලෙස Antibiotics  හෙවත් ප්‍රතිජීවක හඳුන්වන්නට පුළුවන්. මේ ප්‍රතිජීවක ඒ ඒ රෝග සඳහා කාණ්ඩ කීපයක් යටතේ විවිධ වර්ගවලින් ලබාදීම සිදුකෙරෙනවා.

විවිධ ආසාදනවලට හේතුවන බැක්ටීරියා ආකාර අනුව ලබාදෙන මේ ප්‍රතිජීවක ඖෂධ නිශ්චිත උපදෙස් පරිදි ලබාගත් මාත්‍රාව සහ දින ගණන අනිවාර්යයෙන්ම අනුගමනය කළ යුතුමයි.

එහෙත් වර්තමානය වන විට ප්‍රතිජීවක ඖෂධ නියමිත මාත්‍රාවට සහ කාලයට පරිබාහිරව අවභාවිත කිරීමේ තත්ත්වය උග්‍ර ගැටලුවක් ලෙසට ලෝකය පුරාම ව්‍යාප්ත වී තිබෙනවා. මෙය ශ්‍රී ලංකාව පුරාත් ශීඝ්‍රයෙන් පැතිරෙමින් යන සෞඛ්‍ය ගැටලුවක් බව මේ වන විට පැහැදිලි වී තිබෙනවා.එම නිසා මඳක් වෙනස් මාතෘකාවක් වුවත් අද ලිපියෙන් අපි මේ පිළිබඳව සාකච්ඡා කරමු .

ප්‍රතිජීවක අවභාවිතය යනු කුමක්ද?

ප්‍රතිජීවක ඖෂධ අවභාවිතය, ප්‍රතිජීවක ඖෂධ අධිභාවිතය ලෙසද හඳුන්වනවා. මෙහිදී සිදුවන්නේ වැරැදි ලෙස එම ඖෂධ ශරීරයට ලබාගැනීමයි. මෙහිදී ඔබට නියම කර තිබෙන මාත්‍රාවට වඩා වැඩිමාත්‍රාවකින් ප්‍රතිජීවක ඖෂධ ලබා ගැනීම, ඔබට නියම කර තිබෙන ප්‍රතිජීවක ඖෂධ වර්ගය වෙනුවට වෙනත් ප්‍රතිජීවක ඖෂධ වර්ගයක් ලබාගැනීම සහ ඔබට නියම කර ඇති කාලයට වඩා අඩු වශයෙන් හෝ වැඩි වශයෙන් ප්‍රතිජීවක ඖෂධ ලබා ගැනීම ප්‍රතිජීව ඖෂධ අවභාවිතය ලෙස සරලව හඳුන්වන්නට පුළුවන්. මේ සඳහා හේතු කාරණා ලෙස සාමාන්‍යයෙන් ඇතිවන සෙම සහ උණ තත්ත්වයේදී ප්‍රතිජීවක ඖෂධ භාවිත කිරීම. බොහෝවිට වෛද්‍ය නිර්දේශයෙන් තොරව තමන් විසින්ම මේවා භාවිතාවට ගැනීම. බැක්ටීරියා විසින් ඇති නොකරන වර්ගයේ ආසාදනවලදී ප්‍රතිජීවක ඖෂධ වර්ග භාවිතා කිරීම.

බැක්ටීරියා ආසාදනයකින් ඇතිවන රෝග ලක්ෂණ අවම වුවත් ආසාදනය නියමාකාරයෙන් සුව වී නොමැති අවස්ථාවලදී රෝග ලක්ෂණ පහව ගිය පසු නියමිත කාලයට ප්‍රථමයෙන් ප්‍රතිජීවක ඖෂධ ලබා ගැනීම නතර කිරීම.

අනවශ්‍ය පරිදි ප්‍රතිජීවක ඖෂධ වර්ග නියම කිරීම.

නිසි දැනුමක් නොමැතිකම සහ වෙනත් අයගේ මත පිළිගනිමින් ප්‍රතිජීවක ඖෂධ ලබා ගැනීම.

වරක් භාවිත කළ ප්‍රතිජීවක ඖෂධ කලින් තිබූ රෝගයේම ලක්ෂණ නැවත පැමිණි විට නැවත භාවිත කිරීමට යොමු වීම. යන කරුණු සැලකිය හැකියි.

ඉහතින් දක්වා තිබෙන හේතු සහ කාරණා නිසා ප්‍රතිජීව ඖෂධ අවභාවිතය හෝ අධිභාවිතය සිදුවන බව පිළිගෙන තිබෙනවා.

ප්‍රතිජීවක ඖෂධ අවභාවිත කිරීම නිසා පුද්ගලයකුගේ සෞඛ්‍යයට හානිය ඇති විය හැක්කේ මොන ආකාරයෙන්දැයි අපි දැන් විමසා බලමු.

ප්‍රතිජීවක සඳහා ප්‍රතිරෝධීතාවයක් ශරීරය ගොඩනැගීම

ඔබ ප්‍රතිජීවක ඖෂධ නියමාකාරයෙන් භාවිත නොකළ විට එම ප්‍රතිජීවක ඖෂධ මඟින් මර්දනය කිරීමට නියම වී තිබෙන බැක්ටීරියා කාණ්ඩය ක්‍රමක්‍රමයෙන් ප්‍රතිජීවක ඖෂධවලට හුරුවීමක් මෙහිදී සිදුවනවා. කල්ගත වීමේදී අදාළ ප්‍රතිජීවක ඖෂධවලට සම්පූර්ණ වශයෙන්ම ප්‍රතිරෝධීතාවයක් දැක්වීම නිසා ඉන්පසුව ඇතිවන ආසාදනවලදී ප්‍රතිකාර කිරීම ඉතාම අපහසු වන්නට පුළුවන්.

ආහාර මාර්ගයේ පවතින හිතකර බැක්ටීරියාවන් අනවශ්‍ය පරිදි විනාශ වීම

මෙහිදී නියමාකාර උපදෙස්වලින් තොරව තමන්ගේ අභිමතය පරිදිප්‍රති ජීවක ඖෂධ භාවිත කිරීම නිසා ආහාර මාර්ගයේ සිටින හිතකර බැක්ටීරියාවන්ද විනාශ වී යෑමට පුළුවන්. මේ නිසා විවිධ වර්ගයේ ගැටලු ශරීරයට ඇතිවීමේ හැකියාව පවතිනවා.

මීට අමතරව පහතින් දක්වා ඇති සංකූලතාවයන්ද ඇතිවීමේ හැකියාව පවතිනවා.

ආමාශය ආශ්‍රිත ක්‍රියාකාරීත්වය ව්‍යාකූල වීම,

සමෙහි ඇතිවන දද කුෂ්ඨ වැනි විවිධ රෝගාබාධයක් ඇතිවීම,

අසාත්මිකතාවයන් ඇතිවීමේ හැකියාව.

වකුගඩු හානිවීමේ අවදානම ඇතිවීම.

අක්මාව හානිවීමේ අවදානම වැඩිවීම.

හදිසි පාචන තත්ත්ව ඇතිවීම.

බඩ වේලීම සහ මළබද්දය ඇතිවීමේ අවධානම වැඩිවීම.

ශරීරය අභ්‍යන්තර අවයවවලට හානි පැමිණීමේ අවදානම ඉහළ යාම.

ඉහත පළමුවෙන්ම සඳහන් කර තිබෙන ප්‍රතිජීවක ප්‍රතිරෝධතාවය පිළිබඳව තවදුරටත් කරුණු විමසීමේදී මෙය ලොව පුරා නිහඬව පැතිරෙන වසංගතයක් ලෙස අර්ථ දැක්වීම වඩාත් නිවැරදි වෙනවා. අවසන් වූ 2024 වර්ෂය සලකන විට කොවිඩ් වසංගතයෙන් පසුව බැක්ටීරියා ආසාදනය වර්ග හයක ප්‍රතිජීවක ප්‍රතිරෝධීතාවය 20%කින් පමණ ඉහළ ගොස් තිබෙනවා.

ප්‍රතිජීවක ප්‍රතිරෝධීතාවය නිසා වක්‍රාකාරයෙන් ගොඩනැඟෙන Candida auris නම් දිලීරයේ ආසාදනය වීම 2019 සිට 2022දක්වා පස් ගුණයකින් පමණ ඉහළ ගොස් තිබෙනවා. මේ වර්ෂය සැලකීමේදී ප්‍රතිජීවක ප්‍රතිරෝධී බැක්ටීරියා වර්ග 5ත් 7ත් අතර ප්‍රමාණයක් රෝහල් සහ ඒ ආශ්‍රිත සෞඛ්‍ය මධ්‍යස්ථානවල පැතිර පවතින බවට වාර්තා වී තිබෙනවා.

මේ වන විට වාර්තාගත වී ඇති පරිදි වසරකට ලොව පුරා මරණ මිලියන 1.3කට ප්‍රතිජීවක ප්‍රතිරෝධීතාවය සෘජුවම හේතු වී තිබෙන අතර එක අවුරුද්දකදී සාමාන්‍ය වශයෙන් ලොව පුරා මරණ මිලියන පහකටද වක්‍රාකාරව මෙය හේතු වී තිබෙනවා. ඉදිරි වසර 25 සැලකීමේදී ලොවෙහි මරණ මිලියන 35 කට මේ ප්‍රතිජීවක ප්‍රතිරෝධීතාවය හේතුවෙතැයි සංඛ්‍යා ලේඛන පෙන්වා දෙනවා.

මීට අමතරව පසුගිය දින පැවති 79වැනි එක්සත් ජාතීන්ගේ මහා සම්මේලන සැසිවාරයේදී 2030 වන විට ප්‍රතිජීවක ප්‍රතිරෝධීතාවය නිසා ඇති වන මරණ ප්‍රතිශතය 10% දක්වා අඩු කර ගත යුතුබවට ලෝක නායකයන් විසින් අරමුණු කරගෙනද තිබෙනවා.මේ සියලු කාරණා සලකා බලන විට ප්‍රතිජීවක අවභාවිතය නිසා ඇතිවන ප්‍රතිජීවක ප්‍රතිරෝධීතාවය කොතරම් සෞඛ්‍ය ගැටලුවක් බවට පත්ව තිබෙනවාදැයි ඔබට දැන් පැහැදිලි වෙනවා ඇති.

ඔබ රෝගවලට ප්‍රතිකාර ලබා ගැනීමට සහ රෝගවලින් ආරක්ෂා වීමට කුමන අන්දමේ වෛද්‍ය ක්‍රමයක් භාවිත කළත් රෝග වළක්වා ගැනීම පිළිබඳව නිවැරදි අවබෝධයක් ලබා ගැනීම ඉතාම වැදගත් වනවා.

සාමාන්‍ය වශයෙන් බටහිර වෛද්‍ය විද්‍යාත්මක ප්‍රතිකර්මවලට යොමුවීමේ ප්‍රවණතාවය සහ අවශ්‍යතාවය වැඩි වන නිසා එහිදී ඇති විය හැකි මෙවන් ගැටලු පිළිබඳව අවබෝධ කොටගෙන ඒවා වළක්වා ගැනීමට කටයුතු කර මේ 2025 වසර වඩාත් නිරෝගී වසරක් කර ගනිමු. 2025 වසරේදී ප්‍රතිජීවක ඖෂධ අවභාවිතයෙන් මිදෙමු. ඒ සඳහා දේශීය ඖෂධ වර්ග ද ඇති බව අවබෝධ කරගැනීම මෙහිදී වඩාත් වැදගත් බවද අවධාරණය කළ යුතුය.

 

පාරම්පරික සර්වාංග

කැඩුම් බිදුම් විශේෂ

වෛද්‍ය ජෙනාඩ් භානුක ධර්මප්‍රිය

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.