වර්ෂ 2025 ක්වූ January 24 වැනිදා Friday
ලෙඩ සුව කරගැනීමට බක්කුල මහරහතන්වහන්සේගේ පිහිට ලබන ක්‍රමය
නිරෝගී ජීවිතයක් ගත කිරීම උතුම්ම ලාභයක් ලෙස බුදුරජාණන්වහන්සේ දේශනා කළ සේක. “රජෙක් වුණත් ලෙඩෙක් නම් ප්‍රයෝජනයක් නැතැයි” අපේ සිංහල කියමනක් ඇත. මිනිසුන් පමණක් නොව සතා සීපාවා ද නිරෝගීව සිටීමට දැඩි ඇල්මක් කැමැත්තක් දක්වයි.
එහෙත් මේ නිරෝගී බව ජීවත්ව සිටින සියලු දෙනාටම භුක්ති විඳීමට නොහැකිය. විවිධ ලෙඩ රෝගවලට උල්පතක් බඳු වූ මේ ශරීරය නිබඳවම ගිලන් වීමට බලා සිටී. එය ශරීරයේ ස්වභාවයයි. සිදුහත් තවුසා සසර කලකිරී එයින් මිදෙන මඟ සොයන්නට හේතු වූ එක් කරුණක් වූයේ සතර පෙර නිමිතිවලට අයත් ගිලන් වූ අයකු දැකීමයි. මෙය කියවන ඔබ ද නැතිනම් ඔබේ පවුලේ අයෙක් හෝ ඥාතියෙක් හිත මිතුරෙක් ගිලන්ව දුක් විඳනවා විය හැකිය. කොපමණ ඖෂධ ගත්ත ද සුව නොවන රෝගාබාධ ඇත. කර්ම විපාක ආබාධ මේ තත්ත්වයේ පවතී. පුද්ගලයකු කුමන රෝගයකින් පෙලුණ ද ලබා ගන්නා ඖෂධවලට අමතරව මානසික සුවය ශාන්තිය නිබඳව අවශ්‍ය වේ. ඔබගේ මනසට සුවයක් ගෙන දී කායික සුවය ලබා ගන්නට ඉවහල් වන “සුවගුණ ප්‍රාර්ථනයක්” ඔබගේ යහපත වෙනුවෙන් පහත සඳහන් කරමු.
ඔබ කුමන රෝගයකින් පෙළුනද මෙම සුවගුණ ශාන්ති ප්‍රාර්ථනය ඔබ නිවසේ සිටම සිදුකළ හැකි දෙයකි. තෙරුවන් වැඳ පන්සිල් සමාදන් වී මේ සුවගුණ ප්‍රාර්ථනය උදේ සහ හවස හෝ රාත්‍රියට සිත එක්තැන් කරගෙන කියවන්න. කියවීමට අපහසු රෝගියෙකුට නම් වෙනත් අයෙකු ලවා කියවන විට තමාද කියන්න. දින 21හෝ මාස 03 ක් එක දිගටම නොකඩවා කියවීම ඉතා වැදගත් වේ. ඖෂධ ගැනීමෙන් පසු වුවද දිනපතා කියවීම මැනවි. ඔබට මෙයින් විශාල ශාන්තියක් උදාවේ. බොහෝ රෝග සුවපත් වීමට හේතු වේ.
මෙහි හිස්තැන් ඇති තැන්වලට තමාගේ නමද රෝගවල නම් ද යොදා ගන්න.
“ආරෝග්‍යා පරමාලාභ සුව ගුණ ප්‍රාර්ථනා”
සත්‍ය ක්‍රියා
නමෝ තස්ස භගවතො අරහතෝ සම්මා සම්බුද්ධස්ස (තුන් වරක් කියන්න)
උතුම් වූ තිලෝගුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා! මාගේ ජීවිතය උතුම් වූ බුදුපියාණන් වහන්සේ පූජා වේවා! පූජා කරමි.
සාදු සාදු සාදු !
බෝධි සත්ත්ව ප්‍රථම භවයේ සිට අප ලොව්තුරා බුදුරජාණන් වහන්සේ ලොව්තුරා බුදු බව පතමින් සසර සැරී සැරූ භව ගමනේ දී ඔබ වහන්සේට හමු වූ බුදුරජාණන් වහන්සේලා ප්‍රමාණය පන්ලක්ෂ දොළොස් දහසකි. එම බුදුරජාණන් වහන්සේලාට ලොව්තුරු රාජ්‍ය දිනා ගැනීමට සෙවණ දුන් බෝධීන් වහන්සේලා ප්‍රමාණය ද පන්ලක්ෂ දොළොස් දහසකි. එම බුදුරජාණන් වහන්සේලාගේ බුද්ධ ශාසනවලදී ලොව සැම වාසය කළා වූ නිරෝගි භික්ෂූන් වහන්සේලා අතර අග්‍රස්ථානයට පැමිණියා වූ අග්‍ර ශ්‍රාවකයන් වහන්සේලා ප්‍රමාණය ද පන් ලක්ෂ දොළොස් දහසකි. මා ඒ සියල්ල බුදුරජාණන් වහන්සේලාද, බෝධිරාජයාණන් වහන්සේලා ද, නිරෝගී භික්ෂු අග්‍ර ශ්‍රාවකයන් වහන්සේලා ද මේ මොහොතේ ගෞරවයෙන් සිහිපත් කර වන්දනා කරමි.
සාදු සාදු සාදු...
(රෝගියාගේ නම) වන මාගේ ජීවිතයට වැලඳී තිබෙන (රෝගයේ නම) රෝගය ඇතුළු වා, පිත්, සෙම් කෝප වීමෙන් ඇති වී තිබෙන සියලු රෝගාබාධ ග්‍රහ අපල උපද්‍රව, වින බන්ධන හෝ පෙර භවයේ කර්ම විපාක වශයෙන් වැලඳී තිබෙන රෝගාබාධාවන් ද මේ භවයේ යක්ෂ, ප්‍රේත, භූත, දේව දෝෂ ආදී සියලු දෝෂාන්ධකාරයන්ගෙන් ද වැලඳී ඇති රෝග ඒ අනන්ත බුදුගුණ බලයෙන් බෝධි රාජ බලයෙන් මහරහතන් වහන්සේලාගේ මහ රහත් තෙරණින් වහන්සේලාගේ ගුණ බලයෙන් මෙතැන් පටන් සුවපත් වේවා. දුක් නැත්තෙක් වේවා. මට සහනය ගෙනේවා. පිහිට වේවා.!
සාදු සාදු සාදු !
මාගේ ජීවිතය තුළින් ද සසර ගමන තුළින් ද සිදු කළ සියලු පින් කුසල්වල බලය මට මේ මොහොතේ සිට පිහිට පිණිස වේවා. මාගේ පිහිටට පැමිණේවා. මෙතැන් සිට මට සියලු බුදු ගුණ බලය සියලු බෝධිරාජ ප්‍රාණ බලය සියලු අග්‍ර ශ්‍රාවකයන් වහන්සේලා අග්‍ර ශ්‍රාවක තෙරණින් රහත් ගුණ බලය ලැබේවා. මා පෙළන මට දුක් දෙන මාගේ ශරීරය නිදුක් වේවා. ඒ සියලු ගුණ බලයෙන් මා නිදුක් වෙම්වා. නීරෝගී වෙම්වා. සුවපත් වෙම්වා. මට ශක්තිය ලැබේවා! ලැබේවා ! ලැබේවා!
සාදු සාදු සාදු!
සියලු සම්දිටු දෙවියන්ගේ රැකවරණය මට ලැබේවා. මේ රෝගය සුවපත් වීම සඳහා මා ගනු ලබන සියලු ඖෂධ දිව්‍ය ඔසු බවට පත් වී මට සුවය ගෙනේවා. සත් පත්තිනි මෑණියන් වහන්සේලාගේ පිහිට ලැබේවා. දේශීය වෙදකමට ජීවය දෙන ධනවන්තරී දෙවියන්ගේ පිහිට ලැබේවා.
මා නීරෝගී කෙරේවා. මා සුවපත් කෙරේවා. මට සහනය සලසාවා.!
සාදු සාදු සාදු !
ඔබ බක්කුල මහරහතන් වහන්සේට මල් පහන් පූජා කොට මෙම සුවගුණ ප්‍රාර්ථනාව කරන්න.
බක්කුල මහ රහතන් වහන්සේට වඳින ගාථාව
“කත්වාන නේකකුසලානි භවේසු තේන
ලද් බෝධි සාසනනයේ වර මේත දග්ගං
භේ සජ්ජදාන කුසලං ච ගුණං සරිත්වා
වන්දාමි බක්කුලමහං ජින සාවකං තං”
මට කුඩා වුද මහත් වූද රෝගයක් කියන වචනයවත් අසන්න නොලැබේවා. මට සසරේ නිවන් දකින තෙක් නිරෝගී සම්පත්තියම ලැබේවා!