අධික රුධිර පීඩනය පාලනයට ආහාර සුසිරිත් වගේම ව්‍යායාමත් වැදගත්

ජනවාරි 18, 2019

අධික රුධිර පීඩනය නිසි ඖෂධ භාවිතයෙනුත් මනා ආහාර පාලනයෙනුත් පාලනය කර ගත යුතු රෝගී තත්වයකි.එසේ පාලනය නොකිරීමෙන් හෘද රෝග,අංශභාගය හා වකුගඩු ආබාධ වැනි සංකූලතා ඇතිවිය හැකිය.

අධික රුධිර පීඩනය නිසි ඖෂධ භාවිතයෙන් හා මනා ආහාර පාලනයකින් පාලනය කරගත යුතු රෝගී තත්වයකි.එසේ පාලනය නොකිරීමෙන් දීර්ඝ කාලීනව පවත්නා අධිරුධිර පීඩන තත්වය නිසා හදවත් රෝග,වකුගඩු ආබාධ වැනි සංකීර්ණ රෝගාබාධවලට ඔබ ලක්වීමට ඇති ඉඩකඩ 99% කටත් වඩා ඉහළය.මෙරට සිදුකරන ලද නවතම වෛද්‍ය පර්යේෂණවලට අනුව ලාංකික වැඩිහිටි ජනගහණයෙන් තුනෙන් එකක් පමණ අධිරුධිර පීඩනයෙන් පෙළෙන බව සමීක්ෂණ වාර්තා මඟින් හෙළිදරව් වේ.

අධික රුධිර පීඩනය ලෙස හඳුන්වන්නේ රුධිර වාහිනී තුළ ගලායන රුධිරය මඟින් එම රුධිර වාහිනී මත ඇතිකරන පීඩනයයි.මේ අනුව නිරෝගී පුද්ගලයෙකුගේ රුධිර පීඩනය 120 ථථඩඨ/80 ථථඩ්ඨ යන අගයේ පැවතිය යුතුය.රුධිර පීඩනය මැන බැලීමේදී රුධිර පීඩන අගය මීට වඩා වැඩි අගයක් පෙන්වයි නම් එම තැනැත්තා අධික රුධිර පීඩනයෙන් පෙළෙන අයෙකි.

රුධිර පීඩනය ඉහළ යාමට බලපාන හේතු මොනවාද?

අධික රුධිර පීඩනය ඇතිවිය හැකි හේතු වර්ග දෙකක් පවතී.ඉන් පළමු වැන්න පාලනය කළ හැකි සාධකයි.දෙවැන්න පාලනය කළ නොහැකි සාධකයි.මේ අතරින් පාලනය කළ හැකි සාධක ලෙස සලකන්නේ දියවැඩියාව,අධික ස්ථූලතාවය (තරබාරුව) මත්පැන් හා දුම්වැටි භාවිතය,ශාරීරික ව්‍යායාම හා ක්‍රියාකාරකම් මඳ බව යන තත්වයනුයි.පාලනය කළ නොහැකි සාධක අතරට ගැනෙන්නේ පරම්පරාවෙන් පැවත එන ජානමය බලපෑම,ස්ත්‍රී පුරුෂ බව,පුද්ගලයාගේ වයස,ලුණු භාවිතයට දක්වන දැඩි ගිජුබව (අධික සංවේදිතාව)යන තත්වයනුයි.

අධික රුධිර පීඩන තත්ත්ව යෙන් මිදි නිරෝගීව ජීවත් වීමට අනුගමනය කළ යුතු පිළිවෙත් මොනවාද?

පළමුවෙන්ම සෑම පුද්ගලයෙක්ම මනා ආහාර පාලනයකින් තමන්ගේ එදිනෙදා ආහාර පිළිවෙත් සකසාගත යුතුයි.ඔබ තරුණ විය ඉක්මවා මැදිවයසට එළඹෙන විට මනා ආහාර පාලනයකින් යුතුව කල්ගෙවූ පුද්ගලයෙක් නම් අධිරුධිර පීඩන තත්වයට ගොදුරුවීමේ අවදානම අඩුය.තරුණ වියේ සිටම අලස ලෙස කාලය ගෙවීම (ක්‍රියාශීලී නොවන) මත්පැන් හා දුම් පානයට ඇබ්බැහි වු,සකස් කළ කෑම වර්ග බහුලව ආහාර ලෙස ගන්නා අය මැදිවයසට එළැඹෙත්ම මේ අවදානමට ලක්වීමේ ප්‍රවණතාවය ඉතාම ඉහළය. අධි රුධිර පීඩනයෙන් වළකින්න නම් මොනවද අනුගමනය කළ යුතු ආහාර සුසිරිත්

දෛනිකව ආහාර වේල් සඳහා බත් පිසින විට ශුද්ධ කරන ලද සම්බා සහල් වෙනුවට රතු නාඩු සහල් භාවිතා කිරීම.රතු නාඩු සහල් වෙනුවට රතු කැකුළු සහල් භාවිතා කරනවා නම් එයද දිගින් දිගටම භාවිතා නොකිරීම.අපේ පැරණි දේශීය සහල් වර්ග සොයාගත හැකිනම් (සුවඳැල්, පච්ච පෙරුමාල්,කුරුළු තුඩ ආදී)එවැනි සහලින් බත සකස් කර ගැනීම.

උදෑසන ආහාරයට හෝ අනෙකුත් ආහාර වේල් සඳහා පාන් ඇතුළු පිටි ආහාර වෙනුවට හාල්පිටි,කුරක්කන් පිටිවලින් සෑදු ආහාර වර්ග සඳහා හුරුවීම.(පාන්පිටි වෙනුවට “ආටා පිටි” වලින් පිසූ ආහාරද වරින්වර ආහාරයට ගැනීම කළ හැකිය)

කඩල ,මුංඇට,කව්පි.පරිප්පු,සෝයා වැනි රනිල භෝග එක් ප්‍රධාන ආහාර වේලකට දෛනිකව එකතුකර ගැනීම හා කව්පි, මුංඇට, කඩල, සෝයා, පරිප්පු ව්‍යාංජන ලෙසද සකස් කර ආහාරයට එක්කර ගැනීම සුදුසුය.

අවම වශයෙන් සතියකට දින 4-5 ක්වත් කජු හෝ රටකජු ප්‍රධාන ආහාර වේලට එක්කර ගැනීම.

අවම වශයෙන් දෛනික ආහාර වේල් දෙකකටවත් අතුරු පසක් ලෙස පලතුරු වර්ග තුනක්වක් කුඩා ප්‍රමාණයෙන් හෝ එක්කර ගන්න.කුඩා කෙසෙල් ගෙඩියක්,අලිගැටපේර මද භාගයක්,පේර ගෙඩි භාගයක්,ඉදුණු දිවුල් ගෙඩි භාගයක්,ඉදුණු බෙලිගෙඩි භාගයක්,ගස්ලබු කුඩා තීරුවක් ලෙස පලතුරු ආහාරයට ගැනීම ඉතාමත්ම සුදුසුය.

ප්‍රධාන ආහාර වේල් තුනටම අලුත් එළවළු හා අලුත් පලාවර්ග කීපයක් ව්‍යංජන ,සම්බෝල,සලාද හෝ මැල්ලුම් ලෙස එකතු කරගන්න.

එළවළු ව්‍යංජන පීරිසි කෝප්ප එක හමාරක් පමණවත් එක් වේලකට එක්කර ගතයුතු අතර මැල්ලුම් හෝ සලාද වරකට පීරිසි කෝප්පයකවත් තරමින් එක්කර ගැනීම වඩාත් යහපත්.

ධාන්‍ය වර්ග එළවළු,පලා හා පලතුරු වර්ගවලින් අධික රුධිර පීඩන තත්වය පාලනයට ලැබෙන දායකත්වය මොනවගේද?

මෙහි සඳහන් කළ සහල් වර්ග,ධාන්‍ය වර්ග,පලතුරු වර්ග හා පලා වර්ග වල අධි රුධිර පීඩනය පාලනය සඳහා උපකාරී වෙන පොටෑසියම්,මැග්නීසියම්,ඛනිජලවණ හා කෙඳී(තන්තු)වලින් ඉතාම පොහොසත්.දෛනිකව යහපත් ආහාර සුසිරිත්වලට හුරුවූ කෙනෙකුට පාලනය කළ නොහැකි හේතුවකින් මිස අධිරුධිර පීඩනය තත්වයෙන් පහසුවෙන්ම මිදෙන්න පුළුවන්.

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

උපදෙස් වල්ගම රජයේ ආයුර්වේද රෝහලේ

වෛද්‍යාචාරිනී ධම්මිකා අමරසේකර

සාකච්ඡා කළේ

රඹුක්කන කීර්ති එස්. කුමාර


 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
7 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.