දෙව්ලොවින් මනුලොවට බට පාසල් සිසුවා

ජනවාරි 10, 2025

මේ ධරණිතලය මත බිහිවන මුල්යුගවල මානවයා විස්මිත හැකියාවන් සමුදායකින් පරිපූර්ණ වූ බව බොදුනු ඉතිහාසයෙන් අපට පෙන්වා දෙනු ලබයි. අග්ගඤ්ඤ, බ්‍රහ්මජාල වැනි සූත්‍රවලින්, ත්‍රිපිටකයේත් මෙය මැනවින් සනාථ කරයි.

සැහැල්ලු ශරීර, අහසින් ගමන් කිරීමේ හැකියාව, ස්වයංප්‍රභාව, පෙරආත්ම භාවයන් දැකීමේ පඤ්ඤාධික නුවණ ආදිය ඒ ඓතිහාසික මිනිසා සතුව පැවතුණි. එහෙත් අවිද්‍යාව සහ දැඩි තෘෂ්ණාව නිසා මේ මානවයා ක්‍රමයෙන් ශාරීරිකවත්, මානසිකවත් පරිහානියට සහ විනාශයට පත්විය.

එහෙත් “විශ්ව ශක්තිය” උපයෝගී කර ගනිමින් මේ පෘථිවි තලය අසීමිත වූ දෝර ගලායන කරුණාවකින් මිනිසාට යහමඟ හඳුනා ගැනීමට ඉඩ ප්‍රස්ථා ඇතිකරලයි. ඒත් මානවයා මින් නිසි ප්‍රයෝජනයක් ලබාගනී ද යන්න සැක සහිතය. මේ අතර බුදුදහම ලොව පැතිරවීමට අකැමැති වසවර්තිමාරයා ඉතා බලවත් මාර දිව්‍ය පුත්‍රයන් පිරිසක් මනුෂ්‍ය ලෝකයට එවීමට කටයුතු කරන ලදී.

මේ තත්ත්වය දැනගත් තුසිත දෙව්ලොව වෙසෙන මෛත්‍රෙය මහ බෝසත් දෙවියන් වහාම “දේව සභාව“ කැඳවා වසවර්ති මාරයාගේ මේ වැඩපිළිවෙළින් මිනිසාට නොහොඳක් වීම වැළැක්වීමේ අටියෙන් “දෙව්ලොවින් මනුලොවට” පුනරාගමනය සඳහා දෙවිවරුන්ට ආරාධනය කළේය.

දිබ්බචක්ඛු ඥාණය උපදවා ගත් ආනන්ද මෛත්‍රෙය හිමියන් මේ පෙර ආත්ම භාවයේ සිදුවීම විස්තර කර වදාළේ මෙලෙසය.

“දිව්‍ය ලෝකයේ එක් හෝරාවක් මනුෂ්‍ය ලෝකේ වසර 100ක්. ඉතින් මෛත්‍රෙය මහ බෝසත් දෙවියන් මේ බුදුසසුන සුරැකීම සඳහා දෙව්ලොව සිට මිනිස්ලොවට පැමිණෙන ලෙස මටත් නියම කළා. මම බැහැ කිව්වා

‘ඇයි ඔබට එසේ එන්නට බැරි’ මෛත්‍රෙය බෝධි සත්වයන් වහන්සේ මගෙන් ප්‍රශ්න කළා.

‘මම එතරම් ප්‍රබල නැහැ. මට වඩා බලවත් කෙනෙක් ඔය වැඩේට යවන්න.’ මම කිව්වා.

‘මොකක්ද නුඹේ ප්‍රාර්ථනය?’

‘මට බුදුවෙන්න ඕනෑ. ඒකයි මගේ ප්‍රාර්ථනය.’ කියල මම කිව්වා.

‘ඇයි? මම මනුෂ්‍ය ලෝකෙට ඇවිත් බුදුවුණාම නුඹට බැරිද මා ළඟට ඇවිත් මාර්ගඵල ලබාගන්න?’ කියා එතුමා මගෙන් ඇහුවා.

‘මට බැහැ...මටත් ඕනෑ ලොව්තුරා බුදුබව ලබා ගන්න. මමත් කවදාහරි ලෝක සත්වයාට පිහිට වෙන්න, සත්වයා දුකින් මුදාගෙන ලොව්තුරා බුද්ධත්වයට පත්වෙන්න ඕනෑ.’

‘ආ......නුඹට ඔය තරම් ධෛර්යයක් තියෙනවා නම් ඇයි නුඹ බුද්ධ ශාසනය වෙනුවෙන් මේ කටයුත්තට මනු ලොවට නොයන්නේ?’ මට ඒකට නම් කට උත්තර නැතිව ගියා.

‘එහෙනම් මම යන්නම්.....හැබැයි ඔබ වහන්සේගේ පිහිට මට ලැබෙන්න ඕනෑ.’ කියා මම ඉල්ලීමක් කළා.

‘ඕනෑම වෙලාවක මා සිහිපත් කරන්න. මම උදව් කරනවා.’ එසේ මෛත්‍රෙය බෝධිසත්ව දෙවියන් මට පොරොන්දු වුණා. මම මනුස්ස ලෝකෙට එන්න තීරණය කරන කොටත් කලින් කණ්ඩායමක් පිටත්වෙලා. එනම් තුසිත දෙව්ලොවින් චුත වෙලා. මනුස්ස ලෝකයේ (ප්‍රතිසන්ධිය) උපත ලබා තිබුණා.

මම ඒ කාණ්ඩයේ හුඟක්ම බාලයෙක්. ඒ අය නම් මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමි, අනගාරික ධර්මපාලතුමා, වලිසිංහ හරිස්චන්ද්‍රතුමා, ඕල්කට්තුමා, මට වඩා බාල අය කිහිපදෙනකුත් පසුව පැමිණියා. නාරද ස්ථවිර, පියදස්සි හිමියන් ආදී අය.”

වර්ෂ 1896 අගෝස්තු 23 දින රාත්‍රී 12 පසුවී විනාඩි 3ට උපන් විලියම් හෙවත් “පුංචි මහත්තයා” හැදී වැඩී පැවිදිව අග්ග මහා පණ්ඩිත අභිධජ මහා රට්ඨගුරු බළන්ගොඩ ආනන්ද මෛත්‍රෙය මහනාහිමියන් බවට පත්වූ සේක.

අතිපූජනීය අග්ගමහා පණ්ඩිත මහාචාර්ය බළන්ගොඩ ආනන්ද මෛත්‍රෙය සංඝරාජ මාහිමිපාණන් වහන්සේ මහා පුරුෂයෙකි.

දීපංකර පාද මූලයේ සිට බොදුනුවාගේ අත්දැකීම් සමුදායද, උරුම කර ගනිමින් නූතන මිනිසා විසින් ගොඩනැගූ දැනුම් පද්ධතිය විනිවිද දකිමින් පුරා සියවසක් ජීවත් වූ මහා යතිවරයන් වහන්සේ නමක, මහා යෝගියකු මහා ප්‍රාඥයකු ද වූ සේක.

සිය ජීවිතයේ ඉතාමත් පි‍්‍රයකළ තැන් කිහිපයක් උන්වහන්සේට තිබුණි. ඉන් ප්‍රධාන ස්ථානයක් වූයේ කොළඹ ආනන්ද විද්‍යාලයයි. ආනන්දය පින්බිමක් බව ආනන්ද මෛත්‍රෙය මහනාහිමියන් නොයෙක් වර වදාළ සේක. පුරා වර්ෂ දහයකට අධික කාලයක් විද්‍යාලයේ නේවාසික ධර්මාචාර්යවරයාව වැඩ වෙසෙමින්, පොතපත පරිශීලනය කරමින්, භාවනානුයෝගීව සිටිමින්, ලිපිලේඛන කලාවේ නිරත වෙමින් සුන්දර ජීවිතයක් ගත කළ සේක.

ආනන්ද මෛත්‍රෙය මහනාහිමියෝ කොළඹ ආනන්ද විද්‍යාලය පිළිබඳ රසවත් පුවත් දැන සිටි සේක. ඒත් මේ අතීත සිද්ධී වත්මන්හි බොහෝදෙනකු නොදන්නවාද විය හැකිය.

වත්මන්හිදී ද, බොහෝ බෞද්ධ පාසල්වලද, දහම්පාසල්වල සිසුහු පාසල අවසානයේ “යෝවද තං පවරෝ” යන ගාථා පෙළ අපූරුවට සජ්ඣායනා කරති. එහෙත් බොහෝදෙනක් ඒවා ගායනා කරන්නේ ඇයි දැයි හරිහැටි නොදනිති.

ඊට හේතුව අතීත අපූරු සිද්ධියක්මය. ආනන්ද මෛත්‍රෙය මහනාහිමියෝ එය දක්වනුයේ මෙසේමය.

“ආනන්දයට සිසුන් ඇතුළත් කිරීමේදී මුල්ම ශිෂ්‍යා වුණේ ජිනරාජදාස නම් දරුවෙක්. එකල මාලිගාකන්ද පිරිවෙන ඉදිරිපස මාලිගාකන්ද පාර වත්මන්හි පූජ්‍ය හික්කඩුවේ ශ්‍රී සුමංගල නාහිමි පාරේ කන්ද උඩපාරේ, උඩපැත්තේ නිවෙසක එවකට පදිංචිව සිටි බෞද්ධ පවුලක දරුවකු වූ ජිනරාජදාස ලංකාවේ බෞද්ධ පාඨශාලා ඉතිහාසයේ වැදගත් සිදුවීමක මුල්ම ශිෂ්‍යයා වන බව එදා නොදැන සිටින්නට ඇත.

විදුහලේ වැඩ ආරම්භ කිරීමේදී සිසුන් පන්සිල් සමාදන් විය. ඉන් ඉක්බිතිව යොවදතං පවරොමනු ජේසු” ආදී ගාථා තුන සජ්ඣායනා කිරීම සිදුවිය. මෙය හේතුවූ අපූරු කතාපුවත බුදුන් වහන්සේගේ ජීවමාන කාලය දක්වා අතීතයට ගෙන යනු ලබයි.

එවක ආනන්ද විදුහලේ විදුහල්පතිවරයා වූයේ ලෙඩ්බීටර් පියතුමාය. එතුමාට උපතින්ම ජාතිස්මරණ හැකියාව ඇති අයකු විය. එමෙන්ම ලෙඩ්බීටර්තුමා ගුප්ත විද්‍යාධරයකුද විය. කෙනකු සැණෙකින් නිද්‍රාවට පත්කොට, මෝහනය කොට ආත්ම ගණනක විස්තර සොයා ගැනීමට එතුමාට පුදුම හැකියාවක් තිබුණි.

බුදුන් වහන්සේ ජීවමානව විසූ කාලයේ ඡත්ත මානවකයාගේ කතා පුවත ගෙනහැර බලමු. අප තථාගත සම්බුදුපියාණන් වහන්සේ සැවැත්නුවර දෙව්රම් වෙහෙරේ වැඩ වසන සමයේ අලුයම් කිසදී මහා කරුණා සමාපත්තියෙන් සම වැද ලොව දෙස බලා වදාරන්නේ. ඡත්ත මානවකයා පූර්ව බලවත් අකුසල කර්මයක ප්‍රතිවිපාක ලෙස සොරු රැළකගෙන් පහර කා මියැදෙන බව දුටු සේක.

ඡත්ත මානවකයා ගුරුපඬුරු ලෙස දීමට කහවනු පොදියක් ද රැගෙන එන්නේ පාර අද්දර ගසක් මුල වැඩ සිටි බුදුහිමියන් දැක උන්වහන්සේ සමීපයට පිවිසීය. බුදුරදුන් ඔහුගෙන් ආගිය තොරතුරු විචාරා අවසන්හි “දරුව, ඔබ තිසරණ සහිත පංචශීලය දන්නේදැයි විමසූසේක. “ස්වාමීනි මම එය දන්නේ නැත. එය දෙසුව මැනවයි” ඉල්ලීම් කළේය. බුදුරදුන් තිසරණ සහිත පංචශීලය පිළිබඳ විස්තර කොට එහි ආනිසංසයන්ද දෙසූ සේක.

ඡත්ත මානවක තෙමේ එයට කැමැත්ත පළ කළේය. බුදුන් වහන්සේ තිසරණ ගුණ ඇතුළත් ගාථා තුනක් මානවකයාට වදාළ සේක.

01. යෝ වදතං පවරෝ මනු ජේසු
සක්‍යමුනී භගවා කත කිච්චෝ
පාරගතෝ බල විරිය සමංගී
තං සුගතං සරණත්ථමු පේමී

සියලු සත්වයන් අතරින් ශ්‍රේෂ්ඨ වූ නිවන් පසක් කළ ඥාන ශක්තියෙන් හා සම්‍යක් ප්‍රධාන වීර්යයෙන් යුතු වූ භාග්‍යවත් ශාක්‍ය මුනිවරයකු වේද ඒ සුගතයන් වහන්සේ පිහිට පිණිස සේවනය කරමි.

02. රාග විරාග මනේජ මසෝකං
ධම්ම මසංඛ මප්පටි කූලං
මධුරමි මං පගුණං සුවිභත්තං
ධම්මමිමං සරණත්ථමුපේමි

රාගය පහකිරීමට තෘෂ්ණාවටද ශෝකයට ද කරුණු වූ කෙලෙසුන් සන්සිඳුවන ආර්ය මාර්ගයත්, ප්‍රත්‍යයෙකින් නොසෑදුණු නොපිළිකුල්, භාග්‍යවතුන් වහන්සේ මැනවින් බෙදා වදාළ ප්‍රගුණ කළ මිහිරි පර්යාප්ති ධර්මයත් යන මේ ධර්ම පිහිට කොට සේවනය කරමි.

03.යත්ථච දින්න මහප්ඵලමාහු
චතුසු සුචීසු පුරිස යුගේසු
අට්ඨච පුග්ගල ධම්ම දසාතේ
සංඝමිමං සරණත්ථමු පේමි

පිරිසුදු වූ යම් සතර පුරුෂ යුගල කෙනෙකුන් විෂයෙහි පිරි නැමූ දන්දීම මහත් සැප විපාක ගෙන දෙන්නේ යැයි නුවණැත්තෝ කියත්ද, ඒ චතුරාර්ය සත්‍යද, නිවනද දක්නා බුද්ධ ශ්‍රාවකයෝ පුද්ගල වශයෙන් අට දෙනෙකි. එම සංඝයා පිහිට පිණිස සේවනය කරමි.

බුදුන් වහන්සේ දෙසූ ගාථා තුන කටපාඩම් කරගත් ඡත්ත මානවකයා තිසරණ සහිත පංචශීලයේ පිහිටා එහි ගුණ සිහිකරමින් ගුරු පඬුරු දීමට ගුරුගෙදර බලා පිටත්වීය.

අතරමඟදී රැක සිටි සොරු විෂ පෙවූ හීයෙකින් ඡත්ත මානවකයාට විදින ලදී. ඔහු තිසරණ ගුණ සිහිකරමින් මැරී වැටුණි. ඡත්ත මානවකයා නින්දෙන් පිබිදියකු සේ තව්තිසා දෙව්ලොව උපන්නේය.

සොරු කහවණු පොදිය රැගෙන පලා ගියහ. මෙපුවත ආරංචි වූ මවුපියන් එතැනට ආවෝය. උක්කට්ඨා නුවරට යන්නන්ගෙන් මෙ පුවත් අසා ගුරු ඇදුරිඳු සහ ශිෂ්‍ය පිරිස් එතැනට රැස්ව සිරුර සෑයක දවාලූහ. බුදුන් වහන්සේද සිදුවන යහපත දැන එතැනට වැඩම කළ සේක. දෙව්ලොව උපන් ඡත්ත මානවක දෙව්පුතුද තමා ලැබූ භාග්‍යයට හේතු බලනුයේ තෙරුවන් සරණ යෑමේ සහ පන්සිල්හි පිහිටුවීමේ ආනිසංසයෙන් දෙව්සුව ලැබූ බව දැන සියලු දෙනාට පෙනී පෙනීම තව්තිසා දෙව්ලොවෙන් එතැනට පැමිණ බුදුහිමි පා යුග වැඳ ගත්තේය.

බුදුන් වහන්සේද එතැන මේ විස්මිත සිදුවීම බලා සිටි දෙමව්පිය ඇතුළු සියලු පිරිසට දෙව්පුතු ලවාම සියලු පුවත් කියැවීය. ඉන් ඉක්බිතිව බුදුරදුන් දම් දෙසූහ. දෙව්පුතුද, මාපියෝද තව බොහෝ පිරිසක් ද සෝවාන්වූහ. දැන් අපි ආනන්දය දෙසට හැරෙමු. එකල සිංහල බෞද්ධයන්ට ක්‍රිස්තියානි මිෂනාරීන්ගෙන් හා අබෞද්ධ පාලකයන්ගෙන් සිදුවූ ගැහැට සහ වෙනත් පීඩා සුළුපටු නොවීය.

වර්ෂ 1880 දී අමෙරිකන් ජාතික කර්නල් හෙන්රි ස්ටීල් ඕල්කට්තුමාගේ පැමිණීමත් සමඟ මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමියන්, හික්කඩුවේ ශ්‍රී සුමංගල නාහිමියන් ප්‍රමුඛකොට, පරමවිඥානාර්ථ බෞද්ධ සමාගම පිහිටුවා රට පුරා බෞද්ධ පාසල් ආරම්භ කෙරුණි.

ඉන් පළමුවැන්න කොළඹ ආනන්ද විදුහලයි. එහි ප්‍රථම විදුහල්පති ලෙස පත්වූයේ ලෙඩ් බීටර් පියතුමාය. ලෙඩ් බීටර් පියතුමා ක්‍රිස්තියානි පූජකවරයකු විය. එම ක්‍රිස්තියානි නිකාය බෞද්ධ පිළිවෙත්වලින් ද යුක්ත විය. (ජ්පඥඥ ඛ්ඩපඪඵබඪචද ඒඵඵධජඪචබඪධද) මේ ක්‍රිස්තියානි නිකාය තුළ පන්සිල් ගැනීම, අටසිල් සමාදන්වීම, බුදුන් වැඳීම, සමථ භාවනා ක්‍රමද ඇතුළත් විය.

ලෙඩ්බීටර් පියතුමාට “පුබ්බේනිවාසානුස්සති ඥානය” තිබිණි. ආනන්දයට ඇතුළුවූ පළමු ශිෂ්‍යයා කුඩා ජිනරාජදාස වාසනාවන්ත ප්‍රසන්න පෙනුමැති දරුවා, අන් කවරකුවත් නොව බුදුන් ජීවමාන කල හුන් බුදුන් වහන්සේගෙන් එම ගාථා ඉගෙනගත් ඡත්ත මානවකයාය. එදින පටන්ම ලංකාවේ සියලු බෞද්ධ පාසල්වල පාසල නිමවන වේලාවේදී මේ ගාථා සජ්ඣායනාව ඇරැඹිණි. වත්මන් ලංකාවේ සියලුම බෞද්ධ පාසල්වල අද ද මෙය නොකඩවාම ක්‍රියාත්මක කෙරෙයි.

මේ ජිනරාජදාස ඇත්තටම එදා බුදුන් දුටු ඡත්ත මානවකයා ද යන්න පිළිබඳ සැකය මහාචාර්ය බළන්ගොඩ ආනන්ද මෛත්‍රෙය මහනාහිමියන් වහන්සේ තුළ පැවතුණි. එබැවින් එය සැකහැර දැනගැනීමට උන්වහන්සේ සිතූ සේක. ඉන්දියාවේ නිල්වක්කේ සෝමානන්ද හිමියන්ද කැටුව ඉන්දියාවේ බරණැස සිටි නාඩි වාක්‍ය ග්‍රන්ථ ශාස්ත්‍රඥයකු වූ “ගුරුවාලියා” නම් බමුණු පඬිවරයා සොයා වැඩමකර, හිමියන් ස්වකීය ජන්ම පත්‍රය ඉදිරිපත් කොට මනෝමය ප්‍රශ්නයක් මඟින් “බුදුන් දවස සිටි ඡත්ත මානවකයා අද කොහි ජීවත්වන්නේදැයි විමසා සිටි සේක. ලංකාවේ ජිනරාජදාස නමින් උපත ලබා සිටින බව නාඩි වාක්‍යයේ ලියා තිබූ පිළිතුර බව බළන්ගොඩ ආනන්ද මෛත්‍රෙය නාහිමියන් වදාළ සේක. ජිනරාජදාස මහතා ඡත්ත මානවකයා යන්න පරිකල්පිත මති මාත්‍රයක් නොවෙයි. එය සත්‍යම සිදුවීමක්ම ය.

ආනන්දය ආරම්භ කර වසර කිහිපයකට පසු ලෙඩ්බීටර් පියතුමා විශ්‍රාම ගෙන එංගලන්තය බලා පිටත්ව යනවිට එවකට අවුරුදු දහහතරක් වයසැතිව සිටි ජිනරාජදාසයන්ද කැටුව ගියේය. ඔහු කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයට ඇතුළු කොට උසස් අධ්‍යාපනයක්ද ලබා දුනි. පසුකාලීනව ලෝක ප්‍රසිද්ධ නිදහස් චින්තකයකු වූ ක්‍රිෂ්ණ මූර්තිතුමාට මුලදී පාලි, සංස්කෘත හා වෙනත් ශිල්ප ඉගැන්වූයේ ලංකාවෙන් ගිය ජිනරාජදාස නම් ශ්‍රීමතාණන් බව දන්නේ සුළු පිරිසක් පමණි. මේ ජිනරාජදාසතුමන් පෙරභවයක තම සහෝදරයකු වශයෙන් ද පුනරුප්පත්තියක් ලබා ඇති බවද කොළඹ ආනන්දයේ පළමු විදුහල්පති ලෙඩ්බීටර්තුමා ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර ඇත.

මේ කාලවකවානුවේදී මදුරාසියේ අද්යාර්යේ තියෝසොෆිකල් සංගමයේ කේන්ද්‍රස්ථානය විය. එහි ඇති විශාල පුස්තකාලයේ ඉංගී‍්‍රසි, දෙමළ, තෙළිඟු ආදී භාෂාවලින් විශාල පොත් සංඛ්‍යාවක් විය. ඒ අතර නාඩි වාක්‍ය පොත් රැසක්ද විය. දෙමළ පුරාවිද්‍යාඥයන්, පඬිවරුන් ඒවා පරීක්ෂාකර බැලීමේදී ද ඕල්කට්තුමා, ජිනරාජදාස මහතා ආදීන්ගේ අතීත ජන්ම ප්‍රවෘත්ති දක්නට ලැබෙන බව තහවුරු විය.

 

හිටපු දුම්රිය සාමාන්‍යාධිකාරි (මෙහෙයුම්)

ඡ්‍යොතිෂ අවිශ්කාර්

ඡ්‍යොතිෂ ශිරෝමණී

ආචාර්ය විජය සමරසිංහ

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
6 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.