2025 ඔබේ ජයග්‍රාහී වසර කරගන්න

ජනවාරි 3, 2025

සමස්ත ලෝකවාසී ජනතාවම නැවුම් හැඟීම් සහ නව බලාපොරොත්තු සමුදායක් පෙරටුකොට නව ප්‍රබෝධයකින් යුතුව නව වසර පිළිගැනීමට සැරසෙයි.

වසරක් ගතවී නව වසරක සම්ප්‍රාප්තිය මංගල සම්මතයක් ලෙසින් උත්සවාකාරයෙන් සැමරීම පොදු සිරිතයි.

2025 නව වසර තම ජීවිතයේ සැලසුමකට අනුව පෙළ ගස්වා ගන්නේ කීයෙන් කී දෙනා ද?

ජීවිතය සැබැවින්ම දිනීමට නම් අනාගත සැලසුම සකසා ගැනීම අතිශයින්ම වැදගත් වෙයි. මෙයට වසර දහස් ගණනකට පෙර මහා භාරතයේ හිමාල වන අඩවියේ විසූ ඍෂිවරුන්ගේ අනාගත දැක්ම අනුව ඒ ඒ වසර සඳහා ලග්න දොළසකට අනුව අය වැය කියවෙන සුවිශේෂ වූ බර තැබුමක් සකස් කර ඇත. ඉඳින් 2025 නව වසරේ ඡ්‍යොතිෂයට අනුව ලග්න දොළොසේ අය වැය පාදක කොට අපි ඊට ප්‍රවිෂ්ට වී බලමු.

 

ලග්නය අය වැය ප්‍රතිඵලය

මේෂ, වෘශ්චික 08 05 +03

වෘෂභ, තුලා 02 14 - 12

මිථුන, කන්‍යා 08 11 -03

කටක 02 08 - 06

සිංහ 05 05 00

ධනු, මීන 05 11 -06

මකර,කුම්භ 14 11 +03

ඉහත රාශිවල අය වැය හොඳින් අධ්‍යයනය කර බැලීමේදී අපට පෙනී යන්නේ ලග්න 12න් ලග්න 7කම අයට වඩා වැය පාර්ශ්වය වැඩි බවය. සිංහ ලග්නයේ පමණක් අය සහ වැය සමානය. එහෙත් එයට ද ඉතිරියක් නම් නැත.

සමස්තයක් ලෙස ගත් කල අපට පෙනී යන්නේ ඡ්‍යොතිෂ ශාස්ත්‍රයට අනුව 2025 වසරේ ලග්න හතරකට (මේෂ, වෘශ්චික, මකර, කුම්භ) හැර අනෙක් ලග්න රැසකටම ආදායමට වඩා වියදම වැඩි වන බවයි.

මෙමඟින් නිර්ණය වනුයේ ඇතැම් ලග්න හිමියන් රැසක් 2025 වසර පුරාම ණයගැති භාවයට පත්විය හැකි ප්‍රවණතාවක් සිදු විය හැකි බවය. එම තත්ත්වය කෙබඳු වුවද නව වසර එළැඹීමත් සමඟ දුරුතු මස ආරම්භයේ සිටම විධිමත්ව සැලසුම් කළහොත් පෙන්නුම් කරන ඡ්‍යොතිෂමය පලාපල අවාසිදායක තත්ත්වයෙන් මිදිය හැකි වනු නියතය. අප දෛවයට වුවද අභියෝග කළ යුතුමය.

2025 වසරේ වැඩිම වැයක් පෙන්නුම් කරන වෘෂභ සහ තුලා ලග්න හිමියන් නව වසර ආරම්භක අවස්ථාවේදීම ඔබට වඩාත් පලදායි යැයි සිතන බැංකුවක ධන ආයෝජන ගිණුමක් ආරම්භ කිරීම අගනේමය.

එහිදී අනිවාර්ය මාසික වැයක් ලෙස මුදල් වැය වුවත් එය නොදැනුම්වත්වම තැන්පත් ඉතිරියක් ද වනු ඇත. කුඩා දූදරුවන් වෙනුවෙන් මේ ලග්න හිමි මවුපියන්ට ඉහත කාර්යභාරයම ඉටුකළ හැකිය.

එය එක්තරා අයුරින් වියදමක් ලෙස දැක්වවුද වසර අවසානය වනවිට එයම වෙස්වලාගත් ආශීර්වාදයක් සේ ඉතුරුමක් ද වනු ඇත. එමෙන්ම 2025 වසර ආරම්භයේදීම පසුගිය වසර තුළ ඔබ ගත කළ අතීතය ආවර්ජනය කර බලා පසුගිය වසරේ දැනුම්වත්ව හෝ නොදැනුම්වත්ව ඔබ අතින් සිදුවූ වැරදි සහ අඩුපාඩු නැවත සිදු නොකිරීමට තිරව අදිටන් කළ යුතුය.

ගෙවී ගිය වසරේදී ඔබ කී දෙනකු සමඟ අමනාප වී ද, අලුතින් මිතුරන් කී දෙනෙකු හඳුනාගෙන ඇති ද? ඔවුන් තම ජීවිතයට කෙබඳු සහායක් ලබා දුන්නේ ද? යන්න කෘතවේදීව සිතා බැලීමට කාලය එළඹ ඇත.

එමෙන්ම නව වසර තුළ විවිධ ක්ෂේත්‍රයන්හි සැපේදීත්, දුකේදීත් එකාවන්ව ඇසුරු කළ හැකි කල්‍යාණ මිතුරන් පිරිසක් තම දිවිපෙවතට එකතු කර ගැනීමට යුහුසුළු වන්න. “සැපතේදී පී‍්‍රතිවන්නවුන්ට වඩා විපතේදී දුක බෙදා ගැනීමට ඉදිරිපත් වන්නන් මිනිසත් බව හඳුනා ගන්නේය” යන්න මතකයේ රඳවා ගනු මැනවි.

පසුගිය වසර තුළ අලුත් ඉගෙනුම් අවස්ථා කීයක් අප දිවිපෙවතට එක්කර ගත්තේ ද? අපේ දැනුම වූ කලී සුවහසක් දෙනාගේ සිතුවිලි සහ අත්දැකීම් සම්භාරයයි. ඒවා ඉදිරි ජීවිතයට අනිවාර්ය අත්දැකීම් වනු නියතය හොඳම ගුරුවරයා අත්දැකීමයි.

බුදුන්වහන්සේ දේශනා කළ පරිදි “නීරෝගීකම පරම ලාභය” වන බැවින් තම දුවා දරුවන්ගේ, වැඩිහිටියන්ගේ, ඥාති හිතමිතුරන්ගේ මෙන්ම ඔබගේ සෞඛ්‍ය තත්ත්වය ගැනද පසුවිපරමක් කර බැලුවේ ද? තම සෞඛ්‍යය පිරිහීමට ලක්වී තිබේද? නියමිත පරිදි ඖෂධ මාත්‍රා භාවිත කළේ ද? අවශ්‍ය වෛද්‍ය පරීක්ෂාවන් නිසිකලට වේලාවට කර ගත්තේ ද? නිසි ප්‍රතිකාර සහ ප්‍රතිකර්ම භාවිත කළේ ද? යැයි සොයා බැලීමට කාලය එළඹ ඇත. ඔබ කුමන වගකීම් සමුදායක්, තනතුරු තානාන්තර දැරුව ද ඒවා තම ශරීරය (කය) නොදන්නා බැවිනි. ඔබ අතින් තම දුවා දරුවන්ට, මවුපියන්ට, නෑ හිතමිතුරන්ට නිසියාකාරව තම යුතුකම් ඉටුකර තිබේද? තම මවුපියන්, වැඩිහිටියන් දැනට ජීවතුන් අතර නොමැතිනම් ඔවුන්ට පින්පෙත් පමුණුවන්ට කටයුතු කර ඇති ද? මේ සෑම දේ පිළිබඳව සිතා බැලීමට නව වසර උදාව ඊට කදිම තෝතැන්නක් කරගනු මැනවි.

තමන්ගේත් තම පවුලේ සාමාජිකයන්ගේත් ආර්ථික ශක්තීන්, කෙතරම්දුරට දියුණු කර ඇති ද? ඒවායේ අඩුපාඩු සිදුවී ඇතිනම් එළැඹෙන වර්ෂය තුළ ඒ ඒ අඩුපාඩු තැන් හඳුනාගෙන ඊට නිසි පිළියම් සංවිධානය කරගනු මැනවි. පවුලේ අභිවෘද්ධිය සඳහා නව ආදායම් මර්ග වැඩිදියුණුූ කරගත්තේ ද? ක්‍රමවත් සැලැස්මක් යටතේ නිසිකලට වේලාවට ආයෝජනය සිදු කිරීමට ද වගබලා ගත යුතුමය.

තමන් ජීවත්වන පරිසර රටාව සුන්දරව පවත්වාගෙනයාමත් තම නිවාස සහ කාමර පිළිවෙළකට තබා ගැනීමත්, අනවශ්‍ය දෑ ඉවත් කිරීම ගැනත් සිතා බලනු මැනවි. ගෙවත්ත ද අලංකාරව සහ පිරිසුදුව පවත්වාගෙන යාම අත්‍යවශ්‍යමය. ඉන් මානසික, ශාරීරික සුවයක් ද ළඟා කරන්නක් වෙයි. මෙහිදී ඔබගේ ඇඳුම් පැලඳුම්වල පවිත්‍රතාවද ඔබේ නිරෝගීකමට බෙහෙවින් බලපානු ඇත. වැඩිපුර ඇති අතිරික්ත ඇඳුම් පැලඳුම් ඉවත් කිරීම ද අනවශ්‍ය සියලු දෑ බැහැර කිරීම ද ඉතා වැදගත්මය. කෙතරම් දුෂ්කර කාලයක් එළඹිය ද ඔබේ යහපත් මෘදු ගුණාංග ආරක්ෂා කරගනු මැනවි. එය සැම වෙත සෙත සලසනු ඇත. පසුගිය වසරේ ඔබට සතුරුකම්, හිරිහැර, බාධක පැමිණ වූ පිරිස් වෙත ද මෙත් වඩනු මැනවි. ඔවුන්ගෙන් පළිගැනීම වෙනුවට උපේක්ෂාවෙන් ඔවුන් දෙස බලා ඔබ පිළිබඳව සත්‍ය අවබෝධ කර ගැනීමට ඔවුන්ට ඉඩප්‍රස්තා ලබා දෙනු මැනවි.

2025 එළැඹි වහාම මුල්දින කිහිපයම තුළම ඔබේ යහපත් සැලසුම් ක්‍රියාත්මක කිරීමට පටන් ගන්න. ඒවා කල් මැරීම පසුතැවිල්ලට හේතු විය හැකි බැවිනි.

ඔබ කුමන වයසක පසුවුවද සෑම දිනකම කුමන හෝ අර්ථාන්විත පොතක්පතක් ඉන් කොටසක්, පිටුවක් හෝ කියවීමට අවකාශය සලසා ගනු මැනවි. එමෙන්ම ඔබට ඉදිරි දිවිය තුළ පැන නඟින ඕනෑම ගැටලුවක් සාකච්ඡා කොට විසඳාගත හැකිය. කාලය සමඟ වේගයෙන් ක්‍රියාත්මක නොවන පුද්ගලයකුට අයත්වන්නේ දොම්නස පමණි. යමක් වෙනුවෙන් කාලය වුවමනා නම් එය සොයා ගත යුතුමය.

මතක තබාගන්න. කෙතරම් දුෂ්කර කාලපරිච්ඡේදයක් මුණගැසුණද සිතෙහි” සතුට” රඳවා ගැනීමට වැර දැරිය යුතුමය.

ඔබ කුමන ආගමකට අයත්වුවත් දිනපතා හෝරා භාගයක්වත් සිත එකඟතාවට පත්කර ගැනීම කෙතරම් අගනේ ද? ඒ සඳහා සුදුසු බවුන් වැඩීමක් කළ හැකිනම් කෙතරම් හොඳ ද? සිත සන්සුන් වූ විට වෛරය පෑළ දොරින් පලායයි. මෛත්‍රිය, කරුණාව, මුදිතාව වැඩෙනු ඇත.

එලෙසම අන් මතවලට ඇහුම් කන්දීමත්, අන්‍ය මත ඉවසා සිටීමටත් පුරුදු පුහුණුූ විය යුතුමය. කෝපයට පත්වූ එක මොහොතක ඔබ ඉවසා සිටියහොත් දුක්ඛිත සිය දවසකින් ඔබ අත්මිදෙනු ඇති බව චීන ප්‍රස්ථා පිරුළක සඳහන් වෙයි.

විවේකය, නිසියාකාර දිවි පැවැත්ම, අවැසි නින්ද දෛනිකව නිසි ලෙස ලබා ගැනීමට පියවර ගත යුතුය. ජීවිතය දිනීමට නම් චිත්ත විවේකය ද නිසි ලෙස ලබාගත යුතුමය. මෙලෙස විවිධ වූ ජීවන පරිචය මෙහෙයවා සැලසුම් කළහොත් ඔබ නොදැනුම්වත්වම ඔබේ භෞතික මෙන්ම ආධ්‍යාත්මික දියුණුව සලසාගෙන තිබෙන බව වසරකදී ප්‍රත්‍යක්ෂ වනු නොඅනුමානය. එනම් 2025 වසර අවසානය වෙත්ම ඔබේ සැලසුම්, ඉලක්ක ඔබ විසින් සපුරාගෙන ඇති බව ඔබටම දැක එහි සතුට විඳ ගන්නට හැකිවනු ඇත.

 

හිටපු දුම්රිය සාමාන්‍යාධිකාරි (මෙහෙයුම්)

ඡ්‍යොතිෂ අවිශ්කාර්

ඡ්‍යොතිෂ ශිරෝමණී

ආචාර්ය විජය සමරසිංහ

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
4 + 10 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.