ඔබේ නමේත් මුල් අකුරු මේවාද?

සැප්තැම්බර් 20, 2024

අංක විද්‍යා ඡ්‍යොතිෂයට අනුව ඔබේ නම ඉංග්‍රීසි භාෂාවෙන් ලියු විට ඔබේ නමේ මුලට යෙදෙන අකුර අනුව ඔබගේ ගතිගුණ චරිත ලක්ෂණ හා විශේෂතාවයන් පිළිබඳව මෙහිදී සඳහන් කරනු ලැබේ. ඉංග්‍රීසි භාෂාවේ A අකුරේ සිට N අකුර දක්වා නම් පටන් ගන්නා අයගේ පලාපල විස්තර පසුගිය කලාපවලින් සාකච්ඡා කරන ලදී. මේ ලිපියෙන් ඉංග්‍රීසි භාෂාවේ O, P, Q යන අක්ෂර යන්ගෙන් නම් පටන් ගන්නා ඔබ පිළිබඳ විස්තර පැහැදිලි කරන අතර පළමුවෙන්ම O අකුරෙන් නම පටන් ගන්නා අයගේ විස්තර කුමන ආකාරයෙන්ද යන්න සලකා බලමු.

O අකුර

මේ O අකුරෙන් නිකුත්වෙන ශබ්දය තුළ විශාල බලයක් ශක්තියක් තිබෙන බව බොහෝ දෙනාගේ විශ්වාසයයි. ගුප්ත විද්‍යාවේදී භාවිත වන බොහෝ මන්ත්‍රවල මුලට ඕ ශබ්දය යෙදීම විශේෂත්වයක් වෙයි. 'ඕම්' ශබ්දය තුළින් විශ්වයේ හඬ නිරූපණය වන බව ගුප්තවේදීනගේ පිළිගැනීමයි. මේ O අකුර මුලට යෙදී නම පටන් ගන්නා පුද්ගලයන් ආගමට ධර්මයට බොහෝ ළැදි භාවයක් දක්වයි. සමාජ සේවා කටයුතුවලදී මෙන්ම ආගම ධර්මය මුල්කරගත් කටයුතු වලදී මූලිකත්වය ගෙන ක්‍රියා කරන අයයි. නැති බැරි අසරණ අය වෙනුවෙන් තමන්ට හැකි අයුරින් පිහිට වීමට ද අමතක නොකරයි. ස්වයං පාලනයක් ඇතිව කටයුතු කරන මොවුන් විනයගරුක පුද්ගලයන් කොටසක් ලෙස හැඳීන්විය හැකිය. ඕනෑම තැනකට ගැළපෙන ආකාරයෙන් කටයුතු කිරීමේ ඥානයෙන් යුක්ත ය. තම ආත්ම ගරුත්වය ආරක්ෂා කරගැනීමට උපරිමයෙන් ක්‍රියා කරයි. තමා අතින් අන් අයට පුංචි වරදක් වුණත් සමාව ගෙන එය නිවැරදි කර ගනී. මේ පුද්ගලයන් නීතිගරුක භාවයෙන් යුතු අය ලෙස ද හැඳීන්විය හැකිය. අන් අයගේ අවවාද උපදෙස් පිළිගැනීමට සූදානම් වන මොවුන් ඉතා නිහතමානි මිනිසුන් කොටසක් ලෙස දැක්විය හැකිය. එහෙත් තරමක් හිතුවක්කාර ගති ද මොවුන්ගේ චරිතය තුළ නැතුවාම නොවේ. ක්ෂණිකව මොවුන්ට තරහ යන අතර වැඩි වෙලා එම තරහ හිතේ තබාගෙන ඉන්නේ නැත. කෙසේ වෙතත් මොවුන් ඉතාමත් සංවේදී මනසක් ඇති පුද්ගලයන් ලෙස හැඳීන්විය හැකිය. අන් අය කෙරෙහි හිතේ ආදරය කරුණාව ඇතිව කටයුතු කරන මොවුන් කාටත් වරදක් කරන්නේ නැත. මොවුන්ට ඉතාම ශක්තිමත් මනසක් ඇති අතර හොඳ ආත්මශක්තියකින් යුතු පුද්ගලයන් කොටසක් ලෙස පෙන්වා දිය හැකිය. දරා ගැනීමේ හැකියාව අතින් ද මොවුන් ඉදිරියෙන් සිටී. ඕනෑම අසීරු බැරෑරුම් අවස්ථාවකට නොබියව මුහුණ දීමේ ශක්තියෙන් යුක්ත වෙයි. මොවුන් විශේෂයෙන් මොවුන්ගේ සිතුවිලි සහ හැඟීම් පාලනය සම්බන්ධයෙන් වඩාත් උනන්දු විය යුතුය. විශේෂයෙන් ඊර්ෂ්‍යා සහගත සිතිවිලිවලින් ද ආරක්ෂා වීමට මතක තබා ගත යුතුයි. සාමාන්‍ය අනතුරුවලින් ද ප්‍රවේශම් වීමට කටයුතු කළ යුතුයි. සමාජශීලී පුද්ගලයන් ලෙස කටයුතු කරන මොවුන්ට සමාජය තුළ විශාල මිතුරන් සංඛ්‍යාවක් ද ගොඩනැගෙයි. එහෙත් ඒ සියලු දෙනාම විශ්වාස කර කටයුතු කිරීමට යෑමෙන් වැළකීම ගුණදායක වෙයි. තමාට විරුද්ධව ක්‍රියාත්මක වෙන සතුරන් ද ඇතිවන බව හොඳීන් මතක තබා ගැනීම වැදගත් වෙයි. ජීවිතයේ පසුකාලීනව ඉතා හොඳ ආර්ථිකමය වශයෙන් ශක්තිමත් භාවයක් ගොඩනඟා ගැනීමට මොවුන් සමත් වෙයි. සමස්තයක් ලෙස සාර්ථක ජීවිතයකට උරුමකම් කීමේ වාසනාව මොවුන් සතු වෙයි.

P අකුර

P අකුර මුලට යෙදී නම පටන් ගන්නා අය තේරුම් ගැනීමට ඉතා පහසු පුද්ගලයන් කොටසක් ලෙස හැඳීන්විය හැකිය. මොවුන්ට ඉතාමත් විවෘත අදහස් ඇත. අවංකවම හදවතින්ම සිනාසෙන ගතියක් මොවුන් තුළ ඇත. ඉතාමත් නිහතමානී ගති ලක්ෂණ මොවුන් සතුව පවතී. නිතර විනෝදයෙන් සතුටින් කාලය ගත කිරීමට කැමති පුද්ගලයන්ය. සුහද මිත්‍රශීලී ගති ලක්ෂණ පවතින අතර ඉතාමත් සමාජශීලී පුද්ගලයන් කොටසක් ලෙස හැඳීන්විය හැකිය. ඕනෑම පිරිසක් අතර අමුත්තක් නැතිව හැසිරෙයි. මොවුන්ට විවිධ වූ විෂයය ක්ෂේත්‍රයන් පිළිබඳ දැනුම හා අවබෝධයක් පවතී. ඇත්තටම මොවුන් දක්ෂ පුද්ගලයන් ලෙස හඳුන්වන්නට පුළුවන්. ඕනෑම වැඩක් පටන් ගත්තොත් ඒ තුළ ඉතා උවමනාවෙන් නියැළෙයි. පළමු දැකීමෙන්ම මොවුන් කුමන ආකාර පුද්ගලයින් ද යන්න හඳුනා ගැනීමට පුළුවනි. අන් අයට වඩා ජීවිතයට සමීප බවක් හා ළෙන්ගතු බවක් මොවුන් තුළින් දැකිය හැකිය. එමෙන්ම මොවුන් තරමක් කාර්යබහුල ජීවිතයක් ගත කරනු පෙනේ. ජීවිතය පුරාම ප්‍රශ්න සහ අභියෝගවලින් නම් අඩුවක් නොවේ. එහෙත් කුමන ප්‍රශ්න අභියෝග ආවත් ඒ සියල්ලටම මුහුණ දීමේ ශක්තියක් මොවුන් තුළ ඇත. සැබවින්ම මොවුන් ඒවා එතරම් ගණන් ගන්නේ නැත. සෑම විටම සැහැල්ලුවෙන් ජීවිතය ගැන සිතීම මොවුන්ගේ ස්වභාවයයි. එහෙත් තම වගකීම් යුතුකම් පැහැර හරින්නේ නැත. තමාට පුළුවන් අයුරින් කැපකිරීම් කරන්නට මේ අය පසුබට නොවේ. මොවුන් පහසුවෙන් කම්පාවට සහ මානසිකව කඩා වැටෙන පුද්ගලයන් නොවේ. හොඳ දරා ගැනීමේ හැකියාවක් ඇති මොවුන් තමාට මොන තරම් ප්‍රශ්න තිබුණත් ඒවා පිටතට නොපෙනෙන ලෙස සාමාන්‍ය ආකාරයෙන් කටයුතු කිරීමට දක්ෂ වෙයි. පිටතින් බලන අයකුට පෙනෙන්නේ මොහු නිතර සැහැල්ලුවෙන් සතුටින් ඉන්න පුද්ගලයකු ලෙසයි. භෞතික වශයෙන් දියුණු වීමට ද මොවුන් තුළ හොඳ හැකියාවක් දක්ෂකමක් ඇත. තම පෞද්ගලික දේපලක් ධනයක් ගොඩනඟා ගැනීමට මොවුන්ට ලොකු කාලයක් ගත වෙන්නේ නැත. මොවුන්ට මොනතරම් නැති බැරි කම් අඩුපාඩු තිබුණත් ඒ බවක් පිටට පෙනෙන්නේ නැත. හොඳට සල්ලි මිල මුදල් තිබෙන බවක් පිටතට පෙනේ. ඔවුන්ගේ අමාරුකම් සහ අපහසුතා සැබෑවටම දන්නේ ඔවුන්ම පමණි. මොවුන් බොහෝ මිතුරන් ද පහසුවෙන් ඇතිකර ගනී. ඔවුන්ට තම හැකි උපරිමයෙන් උදව් කිරීමටද පෙලඹෙයි. එසේ උදව් කිරීමට ගොස් එතුළින් බොහෝ පාඩු ද සිදුකර ගනී. කොපමණ පාඩු වුණද ඒවා එතරම් ගණන් ගන්නේ නැත. මොවුන් රණ්ඩු සරුවල්වලට සහ ගැටුම් ඇතිකර ගැනීමට කිසිසේත්ම කැමැති නැත. හැකිතරම් එවැනි අවස්ථා මගහැර සිටීමට උත්සාහ ගනියි. සාමකාමී නිදහස් පරිසරයක් තුළ ජීවත්වීමට ඇලුම් කරයි. එමෙන්ම මොවුන් විශ්වසනීය පුද්ගලයන් කොටසක් ලෙස ද හැඳීන්විය හැකිය. මොවුන්ට කේන්ති යන ගතිය තිබුණත් තරහා වැඩි කල් හිතේ තබාගෙන ඉන්නේ නැත. මොවුන් උපක්‍රමශීලී බුද්ධියෙන් යුක්ත වෙයි. අවස්ථාවට අනුව හැඩ ගැහෙන ස්වභාවයෙන් යුක්ත වෙයි. මානුෂීය හැඟීම්වලින් යුතු මොවුන්ට සාර්ථක ජීවිතයක් ගත කිරීමේ වාසනාව ඇත.

Q අකුර

Q අකුරෙන් පටන් ගන්න නම් අපේ සමාජය තුළ එතරම් සුලබව හමු නොවේ. එහෙත් ලෝකයේ වෙනත් භාෂාවල මේ අකුරින් පටන් ගන්නා නම් බොහෝ සේ දැකිය හැකිය. මේ අකුරින් සිංහල නම් අඩුවෙන් පැවතුණ ද මේ විෂය සම්බන්ධව උනන්දුවක් දක්වන බොහෝ දෙනාගේ දැන ගැනීම පිණිස ඒ පිළිබඳව ද යම් කරුණු ප්‍රමාණයක් සඳහන් කරමි.

මේ පුද්ගලයන් අන්‍යයන්ට තේරුම් ගැනීමට ඉතාමත් අපහසු පුද්ගලයින් කොටසක් ලෙස හඳුන්වා දිය හැකිය. කිසිදිනෙක රහස් හෙළි කරන පුද්ගලයන් නොවේ. ඕනෑ දෙයක් ඕනෑ තරම් කාලයක් හිතේ තබාගෙන සිටීමට මොවුන් සමත් වෙයි. එමෙන්ම තරමක් කලබලකාරී පුද්ගලයන් ලෙසද හඳුන්වන්නට පුළුවන්. ස්වභාවයෙන්ම නොසන්සුන් ස්වභාවයක් මොවුන් තුළ දැකිය හැකිය. කලබලකාරී ගතිය සේම ඉක්මනින් කේන්ති ගන්න ගතියක් ද මොවුන් තුළ පවතී. ආවේගශීලීව ගන්නා වූ ඉක්මන් තීන්දු තීරණ නිසා ජීවිතයේ යම් අපහසුතාවලටද ලක් වීමට සිදුවෙන අවස්ථා ඇත. මොවුන් බුද්ධිමත් භාවය අතින් ද ඉදිරියෙන් සිටියි. අධ්‍යාපනය හා සම්බන්ධ කටයුතුවලට දක්ෂ වෙයි. සෑම විටම තමාගේ අභිමතය පරිදි කටයුතු කිරීමට මොවුන් කැමති වෙයි. අන් අය තමාව අනුගමනය කරනවා දැකීමට කැමතිය. අන් අය කෙරෙහි තම ආධිපත්‍යය පැතිරවීම මේ අයගේ ස්වභාවයක් වෙයි. සෑම විටම සැලසුමකට අනුව තම කටයුතු සිදු කරයි. තමාට වැරදි කරන අයට සුදුසු අවස්ථාවේදී දඬුවම් දෙයි. එමෙන්ම තමාට උදව් කරන අය වෙනුවෙන් ද ඕනෑම කැපකිරීමක් කිරීමට සූදානමින් සිටී. මොවුන් අවදානම් සහ අභියෝගවලට මුහුණ දීමට කැමති නැත. පහසුවෙනුත් ලේසියෙනුත් ජීවත් වීමට සිතයි. එමෙන්ම ඉතා පහසුවෙන් සහ කෙටි ක්‍රමවලින් දියුණු වීමට සිතයි. මුදල් හම්බ කිරීම මොවුන්ගේ ජීවිතේ ප්‍රධාන පරමාර්ථයක් වෙයි. සල්ලි මිල මුදල් කෙරෙහි වැඩි ආසාවක් මොවුන් තුළ පවතී. මුදල් සෙවීම වෙනුවෙන් විවිධ සැලසුම් දියත් කරයි. එහෙත් මොවුන්ගේ වැරදි තීරණ නිසා ජීවිතය පුරාවට විවිධ ආර්ථික කඩාවැටීම්වලට ලක්වීමට සිදුවෙයි. හොඳ ආර්ථික කළමනාකරණයක් තබා ගැනීමට මොවුන් සිහි තබා ගත යුතුයි. ආදරය සහ ප්‍රේමය වැනි කටයුතුවලදී තම සහකරුවා හෝ සහකාරිය තමාට අවශ්‍ය ලෙස සිටිය යුතු බව සිතයි. එහෙත් ඔවුන් කෙරෙහි විශ්වාසයෙන් යුතුව කටයුතු කරයි. මොවුන් තම පවුලට ප්‍රධානියකු ලෙසද ක්‍රියා කරයි. මොවුන් බොහෝ අය ඇසුරු නොකරන අතර තෝරාගත් සීමිත මිතුරන් කීපදෙනකු පමණක් ඇසුරු කරයි. එහෙත් සෑම කෙනකු සමඟම හොඳ හිත පවත්වා ගැනීමටද ක්‍රියා කරයි. මේ පුද්ගලයන් බොහෝ විට සමබර ජීවිතයක් ගෙන යනු දැකිය හැකිය.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
11 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.