වර්ෂ 2024 ක්වූ November 15 වැනිදා Friday
හදවත බේරා දුන් රතු ඇස් සහිත වෘකයා
මෙතෙක් කතාව
වනාන්තරයේ ගස් කොළන් අතර සැරි සැරූ එම දිළිසෙන දෑස තව මොහොතකින් මගේ දෘෂ්ටි පථයෙන් ඉවතට ගිය අතර, පන්දම් අතින් ගත් අසරුවන් කිහිපදෙනෙකු මා වැටුණු ස්ථානය කරා මට ළංවනු දැකගත හැකි වූයේය.
එසැණින් මගේ සිරුර මත සිටි වෘකයා විදුලි වේගයෙන් ඉවතට පැන අතුරුදන් වූ අතර, අශ්වාරෝහකයකු විසින් වෘකයා වෙත තබන ලද වෙඩි උණ්ඩය පියඹා ගියේ මගේ සිරුරේ ගැවෙන නොගෑවෙන තරම් සමීපයෙනි. අසරුවන්ගෙන් කීප දෙනකු මා අසල දණ ගසාගත් අතර, සෙස්සෝ දෙතුන් දෙනකු වෘකයා ලුහුබැඳ ගියහ. මගේ පපුව මත අත
තැබූ ඉන් එක් අයෙකු සන්තෝෂයෙන් කෑ ගැසුවේ මගේ ජීවිතය තවමත් සුරැකී ඇති බව දැන ගැනීම නිසා ය.
කෙනෙකු විසින් පොවන ලද බ්‍රැන්ඩි ස්වල්පයක් හේතුවෙන් සිරුරට යම් ප්‍රාණවත් භාවයක් ලැබූවද, දැස් විවෘත කර වටපිට බැලීමට හැර නැඟී සිටීමට තරම් ශක්තියක් මා හට නොලැබිණි.
පන්දම් අතින් ගෙන, අසුන් පිට නැගුණු තවත් සොල්දාදුවන් කිහිපදෙනකු මා වෙත පැමිණි අතර, ඔවුන්ගේ කතා බහින් හැඟී ගියේ මේ සියල්ලෝම ද යම් අමනුෂ්‍ය භීතියකින් තැතිගෙන සිටින බවකි. මේ හමුදා ඛණ්ඩයේ නායකයා යයි සිතිය හැකි නිලධාරියෙකු පිරිස අමතා පැවසුවේ ඉක්මන් කර මා මෙතැනින් රැගෙන යාමට කටයුතු යොදන ලෙස ය.
“මෙය කිසිසේත්ම රැඳී සිටීමට හොඳ තැනක් නොවෙයි. විශේෂයෙන්ම අද වගේ රාත්‍රියක් අතිශයින්ම බිහිසුණුයි”
ඒ සමඟම මට එක්වරම සිහිපත් වූයේ මහලු අශ්ව රථ රියදුරාගේ “වොල්පූර්ගීස්” යන ජර්මන් වදනය. ඔවුන්ගේ විශ්වාසය අනුව මළවුන් මිනී වළවල් තුළින් නැඟිට මිනිස් රුධිරය සොයා යන “වොල්පූර්ගීස් රාත්‍රිය” මෙයයි. දැන් මා ඇතුළු පිරිස කොටු වී සිටින්නේ එකී භීෂණය පැතිරුණු අන්ධකාර රාත්‍රියටය.
කීප දෙනෙකු එකතුව මාගේ සිරුරෙහි ශීතල නැති කරනු පිණිස ප්‍රතිකාර කරන්නට පටන්ගත් අතර, එක් සොල්දාදුවකු මෙසේ පැවසුවේ බියෙන් තැති ගනිමිනි.
“කැප්ටන් කියපු දේ හරි, අපි ඉක්මනින් මොහුවත් රැගෙන පිටවෙමු”
“මොකද්ද කපිතාන් අපට හැඟවූ භයානක දේ? ”
එක් ආධුනික සොල්දාදුවෙකු ප්‍රශ්න කළමුත් එයට කිසිවෙකුගෙන් පිළිතුරක් නොලැබුණි.
“ඔබට මතකද අර වෘකයා?”
අවසානයේ මා ළඟ සිටි සොල්දාදුවා ප්‍රශ්න කළේ ය. ආධුනික සොල්දාදුවා විමතියෙන් බලා සිටියදී ඔහු කීවේ “ඒකා ඇත්තටම වෘකයෙක් නොවෙයි.” කියා ය.
මේ වදන් කිපය ඔහු විසින් තෙපළනු ලැබුවේ වේවලන කට හඬකිනි.
“ඒකා අපේ අතේ තියෙන රයිෆල් උණ්ඩවලින් පරාජය කරන්න පුළුවන් සතෙක් නෙමෙයි යාළුවා. ශුද්ධ වූ රිදී උණ්ඩයක් නැතිව මේ වෘකයා හඹා යෑමෙන් පලක් නෑ.”
මේ අතර සිටි තවත් වැඩිහිටි සොල්දාදුවකු දණගසා දෙවියන්ට ස්තූති පූර්වක වෙමින් යාඥා කළේ මෙවන් නපුරු අත්දැකීමකට මුහුණ දෙමින් වුවද, තම පිරිසට මාර්ක් දහසක මුදලක් ලබා ගැනීමට අවස්ථාව සලසා දීම පිළිබඳවය.
එසේ තමා ඇතුළු පිරිසේ ජීවිතවලට කිසිදු අනතුරක් නොවේවා! යයිද ඔහු දෙවියන් යදිමින් ප්‍රාර්ථනා කළේ හෘදයාංගම භක්තියකිනි.
“මේ බලන්න මිත්‍රවරුණී, අකුණු පහරින් කැබළි වී ඇති සොහොන්ගේ මත ලේ පැල්ලම්”
අයෙකු කෑ ගැසුවේ සන්ත්‍රාසයෙන් පිරි කට හඬකිනි.
“ඇත්ත නේන්නම්.. ඒත් අකුණු පහරක් නිසා කිරි ගරුඬ මතට රුධිරය වැගිරෙන්නට විදියක් තිබෙනවාද?”
“දැන් ඒ ගැන හිතන්න එපා ”
කපිතාන් වරයා පැවසීය.
“බලන්න මේ තැනැත්තාගේ උගුර දිහා. ඔහුගේ හම වෘකයාගේ දිව නිසා රත් පැහැ ගැන්නිලා. හැබැයි වාසනාවකට වගෙ සිදුරු වෙලා නැහැ. අමනුෂ්‍යයකු විසින් ඔහුගේ ලේ උරා බී නැහැ. මොහුගේ දිවිය බේරා දීමට අදෘශ්‍යමාන බලවේගයකට වුවමනා වී තිබෙනවා. දැන් අපි ඒ අවස්ථාවෙන් ප්‍රයෝජන ගත යුතුයි”
කපිතාන්වරයාගේ අදහස කවුරුත් පිළි ගත්හ.
“දැන් බලන්න, අර වෘකයා නොසිටින්නට අපිට මොහු සිටින තැන දැන ගන්න ලැබෙන්නේ නැහැ. ඒ වගේම අපි එනතුරු ඌ මොහුගේ හදවත උණුසුම්ව තබාගෙන තිබෙනවා. ඒ නිසා වෘකයා පසුපස පැන්නීම නවතා මොහු රැගෙන යමු”
ඉක්බිති සොල්දාදුවන් කීපදෙනකු විසින් මා ඔසවා කපිතාන්වරයාගේ අසුපිට හිඳවන ලදී. මගේ පිටු පසින් අසුපිට නැඟුණු කපිතාන්වරයා සිය දෙ අතින් මා සිරකර ගනිමින් අසුගේ රේන්ස් පටි අල්ලා ගත්තේ ය. ඉන්පසු අපි අඩියෙන් අඩිය එම භීෂණාන්ධකාරයෙන් මිදී එළිමහන් පෙදෙසකට අවතීර්ණ වීමු.
මා කෙතරම් කෙඩෙත්තුව සිටියාද යත් කපිතාන්වරයාට වාරු වී මා අසුපිට පැමිණි ගමන පිළිබඳ මතකයක් මා තුළ ඉතිරිව නැත. අරුනලු උදාවද්දී මගේ සිහියද, යළි ප්‍රකෘති තත්ත්වයට පත්විය. ඒ මොහොතේදී මා සිටියේ දෙපසින් සිට මා අල්ලාගෙන සිටි සොල්දාදුවන් දෙදෙනාට වාරු වෙමිනි.
මියුනිච් නගරයට ආසන්න හන්දියක මේ ආකාරයට අප නැවතී සිටියේ ඒ වෙතට යන අශ්ව රථයක් පැමිණෙන තුරු බව මට සොල්දාදුවන්ගේ කතා බහින් වැටහී ගියේ ය.
කපිතාන්වරයා මේ මොහොතේ සිය සොල්දාදුවන්ට අවධාරණය කරමින් සිටියේ, විශාල බල්ලෙකු විසින් මුර කරන ලදුව වනාන්තරයේ වැටී සිටි පුද්ගලයෙකු සොයාගත් බව විනා, අන් කිසිවක්, කිසිවකුට නොපවසන ලෙස ය.
“ඇත්තටම කියනවා නම් කපිතාන්තුමනි, ඒ බල්ලෙක් නම් නෙමෙයි, ඒක ඔහුගේ උගුර හම ගිහින් තියෙන ආකාරයෙන් පේනවා”
ඒ කතාව සත්‍යයකි. මගේ උගුරට අත තැබිය නොහැකි තරමට හම ගොස් තිබිණි. අත ගෑවුණු සැණින් ඉන් ඇති වුණේ බරපතළ වේදනාවකි.
“ඒ මොනවා වුණත්...” කපිතාන්වරයා යළිත් දැඩි ස්වරයෙන් පැවසීය.
“නුඹලා කිව යුත්තේ ඒ බල්ලෙක් බවයි. නැතිනම් අපි සැම දෙනෙක්ම හිනාවට ලක් වෙනවා සිකුරුයි” කපිතාන්වරයා, ඒ සමඟම පැමිණි අශ්ව කරත්තයට මා නංවාගෙන, හෝටලය වෙත පැමිණියේ ය. එහි කළමනාකාර ඩෙල්බෲක් මහතා ඉතා සතුටින් අප පිළිගත් අතර, මම කපිතාන්වරයාටද වයින් වීදුරුවක් පානය කිරීමට ඇරයුම් කළෙමි.
ඒ වන විට සම්පූර්ණයෙන්ම වාගේ ප්‍රකෘති තත්ත්වයට පත්ව සිටි මම, මගේ ජීවිතය බේරාදීම ගැන කපිතාන්වරයාටත්, ඔහුගේ කණ්ඩායමටත් මාගේ හෘදයාංගම ස්තුතිය පුද කළෙමි.
එහෙත් මෙයට පිළිතුරක් වශයෙන් කපිතාන්වරයා පැවසුවේ ඇත්ත වශයෙන්ම ඒ සඳහා ස්තූති කළ යුතු වන්නේ හෝටලයේ කළමනාකාර ඩෙල්බෲක් මහතාට බවය. මක්නිසාද යත් තමා ඇතුළු පිරිස එක්රැස් කොට මේ සඳහා පිටත් කොට එවනු ලැබුවේ ඔහු විසින් වන බැවින් යයි නිලධාරියා පැහැදිලි කළේ ය.
නිලධාරියා පිටත්ව යාමෙන් පසු මා හෝටලයේ කළමනාකාර ඩෙල්බෲක් මහතාගෙන් විමසුවේ මා සෙවීමට සොල්දාදුවන් පිටත් කරන තත්ත්වයට පෙලඹුණේ ඇයිද යන්න පිළිබඳව ය.
“ඔබේ ගමනින් පසු අපේ අශ්ව රථයේ අශ්වයෝ දෙන්නා කොයි තරම් කලබල වී සිටියාද කියනවානම් කරත්තෙත් ඇදගෙන හෝටලයට ඇවිත් තිබුණා. රියදුරා ඔබ ගියේ කොහේටද කියල මට කිව්වා. ඒත් ඒ වෙනකොටත් මේ ටෙලිග්‍රෑම් එකත් මට ලැබිලා තිබුණා”
ඔහු විදුලි පුවතක් ගෙන මා අත තැබීය. එහි තිබුණේ මෙවැන්නකි. “ඔබේ හෝටලයට පැමිණි මගේ ආගන්තුකයා ප්‍රවේශමෙන් බලා ගන්නා ලෙස ඉල්ලමි. අද ඔහුට අනතුරක් සිදුවීමට ඉඩ ඇති බව පෙනේ. ඒ ඔහු නිර්භීත ක්‍රියාවන්ට යොමුවන ඉංග්‍රීසි ජාතිකයෙකු වන බැවිනි. ඒ නිසා ඔහු නිසි වේලාවට නොපැමිණියහොත් ඔහු අතරමං වී ඇති බව වටහා ගන්න. ඒ නිසා මොහොතකුදු පමා නොවී ඔහුගේ ආරක්ෂාව සඳහා කටයුතු කරන්න. මම ඔබ ගන්නා සියලු උත්සාහයන්ට නිසි ලෙස ගෙවීම සිදු කරන බවට පොරොන්දු වෙමි.”
බ්‍රෑම් ස්ටෝකර් ගේ කෙටි කතාවක් ඇසුරිනි
(තව කොටසක් ලබන සතියේ )