වඳින්න යන මේ නඩේට සුමන සමන් දෙවි පිහිටයි

දෙසැම්බර් 13, 2024

සොබාදහමේ අපූර්ව නිර්මාණයක් වූ සමනොළකන්ද රක්ෂිතය සුන්දරත්වයේ චමත්කාරය කියාපාමින් සිවු දෙසට ගලා බස්නා මහවැලි, කැලණි, වලවේ හා කළුගංගා මෙන්ම මිහිදුම් සළු මැදින් ගලා හැලෙන මනාකැතිඌරා දියඇල්ල ලක්ෂපාන මෙන්ම ඇබර්ඩීන් දියඇලිද ඒ චමත්කාරයේ සුන්දරත්වය තව තවත් ඔප් නංවමින් සමනොළ අඩවියේ පිහිටි සබරගමු කන්දට විශේෂිත වූ සමන්ත කූට පර්වතයේ පිහිටි ශ්‍රී පාදස්ථානය, නුවරඑළිය රත්නපුරය හා කෑගල්ල යන දිස්ත්‍රික්ක තුනට, මැදිව පිහිටා ඇති හෙක්ටයාර විසි දෙදහස් තුන්සිය අනූවක් පුරා පැතිරී ඇති මනහර අභයභූමියකි.

ශ්‍රී පාද අඩවිය

සිරිපා කඳු වැටිය, දේවකූට, සමනලගිර, සමන්තකූට, ශ්‍රී පාදස්ථානය ආදී නම්වලින් හඳුන්වනු ලබන සිරිපාදය ජාති ආගම් භේදයෙන් තොරව ලක්ෂ සංඛ්‍යාත ජනකායකගේ වැඳුම් පිදුම් ලබන අති පූජනීය ස්ථානයකි. ඓතිහාසික තොරතුරුවලට අනුව නිශ්ශංකමල්ල රජ දවස ශ්‍රී පාදස්ථානය සොයාගත් බව පැවසේ. රජුට අයත් රාජකීය මල් උයනේ මල් කිසිවකු විසින් සොරාගෙන යන බව රජුට දැනගන්නට ලැබිණ. මල් සොරා අල්ලා ගැනීමට උයන් පාලකයන් කොතෙකුත් උත්සාහ දැරුවත් ඉන් පලක් නොවීය. මේ නිසා උයනේ මල් සොරාගන්නා සොරු අල්ලා ගැනීමට කොටකු යොදවන ලදී කොටා නොනිදා මල් උයන රැකගෙන සිටියදී දිව්‍යාංගනාවක් පැමිණ මල්කඩාගෙන යන බව දුටුවේ ය. දිව්‍යාංගනාව ගිය මඟ මල් වැටී තිබෙන බව දුටු කොටා ඒ මඟ ඔස්සේ යමින් නතර වූයේ සමනළ කන්දේ පිහිටි ශ්‍රී පාදස්ථානයෙහිය. එහිදී කොටා මහත් පුදුමයට පත්වූයේ මල්වලින් යුතුව ශ්‍රී පාදස්ථානය පිහිටි පුදබිමේ සිටි දිව්‍යාංගනාව දැකීමෙනි.

වළගම්බා රජ දවස මේ පූජනීය ස්ථානය සොයාගත් බව තවත් පුරා වෘත්තයක සඳහන් වේ. පරසතුරු උවදුරු නිසා සැඟවීගිය රජු මහ කැලෑවෙහි යමින් සිටියදී මුවකු දැක ලුහුබැඳ ඉදිරියට යමින් සිටියදී ශ්‍රී පාදස්ථානය දැක ඇති බව කියවේ. එමෙන්ම පොලොන්නරුවේ රජකළ පළමුවැනි විජයබාහු රජු ශ්‍රී පාදයට යන මාර්ගය සුද්ධකර පවිත්‍ර කොට පුද පූජා පවත්වා උතුම් පූජනීය ස්ථානයක් බවට පත්කොට ඇති අතර මහා පරාක්‍රමබාහු රජතුමා විසින් සමන් දේවාලය ඉදිකොට ශ්‍රී පාදස්ථානය දියුණු කිරීමට කටයුතු කරන ලදි.

පිහිටීම

විවිධ නම්වලින් හඳුන්වනු ලබන ශ්‍රී පාද අඩවිය නුවරඑළිය රත්නපුර හා කෑගල්ල යන දිස්ත්‍රික්ක තුනට මැදිව පිහිටා ඇත. එමෙන්ම මේ පූජනීය ස්ථානය වන්දනාමාන කිරීමට මාර්ග තුනක්ම ඇත. රත්නපුර පලාබද්දල සිට ඇති මාර්ගය රජ කාලයේ සිටම පැවතෙන්නකි. කුරුවිට එරත්න හරහා තවත් මාර්ගයකි. හැටන් නල්ලතන්නියේ සිට තවත් මාර්ගයෙකි. කෙසේ වෙතත් ශ්‍රී පාදස්ථානයට කොළඹ සිට සැතපුම් අනූවක දුර ප්‍රමාණයක් ඇත.

වන්දනා සමය

ශ්‍රී පාද වන්දනා සමය මාස හයක් පුරා පැවැත්වේ. සෑම වසරකම සිරිපා සමය ආරම්භ වන්නේ උඳුවප් පොහොය දිනෙකය. එය වෙසක් පොහොය දක්වාම පැවැත්වේ. රත්නපුර දිස්ත්‍රික්කයේ පැල්මඩුලල ගල් පොත්තාවෙල රජමහා විහාරයේ සිට ශ්‍රී සමන් දේව ප්‍රතිමාව ශ්‍රී පාද මළුවට වැඩම කරනු ලබන්නේ උඳුවප් පොහෝ දිනට පෙර දිනය. එය රිය පෙරහරකින් නල්ලතන්නිය දක්වා වැඩම කරයි. ඉන් අනතුරුව සමන් දේව ප්‍රතිමාව සහිත පෙරහර නල්ලතන්නියේ සිට ශ්‍රී පාද මළුව දකවා වැඩම කරයි. ඉන් අනතුරුව උඳුවප් පොහොය සමඟ සිරිපා වන්දනා සමය ඇරඹේ.

ඇරැයුම

බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයෙන් අටවන වසරේ දී මණිඅක්ඛික නා රජුගේ ඇරැයුමෙන් පන්සියයක් මහ රහතන්වහන්සේ සමඟ කැලණියට වැඩම කරවන ලදහ. එහිදී සුමන සමන් දෙව් රජුගේ ඇරැයුම පරිදි මහරහතන්වහන්සේ සමඟ සමනල කඳු මුදුනට වැඩිය සේක. එම කඳු මුදුනෙහි වූ ඉන්ද්‍රනීල මාණික්‍ය මත වම් සිරිපා සටහන තබනු ලැබුවේ සුමන සමන් දෙවියන්ගේ ඉල්ලීම පරිදිය. ඒ බැව් සමන්තකූට වර්ණානාවෙහිද සඳහන්ව ඇත. සැළලිහිණි සංදේශයේද සිරිපා වර්ණනාවක් මෙසේ සඳහන් වෙයි.

සුරරද සමන් සමඟින් සුරඟන එවර
පැහැනද මදාරා පර සතු මල් පතර
කරපුද වඳින රැඳි මුණි සිරිපා තඹර
සකි සඳ පෙනේ සමනොළගල නැඟෙනහිර

 

පුරා හයක් බැතිමතුන්ගේ වන්දනාමානයට ලක්වන ශ්‍රී පාදස්ථානය ඉදිරි මාස හයේ දී දෙව් බඹුන්ගේ වන්දනාමානයට ලක්වන ලොව එකම පුදබිම බව පොතපතේ සඳහන් වේ.

මධ්‍යම කඳුකරයේ නැඟෙනහිර හෝර්ටන් තැන්නට මායිම්ව පිහිටා ඇති සමනළ අඩවියේ දැකුම්කලු මනහර ස්ථාන රැසකි. සීත ගඟුල, හැරමිටිපාන, ඉදිකටුපාන, ලිහිණිහෙළ, අහස්ගවුව, ගිලීමලේ, මහාගිරිදඹ යන ස්ථාන මෙහි ඓතිහාසිකත්වය තව තවත් ඔප්නංවයි.

හිරු උදාව

ශ්‍රී ලංකාවේ හිරු උදාව ඉතා හොඳින් දර්ශනය වන ස්ථානයකි මෙය. සූර්ය දිව්‍ය රාජයා සිරිපතුල නැමැදීම ඉරසේවය බවටද විශ්වාසයේ පවතී. සුමන සමන් දෙවියන් පරසතුමලින් පිදූ ශ්‍රී පාදය වැඳ පුදා ගැනීමට ලැබේ නම් එය මහා පින්කමකි. අතීතයේ දී ශ්‍රී පාදය වඳින්නට ගිය පින්වතුන් එය මහත් භක්තියෙන් හා දැඩි විශ්වාසයෙන් හා කැපවීමකින් ඉටු කරනු ලැබීය. අද එම තත්ත්වය කෙමෙන් කෙමෙන් තුරන්ව යෑම නිසා සිදුවන අනතුරු මෙන්ම රෝගාබාධ ද වැඩි වී ඇත. එදා වන්දනාකරුවෝ එහි පැවතිය යුතු චාරිත්‍ර විධි අනුගමනය කරමින් දෙවියන්ගේ පිහිට පැතූහ.

වන්දනා නඩය හැසිරීමෙන් හා වැඩිහිටියන්ට ද කීකරුවීමෙන් හා නඩේ ගුරාට අවනත වීමෙන් පමණක් නොව වැරදි වචනවලින් පවා කටවරද්දා නොගැනීමට පරිස්සම් වූහ. ඒ නිසා වන්දනා කරුවන් සිරිපා වන්දනා කෙරුවේ තුන්සරණේ කවි ගායනා කරමිනි.

වඳින්න යන මේ නඩේට
සුමන සමන් දෙවි පිහිටයි.
නැගල බහින මේ නඩේට
බුද්ධං සරණේ සරණයි
නගින්න යන මේ නඩේට
සුමන සමන් දෙවි පිහිටයි
බුද්ධං සරණේ සිරස නමාගෙන,
වඳින්න යන මේ නඩේට
හැම දෙවියන්ගේ සරණයි.

 

පළමුවරට සිරිපා වන්දනා කරනු ලබන වැඩිහිිටි අයකු නම් යටහත් පහත්ව කීකරුව යා යුතු අතර ඔහු හැඳින්වූයේ දඬුකෝඩු නමිනි. තරුණයකු හෝ තරුණියකු පළමුවරට වන්දනාවට සහභාගිවන්නේ නම් ඔහු හෝ ඇය කෝඩු නමින්ද දරුවන් කිරිකෝඩු නමින්ද හැඳින්වූයේ ය. මේ හැම දෙනාම නඩේ සමඟ ගියේ නඩේගුරාට අවනතවීමෙනි. ශ්‍රී පාදය වන්දනා කිරීම සඳහා බැතිමතුන් යන විට නල්ලතන්නියේදී දෙහි කෑල්ලක් ඇඟේ ගා සීතගඟුලෙන් දියනා පිරිසුදුවීම ප්‍රධාන කාර්යයකි. සෝදා පවිත්‍ර වී පේවී පිරුවට සුදු ඇඳුමින් සැරසී නඩේ සමඟ යන වන්දනාකරුවන් මල් පහන් සුවඳ දුම් දී බුදුන් වහන්සේ වැඳ පුදාගෙන ශ්‍රී පාද මළුව කරුණා කෙරේ. ඉදිකටුපානේදී කෝඩුකාරයෝ විසින් නූල්බෝලයක් ගෙන නූලක් ඉදිකටුවකට දමා නූල අවසාන වනතෙක් ශ්‍රී පාද කඳු මුදුනට රැගෙන යති. එම නූල ගෙත්තම් පානේ දී ගසක ඔතා දෙවි පිහිට පතා යෑම සිරිතකි.

ගෙත්තම් පානට ගොසින් බසින්නේ
ගෙත්තම් කරලයි සමහරු යන්නේ
ඉදිකටු නූලුත් සුරතට ගන්නේ
ගෙත්තම් කර දෙවිඳුට පින් දෙන්නේ

ගෙත්තම් පානෙන් පසු හැරමිටිපානට ළඟාවෙන නඩයේ කෝඩුකරුවන් අවට ගස්වලින් කෝටු කපාගෙන හැරමිටිමෙන් වන්දනා කරුවන් අතර සිටින වැඩිහිටියන්ට ලබා දෙයි. වන්දනා නඩ උඩමළුවට පැමිණ සියලු පුද පූජා පවත්වමින් සිරිපා පද්මයට වැඳ නමස්කාර කරති.

ඡ්‍යොතිෂ ප්‍රභාෂ්වර

තිස්ස මහානාම

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 3 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.