වර්ෂ 2024 ක්වූ December 20 වැනිදා Friday
නිවෙසේ ශීතකරණය කැඩුණු දාකට...
ශීතකරණයක් නැති අතීතයේ අපේ ගැමියන් ආහාර නරක් නොවී කල් තබාගත් ආකාරය පිළිබඳ මූලික පසුබිම අපි පසුගිය කලාපයෙන් සාකච්ඡා කළෙමු. එදා ගැමියන්ගේ සාම්ප්‍රදායික දැනුම පිළිබඳ තවදුරටත් අද තොරතුරු ගෙන එන්නේ ශිතකරණයක් ඇතත් නැතත් අපට ආහාර කල් තබා ගැනීමට ඇති ක්‍රමවේද පිළිබඳ යළි සිහිපත් කිරීමටය.
හරකුන්ගෙන් ධාන්‍ය පාගා ගැනීම
ධාන්‍ය ඇට කරලින් සහ එහි පොත්තෙන් ඉවත් කරන විට ඒවායේ ඇසට නොපෙනෙන තරමේ හෝ පළුද්දක් ඇති වුවහොත් ඒවා දිගු කලක් තබා ගැනීමේ හැකියාව අහිමි වන බව ගැමියෝ දැන සිටියහ. ඒ නිසා ඉතා ක්‍රමානුකූලව සකස් කර ගන්නා ලද කමතක හරක් කුරවලින් පාගා ගැනීම හෝ මාගල් ආදිය මත මිනිසුන් විසින් පාගා ධාන්‍ය වෙන් කර ගැනීම සිදු කෙරිණි. යන්ත්‍ර සූත්‍ර මඟින් වෙන් කර ගන්නා ධාන්‍ය බොහෝ විට පිපිරීම්, ඉරි තැලීම් ආදියට ලක්වන බැවින් ඒවා කල්තබා ගැනීමට නොහැකිය.
ධාන්‍ය ගබඩා කිරීමට ඖෂධීය ශාක කොටස්
ගබඩා කරන ලද ධාන්‍යවලට කෘමි හානියක් සිදුවීමට ඇති ඉඩකඩ වළක්වා ගනු ලැබුවේ නික, පාවට්ටා, කොහොඹ, වැනි කොළ අතු එකතු කිරීමෙනි. ආහාර සඳහා අවශ්‍ය ධාන්‍ය අටුවෙන් ගෙන කොටා ගනු ලැබුවේ වංගෙඩියේ කොටා, පොළා, සකස් ගත් ධාන්‍ය මාගල්වල දමා මඳ පවනේ වේළා ගන්නා ලදී. ඉන්පසු මුට්ටි, හැලි සහ ඇතිලිවල දමා රෙදි කඩකින් ඒවායේ කට ගැට ගසනු ලැබේ. ඉන්පසු ඒ මත තවත් පිරිසුදු වළඳක් තබා වැසීමෙන් සුළං වැදිමෙන් ආරක්ෂා කර ගන්නා ලදී.
වී බිස්ස ඇතුළු අනෙක් ඇසුරුම්
මීට පෙර සඳහන් කරන ලද ඇසුරුම්වලට අමතරව වී බිස්ස, වී පෙට්ටි ආදියද භාවිත කෙරිණි. ධාන්‍ය සඳහා වූ ඇසුරුම් හැරුණු විට ආභරණ, බෙහෙත් වර්ග කුළුබඩු, සහ බුලත් පුවක් ආදිය දමා ගැනීමටද, මේ ආකාරයට ස්වාභාවික ද්‍රව්‍යවලින් තනාගත් හට්ටි, පෙට්ටි, ගැමියෝ භාවිත කළහ. බෙහෙත් ගුලි ආදීය ගෙන යෑමට භාවිත කළ අං කොපු තනා ගනු ලැබුවේ ප්‍රධාන වශයෙන් හරක් අං භාවිත කරමින් වුවද, ඒ සඳහා කිසි විටෙකත් ගව ඝාතනයක් සිදු නොකිරිණි. ඒවා මැරුණු ගවයන්ගෙන් වැටී වනාන්තරයේ තිබී අහුලාගත් ඒවා වූයේය.
ආහාර කල්තබා ගැනීමට සූර්ය බල ශක්තිය
එළවළු වශයෙන් ගසෙන් නෙළාගත් මොහොතේම භාවිත කළ අළු කෙසෙල්, කොස්, දෙල්, අඹ, ඇඹරැල්ලා, කරවිල, වම්බටු ආදිය අව්වෙන් වියළනු ලැබ පිරිසුදු වියළි මුට්ටිවල අඩුක් කිරීමෙන් අනතුරුව කාලයක් තබාගෙන ආහාරයට ගැනීමට ගැමි ජනතාව පුරුදුව සිටියහ. මේ ආකාරයට මුව මස්, ගෝන මස්, මෙන්ම වැව් මාළු ද වියළා ආහාරයට ගත්හ.
අඹ කේඳී දැමීම
අඹ වාරයට සීමාව ඉක්මවා පල හට ගැනුණ කල නාඹර අඹ ගැට වෙන් නොවනසේ පලා ලුණු දමා අව්වේ වියළා ගනු ලැබේ. මෙසේ වියළාගත් අඹ මැටි මුට්ටිවල අඩුක්කර කරවල ව්‍යාංජනය රසවත් කර ගැනීමට යොදා ගැණිනි. වියළාගත් කේඳී දැමූ අඹ යෙදු කරවල හොද්ද, ඉටි මෙන් තම්බාපු කොස් කෑමට දෙවියන් විසින් මවන ලද ව්‍යාංජනයක් තරමට ප්‍රණීත බව අදටද, සියනෑ කෝරළේ ගැමියෝ පවසති.
කොට්ටා කජුවල රස
ලෙහෙසියෙන් හා ආසාවෙන් කරන්නට ඇති වැඩක් ගැන කීමේදී ‘කජු කන්නා’ වගේ යයි කියන්නේ ‘කජු’ යනු එතරම් රසවත් ආහාරයක් වන හෙයිනි. ආරම්භයේදී කජු සමඟ සෑදෙන කජු පුහුලම රසවත් හා දර්ශනීය පලතුරක් වන අතර, අමු කජු මද ව්‍යාංජනයද රසවත් හා පෝෂ්‍යදායක ආහාරයක් වෙයි. කජු ගෙඩිය පැසුණු පසු අළු පැහැයට හුරු ඝන පිටපොත්තක් සහිතව ගස් යට වැටෙයි. මේ කජු මද එකතු කොට අව්වේ මෙන්ම දුම්මැස්සේද දමා වියළා ගනු ලැබේ. එසේ දුම්මැස්සේ දමා කාලයක් ගිය පසු මේවා කොට්ට වූ කජු වන බැවින් මිටියකින් තැලූ විට පැහැදිලිව මදය වෙන් වෙයි. එම මද උදුන්වල රෝස් කරනු ලැබ අධික මිල ගණන්වලට අලෙවි කරනු ලැබේ.
කජු පුලුස්සා කෑම
එය බොහෝ විට කජු එකතු කරනු ලැබූ නිවෙස් හිමියන් විසින් කරනු ලබන කටයුත්තකි. බොහෝ විට රාත්‍රි භාගයන්හි මිදුලෙහි පිරිසුදු ස්ථානයක කොට්ටා කජු 200-300 ක් පිළිවෙලට බිම අතුරා වියළි පොල් අතුවල කෙළවර කොටස් ඒ මත තබා ගිනි දල්වනු ලැබේ. සුළු වේලාවකින් සියලු කජු මදවලට ගිනි ඇවිලුණු පසු ඒවා අනෙක් පැත්ත හරවා, නැවත පෙර සේම ගිනි දල්වනු ලැබේ. ඉන්පසු ඇතුළත නොපිලිස්සී පිට පොත්ත පමණක් නිසි පදමට කරවුණු කජු ඇට තලා ගනු ලැබේ. ඉන්පසු කජු කා කිතුල් හකුරු සමඟ කෝපි කෝප්පයක් බොන ගැමියා, තමා භුක්ති විඳ ඇත්තේ තරු පහේ හෝටලයක නම් සුපිරි ගණයේ සංග්‍රහයක් බව කිසිදා නොදැන සිටින්නට ඇත.
වියළි ගොරකා
ඉඳුණු ගොරකා ගස යටින් අහුලා ගත් සැණින් මැන්ගුස්ටීන් මදයක් සේ රසවත්ව අනුභව කළ ගැමියා ගොරකා ගෙඩියේ පලු දෙක බික් ගසා මුලින්ම අව්වේ වේලා ගනියි. ඉන්පසු අප විසින් මීට පෙර සඳහන් කළ දුම්මැස්සේ දැමූ විට බොහෝ කාලයක් තිස්සේ පරිභෝජනයට ගත හැකි සේ රැකී පවති. සෑම ව්‍යාංජනයක් සඳහාම වාගේ හොද්ද රසවත් කර ගැනීමට ගොරකා යොදන අතර, මාළු ඇඹුල් තියල් සඳහා අත්‍යාවශ්‍යම කුළුබඩුවක් වෙයි.
ඖෂධයක් ලෙස යොදා ගැනීම
මේ සියලු දේ තරමටම මේ වන විට ගොරකා ඖෂධයක් ලෙස භාවිත කරන තත්ත්වයකට පත් වී ඇත. අතීතයේදී අතේ ඇඟිල්ලක් තැලුණු විට හොද්දට දමා ඇති ගොරකා කැබැල්ල තලා, තැලුණු ස්ථානයට තබා බඳීන්නට ගැමියෝ පුරුදුව සිටියහ. එමෙන්ම මේ වන විට බටහිර රටවල වැසියෝ පවා එය කොලෙස්ටරෝල් සඳහා ප්‍රත්‍යක්ෂ ඖෂධයක් ලෙස භාවිතයට ගැනීමට පුරුදුව සිටිති.
ලුණු දෙහි දැමීම
දෙහි වාරයට අතිරික්ත දෙහි ප්‍රමාණය ලුණු දමා, අව්වේ තබා දෙහි ඇඹුලෙන් කකාරවා ලුණු දෙහි සාදා ගැනීමට ගැමියෝ ඉමහත් දස්කමක් දැක්වූහ. මෙයට හීන් කොච්චිද එක් කිරීමෙන් එය තවත් රසවත් ලෙස සාදා ගැනීමට ගැමියෝ දැන සිටියහ.
බිලිං වේලා ලුණු දැමීම
බිලිං පලදාව වැඩි කාලයට ඒවා ලුණු සමඟ මිශ්‍ර කර අව්වේ වේලා ගනු ලැබේ. ඉන්පසු වේළුණු බිලිං පිරිසුදු භාජනවල අසුරා ව්‍යාංජන රසවත් කිරීමට තවත් කාලයක් පුරා යොදා ගැනීමට හැකිය.
දෙහි වැලි මුල්ලේ දැමීම
බිත්ති දෙකක් එකතු වන මුල්ලේ උඩට සිටින සේ, හොඳීන් වේලාගත් වැලි ගොඩක් ගසා ඒ වැලි තුළ දෙහි ගෙඩි යට කළ විට කලක් ගත වනතුරු එම දෙහි ප්‍රයෝජනයට ගත හැකිය.
දඩමස් කල් තබා ගැනීම
මස් වර්ගවල අතුනු බහන් ආදිය ඉවත්කර කහ සහ ලුණු එකට අඹරා තවරනු ලැබේ. එසේ සකස් කර ගන්නා ලද මාංශ වර්ග පොල් මටුල්ලක, පිරිසිදු ගෝනි කැබැල්ලක හෝ පිරිසිදු ඝණ රෙදි කඩක ඔතා වැල්පටවලින්, ශාඛ පට්ටාවලින් හෝ හීන් ලණුවකින් තදින් වෙලනු ලැබේ.
මෙසේ සකස් කරගත් මාංශ කොටස එහි අඩංගු ජලය ඉවත්ව යන ආකාරයට එල්ලා තැබූවිට කිසිදු නරක් වීමකට භාජනය නොවී තබෙන බැවින් දින හත අටකට පසුව වුවද, ආහාර වශයෙන් පිස ගැනීමට හැකිවේ.
දුම් ගැසීම
එම මාංශ කුට්ටියම තියුණු පිහියකින් සිහින් තීරුවලට කපා දුම් මැස්සට දැමීම තවත් කල් තබා ගැනීමේ ක්‍රමයකි. මේ ආකාරයට දුම් ගසනු ලැබු මස් වර්ග වසරක පමණ කාලයක් වුවද, තබාගත හැකිය. මිරිදියෙහි කුඩා මසුන් බහුලව ඇති කාලයටද, නිසි පරිදි අතුණු බහන් ආදිය ඉවත් කොට කහ, ලුණු තවරා දුම්මැස්සේ දමා වේලාගනු ලැබේ. හිරු එළියෙන් බාගෙට වියළන ලද මස් සහ මාළු වර්ග ගොරකා හා සියඹලා සමඟ ලුණුවල බහා තැබීමෙන් ඒවා දිගු කලක් නරක් නොවී ආරක්ෂා කර ගැනීමට හැකිවිය.
පලා වර්ග සතියක් තබා ගැනීමට
සාරණ, මුකුණු වැන්න, කෙකටිය දලු, ගොටුකොළ, කොහිල දලු, කට පළල් ඇතිලියකට වතුර දමා පලා මිටිවල මුල් කොටස වතුරෙන් යටවන සේ තැබීමෙන් ඒවා සතියක් මුළුල්ලේ ආහාරයට ගත හැකි ආකාරයට නැවුම්ව තබා ගැනීමට හැකිවේ.
මී පැණියේ ලූ මස්
අප රටේ වැදි ජනයා මුව මස් ප්‍රධාන කොටගත් සෙසු දඩමස් මී පැණිවල දමා කල් තබා ගන්නට පුරුදුව සිටි බව පාසැල් පාඩම් පොත්වල පවා සඳහන් කරුණක් විය. මී පැණි ඉතා හොඳ විෂ බීජ නාශකයක් වූ හෙයින් එයින් මස් වර්ග විවිධ දිලීරයන්ගෙන් හා බැක්ටීරියාවන්ගෙන් ආරක්ෂාවීම මීට හේතුව විය.
අපේ ආදී ගැමි ජනතාව එසේ මස් වර්ග මී පැණිවල දැමීමට පුරුදුව නොසිටි මුත් කාමරංගා, අඹ හා ඇඹරැල්ලා ආදි පලතුරු ඒ ආකාරයට මී පැණිවල දමා කල්තබා ගත්හ. සුදු ලූණුද වියළීමෙන් පසු පිරිසුදු මී පැණිවල දමා කල් තබාගත් අතර, එය ඉතා හොඳ ඖෂධීය ගුණයෙන් යුත් ආහාරයක් ලෙස සලකනු ලැබේ.
සුප්‍රකට ඇඹුල් තියල් මාළුව
ආහාර පාන සම්බන්ධ පැරණි ක්‍රමවේද අතරින් අදටත් නොනැසී පවතින මාළු පිස ගැනීමේ ජනප්‍රියම ක්‍රමවේදය බවට පත්ව ඇත්තේ මාළු ඇඹුල් තියල් ලෙස පිළියෙළ කිරීමය.
මෙය ආහාර කල්තබා ගැනීමේ පැරැණි පිළිවෙතක් වන මෙය ආහාර ආරක්ෂා කර ගැනීමේ උවමනාවට වඩා රසවත් ව්‍යාංජනයක් ලෙස මාළු පිළියෙළ කර ගැනීමේ උවමනාව මත සමාජය තුළ පැතිර ඇති දෙයකි.
මේ සඳහා තෝරා ගන්නා ලද කෙලවල්ලා වැනි ලොකු මාලු වර්ගයක් නිසි ප්‍රමාණයට කෑලි කපා මාළුවල පිළී හැර, හොඳීන් සෝදා ගොරකා, ගම්මිරිස් ඇතුළු කුළුබඩු යොදා සකසා පිසගත් විට දින 4 ක් පමණ නරක් නොවී ආහාරයට ගත හැකිය. මේ ආහාරය ගැන දකුණේ ජනතාව පවසන්නේ නිවැරැදිව සාදන ලද ඇඹුල් තියල් දින 7ක් පමණ වුව ප්‍රයෝජනයට ගත හැකි බවය.
අද වැනි කාර්ය බහුල ජීවිතයක් ගෙවන වත්මන් ජන සමාජයට එක වරකට සාදා ගන්නා මාළු ඇඹුල් තියල් හට්ටියක් බොහෝ ප්‍රයෝජනවත් වෙනු නිසැකය.
ජාඩි දැමීම
අද වන විට පරිභෝජනයෙන් යම් තරමකට ඈත් වී ඇතැයි පෙනෙන්නට තිබුණද ජාඩි දැමීම මඟින්ද කුඩා මත්ස්‍ය වර්ග වැඩි කලක් ආහාරයට ගත හැකි ආකාරයට තබා ගැනීමට හැකි විය.
කලගෙඩි පාමුල දහයියා මුට්ටිය
නිවෙසේ කළගෙඩි තබන ගේ මැස්ස පාමුළ බිඳුණු මැටි බඳුනක දහයියා දමා ඉඟුරු, වද කහ, කහ ආදිය සිටුවා ගන්නා ලදී. එසේ කරනු ලැබුවේ ආහාර පිසින අවස්ථාවල නැවුම් ලෙස ගලවා ගැනීම පිණිසය.
අළු යොදා ගැනීම
මෑ, උදු, කව්පි ආදී ඇට වර්ගවලට ළිපේ අළු මිශ්‍ර කිරීමෙන් කාලයක් තබා ගැනීමට හැකි බව ගැමියෝ දැන සිටියහ.
එළකිරි සහ මීකිරි
ගෙදර එළදෙනගෙන් හෝ මී දෙනගෙන් හෝ දොවාගත් කිරි පානය කොට ඉතිරි වූ ප්‍රමාණයට මුහුන් යොදා කෑමට කිරි ලෙසද දුන්තෙල් හා එළඟිතෙල් ලෙසද සකස් කර කල් තබාගන්නා ලදී.
මෙවැනි තෙල් වර්ග පමණක් නොව, පොල්තෙල් ,මී තෙල්. තල තෙල්, අඹ තෙල්, කොහොඹ තෙල් ආදී ශාකවලින් ලබාගත් තෙල් වර්ග නරක් නොවී කල් තබා ගැනීමටද පැරැන්නෝ දැන සිටියහ. එසේ කරනු ලැබුවේ පදම් කළමැටි බඳුන්වල බහා සුළං නොවදින සේ හොඳීන් වසා තැබීමෙනි.
සතියකට වඩා තබාගත හැකි ඇඹුල වර්ග
මෙම ඇඹුල වර්ග පිස ගැනීම වැඩි වශයෙන් සිදු වූයේ වැව් සංස්කෘතිය ආශ්‍රීතව දිවි ගෙවන ජනයා අතරය. නමුත් පොලොස් ඇඹුල වැනි ව්‍යාංජනයක් අදවන විට පොදුවේ මුඟථ ශ්‍රී ලංකාව මුඟථල්ලේ එකසේ ජනප්‍රියව පවතී. මේ අයුරින් පොලොස් පමණක් නොව, කැකිරි අඹ පුහුල් වැනි දේද, ඇඹුල ලෙස සකස් කිරීමට පැරැන්නෝ දැන සිටියහ.
එදා ගැමියා තම තමන්ගේ දේශගුණයට. පළාතට, හා සංස්කෘතියට ගැළපෙන පරිදි ආහාර ගන්නා සෑම දෙයක්ම අපතේ යා නොදී කළමනාකරණය කර ගැනීමට මනා හැකියාවක් පෙන්නුම් කර තිබේ. එය අද දවසේ ශීතකරණයක් හෝ මයික්‍රෝවේව් උඳුනක් භාවිතා කිරීමෙන් කරනු ලබන හපන්කම් වල සීමාව ඉක්මවා ගිය විශිෂ්ට තාක්ෂණයකි. සමස්ත ජනතාවටම මේ ක්‍රමවේද අනුගමනය කිරීමට ඉඩකඩක් නොතිබිය හැකි නමුදු අඩුම තරමින් තමන්ට අනුගමනය කළ හැකි ක්‍රමවේද හෝ පිළිපදින්නේ නම් ආර්ථිික වශයෙන් මෙන් සෞඛ්‍යයම වශයෙන් ද යහපත් බව අවිවාදිතය.