වර්ෂ 2024 ක්වූ December 20 වැනිදා Friday
සර්ප විසෙන් ජීවිත බේරූ කොණ්ඩදෙණියේ අපූරු තෛලය
“අයං වස්සාන කාලෝ” මේ වස්සාන සමයයි... වසරෙන් වැඩි කාලයක් ඉඩෝරයෙන් පීඩිතව සිටි මේ කොණ්ඩදෙණිය පින්බිම ආශි‍්‍රත මුළු ප්‍රදේශයම වැසි සමය එළැඹෙත්ම නව පණක් ලැබ හරිත වර්ණයෙන් අනූන වනපොදක් මැද පිහිටි හුදකලා වන අරණක සිරිගැන්වෙයි.
එය වඩාත් තීව්‍ර ලෙසින් පෙනී යන්නේ සන්ධ්‍යාභාගය එළඹි විටය. ඇත් පැටවුන් මුළු පළාතම දෙවනත් කරමින් කුංචනාද පවත්වති. වළස් රංචු පිටින් එළිපෙහෙළියට බැස ඔබ මොබ සැරිසරති. තැනින් තැන මොනරුන්ගේ නර්තන විලාසය ද දිටිය හැකිය. හෝරාවක්, දෙකක් ගිය කල මුවන්, ගෝණුන්, වල් ඌරන්ගේ පාරාදීසයක් බවට මේ බිම පත් වන්නේ නිතැතිනි. විසකුරු උරග සතුන්, නයි, පොළඟුන්, පිඹුරන් ඔවුන්ට රිසි සේ මේ වන රොද තුළ හැසිරුණත් කොණ්ඩදෙණිය පන්සල් භූමියේ කිසිවකුට හානියක් සිදු නොකිරීම විස්මය දනවන්නකි. වන සිවුපාවුන්ගෙන් කොණ්ඩදෙණිය සීලරතන හිමියන්ට උවදුරක් ඇත්තේම නැත. ඕනෑම සතකු පහසුවෙන් මෙල්ල කළ හැකි බොහෝ මන්ත්‍ර උන්වහන්සේ දැන සිටි සේක.
බිනර පොහොය පසු වූ දිනෙක කොණ්ඩදෙණිය සීලරතන නායක හිමියන් දවසේ උදේ පාන්දර සිට සන්ධ්‍යාභාගය එළැඹෙන තෙක්ම පැමිණි සියලු ආතුරයන්ගේ දුක්ඛදෝමනස්සයන්ට පිළියම් යොදා අවසන් කළ සේක.
ඉන්පසු අප නායක හිමියන් පහළ වැව්තාවුල්ලට ගොස් දිය ස්නානය කොට පිරිසුදුව ගත වෙහෙස නිවාගෙන ඩිංගිරි බණ්ඩා පිළියෙළකරදුන් ගිලන්පස කෝප්පය ද වළදා දිගු හාන්සි පුටුවේ හරි බරි ගැහී හාන්සි වී ටික වේලාවක් විවේක සුවයෙන් ගත කළ සේක.
හිටිහැටියේම කබල් ලොරි භාගයක් කොණ්ඩදෙණිය පන්සල් ගේට්ටුව අසල නතර වූයේ ශබ්ද නගමිනි. “ඩිංගිරි බණ්ඩෝ හනික එන්න. කවුදෝ ඇවිදින්ද කොහෙද වගේ, ගේට්ටුව ඇරල ඇතුළට ගන්න. ලෙඩාව වත්තන් කරගෙන ලැගුම් ගෙටම අරගෙන එන්න.”
හිමි අණ එපරිදිම සිදුවිණ. හැමදාමත් හදිසිකාරයන්ට ගිලනුන්ට උදව් උපකාර කිරීමට ඩිංගිරි බණ්ඩා සැදී පැහැදී සිටියි.
සිහිවිසඥව පැමිණි රෝගී මනුෂ්‍යයාව ලොරි භාගයෙන් බස්සවා ගැනීමට උදව් උපකාර කළ ඩිංගිරි බණ්ඩා, ආවතේවකරුව අප නායක හිමියන් ළඟට කැඳවාගෙන පැමිණියේය. වහාම පෙට්‍රල් මැක්ස් ලැම්පු දෙකක්ම හිමි අණ පරිදි පත්තු කර රාත්‍රි කාලයේ අවැසි ආලෝකය ලබා දෙන්නට ඔහු යුහුසුළු විය.
ආවතේවකරු අප හිමියන් දෙපා පාමුල වැඳ වැටුණි.
“අවසරයි අපේ නායක හාමුදුරුවනේ... මහ විසකුරු සර්පයෙක් අපේ ලොකු මහත්තයට දෂ්ඨ කරලා දැන් සිහියත් නෑ හාමුදුරුවනේ”
“හොඳයි කොහේ ඉඳල ද ලෙඩාව ගෙනාවේ”?
“නිකවැරටියේ ඉඳලයි අපි ආවේ හාමුදුරුවනේ.”
“ලෙඩාව අරගෙන ගෙදරින් පිටවෙන කොටම කවුද මුලින්ම මුලිච්චි වුණේ.”?
“හාමුදුරුවනේ මට මතක හැටියට පලතුරු වට්ටියක් අරගෙන තරුණ ළමිස්සියක් ඉස්සරහට හම්බ වුණා” හිමියන් ඊට පිළියම් ලෙස සිදුකළේ ඔහුගේ කම්මුලට අනපේක්ෂිතව පහරක් එල්ල කිරීමයි. මෙයින් අන්දුන් කුන්දුන් වූ ආවතේවකරුට තමන්ට වූ වින්නැහිය කුමක්දැයි සිත ගැනීමට වත් නොහැකි විය.
“අපොයි දෙයියනේ මට වෙච්ච දේ. යැයි පවසා ආවතේවකරු ඩිංගිරි බණ්ඩා සමඟ රෝගියා උස්සාගෙන හනිකට ආවාසගෙට පිවිසීය. කම්මුලට පහරදීමෙන් පසු භාවිත කළ වදන් සහ ඔහුගේ ඉරියව්වලින් අප හිමියන් දෂ්ඨ කර ඇති සතා කවරකු ද යන්න නිගමනය කළ සේක.
ආවාස ගෙයින් දේව මන්දිරයට අපහසුවෙන් වුවද ලෙඩාව වත්තන් කරගෙන ඒමට ඔවුහු කටයුතු කළහ. ඩිංගිරි බණ්ඩා ද හනික නිවී ගිය පහන් සියල්ල දේව ප්‍රතිමා ඉදිරියේ නැවත පත්තු කිරීමට පියවර ගෙන සුවඳ දුම් දේව මන්දිරය පුරා අල්වන්නට විය.
ඒත් සමඟ රෝගියාගේ බිරියද යාදින්නක් කියන්නට පටන් ගත්තාය.
“නායක හාමුදුරුවනේ මේ අපේ මහත්තයා, ගම්මුන්ගේ දුක සැප බලන්න කියලා කැළෑ පාරවල්වල නිතර ගාටනවා. ගොම්මන් වෙලා, රාත්‍රිය කියලවත් සලකන්නේම නැහැ. රාත්‍රියෙත් ගම වටේ කොහේදෝ ගිහින් ගෙට ගොඩවුණා විතරයි දපනේ දාගෙන වැටුණා නොවැ. සතෙක් කකුල කෑවයි කියල කිව්වා හාමුදුරුවනේ. අනේ...නායක හාමුදුරුවනේ මගේ මහත්යාගේ පණ බේරලා දෙන්න. ඔබ වහන්සේට බුදු බව අත්වෙයි.”
පොළොන් තඩියකු දෂ්ඨ කිරීමකට බඳුන් වී ඇති බව හඳුනාගත් අප හිමියන් ඊට අවශ්‍ය හදිසි ප්‍රතිකාර බෙහෙත්, පිළියෙළ කර ගැනීමට ඩිංගිරි බණ්ඩාට උපදෙස් දුන් සේක. ඒවා හිමි අණ පරිදි වහා සකස් විය.
ඛණ්ඨ පිරිත ප්‍රථමයෙන් සජ්ඣායනා කොට පිරිත් නූල ලෙඩාගේ දකුණූු අතේ බැඳ විස බැසීමට බලගතු මන්ත්‍රයක් හෝරාවක් තිස්සේ පිරිත් නූලකට ජප කර එය ලෙඩාගේ ගෙල වටා පලඳවා තමන් වහන්සේ පිළියෙල කළ ඖෂධ දෂ්ඨ කළ තුවාලය මත තබා විනාඩි 20ක් රඳවා තබා ශාන්තිකර්මය අවසන් කළ අප හිමියන් තෙල් කුප්පියකට විශේෂ මන්ත්‍රයක් ජීවම් කර රෝගියාගේ හිසේ තෙල් බිඳක් ගෑ සේක.
මෙතෙක් සිහිසුන්ව සිටි රෝගියා ඇස්පිල්ලම් ගැසීමට පටන් ගති. ආවතේවකරු සහ රෝගියාගේ බිරියද මහත් සොම්නසට පත්විණි. ටික වේලාවකින් පසුව අපහසුවෙන් නැගී සිටි ආගන්තුක ලෙඩා දේව මණ්ඩලයේ සියලු ප්‍රතිමා වන්දනාමාන කළේය.
ඉන්පසු හිමි දෙපාමුල වැඳ වැටුණු ආගන්තුකයා තම පණ බේරා දුන්නාට අනේකවත් කෘතඥතාව පළකළේ ඉමහත් සොම්නසිනි. පසුකලෙක කොණ්ඩදෙණිය පන්සලට යළි පැමිණි යුවළ පන්සලේ ගොඩනැඟිලි අලුත්වැඩියාවකට අවශ්‍ය මුදල් පරිත්‍යාග කර තිබුණි.
කොණ්ඩදෙණිය රජමහා විහාරයේ වත්මන් විහාරාධිපති ශාස්ත්‍රවේදී කඩම්බාවේ අනුරුද්ධ හිමියන් හමුවට නවීන ඕර්එ කාරයකින් තේවතු කිහිපයක්ම හිමි බදුල්ලේ තරුණ ව්‍යාපාරික යුවළක් තම එකම පුතු සමඟ පැමිණ සිටියේය.
තමන්ට හිමි තේවත්තේ බංගලාව අසල ලඳු කැළෑවක සෙල්ලම් කරමින් සිටි එම පුතාගේ කකුලට විසකුරු සර්පයකු දෂ්ටකොට තිබිණි. වහාම බදුල්ලේ විෂ වෛද්‍යවරයකු වෙත යොමු කළ දරුවා විෂහරණය කර සුවපත් විය.
එසේ වුවද සතියකට වරක් විටින්විට දරුවාගේ කකුල වේදනාවෙන් ඇදුම් කන්නට විය. වෛද්‍ය ප්‍රතිකාර කොතෙක් කළත් එය නිට්ටාවට සුව නොවිණි. ලංකාවේ විශේෂඥ වෛද්‍යවරුන් රැසකට ප්‍රතිකාර සඳහා යොමුකළ ද ඉන් නිසි ප්‍රතිඵල නොලැබුණි.
සුබසෙත පුවත්පතේ “කොණ්ඩදෙණියේ හාස්කම්” විශේෂාංග ලිපි පෙළ කියවූ තම මිත්‍රයකු ගේ මඟපෙන්වීම මත කොණ්ඩදෙණිය රජමහා විහාරයේ විහාරාධිපති අනුරුද්ධ නායක හිමියන් හමුවට පැමිණ තිබුණි. ප්‍රථමයෙන්ම ආගන්තුකයන්ට සත්කාර, සංග්‍රහ කිරීමට සලස්වා අනුරුද්ධ නායක හිමියන් තරුණ ව්‍යාපාරික යුවළ සහ පුතා දේව මන්දිරයට කැඳවා දේව මණ්ඩලයේ ප්‍රතිමාවල නේත්‍රා දෙස බලා වැඳගෙන සිටීමට සලස්වා ඔවුන් රැගෙන ආ රන්සුරයද දහස්වර පිරිත් කළ පිරිත් නූල ද වටිනා තෙල් බඳුන ද තබා බලගතු මන්ත්‍රයක් ජප කරන්නට වූ සේක. ඒ සමඟ කාරණා කාරණා අනුරුද්ධ හිමියන්ට වහා අවබෝධ විය. පිරිත් නූල දරුවාගේ දකුණූ අතේ ගැට ගසා රන්සුරයට වටිනා තෙල් බිදුවක් දමා දරුවාගේ කරේ පැළඳ වූ පසු ස්වාමීන්වහන්සේ පවසා වදාළේ ඔවුන්ගේම ළඟ ඥාතියකු දරුවාගේ ඉගෙනුම් කටයුතුවලට සහ දේපළ උරුමයට ඊර්ෂ්‍යාවෙන් දරුවාට සර්පයකු දෂ්ඨ කළ පසු විෂ බන්ධනයක් සිදුකර ඇති බවය.
විෂ බන්ධනයෙන් මුදවා ලු අපි හිමියන් දරුවාගේ මතු ආරක්ෂාවට ද නළලේ ගෑමට කුඩා බලගතු තෙල් කුප්පියක් ද පරිත්‍යාග කළ සේක.
එම පවුල සියලු දෝෂාන්ධකාරයන්ගෙන් මිදුණි. දරුවාගේ කකුගේ වේදනාව, ඇදුම්කෑම ඒ මොහොතේ සිටම නතර වී නිට්ටාවට සුව විය. බලගතු මන්ත්‍රයක ඇති අසිරියත්, යතිවරයකුගේ අනූපමේය මානුෂීය ගුණාංගත් කවරේදැයි මම හොඳින් අවබෝධ කර ගතිමි.
හිටපු දුම්රිය සාමාන්‍යාධිකාරි (මෙහෙයුම්)
ඡ්‍යොතිෂ අවිශ්කාර්
ඡ්‍යොතිෂ ශිරෝමණී
ආචාර්ය විජය සමරසිංහ