ඉහළටම යන ඔබට උකුස්සාගෙන් පාඩමක්

සැප්තැම්බර් 20, 2024

මහ සුළඟක් ඇති වූ දිනෙක ගොවිපොළක් අසල උස ගහක මුදුනේ තිබූ උකුසු කූඩුවකින් බිත්තරයක් බිමට වැටුණා. ඒත් වෙලාවට එය වැටුණේ ගොවිපොළේ පිදුරු ගොඩක් මතට. ඒ අසලම එහි තාරා බිත්තර කීපයක් ද තිබුණ බැවින් තාරාවිය උකුසු බිත්තරය ද රකින්න පටන් ගත්තා.

එක් සුන්දර උදෑසනක මේ බිත්තරවලින් මෙලොව එළිය දකින පැටවුන්ගේ සුරතල් බලන්න තාරාවියට හැකි වුණා. උකුසු පැටවා තාරා පැටවුන් සමඟ වැනි වැනි ඇවිදින්න ගත්තා. ඒ විදිහට කෑම අහුලන් කෑවා. ඔහොම කලක් යද්දි උකුසු පැටවාට දැනෙන්න ගත්තා තමන් තුළ පවුලේ අනෙක් අයට වඩා වෙනස් කුමක් හෝ හැකියාවක් තිබෙනවා කියලා. ඒ ඉගිලෙන්න තිබෙන ආසාව නිසා. එහෙත් ඒ ගැන කීවාම මුළු තාරා සංහතියම කීවේ “තාරාවෝ ඉගිලුනේ කවද්ද? ඔය විකාර හිතන්න එපා” කියලා. සුපුරුදු විදිහට තාරාවකු වගේ ඉන්න උකුසු පැටවා දවසක් තාරා අම්මා ළඟට ගිහින් හුරතල් වෙමින් ඇහුවා ‘අම්මේ මම එක සැරයක් ඉගිලිලා බලන්නද?‘ කියලා. අම්මා කීවා ‘පුතේ... අපි තාරාවෝ අපට උරුම දේ විතරක් කරන්න. අනවශ්‍ය දේ කරලා කරදර ඇති කරගන්න එපා‘ කියලා. මෙය තදින්ම හිතට කා වැදුණ නිසා උකුසු පැටියා ආයෙත් තාරා පැටවුන් සමඟ ඔහේ කාලය ගත කළා.

මේ අතර දවසක් උකුසු පැටවා දැක්කා උස ගහ ළඟ තවත් කුරුලු පැටවකු උඩ ඉඳන් පහළට ඒ අම්මා තල්ලු කරනවා. ඒ වෙලාවට පැටවා අත්තටු ගසා ඉගිලෙන්න උත්සාහ කරනවා. ටික දවසකින් ඒ පැටවා අම්මලාත් සමඟ ගහට උඩින් අහසේ ඉගිලෙන හැටිත් මේ උකුසු පැටියා දුකෙන් බලා හිටියා. ඒ තමන්ගේම සහෝදරයකු බව මේ පැටවා දන්නේ නෑනේ.

තවත් කලක් ගත වෙද්දි හිතේ ආසාව වැඩි කමට පිදුරු ගොඩේ ඉඳන් බිමට පනින ගමන් අත්තටු ගහන්න උකුසු පැටවා හොරෙන්ම උත්සාහ ගත්තා. කූඩුවේ රැඳුණු බිත්තරයෙන් එළියට ආ පැටවාට වගේ පුහුණුවක් දෙන්න අම්මා තාත්තා නැතත්, වැටුණාම රිදුණා වුණත් හිතේ තිබුණු ධෛර්යය නිසා ගත් උත්සාහයේ ප්‍රතිපලයක් විදිහට මේ තාරා පවුලේ වැඩුණු උකුසු පැටවා ඉහළ අහසේ ඉගිලෙන දවසක් ආවා. අනෙක් උකුසු පැටවා සමඟ හරි හරියට ඉගිලෙන මේ පැටවා දුටු, ඉගිල්ලෙන්න එපා කියපු තාරා සනුහරේම ඒ තමන්ගේ නෑයෙක් කියලා මහා හයියෙන් සතුටෙන් කෑගහන්න ගත්තා.

එනිසා යමක් අතපහු වුණා, කල්ගත වුණා කියා පසුතැවෙන්න එපා. පුහුණුවක් ලබන්න, අභ්‍යාසයේ යෙදෙන්න තමන්ට බැරි වුණ බොහෝ දේ ජයගන්න එවිට ඔබටත් පුළුවන් වෙනවා.

එහෙත් එහිදී ඔබ සිතිය යුතු කරුණු කීපයක් තිබෙනවා.

පළමුවැනිම දේ තමන්ගේ අරමුණ පැහැදිලි කරගෙන ඒ සඳහා උපරිම උත්සාහ කිරීම. එහිදී තමන් අධෛර්යයට පත් කරන පිරිසක්ම පමණක් අවට සිටිනවා නම් ඔබ තාරා පැටවුන් අතර සිටි උකුසු පැටවා මෙන් තමන්ගේ ගමන තනිවම හෝ සැලසුම් කරගන්න. ඔබට කළ හැකි දේ සමහර විට වෙන කෙනකුට කරන්න බැරි වන්න පුළුවන්. ඒ නිසා ඔවුන් මත ඔබේ තීරණ රඳා පවත්වාගෙන පසුතැවෙන්න එපා. ඔබ උත්සාහයෙන් යන විට ඔබ අගයන පිරිසක් ඔබ වටා නිතැතින් එක්රොක් වනු ඇති.

මේ අතර දිනක් මහ විශාල කුණාටුවක් ඇති වුණා. ඒ වෙලාවේ උකුසු පවුල ඒ කුණාටුවේ සුළං වේගයම ආධාරයට ගෙන වලාකුළුවලට උඩින් පියාඹන අතර ඒ ආකාරයට එන ලෙස ඔවුන් මේ පැටවාටත් පැවසුවා. තාරා පවුලේ උකුසු පැටියාත් ඒ ක්‍රමය අත්හදා බැලුවා. තමන්ටත් එය කළ හැකි බව දැනුණාම මින් ඉදිරියට කවදාවත් සුළි කුණාටු අභියෝගයක් ලෙස නොසලකා එයින් පවා ප්‍රයෝජන ගත හැකි ආකාරය උකුසු පැටවා අවබෝධ කරගත්තා. ඔබත් අභියෝගවලින් පීඩා නොවී ඒවා තමන්ගේ ගමනට අත්වැලක් කරගන්න, එයින් පන්නරය ලබන්න පුරුදු වුණොත් සුළි කුණාටුවලදී වලාකුළුවලට උඩින් ඉඳීමින් ඒවා පිළිබඳ නිවැරැදි තීරණය ගන්න ඔබටත් හැකියාව ලැබෙනවා.

සිංහල කියමනක් තිබෙනවා ඌරු කටයි, බූරු පිටයි, උකුසු ඇස් දෙකයි තියෙනවා නම් කෙනෙකුට ඕනෑම අභියෝගයක් ජය ගන්න පුළුවන් කියලා. ඌරු කට කියන්නේ ඕනෑම දෙයක් කාලා දානවා කියන එක නෙවෙයි. රසවත් ආහාරම සොයමින් ඒවා නොලැබුණු විට දුක් වෙවි කාලය ගත කරනවාට වඩා අල්ලට සිඟාවත් රස නැති කැවිලි කකා වැනි අදහසක්. බූරු පිට කියන්නෙත් වල් කොළ බිම අතුට නිදි නොලැබ දුක් තකා කියන අදහසමයි. සැප පහසුව සොයමින් ඒවා මත තම අනාගතය තීරණය නොකර අරමුණ වෙනුවෙන් දුක් විඳීන අතර උකුසු ඇසින් බලා තමන්ගේ අවට සිදු වන දේවල් හොඳීන් අධ්‍යයනය කර තීක්ෂණව බලා අරමුණ පැහැදිලිව ගෙන උකුස්සා තම ගොදුර වෙත ඊසරයක් මෙන් යන්නා වාගේ ඉලක්කය ජය ගන්න කියන දේ තමයි එයින් අදහස් වන්නේ.

ඒ වගේම උකුස්සන් කිසි විටෙක අනෙක් සතුන් ඉතිරි කළ ආහාර ගන්නේ නෑ. නැවුම් ලෙස තමන් දඩයම් කර ආහාර ගන්න සත්ත්ව ලෝකයේ විශිෂ්ටයන් අතරට සිංහයන් සහ උකුස්සන් අයත් වෙනවා. ඔබත් ඒ වගේ අනුන් මත යැපෙන්නේ නැතිව, අනුන් උපයන දෙයින් තමන්ගේ වැටුප ලැබෙන තුරු නොසිට ආයතනයේ හෝ තමන්ගේම ව්‍යාපාරයේ වැඩකටයුතු කරන්න. යැපුම් මානසිකත්වයෙන් පෙළෙනතුරු ඔබට ඔබේ ආත්ම ශක්තිය පිළිබඳ විශ්වාසයක් ගොඩ නැඟෙන්නේ නෑ. ඔබ නිෂ්පාදකයකු ලෙස කටයුතු කරන විට ඔබ පිළිබඳවම ඔබට ලැබෙන ආත්ම අභිමානය ඔබේ ශක්තිය දෙගුණ තෙගුණ කරනු ඇති. අපේ භාෂාවෙන් කියනවා නම් හම්බ කරන දේ වටිනාකම තමන්ට දැනෙන්නේත් එය යා දෙන්නේත් තමන් මහන්සියෙන් දෙයක් උපයාගත් විටයි.

ඒ සමඟම ඔබ කළ යුතු තව දෙයක් තිබෙනවා. ඒ ඔබේ ඇතුළාන්තයේ සැඟවී තිබෙන යෝධ ශක්තිය හඳුනා ගැනීමයි. ඔබ බාහිර ලෝකයට පෙන්වාගෙන ඉන්නේ මනෝ විද්‍යාත්මකව කියනවා නම් ඔබේ උත්තරාරෝපිත චරිතයයි. එය ඔබගේ සැබෑ චිත්ත ශක්තිය හෝ සැබෑ ඔබ වසාගෙන සිටින්නක්. ඔබට යම් අභියෝගයකට මුහුණ දෙන්න සිදු වූ විට ඉබේම ඇඟ ඇතුළෙන් එන ශක්තිය තමයි ඒ සැඟවී සිටින යෝධයා වගේ ඔබට උදවු කරන්නේ. හදිසියේ තාත්තා අහිමි වුණ පවුලක එතෙක් මුළුගැන්වී සිටි අම්මා සියලු ව්‍යාපාරයන් ආදිය පාලනය කරමින් ‘පිරිමියකු’ වගේ වැඩ කරන හැටි ඔබ දැක ඇති. ඒ ඇය තුළ එතෙක් සැඟවී සිටි අභ්‍යන්තර ශක්තිය ක්‍රියා කරන ආකාරයයි. ඔබ උත්සාහ කරනවා නම් එවැනි කිසිදු ව්‍යසනයක් වනතුරු නොසිට ඔබේ ඒ අසීමිත චිත්ත ශක්තිය අවදි කරගැනීමට ඔබටත් හැකියාව තිබෙනවා. එයට අවශ්‍ය වන්නේ ඔබේ දැඩි අධිෂ්ඨානයයි.

එසේ ඔබ ඔබේ අභ්‍යන්තරික ශක්තිය අවදි කරගත් විට ඔබ අපේක්ෂා කරන ඕනෑම දෙයක් ඔබට කළ හැකි වනවා සේම ඔබ සමාජයේ සුවිශේෂී පුද්ගලයකු බවට පත්වන බවද අමතක කරන්න එපා. එවිට ඔබ ඔබේ පුහුණුව, හැකියාව, දක්ෂතා වර්ධනය කරගෙන ඔබ කරන ඕනෑම කටයුත්තක් සතුටින් සහ ඕනෑකමින් කළ යුතු අතර ඔබ ඒ වගකීම්සහගත පිළිවෙත නිසාම යළිත් සමාජයට වැඩදායී සමාජයට අත්‍යවශ්‍ය පුද්ගලයකු බවට පත්වනු ඇති. එවිට ඔබ ඔබේ අධ්‍යාත්මික සතුට වෙනුවෙන් ඒ අපේක්ෂාවන් මුදුන් පමුණුවා ගැනීමෙන් පරම සතුට ලැබීමට හැකි අයකු ද වනු ඇත. අන් අයට උදවු කිරීමෙන් ඔබ ආධ්‍යාත්මික සතුටක් ලබනු ඇත. විශේෂිත අයකු වනු ඇත. ජිවිතය පුරා සතුටින් සිහි කළ හැකි ජීවන ගමනක් ඔබට හිමි වනු ඇත. එයම ඔබ ජයග්‍රාහී පුද්ගලයකු බවට පත් කරනු ඇත.

 

අරුණලු

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
7 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.