දහනායක මහතාට මුල් පුටුව හිමිකර දුන් අපූරු බලවේගය

නොවැම්බර් 15, 2024

 ප සමඟ අදෘශ්‍යමානව පෘථිවි බද්ධව සැරිසරන ජීවාත්ම දසදහස් ගණනකට පණ උපද්දන්නට, ඔවුන් යන මඟට යොමුකරන බලශක්තීන් විශේෂයක් කොණ්ඩදෙණියේ සීලරතන හිමියන්ට සහජයෙන්ම උරුම වූයේ පුරන ලද පාරමී බලයෙන්දැයි විටෙක මට සිතෙයි.

පනහ, හැට, හැත්තෑව දශකවල ශ්‍රී ලාංකේය දේශපාලන ක්‍රියාවලිය උඩුයටිකුරු කරන්නට මේ තේජ බල ගුණැති එඩිතර යතිවරයාණන්ට හැකිවූවා යැයි දන්නේ කීයෙන් කී දෙනාද?

එදින අරුමැක්කේ බුද්ධ මන්දිරයේ සහ දේව මන්දිරයේ සියලු දෛනික වතාවත් අවසන් කළ කොණ්ඩදෙණියේ සීලරතන නායක හිමියන් ඩිංගිරි බණ්ඩා පිළියෙල කරදුන් හීල් දානය වළඳා, තම ආවාසගෙට යාබදව පිහිටි කාර්යාල කාමරයට වැඩම කළා පමණි.

කොණ්ඩදෙණිය පන්සළේ මහගේට්ටුව ඉදිරිපිට හාමුදුරුවන් වහන්සේ පිරිසක්ද ජාතික ඇඳුමින් සැරසුණු උස කඩවසම් මහතකුද රැගත් බස් රථයක් නතර කෙරුණි.

“ඩිංගිරි බණ්ඩෝ ස්වාමීන්වහන්සේලා පිරිසක් කවුදෝ උස මහත්මයකු සමඟ පන්සලට වඩිනවා වගේ... මේ ඉසව්වේ දාන මානයක් හොයාගෙන ආවද මන්දා... මේ ගහේ තැඹිලි වලු කීපයකුත් බාගෙන ගිලන්පස ලෑස්ති කරන්න... හනිකට දවල්ට දානයත් පිළියෙළ කරන්න.”

ජාතික ඇඳුමින් සැරසුණු ආගන්තුක මහතාත් සමඟ බස් රියෙන් බැස ආ සංඝයාවහන්සේ පිරිස ආවාස ගෙට වැඩම කළහ. එකල මුළු රටේ ප්‍රචලිත පඬිවරු මෙන්ම චතුර කථිකයකු වූ නායක හිමිනමක්ද ඒ අතර වූහ. උන්වහන්සේගේ වැඩම කිරීමත්, එවකට ගාලු පුරවරයේ සුප්‍රකට දේශපාලකයකු වූ විජයානන්ද දහනායක මහතාගේ පැමිණීමත් අප හිමියන්ගේ චිත්ත ප්‍රබෝධයට හේතු වන්නක් විය.

අප හිමියන් ආගන්තුක නායක හිමියන් පිළිගත්තේද මහත් හරසරිනි. ගිලන්පස වැලඳීමෙන් පසුව මේ ආගන්තුක හිමිවරු සහ ආගන්තුක අමුත්තා අප හිමියන් සමඟ කොණ්ඩදෙණිය පන්සල් භූමිය නැරඹීමට ගියෙන් හෝරා කිහිපයක් ගත විය. ඒ අතර ඩිංගිරි බණ්ඩා ගමේ දායක කාරකාදීන් කිහිප දෙනකුද එකතු කරගෙන දහවල් දානයට කැකුළු හාල් බතට නෙලුම් අල, තුඹ කරවිල, විනාකිරිවලින් තෙම්පරාදු කළ වම්බොටු මෝජුවක්, කලවම් පලා මැල්ලුමක්, වැව් කරවල ව්‍යාංජනයක් සහ පිපිඤ්ඤා සලාදයක්ද පිළියෙල කර තිබුණේ ඉතා කඩිනමින්ය.

අතුරුපසට මීකිරි සහ කිතුල් පැණි ද, පන්සල් වත්තේ හැදුණූ ඉදුණු කැකිරි ගෙඩි කිහිපයක් ද සූදානම් කළේය.

විචාරා පැමිණි ආගන්තුක නායක හිමියන්ට කළමනා උවටැන් කළේ සතුටු සිතිනි.

අප හිමියන් විසින් ආගන්තුක නායක හිමියන් ඇතුළු සංඝයාවහන්සේට ගබඩා කාමරයේ පිරී ඉතිරී ගොඩ ගැසී තිබුණු පිරිකරද පූජාකොට දානමය පින්කමක් ද සිදු කර ගත් සේක.

“මගෙන් මොනව හරි වැඩක් එහෙම කෙරෙන්න ඕනද?” ආගන්තුක නායක හිමියන් සීලරතන හිමියන්ගේ කනට කොඳුරා යමක් පැවසූ සේක.

“ මම කියපු වැඩේට පළමු තැන දීල මේ අපේ ගාල්ලෙ ලොකු මහත්තයාටත් පස්සේ වෙලාවක සෙත් ශාන්තියකුත් කරල දෙන්න” ආගන්තුක නායක හිමි පැවසූ සේක.

“මේක ඉතා බලගතු රාජකාරියක් නේ මෙහෙ ඉඳල කරල බැහැ නොවැ. අගමැතිතුමාගේ කොතලාවල වලව්ව පේන තෙක්මානයේ රත්මලානෙ තැනක ඉඳල තමයි හරිහැටි මේ ගුරුකම කරන්න ඕන. අනික ඒ මනුෂ්‍යයාගේ හැඩවැඩ තියෙන පුංචි රූපයක් මට ගෙනත් තියන්න. ඉතිරි වැඩ මම කරල පෙන්නන්නම්කෝ.”

ආගන්තුක නායක හිමියන්ගේ බලවත් පෙරැත්ත මත එදිනම අප හිමියන්ද කොළඹ රත්මලානට වැඩියේ එම ආගන්තුක හිමිවරු වැඩි බස් රියෙන්මය. රත්මලානේ නියමිත ස්ථානය කඩිනමින් සූදානම් කර තිබිණි.

තෙල් පිරවූ තාච්චිය ළිප මත තබා ගිනි දැල්වී මොහොතකින් හිමියන්ගේ බලගතු මන්ත්‍ර ජීවම් කිරීමත් සමඟ ලෝහමය රූපය තෙලට දමා කැකෑරෙමින් තිබුණි. අප හිමියන් කටයුතු අවසන්ව නැවත කොණ්ඩදෙණිය බලා පිටත් වූ සේක.

සඟ, වෙද, ගුරු, ගොවි, කම්කරු යන පංච මහා බලවේගය පෙළ ගැසිණි. අලුත් පාලනයක් ගොඩනැංවීමට ජනමතය පහසුවෙන් ගොඩනැඟෙන්නට විය.

විජයානන්ද දහනායක මහතා නැවත කොණ්ඩදෙණියේ සීලරතන හිමියන් මුණගැසුණි. ආගිය තොරතුරු කතාබස් කර අවසන්ව

“ඩිංගිරි බණ්ඩෝ අපේ මේ ලොකු මහත්තයාට දවල්ට හොඳ කෑමවේලක් ලෑස්ති කරන්නකො එතුමා දුර බැහැර ගල්ලෙ ඉඳල රේල්ලුවෙන් මහව හන්දියට ඇවිත් එතැන් සිට රික්ෂෝ එකකින් අපේ පන්සලට ඇවිත් තියෙන්නේ. ආහ්. රික්ෂෝ එකේ මනුෂ්‍යාටත් එකක්ම කෑම හදන්න”

“එහෙමයි හාමුදුරුවනේ”

දිවා ආහාරය ගැනීමෙන් පසු නැවත දේව මන්දිරයේදී සීලරතන නායක හිමියන් ආගන්තුක මහතා හමු වූහ.

සීලරතන හිමියන් දේව මණ්ඩලයේ සියලු පහන්වලට සුවඳ එළඟිතෙල් දැමීය. ඩිංගිරි බණ්ඩාද සුවඳ දුම් ඇල්ලීය. කලින් පිළියෙල කර තිබූ සමන්පිච්ච මල්මාලා සියල්ල දේව ප්‍රතිමාවලට පලඳවා එම ප්‍රතිමාවල නේත්‍රා දෙස බලාගෙන වැඳගෙන සිටින ලෙස දහනායක මහතාට උපදෙස් දුන් සේක. ප්‍රබල මන්ත්‍රයක් ජප කළ හිමියන් දහස් වර පිරිත් කළ නූල් පන්දුවක්ද ආගන්තුක මහතා රැගෙන ආ රන් සුරයද දේව මණ්ඩලය අබියස රඳවා මන්ත්‍ර ජීවම් කිරීමේ හඬ ප්‍රබල කරන්නට වූහ. ඒත් සමඟ දොර පියන්පත් විවර කරමින් දේව මන්දිරයට පැන ආ කළු තඩි බළලෙකු හිමි දෙපා පාමුල දැවටෙන්නට විය. සමන්පිච්ච සුවඳක් ඒත් සමඟ දසත පැතිරයන්නට විය.

ශාන්තිකර්මය අවසන් කළ අප හිමියන් දහනායක මහතාගේ දකුණූු අතේ පිරිත් නූලක් ගැටගසා ඔහු රැගෙන ආ රන් සුරයට බලගතු මන්ත්‍ර ජීවම් කළ තෙල් බිඳක් දමා ගෙල පැලඳවීමට සැලැස්වූහ.

ඔන්න මගේ වැඩ අවසානයි. දහනායක මහතාගේ කේන්දරයද, අතෙහි හස්ත රේඛාද පරීක්ෂා කර බැලූ හිමියන් ප්‍රබල රාජ යෝගයක් තිබෙන බවද නමුත් එය දෝෂාන්ධකාරයෙන් වැසී ගොස් තිබුණු බවද පැවසූහ.

“කොහොම වුණත් මාස කිහිපයක් වත් රටේ නායකයා වෙන්න මම අවශ්‍ය ගුරුකම කරලා තියෙන්නේ” දහනායක මහතා හිමි දෙපා මුල වැඳ වැටුණේ සොම්නසිනි. “දැන් ඔබතුමා අවිවාහක වුවත් තව කලකින් අනිවාර්යයෙන් විවාහ වෙනවා සිකුරුයි.”

ඡන්ද සටන ඇරඹිණි. දේශපාලන කරළියේ හොඳ හොඳ පෙරළීන් දක්නට ලැබිණි.

පුදුමයක මහත, ආචාර්ය විජයානන්ද දහනායක මහතා දේශපාලන කරළියේ දිගු ගමනක් ගියේය. දේශපාලනයට එතුමා අත්පොත් තැබුවේ ගාලු පුරවරයේ ප්‍රථම නගරාධිපතිවරයා වශයෙනි. ඉන්පසු බිබිලේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආසනයක් දිනා ගැනීමට ඔහු සමත්විය.

පළමු පාර්ලිමේන්තු මැතිවරණයේදී ගාල්ල මැතිවරණ කොට්ඨාසයට තරග කරන්නට විජයානන්ද දහනායක මහතාට සිදුවුණේ ගාල්ලේ එවකට ප්‍රසිද්ධ ව්‍යාපාරිකයකු, වතු හිමිකරුවකු සහ දකුණේ ධනවතකු වූ එච්.ඩබ්. අමරසූරිය මහතා සමඟය. දහනායක මහතා නිර්ධනයකු වූ අතර ජනතාවගේ හිත මිත්‍රයකු විය.

අමරසූරිය මහතා සමඟ ඡන්ද සටනට පිවිසි දහනායක මහතා මැතිවරණයට පෙර පැවති අවසාන ගාලු රැස්වීමේදී පැමිණි විශාල පිරිස අමතා කීවේ,

“මම සල්ලි ගහ හොලවනව. සහෝදරවරුනි, ඒ සල්ලි අහුලගෙන මට ඡන්දෙ දෙන්න” යනුවෙනි. ඊට එකල පැවති මාධ්‍ය තුළින් විශාල ප්‍රචාරයක් හිමි විය. මහ ඡන්දයෙන් ගාල්ල අසුන දිනා ගැනීමට දහනායක මහතා සමත්විය.

1956 දී මහජන එක්සත් පෙරමුණ යටතේ රටේ අධ්‍යාපන අමාත්‍ය ධුරය දැරූ එතුමා ලංකාවේ සියලු පාසල් ළමුන්ට “බනිස් දීම” ආරම්භ කරන ලදි. එබැවින් එතුමා ‘බනිස් මාමා’ නමින් විරුදාවලිය ලැබීය.

ඔහු මැති ඇමතිකම් දැරුවද කිසිවිටක විදේශයකට ගොස් නැත. ඔහුටම හිමි වාහනයක්ද නැත. දුම්රිය, බස්රිය, වැනි පොදු ප්‍රවාහන ක්‍රම පාර්ලිමේන්තු සභියකුව සිටියදී ද භාවිත කිරීමට කිසිසේත් මැළිකමක් නොදැක්වීය.

පසුව ආග්‍රාමාත්‍ය ධුරයද ඉසිලීමට සමත්විය. “ලෝකයේ දුප්පත්ම අගමැතිවරයා” යන විරුදාවලිය (ඊඩඥ එධපතඤ’ඵ නධධපඥඵබ ර්‍ථපඪථඥ ර්ඪදඪඵබඥප) හිමි විය. ගාල්ලේ “රිච්මන්ඩ් හිල්හි එතුමාගේ නිවෙසට පැමිණෙන ඕනෑම අයකුට නිදහසේ නොමිලයේ ම තම දුරකථන භාවිත කිරීමට ඉඩහසර සලස්වා තිබිණි. ඔහු රාජ්‍ය සේවයට අනුපමේය ලෙස විශිෂ්ට සේවාවක් ඉටු කළේය.

1960 - 65 සිරිමාවෝ බණ්ඩාරනායක රජය සමයේ ඇඳුම් සීමා කිරීමට විරුද්ධ වූ ඔහු එවකට කොළඹ පාර්ලිමේන්තුවට ‘අමුඩයක්’ ඇඳගෙන පැමිණ එකදිගට පැය 13ක දීර්ඝතම පාර්ලිමේන්තු දේශනය සිදු කළේය. ඔහු දේශපාලන තරු අතර බැබළෙන තරුවක් විය.

කළගුණ හොඳින් දත් එතුමා කොණ්ඩදෙණිය පන්සලට නිතර පැමිණ සීලරතන හිමියන්ගේ සුවදුක් විචාරීමට නිහතමානී විය.

1960 මැතිවරණයෙන් පසු අගමැති මැදුරන් නික්ම යන දිනයේ තම සූට්කේස් එක තමන්ම රැගෙන ආ දහනායක මහතා කොටුව දුම්රිය ස්ථානයට ඇරලවූයේ එවකට අග්‍රාමාත්‍ය ලේකම් වූ බ්‍රැඩ්මන් වීරකෝන් මහතාය.

ඔහු ගාලු දුම්රියෙන් පැමිණ ‘රිච්මන් හිල් උප දුම්රිය පොළින් බැස තම නිවෙසට එදින ගියේ පයින්මය.

වත්මන් කොණ්ඩදෙණිය රජමහා විහාරයේ විහාරාධිපති ශාස්ත්‍රවේදී කඩම්බාවේ අනුරුද්ධ හිමියන් මුණගැසී එවැනිම කටයුතු කර ගැනීමට රාජ රාජ මහාමාත්‍යාදීන් ද ලංකාවේ පළමු පුරවැසිධූර දැරූවන් ද සන්ධ්‍යා භාගයේ හෝ රාත්‍රී යාමයේ වරින් වර පැමිණි බව දන්නේ ඉතා ටික දෙනකු පමණි.

වත්මනේද දේශපාලන පොරපිටියේ විවිධ දැවැන්තයන් මෙන්ම දූත පිරිස්ද අන් අය වෙනුවෙන් නොපැමිණෙනවා නොවේ. එය මට පසක් කරලූයේ කෙතරම් ප්‍රතික්ෂේප කිරීමට උත්සාහ කළ ද ජීවිතය මෙහෙයවා හසුරුවා පාලනය කරන අයෝමය අදෘශ්‍යමාන බලවේගය කෙරෙහි නිරන්තරයෙන් මිනිසා සම්බන්ධ වී සිටින බව මෙන්ම ඒ පිළිබඳ මිනිසා තුළ ඇති බිය සහ විශ්වාසය කෙතරම් ද යන්නය.

හිටපු දුම්රිය සාමාන්‍යාධිකාරි (මෙහෙයුම්)

ඡ්‍යොතිෂ අවිශ්කාර්

ඡ්‍යොතිෂ ශිරෝමණී

ආචාර්ය විජය සමරසිංහ

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
19 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.