නිදහස් දින කේන්දරයට අනුව රාජ්‍ය නායකයන් වෙනස්්වන අයුරු

සැප්තැම්බර් 27, 2024

අද දිනයේදී නිදහස් දින කේන්ද්‍ර සටහනට යෙදෙන ජන්ම ඒරාෂ්ටකවලට අනුව මෙරට රාජ්‍ය නායකයන් අලුත් වන ආකාරය පිළිබඳව සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙමි. මෙරටට ‘අර්ධ ස්වාධීනත්වය’ නොහොත් ‘ඩොමීනියන්’ තත්ත්වය ලැබණේ 1948 වසරෙහි පෙබරවාරි 4වැනිදාය. එදින චන්ද්‍රයා “වෘශ්චික’ රාශිය තුළ නීචව ගෝචර වී ඇති බව ඡ්‍යොතිෂය පිළිබඳව ඉතා සාමාන්‍ය දැනුමක් ඇති අයකුට වුවද පහසුවෙන් සොයාගත හැකි වනු ඇත.

ඒ අනුව නිදහසින් පසු මුල් වරට නිදහස් දින කේන්ද්‍රයට ජන්ම ඒරාෂ්ටකයේ උච්චතම අවස්ථාව උදා විය යුත්තේ වෘශ්චික රාශිය මතින් ශනි ගමන් කරන විටය. මෙයින් පෙනී යන්නේ , 1955 වසරෙහි නොවැම්බර් 12 වැනිදාත් 1958 වසරෙහි පෙබරවාරි 8 වැනිදාත් අතර කාලසීමාව තුළ ශ්‍රී ලංකා නිදහස් දින කේන්ද්‍රයට ජන්ම ඒරාෂ්ටකයේ උච්චතම අවස්ථාව ගත වී ඇති බවය. ඒ අනුව එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායක මහතා එවකට තිබුණු රජය පරාජයට පත් කරමින් සඟ, වෙද, ගුරු, ගොවි, කම්කරු යන පංච මහා බලවේගය එක් කර ගනිමින් 1956 වසරෙහි අපේ‍්‍රල් 12 වන දින මෙරට රාජ්‍ය නායකත්වයෙන් පිදුම් ලබන විට නිදහස් දින කේන්ද්‍රයට ජන්ම ඒරාෂ්ටකයේ උච්චතම අවස්ථාව ගත වී ඇති බව පෙනේ.

නිදහස් දින කේන්ද්‍රයට, නිදහසින් පසු දෙවැනි වතාවට ජන්ම ඒරාෂ්ටකය උච්චතම අවස්ථාව ගත වී ඇත්තේ 1985 වසරෙහි සැප්තැම්බර් 16 වැනිදාත් 1987 වසරෙහි දෙසැම්බර් 17 වැනිදාත් අතර කාලසීමාව තුළය. එම කාල සීමාව තුළ තීරණාත්මක මැතිවරණයක් නොපැවතීම නිසා බල හුවමාරුවක් සිදු නොවුණද එම කාලසීමාව තුළ එවකට තිබු රජය අස්ථාවර වෙමින් පැවතුණ බව බොහෝ දෙනෙකුගේ අදහසයි.

නිදහස් දින කේන්ද්‍රයට නිදහසින් පසු තුන්වැනි වරට ජන්ම ඒරාෂ්ටකය උදා වූයේ 2014 වසරෙහි නොවැම්බර් 3 වැනිදාත් 2017 වසරෙහි ජනවාරි 27 වැනිදාත් අතර කාලසීමාව තුළය. ඒ අනුව 2015 වසරෙහි ජනවාරි 8 වැනිදා පැවති ජනාධිපතිවරණයෙන්, දශක තුනක් තිස්සේ පැවති යුද්ධය අවසන් කළා වූ, තුනෙන් දෙකක බලයක් තිබූ පාර්ලිමේන්තුවට හිමිකම් කියූ ප්‍රතාපවත් රාජ්‍ය නායකයා වූ මහින්ද රාජපක්ෂ මහතා පරාජයට පත් කරමින්, මෛත්‍රීපාල සිරිසේන මහතා මෙරට රාජ්‍ය නායකත්වයෙන් පිදුම් ලැබූවේය. ඒ අනුව මේ බල පෙරළිය සිදු වී ඇත්තේද නිදහස් දින කේන්ද්‍රයට ජන්ම ඒරාෂ්ටකයේ උච්චතම අවස්ථාව ගතවද්දිය.

අනාගතයේදී නිදහස් දින කේන්ද්‍රයට ජන්ම ඒරාෂ්ටකයේ උච්චතම අවස්ථාව ගතවීමට නියමිතව ඇත්තේ ශනි ග්‍රහයා නැවත වෘශ්චික රාශිය තුළ ගමන් කරද්දි නොහොත් 2043 වසරෙහි දෙසැම්බර් 12 වැනිදාත් 2044 වසරෙහි ජූනි 12 වැනිදාත් අතර කාලසීමාව තුළ සහ 2044 වසරෙහි සැප්තැම්බර් 1 වැනිදාත් 2046 වසරෙහි දෙසැම්බර් 9 වැනිදාත් අතර කාලසීමාව තුළය. ඒ අනුව, අනාගතයේදී එම කාලසීමාව තුළ තීරණාත්මක ජාතික මැතිවරණයක් පැවැත්වුවහොත්, පවතින රජය බිඳ වැටී බල පෙරළියක් සිදුවන බවට අනුමාන කළ හැකි වනු ඇත.

මීට වසර කිහිපයකට පෙර මාගේ සමීපතම යහළුවකු තමන් විසින් අලුතින් නිම කරන ලද නිවාසයට, ගෙවැදීමේ නැකතක් මාගෙන් විමසන ලදී. ඒ වන විට ඔවුන් විවාහ වී වසර 12ක් පමණ ගත වී තිබුණත් ඔවුන්ට දරුපල ලාභ නොලැබී තිබුණි. එනම් ඔවුනුන් දරුපල ලබා ගැනීම වෙනුවෙන් ශ්‍රී ලංකාවේ ඒ සම්බන්ධ කීර්තිමත් විශේෂඥ වෛද්‍යවරුන් කිහිප දෙනකු වෙත ගොස් රුපියල් ලක්ෂ ගාණක් මුදල් වියදම් කර තිබුණද එම බලාපොරොත්තුව ඉටු වී නොතිබුණි. ඒ නිසා එම කාලවකවානුව, ඔවුන් තම දරු පල පිළිබඳ බලාපොරොත්තුව අතැර දමා සිටි කාලවකවානුවක් විය. මා ඒ දෙපළ වෙනුවෙන් ගෙවැදීමේ නැකැත පිළියෙළ කිරීම සඳහා දින තෝරද්දී දෙදෙනාගේම හැඟුම්වලට ගැළපෙන ශනි සහ චන්ද්‍ර එකම රාශියක තැන්පත්ව සිටි නැකැත් දවසක් හමු විය.

තවද එම චන්ද්‍රයා සිටි රාශියෙන් ශනි ග්‍රහයා අනෙක් රාශිය කරා යාමට තවත් වසර 2ක් පමණ ඇති බව මා හට නිරීක්ෂණය කළ හැකි විය. එම වසර 2 මගේ හිතවතාට සහ ඔහු ගේ බිරිඳව ඉතා තීරණාත්මක බවද, මෙතෙක් කල් බලාපොරොත්තුව සිටි දරුපල ලාභ අත්පත් කර ගත හැකි බවද මට ඉතා හොඳින් දැණුනි. ඒ අනුව මා ඔහු හට එම කාරණය පවසා ගෙට ගෙවැදීම වෙනුවෙන් එම නැකැත ලබා දෙන ලදී. ගෙට ගෙවැදීමේ නැකතට අදාළව තිබූ ජන්ම ඒරාෂ්ටකයේ උච්චතම අවස්ථාව වසර දෙකක් පමණ පැවති අතර ගෙට ගෙවැදී මාස 6ක් ගතවීමටත් පෙර ඔවුන්ට දරුවකු පිළිසිඳ ගැනීම පිළිබඳ සුබදායක ආරංචිය ලැබුණි. ඔවුන්ගේ එම දියණියට දැනට වයස අවුරුදු 5ක් පමණ වන අතර ඔවුන් තිදෙනා එම නිවස තුළ ඉතා සතුටුදායක ජීවිතයක් ගත කරති. මෙහි විශේෂත්වය වන්නේ ඔවුන්ට දරු පල ලාභ ලැබෙන විට ඔහුගේ බිරිඳට වයස අවුරුදු 45ක් පමණ වීමය.

වරක් මගේ තවත් මිත්‍රයකුට දරුපල ලාභ ලැබෙන කාලවකවානුව දැන ගැනීම සඳහා ඔවුන් දෙදෙනාගේ උත්පත්ති කේන්ද්‍ර සටහන් මා වෙත යොමු කරන ලදී. ඔවුන්ගේ උත්පත්ති කේන්ද්‍ර සටහන් දෙකෙනිම තදබල ඒරාෂ්ටක කාල ගතවන බව මා හට නිරීක්ෂණය කළ හැකි විය. තවදුරටත් විශ්ලේෂණය කර ගැනීම වෙනුවෙන් මා ඔවුන්ගේ විවාහ ලියාපදිංචි දිනය සහ විවාහ ලියාපදිංචි නැකැතද ලබා ගත්තෙමි. ඔවුන්ගේ විවාහය ලියාපදිංචි දිනය තුළ චන්ද්‍රයා තැන්පත්ව සිටි රාශියට අනුව එම දිනයට අදාළ කේන්ද්‍රසටහන තුළද ජන්ම ඒරෂ්ටකයේ උච්චතම අවස්ථාව ගත වන බව මා හට නිරීක්ෂණය කළ හැකි විය. ඒ අනුව ඔවුන් මා හමුවීමෙන් පසුව ගත වූ ඉදිරි මාස කිහිපය තුළ ඔවුන්ට නිසැක ලෙසම දරුපල ලාභ ලැබෙන බව මම ඔවුන්ට පැවසුවෙමි. මා ඔවුන්ට පැවසූ ලෙසට ඔවුන්ට මාස කිහිපයක් තුළ දරුපල ලාභ ලැබුණි.

මා ඉතාම හොඳින් දන්නා තවත් විවාහක යුවළකට ඔවුන්ගේ විවාහ ලියාපදිංචි දිනයට අදාළ කේන්ද්‍ර සටහනෙහි චන්ද්‍රයා තැන්පත්ව සිටි රාශියට අනුව, ජන්ම ඒරාෂ්ටකයේ උච්චතම අවස්ථාව ආරම්භ වී තිබුණි. මෙහි විශේෂත්වය වන්නේ මෙසේ ජන්ම ඒරාෂ්ටකයේ උච්චතම අවස්ථාව ගත වද්දී ඔවුන් දෙපළට ඔවුන්වත් බලාපොරොත්තු නොවූ මොහොතක නිවුන් දරුවන් ලැබීමය. කිසියම් උත්පත්ති කේන්ද්‍ර සටහනකට අදාළව මෙන්ම, කිසියම් විශේෂිත සිද්ධියක් ආරම්භ වන කේන්ද්‍ර සටහනකට අදාළව ජන්ම ඒරාෂ්ටකයේ උච්චතම අවස්ථාව ගතවන විට හාස්කම් පවා සිදු විය හැකි බව මෙයින් පැහැදිලි වෙයි.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 2 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.