හොර මුලට කාලි මැණියන්ගෙන් දඬුවම්

සැප්තැම්බර් 13, 2024

බිනර මස මුල් සතියේ දිනක කොණ්ඩදෙණියේ සීලරතන නායක හිමියන් හිමිදිරි පාන්දර බ්‍රහ්ම හෝරාවෙන් පිබිද හෝරාවක් භාවනානුයෝගීව ද, තවත් අඩහෝරාවක් යෝගී අභ්‍යාසවලද නිරතව සිට පන්සලේ වැඩසිටි සාමණේර හිමියන්ගේ කටපාඩමින් කරන ගාථා සජ්ඣායනයට ද සවන්දී පන්සල් භූමිය ඇමද පවිත්‍ර කිරීමේ කටයුතුවල සුපුරුදු පරිදිම නියළුණ සේක.

පහළ වැවෙන් දිය ස්නානය කොට පිරිසුදුව ආවාස ගෙට වැඩම කළ අප හිමියන් බුදු මැදුරේ සහ දේව මන්දිරයේ සියලු වතාවත් ඉටුකොට ලූ සේක.

ඩිංගිරි බණ්ඩා හිමිදිරි උදෑසන පිළියෙල කොට දුන් ගිලන්පස ද, හීල්දානය ද වලඳා නාහිමියෝ දිගු හාන්සි පුටුවේ මඳ වේලාවක් විවේකීව ගත කළ සේක. ඒත් සමඟ දේව මන්දිරයේ පහන් ආලෝකය එක්වර ප්‍රභාස්වර වන්නට වූ අතර කාලි මෑණියන්ගේ දේව පිළිමය සෙලවෙන්නට විය. නායක හිමියන් වහාම දේව මන්දිරයට වැඩම කොට දේවාරාධනාව සිදුකොට බලවත් මන්ත්‍රයක් ජපකරන්නට විය. පළමුව පැමිණෙන ආතුරයන්ගේ කාරණාව කාලිමෑණියන් විසින් ඉෂ්ට කරන බවත් අංජනමක් බැලීම් තුළින් එය සනාථ කරගත හැකි බවත් හිමියන්ට වහා වැටහුණි.

ගතවූයේ නිමේෂයකි. බලු රෑනකගේ ඝෝෂාව මතු විය. ඒත් සමඟ ළා නිල් පැහැති විශාල සුව පහසු බෙන්ස් කාර් රථයක් කොණ්ඩදෙණිය පන්සල් ගේට්ටුව ඉදිරිපිට නතර කරන ලදී.

“ඩිංගිරි බණ්ඩෝ ඔය බෙන්ස් කාර් එක පන්සලට ඇතුළු කරන්න ගේට්ටුව ඇරලදාන්න.

බෙන්ස්කාරය පසුපස හඹා ආ බලු නඩය ඒත් සමඟම විසිර යන්නට විය. “ඒ පැමිණෙන ජෝඩුවට කියන්න පහළ වැවෙන් මුහුණ කට හෝදාගෙන වැව අයිනේ තියෙන නෙළුම් මල් ටිකකුත් කඩාගෙන, විහාරගෙයයි, බෝමළුවයි වන්දනාමාන කරගෙන තමන් පැමිණි කාරණාව ඉෂ්ඨ සිද්ධ වෙන්න ප්‍රාර්ථනා කරගෙන එන්න කියලා.”

“එහෙමයි හාමුදුරුවනේ”

“ආහ්...........ඒ ඇත්තන්ට උදේට හදාපු කුරහන් තලපයයි, හත්මාළු ව්‍යාංජනයයි සප්පායම් වන්නට දීල අර උදේ හදාපු කොළ කැඳයි, කිතුල් හකුරුයි දීලා බඩකට පුරවගෙනම මගේ කාර්යාල කාමරයට කැටුව එන්න.” හිමි අණ එපිරිදිම ඉටුවිණි.

“අවසරයි අපේ නායක හාමුදුරුවනේ”

“මොකද මේ දෙන්න දෙමහල්ලෝ මේ අරුමැක්කෙ තකහනියම”

අනේ අපේ හාමුදුරුවනේ හොරු රැලක් අපේ ගෙදරට පැනල ගෙදර තිබුණ සියලු සබ්බ සකල මනාවම අරන් ගිහින්. රත්රන් පවුම් 10 විතර රන් ආභරණත් අරන් ගිහින්. අපි ප්‍රාණ භීතියෙන් තක්කු මුක්කු වෙලා බය වැඩි කමට වචන පිටවෙන්නෙත් නැතිව බිරංභීත වෙලයි හිටියේ හාමුදුරුවනේ.

අරුං ඔක්කොම දේවල් කුදලං ගියාට පස්සේ අපි කෑගැහුවා හයියෙන්. ඒ ශබ්දෙ ඇහිලා අහල පහල මිනිස්සු ඇවිදින් අපිව බැඳලා තිබුණ කඹ ලිහලා බේරගත්තේ. හොරණ මිල්ලෑවෙ පැත්තේ හොරු මුලක් තමයි ඇවිදින් තියෙන්නේ.”

“දැන් ඉතින් කාරණා........කාරණා සිදුවෙලා හමාරයි නොවැ...මේ පැත්තේ ආවේ ඇයිද?”

“මේ මිනිස්සු කොටුකර ගන්න ඉඩ සලස්වල හොඳ දඬුවමක් දෙන්න හාමුදුරුවනේ.”

අහල පහළ කිසවකුට කිසිදු කරදරයක් නොකට දැහැමින් පාඩුවේ ජීවත්වන අයට මෙහෙම කරදර වුණාම එකල පොලිසියටත් වඩා වැඩි විශ්වාසයක් කොණ්ඩදෙණිය හාමුදුරුවන්ගේ ගුරුකම් කෙරෙහි මිනිසුන්ගේ සිත්සතන් තුළ ගොනුවී තිබුණු බව පෙනෙයි.

දේව මන්දිරයට කැඳවූ අමුත්තන්ට කාලි මෑණියන්ගේ පිළිරුවේ නේත්‍රා යුගල දෙසම බලා වැඳගෙන සිටින ලෙස හිමියෝ උපදෙස් දුන් සේක.

“හොඳයි අංජනමකින් කවුද මේ හොරු කියල හොයා ගන්න හැකි නොවැ. ඔච්චර ඉල්ලන එකේ ඒ හොරු රැලට දඬුවමකුත් දීලම පෙන්නමු කෝ....”

දේව මන්දිරයේ විශේෂිත පූජාසනය මත සමන්පිච්ච මල් අතුරා කපුරු හඳුන්කූරු දල්වා සුවඳ දුම් අල්වා, අඳුන ඉදිරියෙන් තලතෙල් පහනක් දල්වා බලගතු මන්ත්‍රයකින් අප හිමියන් ජප කරන්නට පටන් ගත්හ. ගතවූයේ ස්වල්ප මොහොතකි. හිමියන්ගේ අඳුන පණ ගැන්වෙන්නට විය.

අංජනම් දේවිය මුල්කරගෙන කාලි මෑණියන්ද සම්බන්ධ කර අංජනම් පීරිසි තට්ටුව තුළින් චිත්‍රපටයක රූපරාමු පෙනෙනවා මෙන් පැහැදිලිව ඒ ඒ අවස්ථාවන් තලතෙල් පහන් ආලෝකය පීරිසිය තුළින් දැක්වෙන්නට විය.

ඒ අතරතුර ඩිංගිරි බණ්ඩා සුවඳ කපුරු දුම් දැහැනට අල්වන්නටද වගබලා ගත්තේය.

“හොඳයි මම දැන් වැඩ පටන් ගන්නයි හදන්නේ මම අහන ප්‍රශ්නවලට පැහැදිලි උත්තර දෙන්ඩ ඕන. තේරුණාද? බොරු එහෙම කියන්ඩ හිතන්නවත් එපා හරිද?

ආහ් ඔහෙලාගේ ගේ මේ මට පෙන්නුම් කරන පළාතෙම විශාල ගෙයක් නොවැ...අර උඩ තට්ටුවේ කාමරයක දැන් ඉන්නේ තමුන්ලගේ එකම පිරිමි දරුවාද?”

“එහෙමයි හාමුදුරුවනේ.”

“උන්දැගෙත් දැන් කල වයස හරියාගෙන එන්නේ...දැළි රැවුල වැවුණු යස ඉලංදාරියෙක් නොවැ.”

“එහෙමයි... අපේ එකම පුතා හාමුදුරුවනේ” “ඔය තේරෙන්නේ. ඒ ඉලංදාරිය හොරණ පැත්තෙ ලොකු ස්කෝලෙක ඉගෙන ගන්නව නොවැ” “ආහ්....මේ ස්කෝලෙට ඉගෙන ගන්න ලස්සන දැරිවියක් එක්ක යාළු සම්බන්ධයක් තියෙනවා නේද?”

“අපොයි ඒ විත්තියක් අපි දන්නැහැනෙ හාමුදුරුවනේ”

“ඒ ගෑනු දරුවත් එසේ මෙසේ පවුලක දරුවකු නොවේ. හොඳ හයියක්කාර පවුලක ඉන්න එකම කෙළී...අනික මේ පැටලැවිල්ලට ඒ දියණියගේ ගෙදර ඇත්තෝ හොඳටම අකැමැතියි. ඒ නිසා මේක ඔය පිරිමි ළමයාගෙන් පළිගන්න කරපු දෙයක් වගෙයි අංජනමෙන් මට නම් පෙනෙන්නේ..”

“අනේ අපේ හාමුදුරුවනේ අපේ එකා හරිම අහිංසකයි. ඒ දැරිවිය මහ උඩිච්චියක් වෙන්න ඇති. අපේ කොලුවා දපනෙ දාගෙන වෙන්නැති. අනික අපේ දරුවා උපාසකයෙක් වගේ. ඇස්දෙක වගේ පුංචි කාලෙ ඉඳලම බලාගත්ත නොවැ. මේ වයසට ඔච්චර දෙයක් වෙයි කියල අපි හීනෙකින්වත් සිතුවේ නැහැ හාමුදුරුවනේ.”

“ඕන්....අංජනමෙන් බොහෝ දේවල් හෙළිදරව් වෙනව නොවැ. අපේ ලොකු මහත්තයලා මට බොරුවකුත් කියල තියෙනවනේ.

“ඒ මොකක්ද හාමුදුරුවනේ.”

“මුළු සේසතම හොරු අරන් ගිහින් කියලා.අංජනමෙන් පේන විදියට නම් එහෙම දෙයක් වෙලා නැහැ. මහත්තයලාගේ වටිනාම දේපොළ රන් රිදී, මුතු මැණික් අර ටවුමේ විශාල බැංකුවේ ආරක්ෂක සේප්පුවක තැන්පත් කරල තියෙනවා නොවැ. රන් පවුම් 30කටත් වැඩිදේ තියෙනවනේ.”

“සමාවෙන්න අපේ හාමුදුරුවනේ.”

“කාරි නැහැ. කාරි නැහැ. ආහ්...ඒ හොර කණ්ඩායම හොරණ මිල්ලෑවෙන්. පාදුක්කටත් ගිහින් හොරකම් කළ බඩුමුට්ටු සාප්පු කිහිපයකට විකුණලත් ඉවරයි. දැන් දුක්වෙලා වැඩක් නැහැ නේ. හොරු කල්ලිය තානායමට වෙලා රහමෙර පානය කරල විනෝද වෙනවා. කොහොම වුණත් මහත්තයාලාගේ ඉල්ලීමට ඉඩදීල එවුන්ට දඬුවමක් පනවන්නම්කෝ. රටේ ලෝකෙ ඉන්න අනිත් හොරුන්ටත් පාඩමක් වෙන්න.”

අප හිමියෝ බලගතු මන්ත්‍රයක් හෝරාවක් තිස්සේ ජප කොට කාලි මෑණියන්ගේ පිළිරුවට රතු මල් මාලයක් පැලඳවූහ. ඒ සමඟ පිළිරුව සෙලවෙන්නට විය. තඩි කළු බළලෙකු ජනේලයෙන් දේව මන්දිරයට පැන හිමි දෙපා මුල වැතිරෙන්නට විය.

“හොඳයි දැන් මගේ වැඩේ අහවරයි. ප්‍රතිපලේ ඉස්සරහට තේරේවි.” හිමියෝ වදාළ සේක.

හිමියන් දෙපා මුල වැඳ නමස්කාර කොට එම දෙමහල්ලන් කොණ්ඩදෙණිය පන්සලෙන් පිටත් විය.

නොබෝ වේලාවකින් ආපසු පන්සලට පැමිණි දෙමහල්ලෝ හිමිනමට පැවසුවේ, හොරු 4 දෙනකු ඔවුන් ගිය වාහනයෙන් වක් ඔයට වැටී විශාල අනතුරකට පත්ව ඇති බවය. “කාලි මෑණියන්ගේ තඩි කළු බළලා තමයි මම වැරදි වැඩවලට දඬුවම් දෙන්න උදව්වට ගන්නෙ. ඉතින් දඬුවමකුත් ලැබුණා නේ.”

කොණ්ඩදෙණිය රජමහා විහාරයේ වත්මන් විහාරාධිපති ශාස්ත්‍රවේදී කඩම්බාවේ අනුරුද්ධ හිමියන් හමුවට එකම පවුලේ සොයුරියක් ද වැඩිමල් සොයුරා සමඟ විවාහ වූ ඔහුගේ බිරිඳ ද විය. වැඩිමල් සොයුරා හදිසි අනතුරකින් මිය ගොස් තිබුණි. දෙමව්පිය දෙදෙනාද ජීවතුන් අතර නොමැත. මියගිය සැමියා විසින් තම එකම බාල සොයුරිය වෙනුවෙන් රන් පවුම් 20ක පමණ රත්රන් බඩු දෑවැද්ද සඳහා සාදා තිබුණි. එම බාල සොයුරියද විවාහ ගිවිසගෙන සිටියාය. විවාහ මංගල්ලයට තව ඇත්තේ සති කිහිපයක් පමණි.

එක්වරම රත්රන් මංජුසාව අතුරුදන්ව තිබිණි. අනුරුද්ධ නායක හිමියන් හමුවට මේ සොරකම පිළිබඳව දැන ගැනීමට වැඩිමහල් සොයුරාගේ බිරිඳත්, බාලසොයුරියත් පැමිණ තිබිණි.

මොවුන් දෙදෙනාම දේව මන්දිරයට කැඳවු අනුරුද්ධ හිමියන් බලගතු මන්ත්‍රයක් දහස්වර ජීවම්කළ පිරිත් නූලක් ගෙන ජීවම් කරන්නට විය. ඒ සමඟම මේ රන්භාණ්ඩ සියල්ල සොරකම් කළේ වැඩිමහල් සොයුරාගේ බිරිඳ බව හිමියන්ට පසක් විණි. අනුරුද්ධ හිමියන්ට කාරණා කාරණා හොඳින් වැටහිණි. ගැටලුවක් ඇති නොවන පරිදි හිමියන් පැවසුවේ මිය යෑමට පෙර දින එම රන්භාණ්ඩ තම බිරිඳගේ අල්මාරියේ සේප්පුව තුළ රඳවා ඇති බවය. මෙමඟින් ගැටලුව විසදිණි.

එහෙත් වෙන් වෙන්ව පිරිත් නූල් දකුණතේ ගැටගැසිය යුතු බව පවසා පළමුව බාල සොයුරියගේ ගැට ගසා දෙවනුව වැඩිමහල් සොයුරාගේ බිරිඳගේ අතේ පිරිත් නූල ගැට ගැසූ සේක. ඒ අතර මින් මතුවට මෙවැනි සොරකම් නොකිරීමට තරයේ අවවාද කළ අප අනුරුද්ධ හිමියන් දෙදෙනාම කැඳවා ඉදිරි කටයුතුවලට ආශීර්වාද කළ සේක. දෙදෙනාම හිමි පාමුල වැඳ වැටී සමු ගත්හ. පසුව එම දෙදෙනාද විවාහ ප්‍රාප්ත මනාලයා ද සමඟ හිමියන් බැහැ දැකීමට කොණ්ඩදෙණිය පන්සලට පැමිණියේ සොම්නසිනි.

 

හිටපු දුම්රිය සාමාන්‍යාධිකාරි (මෙහෙයුම්)

ඡ්‍යොතිෂ අවිශ්කාර්

ඡ්‍යොතිෂ ශිරෝමණී

ආචාර්ය විජය සමරසිංහ

---------------------------

කොණ්ඩදෙණිය විහාරයේ මව්පිය සෑය විවෘත කෙරේ

කොණ්ඩදෙණිය විහාරාධිපති පූජ්‍ය කඩම්බාවේ අනුරුද්ධ නාහිමියන්ගේ අනුශාසනා පරිදි සැප්තැම්බර් මස 15 වැනි දිනට යෙදෙන සුබ මොහොතින් කොණ්ඩදෙණිය විහාරයේ අභිනවයෙන් ඉදි කරන ලද මව්පිය සෑය විවෘත කිරීම සිදු වේ. මේ පුණ්‍යෙීත්සවය ශ්‍යාමෝපාලී මහා නිකායේ, අස්ගිරි පාර්ශවයේ විංසත් වාර්ගික කාරක සංඝ සභාවේ, ජෙ‍්‍යෂ්ඨ කාරක සංඝ සභික, සමස්ත ලංකා ශාසනාරක්ෂක බලමණ්ඩලයේ ප්‍රධාන සභාපති, අනුරාධපුර භික්ෂු විශ්වවිද්‍යාලයේ හිටපු මහෝපාධ්‍යාය, අග්ග මහා පණ්ඩිත මහාචාර්ය, පූජ්‍ය තුඹුල්ලේ ශ්‍රී සීලක්ඛන්ධ නාහිමියන් වහන්සේගේ සහ බටහිර ඔස්ට්‍රේලියාවේ ශ්‍රී ලංකා කොන්සල් රෝස් ජලග්ගේ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරේ. මේ පුණ්‍යෙීත්සවයට සමගාමීව සැප්තැම්බර් 14, 15, දෙදින තුළ වැඩසටහන් පෙළ ගැස්වේ. එහිදී සැප්තැම්බර් 14 වැනි දිනට ධර්ම දේශනාව, ගිලන්පස පූජාව සහ සර්ව රාත්‍රික පිරිත් දේශනාව කිරීමට නියමිත අතර විහාරස්ථ සංවර්ධන අරමුදල ආරම්භ කිරීම ද සිදු වේ. සැප්තාම්බර් 15 වැනි දින බුද්ධ පූජාවෙන් අනතුරුව පෙ.ව. 10.31ට යෙදෙන සුබ මොහොතින් කොත් වහන්සේ පැළඳවීම, පෙ.ව. 11.00ට නව චෛත්‍ය විවෘත කිරීම හා බුදු පිළිම වහන්සේ තැන්පත් කිරීමට නියමිතය. උත්සව සභාවේ විශේෂ දේශනය ගරු පූජ්‍ය සීලක්ඛන්ධ නාහිමිපාණන්වහන්සේ විසින් සිදු කිරීමට නියමිත අතර ආචාර්ය රෝස් ජලග්ගේ මහතා විසින් විශේෂ අමුත්තන් වෙනුවෙන් සිදුකරන දේශනය පැවැත්වෙනු ඇත. මෙහි පිළිගැනීමේ කතාව කොණ්ඩදෙණියේ විහාරාධිපති කඩම්බාවේ අනුරුද්ධ නාහිමි විසින් ද උත්සව සභාවේ සමාප්තිය දායක සභාවේ භාණ්ඩාගාරික ඩී.එම්. දිසානායක මහතා විසින් ද සිදු කිරීමට නියමිතය. මව්පියවරුන් වෙනුවෙන් ඉදි කරන ලද මව්පිය සෑය විවෘත කිරීමේ මේ පුණ්‍යෙීත්සවය සඳහා සැදැහැවත් සියලු දෙනා හට සහභාගී වන මෙන් විහාරාධිපති පූජ්‍ය කඩම්බාවේ අනුරුද්ධ හිමියෝ ආරාධනා කර සිටිති.

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.